නීතියේ සිදුරුවලින් රිංගූ එදිරිසිංහලාට වරෙන්තු | සිළුමිණ

නීතියේ සිදුරුවලින් රිංගූ එදිරිසිංහලාට වරෙන්තු

ඊ.ඒ.පී සමූහයට අයත්ව තිබූ, ඊ. ටී. අයි. සමාගමේ ගනුදෙනුකරුවන්ට මුදල් නොගෙවා සිටීම සම්බන්ධ පුද්ගලික නඩු තුනක් සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටි ඊ. ටී. අයි. සමාගමේ අධ්‍යක්ෂවරු හතරදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පසුගිය 16 වැනිදා වරෙන්තු නිකුත් කෙළේය.

ඊ. ටී. අයි. සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, නාලක එදිරිසිංහ හා දීපා එදිරිසිංහ යන අයට මෙසේ වරෙන්තු නිකුත් කෙරිණි. ඊ. ටී. අයි. සමාගමේ ගනුදෙනුකරුවන් තිදෙනකු විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩු තුනක් පසුගිය 16දා පෙරවරුවේ කැඳවූ අතර, පාර්ශ්වකරුවන් ඒ සඳහා පෙනී සිටි අතර, නැවත නඩු විභාගය සඳහා පස්වරුවේ කැඳවීමේ දී ඊ. ටී. අයි. සමාගමේ අධ්‍යක්ෂවරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් මේ වරෙන්තු නිකුත් කෙරිණි.

මහ බැංකුවේ ලියාපදිංචිව, මෙරට අතුපතර විහිදුවාලූ දැවැන්ත මූල්‍ය සමාගමක් ලෙස ක්‍රියා කළ ඊ.ඒ.පී. සමූහයට අයත්ව තිබූ ඊ.ටී.අයි. ආයතනය අද වන විට, මෙරට පුරවැසියන් 24,800කගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් එක්ලක්ෂ විසිපන්දහසකට ආසන්න සංඛ්‍යාවකගේ ජීවිත අවුලෙන් අවුලට පත්කොට විනාශ මුඛයට ඇද දමා තිබෙන බවත්, ‘මහ බැංකුව සමඟ ලියාපදිංචි වී වසර 50ක් සම්පූර්ණ වීම නිමිතිකොට ගෙන’ යැයි පැවසෙන අත්පත්‍රිකා සහ වෙළෙඳ දැන්වීම් ඔස්සේ දැවැන්ත ප්‍රචාරණයක් ලබා දෙමින්, සමාගම වැටී තිබියදීත් තැන්පතුකරුවන් අද්දවාගන්න තරම් සූක්ෂ්ම වූ ඔවුහු අද වන විට සිය තැන්පතුකරුවන්ට වංචාකොට තිබෙන මුදල රුපියල් බිලියන 22ක් බවත්, ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපතිනි අනූෂා ජයන්ති පැවසූයේ, පසුගිය මාර්තුවේ දින දොළහකට අධික කාලයක් බොරැල්ලේ දී පැවති අඛණ්ඩ සත්‍යග්‍රහයේදීය.

"මම මේ මූල්‍ය ආයතනය ගැන හැම දෙයක්ම හොයන්න ගත්තෙ, මගේ සල්ලි ටිකත් අනතුරේ බව දැනගත්තට පස්සෙ. සමාගම් මැදුරෙන් 2017 සිට අවුරුදු පහක් ආපස්සට මම ඔවුන්ගේ ගිණුම් වාර්තා ගත්තා. ඒවායේ විගණන වාර්තාවල ඉතා පැහැදිලව තිබෙනවා, ඊ.ටී.අයි. මූල්‍ය ව්‍යාපාරය ඒ පහුගිය අවුරුදු පහේ ම ඉතා ශීඝ්‍ර කඩා වැටීමකට ලක්වෙමින් තිබෙනවා කියන කාරණය. මහ බැංකුවත් සෑම වසරකම මේ ගිණුම් වාර්තා පිරික්සනවා; විගණනය කරනවා. ඔවුන්ටත් මේ කඩා වැටීම පැහැදිලිව පෙනුණා. ඒ පෙනි පෙනී තමයි, මේ රටේ ජනතාවගේ මුදල් තැන්පතු තව තවත් අද්දවා ගන්න දිගින් දිගටම අවසරය දී තිබෙන්නේ. 2017 මැයි 22 දින, ජීවක එදිරිසිංහ ඊ.ටී.අයි. සභාපතිවරයා තමන්ගේ සමාගම ඉතා දුර්වල ද්‍රවශීලතා තත්ත්වයක හා තැන්පත්කරුවන්ගේ තැන්පතු ඉල්ලා සිටින විට ආපසු ගෙවීමට නොහැකි මට්ටමක පවතින බව මහ බැංකුවේ අධිපති වෙත ලිපියකින් දන්වා ඇති බව, 2018 මැයි 23 වැනි බදාදා පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ සඳහන්ව තිබෙනවා. 2017 මැයි 22 දා මෙවැනි බරපතළ තත්ත්වයක තමන්ගේ ආයතනය තිබෙන බව දැන දැනම තමයි ඔහු, ‘මහ බැංකුව සමඟ ලියාපදිංචිව 50 වසරක් නිමිතිකොට....’ යන අත්පත්‍රිකා බෙදා නැවත අලුත් තැන්පත්කරුවන්ගෙන් මුදල් ගන්නේ. මැයි 22 වැනිදා මේ ලිපිය මහ බැංකුවට ලැබිලා හය මාසයක් ගියාමයි ඔවුන් නියාමනයක් දමන්නේ. ඒ කියන්නෙ එදිරිසිංහලට ඕනෙ තරම් සල්ලි එකතු කරගන්න ඇරලා මහ බැංකුව හය මාසයක්ම නිහඬව ඉඳලා.

