පාස්කු ප්‍රහාරයෙන් ඇවිලෙන ගින්නට පිදුරු දැමූ හරීන් | සිළුමිණ

පාස්කු ප්‍රහාරයෙන් ඇවිලෙන ගින්නට පිදුරු දැමූ හරීන්

මේ මැතිවරණ සමයයි. තමාගේ මනාප ගොඩ වැඩිකර ගැනීමට දේශපාලන අපේක්ෂකයන් විවිධ දේ කියති; කරති. ඒ කියුම් කෙරුම් ගැන රටත් ජනතාවත් සිතන ආකාරයට ගැන අවබෝධයක් නැතිව හැසිරෙන දේශපාලඥයෝ ද වෙති. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු පසුගිය 21 වැනිදා පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් කළ කළ ප්‍රකාශයක් මහත් ආන්දෝලයට ලක්වූයේ ඒ ආකාරයෙනි. එහිදී ඔහු ප්‍රකාශ කළේ, පසුගිය ජනාධිපතිවරණයේදී ඉතා තීරණාත්මක වූ සියයට 5ක ඡන්ද ප්‍රතිශතය සිය ප්‍රතිවාදී පක්ෂයේ අපේක්ෂකයාට ලබා ගැනීම සඳහා අගරදගුරු මැල්කම් කාදිනල් හිමිපාණන් කටයුතු කර තිබෙන බවත් අගරදගුරුතුමා එසේ දේශපාලනය කිරීම ගැන තමන්ට හිරිකිත හිතෙන බවය. හරින් ප්‍රනාන්දුගේ එම ප්‍රකාශය කිතුනු බැතිමතුන්ගේ පමණක් නොව බහුතර ජනතාවගේත් දේශපාලඥයන්ගේත් දැඩි අප්‍රසාදයට ලක්විය.

ඒ ප්‍රකාශය හේතුවෙන් වැඩිම සිත්තැවුලට පත්වූයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වැඩි ජීවිත ගණනක් අහිමි වූ කටුවාපිටිය ජනතාවයි. කටුවාපිටිය ගමම එකම මළ ගෙයක් කළ ඒ ප්‍රහාරය නිසා තම ආදරණීයයන් අහිමි වේදනාවෙන් තැවෙන ඔවුන් හරින් ප්‍රනාන්දුගේ ප්‍රකාශයෙන් දැඩි කැලඹීමට පත්ව සිටිති. තම පවුලේ සාමාජිකයන් හත් දෙනකු අහිමි කළ, එකම දියණිය මාස ගණනන් ගිලන් යහනකට සීමා කළ එම ත්‍රස්ත ප්‍රහාරය නිසා කටුවාපිටියේ එස්. ඒ. මිල්රෝයි තවමත් සිටින්නේ දැඩි කම්පාවෙනි. හරින්ගේ ප්‍රකාශය ඒ හද ගින්නට පිදුරු දැමීමක් බඳුය. ඔහු හරින්ගේ ප්‍රකාශය ගැන අදහස් දැක්වූයේ දැඩි ආවේගයෙනි.

“එයාගෙ තාත්තා එයාට කිව්වලු පල්ලි යන්න එපා කියලා. එහෙනම් එයාට අති උතුම් කාදිනල් හිමිපාණන්ව දැනුවත් කරන්න තිබුණනේ මෙහෙම ප්‍රහාරයක් එල්ල වෙන්න තියෙනවා කියලා. එයාලට තමන්ගේ ජීවිත ගැන විතරයි වේදනාව. එහෙම නම් මේ කටුවාපිටිය ජනතාවට මොන තරම් වේදනාවක් දැනෙනවද? අවුරුද්දක් ගතවෙලත් තවම ඒ අපරාදේ කරපු අයට දඬුවම් ලැබිලා නැහැ. එයාලා වේදිකාවල නැඟලා දේශපාලන වාසි ගන්න එක එක කතා කියනවා. හැබැයි හරින් ප්‍රනාන්දුට ජීවිතේට ආයේ එක කතෝලික ඡන්දයක්වත් ලැබෙන්නෙ නැහැ කියලා මතක තියාගන්න”

