කොරෝනාවෙන් වැසුණු පාසල් අරඹන මෙහෙයුම ඇරඹෙයි | සිළුමිණ

කොරෝනාවෙන් වැසුණු පාසල් අරඹන මෙහෙයුම ඇරඹෙයි

  • සෞඛ්‍ය කටයුතු  වෙනුවෙන් පාසල්වලට රුපියල් මිලියන 342 ක මුදලක්
  •  මේ මස 29 දා සිට ජූලි 6 වැනිදා දක්වා පිරිසුදු කිරීමේ සතියක්
  • උපකාරක පන්ති සියල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක අවධානයට
  • පාසල් අවසන් වන වේලාවේ යළි සංශෝධනයක්
  • පාසල් වෑන් රථ, සිසු සැරිය සුපුරුදු පරිදි නව කාල සටහන්වලට

 

කොරෝනා වසංගතයට ගොදුරු වූ රටවල් ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ අනුගමනය කරමින් රට ලොක් ඩවුන් කිරීමට මත්තෙන් සියලු දරුවන්ට පාසල් නිවාඩු ලබා දුන්නේ දෙවරක් නොසිතමිනි. ඒ ආරක්ෂක පියවර එසේම අනුගමනය කරමින් රට විවෘත වූ පසු අවසානයට විවෘත කරන්නේද පාසල්ය.

ලංකාවද මේ සෞඛ්‍ය නිර්දේශ අනුව යමින් මාර්තු 11 වැනිදා වැසුණු ලංකාවේ සියලු පාසල් කොවිඩ් 19 වසංගතයෙන් අනතුරුව යළි විවෘත වන්නේ එළඹෙන හෙට (29 දා) දිනයේය.

පාසල් නැවත ආරම්භ කිරීම රජය සතු වූ අභියෝගයකි. මේ අභියෝගයට රජය සාර්ථකව මුහුණ දුන්නේ අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීමට සැලසුම් කරමිනි. මෙය බොහෝ රටවල් අනුගමනය කළ ජාත්‍යන්තර නිර්ණායකයකි. ඒ අනුව පාසල් පද්ධතිය යළි හෙට දින සිට සක්‍රීය වුවද සිසුන් පාසලට පැමිණීමක් සිදු වන්නේ ජූලි මස 6 වැනිදා සිටය. විශේෂයෙන් ඉදිරියේදි පැවැත්වෙන උසස් පෙළ, සාමාන්‍ය පෙළ මෙන්ම ශිෂ්‍යත්ව විභාග තුන ඉලක්ක කර ගනිමින් එළඹෙන 6 වැනිදා පාසල විවෘත වන්නේ එකී ප්‍රධාන විභාගයන් තුනට මුහුණ දෙන 13 වසර උසස් පෙළ, 11 වසර සාමාන්‍ය පෙළ හා 5 වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සිසුන්ටය. එක හා දෙක වසර හැරුණු කොට අනිකුත් සිසුන්ට පාසල් වාර යළිත් ආරම්භ වන්නේ ජූලි මස 20 හා 27 වැනි දාය.

අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ විශේෂ උපදෙස් මත අධ්‍යාපන බලධාරින් විසින් මේ වන විට කඩිමුඩියේ ඊට සූදානම් වෙමින් සිටිති.

“අධ්‍යාපන ඇමැතිතුමාගේ විශේෂ උපදෙස් මත සියලු පාසල් යළි විවෘත කිරීමට මේ වන විට සියල්ල සූදානම්. මුල් සතිය එනම් 29 වැනිදා සිට ජූලි 6 වැනිදා දක්වා සතිය අපි ප්‍රකාශයට පත් කරන්නේ පාසල් පිරිසුදු කිරීමේ කටයුතු වෙනුවෙන්. මේ දිනවල විදුහල්පති විසින් ගුරුවරු අනධ්‍යයන, ආදී ශිෂ්‍ය හා පාසල් සංවර්ධන සමිති නිලධාරීන් මෙන්ම දෙමවුපියන් සමඟ එක්ව පාසල පිරිසුදු කර සූදානම් කර ගත යුතුයි. මේ අවස්ථාවේදී ප්‍රදේශයේ නගර සභා මෙන්ම ප්‍රාදේශිය සභා විෂබීජහරණ කටයුතු සඳහා පාසල් වලට සහය ලබා දෙනවා. ඒ වගේම ප්‍රදේශයේ පොලිස් කාර්යාල වලින් මේ පිරිසුදු කිරීමේ කටයුතු වලට සහය දක්වන්න සූදානම්.

