දේශීය කෘෂි බෝග වගාවට ස්වර්ණමය බලාපොරොත්තුවක් | සිළුමිණ

දේශීය කෘෂි බෝග වගාවට ස්වර්ණමය බලාපොරොත්තුවක්

කෘෂි බෝග හා ඒ ආශ්‍රිත නිෂ්පාදනවලට සම්බන්ධ පිරිස දස ලක්ෂයකට අධිකයි

අපනයන කෘෂි බෝග නිෂ්පාදන අලෙවි මණ්ඩලයක් ස්ථාපිත කරන්න රජය මේ වන විටත් පියවර අරන්

අපේ රටේ ප්‍රධාන අපනයන බෝග ලෙස සැලකෙන්නේ තේ, පොල්, රබර්ය. ඒවා වාණිජ බෝග ලෙසද හඳුන්වයි. මීට අමතරව මෙරටේ දශ ලක්ෂයකට අධික ජනතාවක් ජීවත් කරවන්නේ රට පුරා වගා කරන තවත් අපනයන බෝග දහසයකිනි. ඒ අතරත් කුරුදු, කෝපි, ගම්මිරිස්, කරාබු, සාදික්කා, පුවක්, බුලත්, ඉඟුරු, කහ, කොකෝ, වැනිලා හා සේර ප්‍රධාන තැනක් ගනී.

මෙම අපනයන බෝග වගා කරන මෙරට ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 1,15,000ක් පමණය. ඊට විවිධාකාරයෙන් සම්බන්ධ වී තම ජිවනෝපාය සරි කර ගන්නවුන් ප්‍රමාණය දස ලක්ෂයකට අධිකය. මීට අමතරව මෙම බෝග හා සම්බන්ධ කර්මාන්ත හා වෙළඳාමට සම්බන්ධ පිරිසද පන්දහසක් පමණ වේ.

දිවයින පුරා හෙක්ටයාර් 115120 ක පමණ මෙම අපනයන කෘෂිකර්ම බෝග වගා කර ඇති අතර ඒ සැම වගාවක්ම පෞද්ගලික වගාවක් ලෙස පැවතීමද විශේෂත්වයකි. මෙම නිෂ්පාදන සියල්ල මිළ දී ගැනීම අගය එකතු කිරීම, අපනයනය කිරීම සිදු වන්නේද පෞද්ගලික අංශයෙන්මය. ඒ කටයුතු අධීක්ෂණය, සම්බන්ධීකරණය,හා අවශ්‍ය උපදෙස් දීම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පැවරී ඇති කාර්යයන් වේ. මේ අනුව 2018 වසරේදී අපනයනය කර ඇති මුළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 48331.82කි. ඉන් උපයා ගෙන ඇති ආදායම රුපියල් මිලියන 64,590.51කි. 2019 වසරේදී මේ තත්ත්වය මඳක් අඩු වී තිබේ. ඒ වසරේ අපනයනය කර ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 47,981.64 කි. එමඟින් උපයා ගෙන ඇති ආදායම රුපියල් මිලියන 63,495.80 කි. මේ අනුව 2018 වසරට වඩා 2019 වසරේ අපනයන ප්‍රමාණය හා ආදායම අතර සුළු වෙනසක් දක්නට ලැබුණද 2018 ට වඩා 2019 වසරේ දී ආනයනය කළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25.54% කින් අඩු වී තිබේ. මේ නිසා එම වසරේ මෙරට ඉතිරිව ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 2001.48 කි.

