තරු පහේ වුණත් කොවිඩ් නිසා වේළෙන තරු පන්තියේ හෝටල් | Page 2 | සිළුමිණ

තරු පහේ වුණත් කොවිඩ් නිසා වේළෙන තරු පන්තියේ හෝටල්

 

  • හෝටල් කාමර 39, 276ක් සංචාරකයන් නැතුව වහලා
  • අගෝස්තු 1 වැනිදා ගුවන් තොටුපළ විවෘත කිරිම බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන්නක්
  • සංචාරකයන් නැතත් මුදල් වියදම් කර දිනපතා නඩත්තු කළ යුතුයි

කොරෝනා වසංගතය හේතුවෙන් මාර්තු මස 18 වැනි දින ලංකාවට පැමිණෙන සියලු ගුවන් ගමන් හා නැව් පැමිණීම අත්හිටුවීම හේතුවෙන් අප්‍රේල් මාසය වන විට කිසිදු සංචාරකයකු ලංකාවට පැමිණ සිටියේ නැත. ලංකාවේ තරු හෝටල් බොහෝමයක් යැපෙන්නේද, විශාල වශයෙන් ආදායම් ලබන්නේද, විශාල පිරිසකට යැපිම් මාර්ගයක් සපයන්නේද විදෙස් සංචාරකයන්ගෙනි. ශ්‍රී ලංකාවට සංචාරක ගමනාගමනයේ ප්‍රධාන ප්‍රභවයන් අතරින් වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණියේ චීනයෙන්, එක්සත් රාජ්‍යධානියෙන්, ජර්මනියෙන්, ප්‍රංශයෙන් හා ඉන්දියාවෙනි. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10ක් ලබා දෙන්නේ සංචාරක කර්මාන්තයෙනි.

සෘජු හා වක්‍ර රැකියා ලාභීන් මිලියන දෙකකටත් වඩා වැඩිය. ඔවුන් බහුතරයක් තරුණ පිරිස් වන අතර මේ අය මේ වන විට දැඩි රැකියා වියුක්තියකට මුහුණ දෙමින් සිටිති. 1982 වසරේදී ලංකාවට පැමිණි සංචාරකයන් 407,000 කට තිබුණේ ලියාපදිංචි හෝටල් කාමර 8,600 කි. ත්‍රස්තවාදි තර්ජන වලින් අනතුරුව 2009 දි මේ කාමර සංඛ්‍යාව 9000 දක්වා වැඩි විය. පසුගිය වසරේ පාස්කු ප්‍රහාරය වන විට ලියාපදිංචි කාමර 34,000 දක්වා වර්ධනය විය. මේ වන විටත් ඒවාට අමතරව ගිමන්හල් නවාතැන්වල කාමර 75,000 ක්ට වඩා වැඩියෙන් ඇත. කෙසේ වෙතත් මේ වන විට ඒ සියල්ල හිස් කාමර පමණි. බොහෝ තරු පන්තියේ හෝටල් හිමියන් කිසිදු ආදායමක් නොමැතිව සිය සේවකයින්ට වැටුප් ගෙවන්නට සිදුව ඇත්තේය. එපමණක් නොව කිසිදු සංචාරකයෙක් නොමැතිව විශාල වියදමක් දරමින් නඩත්තු කරන්නට සිදුව ඇත්තේ මේවා පාළුවට යා නොදී රැක ගන්නටය.

මේ පිළිබඳ අදහස් දක්වන්නට සිළුමිණ හා ඒක්වූයේ ගොල්ෆේස් හෝටලයේ උප පරිපාලක (Vice president) හා හෝටල් හිමිකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති අනුර ලොකුහෙට්ටිය.