මේ වන විට රුපියල් මිලියන 342 ක මුදලක් සියලු පාසල් වලට බෙදා දුන්නා. ඒ අත් සෝදන බේසම්, පයිප්ප මෙන්ම අසනීප සිසුන් සඳහා කාමරයක් සකස් කිරීමට. ඒ වගේම සෑම පිරි‍ෙවනකටම රුපියල් 10,000 බැගින් යැව්වා, විෂබීජහරණ ද්‍රව්‍ය මිලදී ගැනීමට. උණ බැලීමේ උපකරණ අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ලබා දෙන්න මුදල් වෙන් කර තිබුණත් සෞඛ්‍ය බලධාරීන්ගේ අදහස වුණේ එසේ දරුවන්ගේ උෂ්ණත්වය බැලීමේ අවශ්‍යතාවක් ඇති නොවන බවයි. මේ නිසා ඒ සඳහා වෙන්කළ රුපියල් මිලියන 84 ක මුදලත් අපි ඉදිරි කටයුතු වලට වෙන්කළා....“ ඒ අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රෙස්කර පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ඒකකය විසින් මේ වන විටත් ඉදිරියේදි සිදුකළ යුතු සෞඛ්‍ය පුරුදු ඇතුළත් අත් පොතක් පවා නිර්මාණය කර ඇත්තේය. මේ වන විට පාසල් බලධාරින් කොවිඩ් වසංගත අභියෝග කරට ගනිමින් තම පාසල් දරුවන් සඳහා යෝග්‍ය පරිසරයක් සකස් කිරීමේ කාර්ය යුහුසුළුව සිදු කරමින් සිටිති. කොළඹ දේවි බාලිකා විදුහලේ විදුහල්පතිනිය වන ප්‍රදීපා සමරසිංහ මහත්මිය මේ ගැන මෙසේ පවසයි.

“ අපි නිරන්තරයෙන්ම පාසල් විවෘත කරන සූදානමකින් තමයි කටයුතු කළේ. ඒ සඳහා අවශ්‍ය සියලු දේ අපි කල් තියා සූදානම් කළා. ඒ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබූ කොවිඩ් වැළැක්වීමේ අත්පොතට අනුව. හෙට සිට අපේ පාසල් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විවෘත කිරිමට සියල්ල සූදානම්. අත් සෝදන පහසුකම් සෑම ගොඩනැගිල්ලකටම ඇති කළා. මේ කටයුතු ජූනි මස මුල් සතිය වන විට අවසන් කිරීමට ආදී ශිෂ්‍ය සංගමය උදවු කළා. අපේ පාසලත් සමඟ චීන තානාතිපති කාර්යාලය සමඟ තිබෙන සම්බන්ධතාව නිසා අපිට මුඛ ආවරණ 10,000 ක් පමණ ලැබුණා. මේ වන විට අපි පන්ති කාමර සියල්ල පිරිසුදු කර අවසන්. ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පාසලේ සෞඛ්‍ය තත්ත්වය සහතික කර තියෙනවා. 6 වැනිදායින් පසුව පාසලට පැමිණෙන්නේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දරුවන් පමණක් නිසා මීටරයේ දුරස්තභාවය රඳවා ගනිමින් පාසල් පැවැත්වීමට අපිට අවශ්‍ය වන්නේ පන්ති කාමර 21 යි. දරුවන් නැවතත් පාසලට එවීමේදි දෙමවුපියන් සතු වගකීම් රැසක් තියෙනවා. පාසලට දරුවන් පැමිණීමේදි සුරක්ෂිත ප්‍රවාහන සේවයක් පිළිබඳ සහතිකයක් දෙමවුපියන් තුළ ඇති කර ගත යුතුයි. එසේම දරුවන් රංචු ගැසීම මෙන්ම දුරස්තභාවය පවත්වා ගැනීම පිළිබඳ දරුවන් දැනුම්වත් කිරීමද දෙමවුපියන් සතු වගකීමක් වෙනවා.......“