අපනයන කෘෂි බෝග වගාව සඳහා ගොවීන් තුළ විශාල උනන්දුවක් ඇතත් කලින්කලට එම බෝග සඳහා ඇති මිල වෙනස් වීම නිසා බොහෝ අවස්ථාවල ගොවීහු අන්ත අසරණ තත්ත්වයට පත් වෙති. විශේෂයෙන් මේ බෝග වගා කරන ගොවීන්ට වඩා මේ බෝග සඳහා ඉහළ මිලක් ලබා ගන්නේ අතරමැදි වෙළෙදුන්ය. මෙයට හේතුව ලෙස ගොවීන් පෙන්වා දෙන්නෙ රජයට අපනයන කෘෂි බෝග සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් නැති වීම බවය. මේ පිළිබඳව සිළුමිණට අදහස් දැක්වූ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු‍වේ අධ්‍යක්ෂ (සංවර්ධන) ජනක ලින්දර පෙන්වා දෙන්නෙ කලින් කලට වෙනස් වන අපනයන කෘෂි බෝග පිලිබඳ රාජ්‍ය ප්‍රතිපත්ති නිසා එම බෝග වගා කරන ගොවීන් අසීරුතාවයට පත් වීම සත්‍යයක් බවය.

" අපේ රටේ නිෂ්පාදනය කරන කෘෂි බෝග වලින් නිෂ්පාදන ප්‍රමාණයෙන් 50% කට වඩා අපනයනය කරනවා නම් එ් බෝගය අපනයන කෘෂි බෝග ගණයට අයත් වෙනවා. එ් අනුව දැනට එවැනි බෝග දහසයක් (තේ,පොල්,රබර් හැර) අපි හඳුනාගෙන තිබෙනවා. මේ අපනයන බෝග සදහා 2015 වසරට පෙර ⁣හොඳ ඉහළ මිළක් ලැබුණා. ඉන් පසුව ඇති වු ඇතැම් රාජ්‍ය ප්‍රතිපත්ති නිසාවෙන් මේ බෝග සදහා තිබුණු ඉහළ මිළ පහත වැටෙන්නට පටන් ගෙන තිබෙනවා. මේ වන විට වියළි ගම්මිරිස් මිල රුපියල් 550/=ක් 600/= අතරට පමණ වැටී තිබෙනවා. අපේ වියළි ගමිමිරිස් කිලෝවක් රුපියල් 1400/=ටත් වඩා වැඩි මිලකට විකුණූ අවස්ථා තිබෙනවා. මේ බෝග හා ඒ ආශ්‍රිත නිෂ්පාදනවලට සම්බන්ධ පිරිස දස ලක්ෂයකට අධිකයි. මෙි වසරේදී ගමිමිරිස් ඵලදාව මෙට්‍රික් ටොන් 20,000 ක් පමණ ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් කොවිඩි 19 වසංගතය නිසා අපේ රටේ ගම්මිරිස්, කරඳමුංගු, සාදික්කා, වසාවාසි කුරුඳු ආදි කුළුබඩු සදහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බවද අධ්‍යක්ෂවරයා කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙරටේ අපනයන කෘෂි බෝග සඳහා සුවිශේෂී සහන රැසක් ලබා දීමට දැනටමත් කටයුතු ආරම්භ කර තිබේ. එහි එක් පියවරක් වුයේ අප රටට විදේශ රටවලින් ආනයනය කළ ඉඟුරු හා කහ සම්පුර්ණයෙන්ම නතර කිරීමය. කහ ආනයනය කළ ව්‍යාපාරිකයන් කහ කිලෝවකින් රුපියල් 1500/=ටත් වඩා අධික ලාභයක් උපයා ⁣ගන්නා බවද ඒ පිළිබඳව කරන ලද අධ්‍යයනයන් ගෙන් හෙළිවී තිබේ. 2019 වසරේදි පමණක් මෙරටට ආනයනය කර ඇති කහ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 5300කට ආසන්නය. ලංකාවේ පරිභෝජනය සඳහා අවශ්‍ය කහ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 6500ක් පමණය. එම ප්‍රමාණය මෙරටේ නිෂ්පාදනය කළ හැකි බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අරුණ පී.හීන්කෙන්ද සඳහන් කරයි.

