ගෝලීය මානව ඉතිහාසය පිළිබිඹු කරන මුද්දර | සිළුමිණ

ගෝලීය මානව ඉතිහාසය පිළිබිඹු කරන මුද්දර

 

අප්‍රිකාවෙන් පිටත ආදි මානවයා දුනු ඊතල භාවිත කළ බවට වන පැරණිතම සාක්ෂිය ශ්‍රී ලංකාවේ පාහියන්ගල ලෙන ඇසුරින් සිදු කරන ලද පර්යේෂණයකින් සොයා ගනු ලැබිණි. පසුගිය 2020 ජූනි 12දා ප්‍රකාශයට පත් කරන ලද සයන්ස් ඇඩ්වාන්ස් (Science Advances) නම් විද්‍යා සඟරාවේ 6 වන වෙළුමේ පර්යේෂණ වාර්තාවක් මඟින් මෙම කරුණ ලොවටම හෙළිදරව් විය.

ආදි මානවයා විසින් භාවිත කරනු ලැබුවේ යැයි විශ්වාස කළ හැකි දුනුහී තුඩුවලට යොදා ගෙන තිබූ අස්ථි කැබලිවල පුරා කාල නිර්ණය කිරීමෙන් ඒවා වසර 45,000-48,000ක් අතර පැරණි බවට කාල නිර්ණය කර ඇත. ශිරාන් දැරණියගල, ඔෂාන් වෙදගේ, එම්. එම්. පත්මලාල්, නිමල් පෙරේරා, මිෂෙල් සී. ලැන්ග්ලි, නොයෙල් අමානෝ, නිකොල් බොයිවින්, මයිකල් ඩී. පෙට්‍රග්ලියා සහ පැට්රික් රොබට්ස් යන මෙරට හා ජාත්‍යන්තර විද්වත් පර්යේෂණ කණ්ඩායම විසින් පාහියංගල ලෙන ආශ්‍රිතව සිදු කරන ලද දීර්ඝකාලීන පර්යේෂණයක ප්‍රතිඵල මඟින් මෙසේ ශ්‍රී ලාංකික නාමය ලොව මානව වංශ කථාවේ රන් අකුරින් සටහන් කිරීමට සමත් විය. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය, ජර්මනියේ මැක්ස් ප්ලැන්ක් ආයතනය, එංගලන්තයේ ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලය හා ඕස්ට්‍රේලියාවේ ගිල්ෆඩ් විශ්වවිද්‍යාලය මෙම පාහියන්ගල කැණීම් වල විශ්ලේෂණ කටයුතු සඳහා සහාය දී තිබේ.

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රිකයේ බුලත්සිංහල යටගම්පිටිය ග්‍රාමයේ පිහිටි පාහියන්ගල සුවිසල් ගල්ලෙනකි. හොරණ මතුගම මාර්ගයේ බුලත්සිංහලින් ගල්කැටිය හන්දියට පැමිණ මේ අසිරිමත් ස්ථානය වෙත ගමන් කළ හැකිය. අඩි 150ක් පමණ උස වූ අඩි 175ක් පමණ පුළුල් හා අඩි 282ක් පමණ සමස්ත දිගින් යුතු මෙම අසහාය පාහියන්ගල ලෙන්කුටිය ලංකාවේ ඓතිහාසික ලෙන් සියල්ල අභිභවා සුවිසල්ව නැඟී සිටී. ආදි මානව මී මුත්තාගේ තිඹිරිගෙය වන මෙම ලෙන ලෝක උරුමයක් වශයෙන් සැලකීමට තරම් සමාජ මානව විද්‍යාත්මක වටිනාකම් පිරිපුන් බිමකි.

මුල් නම් සෙහී (Sehi)වූ චීන ජාතික ෆාහියන් භික්ෂුවගේ ෆාහියන් යන නමෙහි අරුත ධර්මයේ තේජස (Splendour of Dharma) යන්නය. දේශ සංචාරක සුප්‍රකට ධර්ම ගවේෂකයකුවූ උන් වහන්සේගේ ලංකා චාරිකාව ක්‍රිස්තු වර්ෂ 406-428 අතර මහානාම රජුගේ පාලන සමයේදී සිදුවිය. මෙමඟින් සුවිශේෂී වටිනාකමක් මෙම ගල්ලෙනට හිමිවූ අතර, සංචාරයේදී උන් වහන්සේ මෙම ලෙනෙහි නවාතැන් ගත් නිසා එම ලෙන 'පාහියන් ලෙන' වශයෙන් හැඳින්වූ බව ජනප්‍රවාදයේ කියවෙයි. උන් වහන්සේගේ සංචාරය නිසා චීනය සහ ලංකාව අතර පැවති සබඳතාද තර විය. නූතන චීන-ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා 2007 පෙබරවාරි 7 දින නව මුද්දරයක් නිකුත් කර සැමරුම් කර තිබේ.

Comments