ලබන සතියේ පාසල් යළි ආරම්භ කිරීමේදි දරුවන් වෙනුවෙන් ආපන ශාලා විවෘත වන්නේ නැත. නගරයේ ජනප්‍රිය පාසල් එවන් සුදානමකින් පසු වෙද්දි ගමේ දුෂ්කර පාසල්ද අධ්‍යාපනයේ මේ දෙවැනි ගමනට යුහුසුළුව සුදානම් වෙමින් සිටිති. මේ මහනුවර පළාතේ වත්තේගෙදර සි ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර විදුහලේ සූදානම ගැන එම විදුහලේ විදුහල්පති වන එච්. ඒ.බි කවිසේකර මහතා දක්වන අදහසයි.

“අපේ පාසලේ ළමුන් 138 දෙනෙක් ඉන්නවා. එයිනුත් මුල් සතියේ එන්නේ දරුවන් 30 දෙනෙක් විතරයි. මේ නිසා අපිට පාසලේ තියෙන ඉඩ පහසුකම් අනුව මේ කටයුතු පහසුවෙන් කළමනාකරණය කර ගන්න පුළුවන්. මේ සතියේ අපි අත් සෝදන බේසම් දෙකක් මිලදී ගන්නවා. ඒවා ප්‍රධාන පිවිසුම් ගේට්ටුවල සවි කරනවා. මේ සඳහා රජයෙන් මුදල් ලැබුණා. කෙසේ වෙතත් 29 වැනිදායින් ඇරඹෙන පාසලේ මුල් සතිය වෙන් වන්නේ පිරිසුදු කිරීමේ කටයුතු දිගින් දිගටම පවත්වා ගෙන යන්නටය. මේ කටයුතු ගුරු, අනධ්‍යන කාර්ය මණ්ඩලය තෝරාගත් සීමිත දෙමවුපියන් පිරිසක් සමඟ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය.

අධ්‍යාපනයේ දෙවැනි ගමනට ලංකාවේ සමස්ත පාසල් පද්ධතියම මේ අයුරින් සුදානම් වෙද්දී ලංකාවේ සියලු උපකාරක පන්තිද හෙට දින යළිත් සිසු දරුවන් වෙනුවෙන් විවෘත කිරිමට සුදානම්ය. මේ මස 29 වැනිදා ලංකාවේ සියලු උපකාරක පන්ති නැවත ආරම්භ කරන්නේ සෑම උපකාරක පන්තියක්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අනුමැතියට යටත් කිරීමෙන් පසුව බව වෘත්තිමය වශයෙන් උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ගේ එකම සංගමය වූ සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය (APLA) පවසයි.

29 වැනිදා සිට යළිත් ආරම්භ වන උපකාරක පන්ති පිළිබඳව සිළුමිණට අදහස් දැක්වූ සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ (APLA) ලේකම් කමල් පියංකර පැවසුවේ මෙවන් අදහසකි.

“හෙට සිට සියලූම උපකාරක පන්ති ආරම්භ කර සෞඛ්‍ය නිර්දේශ වලට අවනත වෙමින් පවත්වා ගෙන යනවා.