“සංචාරක ව්‍යාපාරය හරහා මේ වන විට ලංකාවේ විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය කරලා. එහි වැඩිපුර රැකියා කරන්නේ තරුණ පිරිස් හා කාන්තාවන්. මේ අයගේ රැකියා සියල්ල මේ හේතුවෙන් අස්ථීර වෙලා. පසුගිය කාලයේ ආසියාතික කලාපයේ සංචාරක කර්මාන්තය වේගයෙන් වර්ධනය වුණා. එයිනුත් අපේ රටේ පිහිටීම හා දේශගුණය නිසා ලංකාව ඉතා හොඳ සංචාරක ගමනාන්තයක් වුණා. නමුත් කොවිඩ් වසංගතය නිසා මේ සියල්ල අපට නැතිවුණා. මේ ක්ෂේත්‍රයේ ඉන්නේ මධ්‍යම හා කුඩා පරිමාණ හිමිකරුවන්. ඒ අය මේ ව්‍යාපාරය කරගෙන යන්නේ බැංකු ණය වලින්. මේ අය පසුගිය වසරේ පාස්කු ප්‍රහාරය නිසා ගොඩාක් අසරණ වුණා. යළිත් නැගිටින්න උත්සාහ කළේ අමාරුවෙන්. දැන් මේ හෝටල්වලට කිසිදු ආදායමක් නැහැ. ස්ථීර සේවකයින්ට වැටුප් ගෙවන්නේ හරිම අමාරුවෙන්. කිසිදු ආදායමක් නැතුව වැටුප් ගෙවීම හිතන්නවත් අපහසු කටයුත්තක්.

මෙම හෝටල් බලධාරින් පවසන්නේ සංචාරක පැමිණීමේ ඉහළ ප්‍රතිශතයක් ගන්නා අප්‍රේල් මැයි මාසවල මේ කඩා වැටිම සිදුවු හෙයින් මේ තත්ත්වය ඔරොත්තු නොදෙන්නට හේතු වු බවකි.

හික්කඩුව හෝටල් සංගමයේ සභාපති හා ශ්‍රී ලංකා හෝටල් සංගමයේ උප සභාපති සිරි ගුණවර්ධනගේ අදහස මෙපරිදිය.

“අපේ හෝටල්වලට සේවය සපයන්න කෙනෙක් නැහැ. මේ නිසා සැම හෝටලයක්ම වහලා තියෙන්නේ. සමහරක් හේටල්වල සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි වීම නිසා කොන්ත්‍රාත්, අනියම් සේවකයන්ගේ සේවාව නතර කළා. සමහරක් සේවකයන්ට වැටුපෙන් කොටසක් පමණක් ගෙව්වා. මේ අයට වැටුප් ගෙවීමට බැංකු වලින් සියයට 4ක පොලිය යටතේ ණය මුදලක් ලබා දෙන ලෙස ඉල්ලුවා. නමුත් එය තවමත් ලැබුණේ නැහැ. ඒ සිරි ගුණවර්ධනය.

මේ වන විට සංචාරක සංවර්ධන අධිකාරිය මෙන්ම හෝටල් බලධාරීන් එක්ව මේ වන විටත් ලංකාව හොඳම සංචාරක ගමනාන්තය බවට පත් කිරීමේ කාර්යයක නියැළී සිටින්නේ මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්නටය. Covid Free Destination සංකලපය මුල් කර ගනිමින් මේ වෑයම දියක් කරන්නේ අගෝස්තු 1 වැනිදා සිට හෝ මේ අභියෝගය ජය ගැන්මටය.

බ්‍රවුන්ස් සමුහ හෝටල් ජාලයේ සමූහ සාමාන්‍යාධිකාරි එක්සත් විජේරත්න මේ ගැටලුව ගැන මෙසේ පවසයි.

“ ඉදිරියේදි අපට පැමිණෙන සංචාරකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැනත් බැලිමට සිදුවෙලා. ගුවන් යානාවල මීටරයේ දුරස්ථ බව තබා ගන්න සිදු වුණොත් එහි ගමන් ගාස්තු අසීමිතව ඉහළ යා හැකියි. ඒ වගේම බොහෝ රටවල් ලොක් ඩවුන් කළ නිසා බොහෝ සේවකයින්ගේ නිවාඩු පවා අහවර වෙලා. බොහෝ දෙනාගේ ආදායම් පවා ඇහිරිලා.

ඔවුන් පවසන පරිදි බොහෝ රටවල දෙසැම්බර් ශීත කාලයේදි මෙහි පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය වැඩි වුවද මෙවර දෙසැම්බර් මාසයද ඒ ගැන තවමත් ඇත්තේ අස්ථීර තත්ත්වයක බවයි. ලෝක සෞඛ්‍ය සංවිධාන උපකල්පනයන්ට අනුව ලබන වසර වන තෙක් මේ තත්ත්වයේ වෙනසක් සිදු නොවන බවකි.

