කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා ගැලවීමේ ප්‍රශ්නය තවත් දුරදිග යයි | සිළුමිණ

කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා ගැලවීමේ ප්‍රශ්නය තවත් දුරදිග යයි

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අරගලකරුවන්ගේ භූමිකාව නිරූපණය කරන්නේ අද ඊයේ සිට නොවේ. ඒ පිළිබඳ ඕනෑතරම් නිදර්ශන සරසවි ඉතිහාසය තුළ හමුවේ. 1971 කැරැල්ලේදී කැලණි සරසවියේ සිසුවකු ඝාතනයට ලක්වූ බවත් කැලණි විශ්වවිද්‍යාලය 71 කැරලිකරුවන් රඳවා තැබූ කඳවුරක් බවත් පැවසේ. 1986 සිට 1990 දක්වා මියගිය සරසවි සිසුන් 396 දෙනා අතර කැලණි සරසවියේ සිසුන් 64 දෙනකු සිටි බව ද වාර්තා විය. ඒ සියල්ලෙන් සනාථ වන්නේ එදා අරගලකරුවන්ටත් අරගලවලටත් තෝතැන්නක් වූ කැලණි සරසවි බිම මෙදා ද ඒ තත්ත්වයෙන් දුරස් වී නැති බවය.

කැලණි සරසවි සිසුන් පිළිබඳව මෑතකදී සමාජයේ කතාබහට ලක්වූයේ එම සිසුන්ගේ සහ සරසවි භූමියේ ආරක්ෂාව වෙනුවෙන් සරසවි භූමියේ විවිධ ස්ථානවල සවිකොට තිබූ CCTV කැමරා කිහිපයක් ගලවා දැමීමේ හිතුවක්කාරී ක්‍රියාවක් සම්බන්ධයෙනි. පසුගිය පෙබරවාරි 24 වැනිදා සිදුවූ බව කියන එම සිදුවීම සම්බන්ධයෙන් චෝදනාව එල්ල වූයේ එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සභාව නියෝජනය කරන සිසුන් පිරිසකටය. ඒ සම්බන්ධයෙන් සිසුන් සහ පාලනාධිකාරිය අතර උණුසුම් තත්ත්වයක් නිර්මාණය වූ අතර 27 වැනිදා දහවල් සිසුන් විසින් කැලණිය සරසවිය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය. එදිනම CCTV කැමරා ගැලවීම සම්බන්ධයෙන් සැකපිට කැලණි විශ්වවිද්‍යාලයේ සිසුන් 16දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණ. මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කෙබෙයිතුඩුවේ සමිත හිමි සහ තවත් සිසුන් තිදෙනකු එම සිදුවීමට ඍජුව සම්බන්ධ බවත් සෙසු 12 දෙනා ඊට අනුබල දී ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළිවිය. එම සිසුන් 12 දෙනා එදිනම ඇප මත මුදාහැර ඇති අතර හිමිනම ඇතුළු හයදෙනකු ඊට පසුදින (28දා) මහර මහේස්ත්‍රාත් ඉදිරියට පැමිණවීමෙන් අනතුරුව ඇප මත මුදා හැරිණ.

එදිනම කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකය විසින් නිවේදනය කළේ කැලණිය විශ්වවිද්‍යාලීය CCTV කැමරා ගැලවීමේ සිදුවීම සම්බන්ධයෙන් හඳුනා ගත් සිසුන් 27 දෙනෙකුට වසර දෙකක පන්ති තහනමක් ලබාදීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් තීරණය කරනු ලැබූ බවයි. ඊට අදාළ ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමටත් CCTV කැමරා පද්ධති නැවත කඩිනමින් සවි කිරීමට පියවර ගැනීමටත් පාලනාධිකාරිය තීරණය කර තිබිණ. 2017/2018 අධ්‍යයන වර්ෂය 2020 වසරේ පෙබරවාරි මස 29 වැනි දිනෙන් අවසන් වන බැවින් එදින පෙ.ව.8 සිට කැලණිය විශ්වවිද්‍යාලයේ පරිශ්‍රය සියලුම සිසුන්ට තහනම් ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත්කෙරිණ. තත්ත්වය එසේ තිබියදී මාර්තු මාසය වන විට දිවයිනම කොවිඩ් 19 වසංගතය පැතිරීමේ අවදානමට මුහුණ දීමත් සමඟ එම ප්‍රශ්නය ද මඳක් යටපත් විය.