කොතරම් ගැටලු මතුවුණත් රජය විසින් ලබා දෙන සෞඛ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලවයි අපිට පන්ති පැවැත්වීමට සිදු වන්නේ. සෞඛ්‍ය නිර්දේශවලට අවනත වීම සෑම ආයතන හිමිකරුවකුගේම, ගුරුවරයකුගේම වගකීමක්. සාමාන්‍යයෙන් ශාලාවකට සිසුන් ඇතුළත් කරන්නේ ශාලාවෙන් හරි අඩක පමණයි. ඉතුරු සිසුන් වෙනත් දිනකට යොදවනවා. ඒ අනුව දින දෙක තුනක් එකම පන්තිය කරන්නට සිදුවේවි. දුරස්ථ අධ්‍යාපනය කරගෙන යා හැකි සිසුන්ව ඒ ආකාරයටම කර ගෙන යන්න අපි උපදෙස් දෙනවා. සෑම පන්තියක් ආරම්භ කිරීමට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අනුමැතිය ලබා ගත යුතු වෙනවා.

පාසල් ආරම්භ කිරීමත් සමඟම පාසල් සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් සැපයීමේ කටයුතුද මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය සමඟින් පාසල් වෑන් හා බස් රථ සංගම්ද සහභාගී කර ගනිමින් සිදු කරන්නට කටයුතු යොදා ඇත. පාසල් අවසන් වීම කාල වෙලාවන් කිහිපයකට අනුව සිදු කරන හෙයින් මෙහිදි මතුවන ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කරමින් මේ වන විට පාසල් අවසන් කිරීමේ කාල වේලාවන් අධ්‍යාපන අමාත්‍යාංශ විසින් යළිත් සංශෝධනය කර ඇත. ඒ සඳහා වෑන් රථ හිමියන්ගේ සංගම්ද කැමැත්ත පළ කර ඇත.

“විවිධ වේලාවන් වලට පාසල් ඇරීම ඇත්තෙන්ම අපිට ප්‍රශ්නයක්. නමුත් අපි සාකච්ඡා කර විසඳුමකට ආවා. ඒ අනුව අපි 6 වැනිදා සිට යළිත් සුපුරුදු රාජකාරි ආරම්භ කරන්නට සූදානම්. දැනටමත් අපේ වාහනවල යන්නේ ඉඳගෙන යා හැකි ප්‍රමාණයක් නිසා ප්‍රශ්නයක් නැහැ. දරුවන් සාමාන්‍ය ක්‍රමයට වාඩි කළ හැකියි.

විවිධ වේලාවන් අනුව පාසල අවසන් වන නිසා අපිට සිදු වෙනවා, එකම පැත්තට යන වෑන් රථ සමඟ සාකච්ඡා කර දරුවන් බෙදා ගෙන ගෙන යාමට. කොතරම් ගැටලු මතු වුණත් දරුවන්ගේ වෑන් රථ ගාස්තු වැඩි කරන්නේ නැහැ. මොන ප්‍රශ්න ආවත් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව දරුවන්ගේ ප්‍රවාහන කටයුතු නිසි සෞඛ්‍ය අපදෙස් අනුව සිදු කරනවා....“ එසේ පැවැසූයේ සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමවේ සභාපති එල්. මල්ශ්‍රී ද සිල්වා මහතාය.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ පාසල් වෑන් රථ පමණක් නොව සිසු සැරිය බස් සේවාද දරුවන්ගේ පාසල් අවසන් වන වේලා තුනටම බස් රථ ධාවනයේ යොදන බවයි. එසේම පාසල් වෑන් රථ හෝ බස් රථ වල දරුවන්ව රඳවා ගතා ගනිමින් කල් මැරීමද අධ්‍යාපන අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරන අතර බලධාරීන් පවසන්නේ පාසල ඇරුණු සැණින් දරුවන් නිවෙස්වලට යොමු කළ යුතු බවයි.

කෙසේ වෙතත් මේ සියල්ල අපිට කොවිඩ් සේම අලුත් අත්දැකීම්ය. පාසල් ආරම්භයේ මුල් අදියරේ පැමිණෙන ගැටලුත් සමඟ දෙවැනි අදියරට මුහුණ දීමට අපට හැකිවනු ඇත. අවසානයේ ලෝකයාට ආදර්ශයක් දෙමින් කොවිඩ් මාරයා පැරදුවා සේම යළිත් සුපුරුදු අධ්‍යාපන රටාවට හුරු වන්නටද අපට හැකිවනු ඇත.

Comments