ලංකාවේ දර්ශනීය පසුබිම මෙන්ම ආගමික හා සංස්කෘතික දසුන් දැක ගන්නට සංචාරකයන් තුළ ඇත්තේ විශාල උනන්දුවකි. මහනුවරද එවන් වු දර්ශනිය පසුබිමකි. මහනුවර ක්වින්ස් හා ස්වීස් හෝටල් දෙකේ උප පරිපාලක (Vice president) රංජන් පීරිස් කන්ද උඩරට තරු හෝටල් ක්ෂේත්‍රෙය් පසුබිම ගැන මෙසේ පවසයි.

“අපේ රටේ හෝටල්වලට වැඩිම ආදායමක් එන මාස වලදි තමයි මේ කඩා වැටිම සිදුවුණේ. දැන් අපිට ආදායමක් එන මාර්ගයක් පේන්නම නැහැ. ඒ වගේම මේ වන විටත් විවාහ මංගල සඳහා සහභාගී විය හැකි ප්‍රමාණය පිළිබඳව මහජන සෞඛ්‍ය නිලධාරින් විසින් සීමා පනවලා තියෙන නිසා විවාහ මංගල්‍යකට 100 කට වඩා සහභාගි කරවන්න බැහැ. නමුත් එසේ කිරිම අපිට පාඩුයි. ඒ වගේම සුළු පිරිසක් නිසා බොහෝ අය විවාහ නිවෙස්වලට සිදු කරන්න කටයුතු යොදනවා. යම්තාක් දුරකට මෙයට හෝ සහනයක් ලබා දෙනවා නම් මේ පාඩුව අවම කර ගත හැකියි“

“පසුගිය පාස්කු ප්‍රහාරයේදි බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවිමට බොහෝ රටවලට නිදහස් වීසා ලබා දුන් නිසා සංචාරකයන්ගේ පැමිණිම යම් තාක් දුරකට වේගවත් විය. මෙවරට නිරෝධායන නීති වලට අවනත වෙමින් මෙවැනිම ක්‍රියා මාර්ගයක් හෝ රජය ගනිතැයි මොවුන් විස්වාස කරති.

අගොස්තු 1 වැනිදා ගුවන් තොටුපළ විවෘත කිරීමත් සමඟ සංචාරකයන් පැමිණෙන නිසා ඒ අපි ඒ වෙනුවෙන් දැන් සුදානම් විය යුතුයි. එසේම සංචාරකයන් යන සංස්කෘතික දෙපාර්තමේන්තුව යටතේ ඇති ස්ථාන මෙන්ම වන ජීවි දෙපාර්තමේන්තුව යටතේ ඇති ස්ථාන සඳහාද මේ යෝග්‍යතා සහතිකය අවශ්‍ය වෙනවා. මේ සියලු යෝග්‍යතා සහතික ජූලි මස තුන්වැනි සතිය වන විට ලබා ගෙන අවසන් කළ යුතු වෙනවා. තවත් පැත්තකින් මේ වන විට හෝටල් ක්ෂේත්‍රයේ බොහෝමයකගේ රැකියා යම් අවිනිශ්චිත බවකින් තියෙනවා. මේ අයට වැටුප් ගෙවිම් සම්බන්ධයෙන් ඇති ගැටලුව නිරාකරණය කිරීමට අපි හෝටල් බලධාරින්ට රාජ්‍ය බැංකු සමඟ සාකච්ඡා කර ණය පහසුකම් ලබා දිමට කටයුතු කරනවා.....“ ඒ සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහයි.

මේ අනුව අගෝස්තු 2 වැනිදා සිට ඔවුන්ගේ බලාපොරොත්තු යම් තාක් දුරකට සඵල වේයැයි අපේක්ෂා කළ හැකියි. නමුත් ඒ වන විට ලොවින් මෙම වසංගතය යම් තාක් දුරකට හෝ දුරු වී තිබිය යුතුයි.

Comments