මිල්රෝයිට මෙන්ම වේදනාබර අත්දැකීමක් සහිත කාන්තාවක මෙසේ කීවාය. “අපිට අපේ අය නැතිකරපු පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපි සියලු දෙනා සන්සුන් වුණේ කාදිනල් උන්වහන්සේගේ වචන නිසයි. පල්ලි ගිය අපේ අයගේ ජීවිතයි නැතිවුණේ. හරින් මන්ත්‍රීතුමා කිසිම වගකීමක් නැතිව කරපු ඒ ප්‍රකාශයට අපි දැඩිව විරුද්ධ බව ප්‍රකාශ කරනවා.”

පාස්කු ප්‍රහාරය නිසා බරපතල තුවාල ලබා වසරකට ආසන්න කාලයක් රෝහල්ගතව නිවසට පැමිණියත් ජීවිතයම ගිලන් යහනකට සීමා වී ඇති කාන්තාවක් ද ඒ ගැන අදහස් දැක්වූයේ දැඩි වේදනාවෙනි.

“මෙච්චර කල් අපිට උදව් කළේ කාදිනල්තුමයි. උන්වහන්සේ කවදාවත් දේශපාලන පක්ෂවලට අතපෙව්වෙ නැහැ. හැමවෙලාවෙම බැලුවේ නැතිවුණ ජීවිතවලට සාධාරණයක් ඉෂ්ට කරන්නයි. උන්වහන්සේ නිසා තමයි අපි මෙහෙම හරි ජීවත් වෙන්නෙ. ඒ නිසා උන්වහන්සේට කිසිම අගෞරවයක්, අපහාසයක් කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා”

විපතේදී තමන් අතනොහැරි ආත්මීය නායකයා වන කාදිනල් හිමිපාණන්ට කටුවාපිටිය ජනතාව තුළ ඇත්තේ දැඩි කෘතවේදී බවකි. ඒ නිසාම හරින් ප්‍රනාන්දුගේ ප්‍රකාශය ඔවුන් සියලු දෙනා පිළිකුලෙන් යුතුව බැහැර කරති.

“හරින් මහත්තයා හිටපු යහපාලන රජයට වගකීමක් තිබුණා මෙවැනි ප්‍රහාරයකින් රට ආරක්ෂා කර දෙන්න. කාදිනල් උන්වහන්සේ කරපු ප්‍රකාශයට හරින් මහත්තයාට ඔච්චර තරහ යනවා නම් මේ කටුවාපිටිය ගමේ ඉන්න අපි හැමෝටම ඊට වඩා ලොකු වේදනාවක් තියෙනවා. අපි කියන්නේ හරින්ට කටුවාපිටියට එන්න මොකද වෙන්නෙ කියලා බලන්නයි”

හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා විසින් සිදුකළ ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික සභාව, කොළඹ අගරදගුරු පදවි කතෝලික පූජක සංසදය සහ මාධ්‍ය නිවේදන මඟින් සිය විරෝධය දැක්වූහ. කතෝලික පූජක සංසදය විසින් නිකුත් කරන ලද විස්තරාත්මක නිවේදනයක් මඟින් හරින් ප්‍රනාන්දු මතුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදී ඇත. ඒ අනුව අගරදගුරු හිමිපාණන් හෝ ශ්‍රී ලාංකේය කතෝලික සභාව කිසි දිනක රටේ පවතින කිසියම් ආණ්ඩු පෙරළා දැමීමට හෝ නව ආණ්ඩුවක් පිහිටුවීමට සෘජුව හෝ වක්‍රාකාරව ක්‍රියාකර නැති බවත් අනාගතයේ දී ද එසේ නොකරන බවත් අවධාරණය කර තිබේ. එයට හේතුව ශ්‍රී ලාංකේය රදගුරු මණ්ඩලය හෝ කතෝලික සභාව ක්‍රියාකාරි දේශපාලනයේ නිරත නොවීමය. එහෙත් කතෝලික සභාව ද ශ්‍රී ලංකා රාජ්‍යයේ පුරවැසියකු බැවින් රජයට සහාය දීමට නිරන්තරයෙන් කැපවී සිටින අතර එය ආණ්ඩුවකට හෝ දේශපාලන පක්ෂයකට සහය දීමක් ලෙස වරදවා වටහා නොගත යුතු බවද එම නිවේදනයේ සඳහන් වේ.