එසේ තිබියදී යළිත් කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා පද්ධති ගලවා දැමීම සම්බන්ධයෙන් නැවත සිසුන් අත්අඩංගුවට ගැනීම් වාර්තා විය. මීට දින කිහිපයකට පෙර ද එනම් පසුගිය 18 වැනිදා කැලණිය සරසවියේ ආරක්ෂිත කැමරා පද්ධතිය ගලවා ඉවත් කළා යැයි කියන සිද්ධියට සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය විසින් සිසුවකු අත්අඩංගුවට ගැනිණ. එම සැකකරු කැලණිය විශ්වවිද්‍යාලයේ සිව් වැනි වසරේ ඉගෙනුම ලබන තීක්ෂණ මදුශාන් ලියනපතිරණ නැමැත්තෙකි. පසුගිය 22 වැනිදා ද වව්නියාව පොලිසිය විසින් අනුරුද්ධ විජේවර්ධන නමැති සිසුවකු අත්අඩංගුවට ගනු ලැබිණ. මෙසේ අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා පද්ධති ගැලවීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි සිසුන් බව පොලිසිය විසින් පවසා තිබිණ. මේ අතර පසුගිය 22 වැනිදා මෙම සිද්ධියට සම්බන්ධ තවත් සිසුන් 9 දෙනකු කිරිබත්ගොඩ පොලිසියට බාරවීමෙන් අනතුරුව පෙර කී සිසුන් දෙදෙනා ද ඇතුළුව සිසුන් 11 දෙනකු 23 වැනිදා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණ. ඔවුන් සියලු දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් මත නිදහස් කෙරුණු අතර නැවත සැප්තැම්බර් මස 8 වැනිදා එම නඩුව විභාගයට ගැනීමට නියමිතය. එම සිසුන් 11 දෙනාම වයස අවුරුදු 23, 24, 25 වයස්වල පසුවන්නන්ය.

විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සවිකොට තිබූ CCTV කැමරා සිසුන් පිරිසක් විසින් ගලවා දැමීම පිළිබඳ විවිධාකාර අදහස් පළවූ අතර ඇතැම්හු සිසුන්ගේ ක්‍රියාකලාපය විවේචනය කරන අතර තවත් පිරිසක් විශ්වවිද්‍යාලයේ පරිපාලනයට දොස් තබති. ඒ පිළිබඳ අදහස් දක්වමින් මීට පෙර කැලණිය විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී එහි සභාපති මහාචාර්ය මල්වානේ චන්ද්‍රරතන හිමි පැවසුවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවගේ ආරක්ෂාව සහ අධ්‍යාපනයට හිතකර යහපත් පරිසරයක් ස්ථාපිත කිරීමේ අරමුණ ඇතිව සවිකර තිබූ එම CCTV කැමරා සහ උපකරණ සිසුන් කිහිපදෙනකු විසින් ගලවා දැමීම තම සංගමය දැඩිව හෙළා දකින බවයි. කැලණිය විශ්විද්‍යාලය තුළ දෙස් විදෙස් සිසුන් 14,000ක්, සති අන්ත පශ්චාත් උපාධි පාඨමාලා හදාරන විද්‍යර්ථීයන් 2000කට අසන්න පිරිසක්, 600ක පමණ ආචාර්ය මණ්ඩලයක් සහ 800කට වැඩි අනධ්‍යයන කාර්ය මණ්ඩලයක් සමඟ 16,000කට අධික පිරිසක් ජීවත්වන බව ද එහිදී අනාවරණය විය. එමෙන්ම විශ්වවිද්‍යාලය තුළ රසායනාගාර හා පරිගණක මධ්‍යස්ථාන තුළ ඉතා මිල අධික උපකරණ තිබෙන බැවින් ඒවායේ ආරක්ෂාව සඳහා CCTV කැමරා පද්ධතියක් අත්‍යවශ්‍ය බවද උන්වහන්සේ අවධාරණය කළහ. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම ආරක්ෂාවට ප්‍රශ්නයක් අැති කරමින් සිසුන් විසින් ගලවා දැමූ CCTV කැමරා සංඛ්‍යාව 19ක් වන අතර ඒ නිසා සිදු වූ අලාභය ලක්ෂ 26ක් පමණ වන බවද ෙහළි විය.