‘2018 ඔක්තෝබර් මුල සිට ඊ.ටී.අයි. ව්‍යාපාරයේ කටයුතු මහ බැංකු අධීක්ෂණය යටතේ නව මුහුණුවරකින්...’

මෙහෙම බෙදපු අත්පත්‍රිකාවෙ තිබුණෙ, පොලිය සියයට දාහතයි. ලබන සැප්තැම්බරයේ තවත් සියයට දහයක්... ඔය වගේ දේ. ඒ අත්පත්‍රිකාව දෙවැනි සියයට දහයේ කොටස ගන්න ආපු හැම කෙනෙකුට ම දුන්නා.

මේ අය මෙහෙම කළේ, 2018 ජනවාරි 01 වැනිදා මහ බැංකුව ගත් තීරණයක් අනුව, ඊ.ටී.අයි. මූල්‍ය ව්‍යාපාරයේ කළමනාකරණ සහ අධීක්ෂණ කටයුතු සඳහා පත් කළ මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනා මේ ඊ.ටී.අයි. ගොඩනැඟිල්ල ඇතුළේ සිටියදීමයි. ඔවුන්ගේ ද එකඟතාවට අනුව බෙදූ මේ අත්පත්‍රිකාවට අනුව මේ වෙන‍කොට අපිට සීයට පණහකට වඩා මුදල් ලැබී තිබිය යුතුයි. නමුත්, දුන්නේ සියයට තිහයි. තව සියයට හැත්තෑවක් ඔවුන් ළඟ. ඔවුන් දැනුවත්ව මේ හැමදේම සිදුවුණත් අදත් ඔවුන් තිදෙනා ඉහළ මාලයේ සීත කාමරවල ඉතාමත් විවේක සුවයෙන් කල්ගත කරනවා. බහුතර වයසක තැන්පත්කරුවෝ මහ පාරට වැටිලා දුක් විඳිනවා. මහ බැංකුවේ නියාමනයට අනුව මේ මණ්ඩලය පත් කළාට පස්සෙත්, එදිරිසිංහලා හතර දෙනා රැස්වීම් පවත්වා වරින් වර තැන්පත්කරුවන්ට බොරු බලාපොරොත්තු ‍දුන්නා. අනෙක් කාරණය තමයි, ස්වර්ණමහල් ආයතනයට ස්වර්ණාභරණ විකිණීම හැර මුදල් තැන්පතු බාර ගැනීමට බලපත්‍රයක් නැහැ. නමුත් ඔවුන් එසේ කර තිබෙනවා. ස්වර්ණමහල් ජුවෙලර්ස් හරහා එසේ බාරගෙන ඇති තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 7.2ක්. ඒක හෙළිදරවු වුණාට පස්සෙ මේ අය කරන්නෙ, මුදල් සතයක්වත් නොදමා, එකී රුපියල් බිලියන 7.2 වගකීම පමණක් ඊ.ටී.අයි. වෙත පැවරීම. ඒ බව මහ බැංකුවට ගොනු කළ මහේස්ත්‍රාත් නඩු පිටපතේ තිබෙනවා. මේ කාරණයට මහ බැංකුව බරපතළ ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නමුත් සිද්ධ වුණේ ඊ.ටී.අයි. ආයතනයයි, මහබැංකුවයි එකතු වෙලා මේ විදියෙ වංචනික ‘ඩීල්’ ගහපු එක.