කාදිනල් හිමිපාණන් කෙරෙහි ඇතැම් මහජන නියෝජිතයන් තුළ අමනාපයක් ඇතිවීමට හේතුව උන්වහන්සේ පාස්කු ප්‍රහාරය නිසා ඝාතනයට ලක්වූ තම සැදැහැවතුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලීම නිසා ද යන්න ශ්‍රී ලංකා රදගරු මණ්ඩලය ප්‍රශ්න කරති. පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් වෙනුවෙන් හඬ නැඟීමට කාදිනල් හිමිපාණන්ට වේදිකාවක් තැනුණේ හරින් ප්‍රනාන්දු වැනි මහජන නියෝජිතයන් තම වගකීම ඉටු නොකළ නිසා නොවේද යන්න කතෝලික සභාව ප්‍රශ්න කරති. එබැවින් කාදිනල් හිමිපාණන් ඇතුළු සභාව දේශපාලනට ඈඳා ගැනීමෙන් වැලකී කාදිනල් හිමිපාණන් ඉලක්ක කර එල්ල කරන මඩගැසීම් නතර කරන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ගරු ගරු ලාල් පුෂ්පදේව ප්‍රනාන්දු පියතුමා ඉල්ලා සිටියි. අගදරගුරු පදවි ජන සන්නිවේදන හිටපු අධ්‍යක්ෂ ගරු බෙනඩික්ට් ජෝශප් පියතුමා ද ඒ පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.

“අපි සෑම විටකදීම කටයුතු කරන්නේ රටේ ජනතාව පෙරදැරි කරගෙන යහපත් පාලකයන් තෝරාපත් කරගැනීම සඳහා මධ්‍යස්ථ ප්‍රතිපදාවක් යටතේයි. එවැනි ප්‍රතිපදාවකින් කටයුතු කෙරෙන කාදිනල් හිමිපාණන්ට මෙවැනි චෝදනා එල්ල කිරීම සැබවින්ම පහත් ක්‍රියාවක්. සියයට පහේ ඡන්ද අනුපාතය නැතිවන්නේ කාදිනල් හිමිපාණන්ගේ ක්‍රියාකලාපය නිසා නොව තමන්ගේ වාචාල කතා සහ කෙරුම් නිසා බව දේශපාලඥයන්ට විශේෂයෙන් මතක් කර සිටිනවා. ”

අගරදගුරු පදිවි ජන සන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පවසන්නේ හරින් ප්‍රනාන්දු වැනි පුද්ගලයන් මෙරට දේශපාලන නායකත්වයට කෙතරම් උචිත ද යන ප්‍රශ්නය ජනතාව හමුවේ තිබෙන බවයි. මීගමුව කලාපීය කතෝලික පුජාප්‍රසාදිතුමන්ලාගේ සංසදය වෙනුවෙන් අදහස් දක්වමින් ගරු සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පැවසුවේ ආගමික නායකයන් දේශපාලන වශයෙන් අගෞරව කිරීමේ සංස්කෘතියක් ගොඩනැඟෙමින් තිබෙන බැවින් ජනතාව ඒ පිළිබද අවධානයෙන් සිටිය යුතු බවයි. ඒ පිළිබඳ අදහස් දක්වමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙසේ පැවසූහ.