කෙසේවෙතත් CCTV කැමරා ගැලවීම සම්බන්ධයෙන් මීට පෙර පොලිස් අත්අඩංගුවට පත් සිසුන්ට ඇප ලබාදී තිබියදී නැවත පොලිසිය සිසුන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන් අත්අඩංගුවට ගැනීමට තැත් කිරීම ශිෂ්‍ය මර්දනයක් බව කැලණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මෙන්ම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියෝ ද අවධාරණය කළහ. මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කොබෙයිතුඩුවේ සමිත හිමියෝ ඒ පිළිබඳ මෙසේ පැවසූහ.

“මේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විශ්වවිද්‍යාල සිසුන්ගේ නිවෙස්වලට ගොස් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පසුගිය දිනවලදී වාර්තා වුණා. ඒ නිසා පොලිසිය විසින් එසේ අත්අඩංගුවට ගැනීමට ගිය සිසුන් 9 දෙනකු පොලිසියට බාරවුණා. තවත් සිසුන් කිහිපදෙනකු මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානමින් සිටිනවා. ඔවුන්වත් අපි ඉදිරියේදී නීතිය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. මේ වගේ අත්අඩංගුවට ගැනීම් සිදුව තිබෙන්නේ අපේ විශ්වවිද්‍යාල සිසුන් පමණක් නොවෙයි. රුහුණු විශ්වවිද්‍යාලයෙත් මෙවැනි අත්අඩංගුවට ගැනීම් කිහිපයක් වාර්තා වී තිබෙනවා. ශිෂ්‍යයන්ට බලපාන කරුණු කිහිපයක් ගැන අප විශ්වවිද්‍යාලයීය පාලන අධිකාරියට ලිඛිතව දන්වා තිබෙනවා. නමුත් තවම විශ්වවිද්‍යාල කටයුතු නියමිත පරිදි ආරම්භ වී නැති නිසා ඒ ගැන අපට පිළිතුරක් ලැබිලා නැහැ. ඒ වගේම තවම අලුතින් උපකුලපතිවරයෙක් පත්කර නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් අප ශිෂ්‍ය සංගමය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනට නිශ්චිතවම කිව නොහැකියි. ”

මේ පිළිබද විමසීමට අප කැලණිය සරසවියේ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතාගෙන් විමසීමක් කළේ වරින් වර සිසුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි අර්ථ නිරූපණයක් ඇතිවිය හැකි නිසාය.

“නැවත නැවත සිසුන් අත්අඩංගුවට ගැනීමක් නෙවෙයි මේ සිදුවෙන්නේ. CCTV කැමරා ගැලවීම සම්බන්ධයෙන් මුලින් අත්අඩංගුවට ගත් අධිකරණය විසින් සිසුන් ඇප මත නිදහස් කළා. නමුත් ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග දිගටම සිදුවුණා. ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරන සිසුන් තමයි පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සිදුකරන්නේ. මේ වන විට විශ්වවිද්‍යාල කටයුතු ආරම්භ වී තිබුණත් තවම මුළුමනින්ම යථා තත්ත්වයට පත් වී නැහැ. නමුත් පරිපාලන කටයුතුවලට අදාළව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම් ඒ ආකාරයෙන් සිදුවෙනවා. ඒ ක්‍රියාමාර්ගවලට අදාළව සිසුන් අත්අඩංගුවට ගැනීමක් මිස නිකරුණේ සිසුන් අත්අඩංගුවට ගැනීමක් සිදුනොවන බව පැහැදිලිව කිව යුතුයි.”

 

 

Comments