"අපේ දෙපාර්තමේන්තුව මේ දක්වා පැවැතුණේ එක්තරා විදියකට කොන් වෙලා වාගේ. නමුත් වත්මන් ජනාධිපතිවරයා ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිිරණ මහතා අපිවත් දිරිමත් කරල ගොවීන්ට වැඩියෙන් ප්‍රතිලාභ ලැබෙන පරිදි වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කරල තියෙනවා. ඉන් එක් වැඩ සටහනක් තමයි අලුතින් අපනයන කෘෂි බෝග වගාකරුවන් සදහා වගා ආයෝජනය සදහා මූල්‍ය පහසුකම් ලබා දීම.ඒ යටතේ අලුතින් අපනයන කෘෂි බෝග වගා කරන ගොවියකුට හෙක්ටයාර් එකකට රුපියල් 80,000ක ආයෝජන මුදලක් රජයෙන් ලබා දෙනවා. මේ වැඩපිළිවෙල යටතේ අලුතින් අක්කර 2500ක් පමණ අපනයන කෘෂි බෝග සදහා එකතු කර ගන්නයි අපේක්ෂාව. "

ඒ අතර විදේශ රටවල බාල ගමිමිරිස් කරුංකා අනයනය කර ඒවා අපේ රටේ ඉස්තරම් නිෂ්පාදන සමඟ කලවම් කර අපේ රටේ නිෂ්පාදන ලෙස නැවත ප්‍රති අපනයනය කරන ජාවරමක් ගැන ඉකුත් රජය සමයේ අසන්නට ලැබුණි. මේ ජාවාරම සරුවට කර ගෙන යෑමේ ප්‍රතිඵලය වුයේ අපේ රටේ කුරුඳු ගම්මිරිස් කරාබු ආදි බෝග සඳහා ලෝක වෙළඳපොළේ පැවැති ඉහළ මිල අපිට අහිමි වීමය. අදටත් අපේ බෝග සඳහා ලෝක වෙළද පොලේ පෙර පැවැති තත්ත්වය අත්පත් කර ගැනිමට නොහැකි වී තිබේ. මේ තත්ත්වයට විසඳුමක් ලෙස අපනයන කෘෂි බෝග නිෂ්පාදන අලෙවි මණ්ඩලයක් ස්ථාපිත කරන්න රජය මේ වන විටත් පියවර ගෙන තිබේ.

මේ බෝග වගා කරන රජ්‍ය සේවයේ විශ්‍රාමිකයකු වු උපාලි කොඩිකාර පෙන්වා දෙන්නෙ අපනයන කෘෂි බෝග වගාකරුවන් කෙරෙහි රජයේ අවධානය මීට වඩා යොමු විය යුතු බවයි.

අපනයන කෘෂි බෝග සඳහා යොමුවන ඕනැම අයකුට වගාවට අවශ්‍ය උපදෙස් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන් ගෙන් ලබා දිමට හැකියාව ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය මධ්‍යස්ථානය සදහන් කරයි.එමෙන්ම මෙම බෝග ආශ්‍රිතව නිදවිය හැකි විවිධ නිෂ්පාදන පිළිබඳව අවබෝධයක් ලබා දීමටද එවැනි නිෂ්පාදන කර්මාන්ත නැරඹීමට අවස්ථාවක් ලබාදීමටද හැකියාව ඇති බව එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රධානි දිශාන්ති කොඩිතුවක්කු සඳහන් කෙළේය.

එමෙන්ම අලුතින් වගාවට යොමු වන තරුණ වැඩිහිටි ඕනෑම අයකුට ⁣තමන් වගා කරන බෝග සම්බන්ධයෙන් ව්‍යාපෘති වාර්තාවක් සකස්කර ගැනීම සඳහාද සහය විය හැකි බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා සංවර්ධන සහකාර රුවන් බස්නායක සඳහන් කරයි.

 

 

Comments