“අති උතුම් අගදරගුරු හිමිපාණන්ට කතෝලික ජනතාව පිළිබඳ වගකීමක් තිබෙනවා. ඒ වගකීම ඉටුකිරීම සඳහා උන්වහන්සේ ගන්නා ක්‍රියාමාර්ග දේශපාලනීයකරණය කිරීම යුක්ති සහගත නැහැ. පාස්කු ප්‍රහාරය දවස තාත්තා එපා කියපු නිසා තමන් පල්ලි ගියේ නෑ කියලා හරින් ප්‍රනාන්දු හිටපු ඇමතිතුමා ප්‍රසිද්ධියේ මාධ්‍යයට කිව්වා. ඒ ප්‍රකාශය අනුවයි කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළේ ඇමතිතුමා බේරිලා අපේ මිනිස්සු මැරුණා කියලා. ඒක උන්වහන්සේ කළේ ඔහුට අපහාස කිරීමට නොවෙයි. නමුත් අපි දැක්කා හරින් මහත්මයා අගරදගුරුතුමා ගැන ප්‍රකාශ කිරීමේදී පාවිච්චි කළ වචන සහ ඉරියව් තුළ අපහාසාත්මක ස්වරූපයක් තිබුණා. එතුමා ඒ අපහාසය කළේ කාදිනල් හිමිපාණන්ට නොවෙයි, පාස්කු ප්‍රහාරය නිසා ජීවිත අහිමි වූ සියලු දෙනාටමයි.”

අගරදගුරු හිමිපාණන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු අගරදගුරු හිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාවෙන් සහ සමස්ත කතෝලික ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවත් ඔහු සම්බන්ධයෙන් පක්ෂයෙන් උපරිම විනය පියවර ගත යුතු බවත් සමගි ජන බලවේගය නියෝජනය කරන දේශපාලඥයන් කිහිප දෙනකුම අදහස් පළ කළේ ද එවැනි පසුබිමක් යටතේය. තවත් ආගමකට හෝ ආගමික නායකයන්ට ගැරහීම පිරිහීමේ ආරම්භයක් වන බවත් එවැනි පුද්ගලයන් සිටින පක්ෂ ද පිරිහීමට ලක්වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. නිමල් ලන්සා, විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන, අනුර කුමාර දිසානායක ඇතුළු විරුද්ධ පක්ෂවල මහජන නියෝජිතයන් රැසක් එම ප්‍රකාශය දැඩිව හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කළහ.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හරින් ප්‍රනාන්දු සිදු කළ ප්‍රකාශය වෙනුවෙන් කාදිනල් හිමිපාණන්ගෙන් සමාව අයැද සිටියද ඊට පසු දින එනම් පසුගිය 23 වැනිදා බදුල්ලේ පැවති ජන හමුවකදී හරින් ප්‍රනාන්දු නැවත මෙවැනි ප්‍රකාශයක් සිදු කළේය.

“අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන්ට මම මේ අවස්ථාවේදී සමාව භජනය කරනවා අගරදගුරු කියන එක අදරදගුරු කියලා කිව්වයි කියන එකට. එච්චරයි මගෙ අතින් වෙච්ච වරද. මට මඩ ගැහුවයි කියලා මගෙ කට වහන්න බැහැ. මම හරි දේ හරි ලෙසත් දකිනවා. වැරදි දේ වැරදි ලෙසත් දකිනවා. හරි දේ කතාකරන්නත් මම බය නැහැ. මට කියපු දේවල් ඇමති පුතා බේරුණා, අපේ මිනිස්සු මැරුණා කියලා අපිට කරපු චෝදනාවලට වගේම කොන්ද පණ තියෙන ආණ්ඩුවක් පත්කරගන්නෝනි කියලා කියපු දේවල් තුළින් දේශපාලනය කළේ නෑ කියනවා නම් දෙපාරක් හිතලා බලන්නෝන කතාවක්.”

හරින් ප්‍රනාන්දු ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනතාව මෙන්ම මහජන නියෝජිතයන් රැසක් දැඩි විරෝධතාවක් දක්වමින් සිටින පසුබිමක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පසුගියදා (24දා)තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ කතෝලික පල්ලියේ සමහර කොටස්වල ඇති කුහකකමට අභියෝග කිරීමට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රී හිටපු මන්ත්‍රීවරයාට තිබූ ධෛර්යය සම්බන්ධයෙන් තමා පුදුමයට පත්වන බවයි.

 

Comments