මේ මුදල් තැන්පත් කරපු බහුතරයකට තවම තියෙන්නෙ අද ගෙවයි, හෙට ගෙවයි කියන බලාපොරොත්තුව. නමුත් බිලියන 22ක් ආපහු ගෙවන්න, ඊ.ටී.අයි. මූල්‍ය සමාගම සතුව තිබෙන වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 2ක් පමණයි. රුපියල් බිලියන 20කට වෙච්ච දෙයක් නැහැ. ඒ නිසා කවදා හරි ගෙවයි කියලා ඔහේ බලාගෙන හිටියොත් එහෙමම ඉන්න වෙනවා. මොකද මෙතෙක් ගෙවපු 30% ගෙව්වෙත්, මහ බැංකුව ඔවුන්ගේ දේපළ වත්කම් යම් ප්‍රමාණයක් බෙන් හෝල්ඩින්ග්ස් කියන සමාගමට විකුණලා..." ඇය තවදුරටත් කියා සිටියා ය. කෙසේ වෙතත්, දිගින් දිගට ම මහ බැංකුව කෙරෙහි විශ්වාසය තබා ඉවසා දරාගෙන බලා සිටි තැන්පත්කරුවන්ට අද වන විට අසන්නට ඇත්තේ ඉතාමත් ඛේදනීය පුවතකි. එනම්, ඊ.ටී.අයි. මුල්‍ය සමාගම ගොඩගැනීමට ආයෝජකයෙක් තවම සොයාගත නොහැකි නිසා, මහ බැංකුව විසින් ලබා දිය හැකි රුපියල් ලක්ෂ හයක රක්ෂණ මුදල පමණක් ලබා දී ඊ.ටී.අයි. මූල්‍ය ආයතනය වසා දැමීමට මහ බැංකුව පියවර ගන්නා බව කියැවෙන ප්‍රවෘත්තියයි.

මේ වන විටත් තමන් දුක් මහන්සියෙන් උපයා ගත් සේසත විනාශ මුඛයට ගිය අරුමය දරාගත නොහැකිව මිය පරලොව ගිය තැන්පත්කරුවන් ප්‍රමාණය තිහකට අධික වන අතර, මේ අපරාධය උහුලාගත නොහැකිව අංශභාග රෝගයට ගොදුරුව එක් තැන් වූ අසරණ තැන්පත්කරුවන් ප්‍රමාණය ඊටත් වැඩි මිස අඩු නැත.

“අද මෙතැන ඉන්න හුඟ දෙනෙක් අවුරුදු තිස් ගණනක් රාජ්‍ය සේවයේ ඉඳලා තමන්ගේ සේවක අර්ථසාධකය අරන් මෙතැනට දාපු අය. වරායෙ සේවකයන්ම තිස් ගණනක් ඉන්නවා. ටිකෙන් ටික එකතු කරලා මිස මේවා අපිට ඉබේ ලැබුණු මුදල් නෙවෙයි. අද අපිට බේත් ටිකක් ගන්න විදිහක් නෑ, දරුවන්ට අපිව බරක්. අපි මේ රටේ බදු ගෙවපු, රස්සා කරලා කීයක් හරි අමාරුවෙන් ඉතිරි කරපු අහිංසක විශ්‍රාමිකයෝ.

සමහරුන්ගේ දරුවො ආබාධිතයි. එක්කො නෝනා, මහත්තයා ආබාධිතයි. සමහර අයගේ දරුවන්ට දැන් ඉස්කෝලෙ යන්න බැහැ. අධ්‍යාපනයට වියදම් කරගන්න බැහැ. මේවා පරම්පරා ගණනක් සාප වදින වැරැදි වැඩ. මේවට ඉඩ තියන්න එපා කියන එකයි අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටින්නේ...” මේ, එකකට එකක් දෙවැනි නැති දුක් අඳෝනාවල පොදු කතාවය.

ද ෆිනෑන්ස් මූල්‍ය සමාගම රු. බිලියන 26.1ක් සිය තැන්පත්කරුවන්ට වංචා කරද්දි, ඊ.ටී.අයි. සමාගම ද රු. බිලියන 22ක් සිය තැන්පත්කරුවන්ට වංචාකොට තිබේ. තැන්පත්කරුවන් පවසන පරිදි මේ මූල්‍ය වංචා දෙකටම පොදු කාරණය වන්නේ, මහ බැංකුව දැනුවත්ව මේ අපරාධ සිදුවීමයි. ඉදිරියේදි රටේ ඉතිරි මූල්‍ය ආයතන කිහිපයත් මේ වැරැදි ආදර්ශය නොගනී යැයි කිසිදු සහතිකයක් ජනතාවට නැතිව තිබූ වටපිටාවක, අධිකරණය දුන් මේ නියෝගය යම් පමණක හෝ අස්වැසිල්ලකි.

Comments