අඹ ලොවේ රන් ලකුණ TJC | සිළුමිණ

අඹ ලොවේ රන් ලකුණ TJC

  • TJC අපනයනයෙන් පමණක් වාර්ෂිකව රටට ඇ.ඩො. මිලියන දෙකක්
  • මගේ පියා ගැන සිංහල පුවත්පතක ගිය එකම ලිපිය පළ වුණේ සිළුමිණේ...
  • දැනට පන්දහසකට අධික පිරිසක් TJC අඹ වගාවේ...

රටක් ලෙස අප පසු කරමින් සිටිනුයේ ආර්ථික පසුබෑමකට මුහුණ දෙන කාල වකවානුවක් වුවද, දේශීය ව්‍යාපාරික ලෝකයේ සාධනීය දෑ සිදුවෙමින් පවතී. දේශීය කර්මාන්ත යළි පණ නැංවෙමින් තිබෙන අතර, ජනතාව ද දේශීය ආහාර පාන වෙත හුරු වෙමින් සිටීම, එම සාධනීය දේ අතර කැපී පෙනෙයි.

හොඳින් විදේශ විනිමය ඉපැයිය හැකි ආර්ථික බෝගයක් ලෙස TJC අඹ ශ්‍රී ලංකාවට හඳුන්වාදී , ලාංකේය අපනයන කෘෂි ආර්ථිකයට නව මානයක් එක් කළ එල්ලාවල හෝටිකල්චර් සමාගමද, සිය වැඩිම විදේශ ඇණවුම් ලද කාල සීමාව බවට පත් කරගෙන තිබෙනුයේ මේ අසීරු සමය වීම, තවත් එවැනි විශේෂත්වයකි.

ඒ අනුව, කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය නිසා ලෝකය පුරාම ආහාර නිෂ්පාදන සඳහා ඇති වූ ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් Tom EJC ප්‍රභේදයේ අඹ, නැවුම් පලතුරක් ලෙස හා අතුරු නිෂ්පාදන ලෙස අපනයන වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් ඇති කරගෙන තිබේ. එය , අපනයන වෙළෙඳපොළ තුළ පැවති සාමාන්‍ය ඉල්ලුමට වඩා 60% ක වැඩි වීමක් බව, එම සමාගමේ TJC අඹ විශේෂඥ, වීරසූරිය බණ්ඩාර පවසයි. රට යථාවත් වෙමින් පවතින හෙයින්, ජාත්‍යන්තර වෙළෙඳපොළට යැවිය යුතු මේ සියලුම ඇණවුම් මේ වන විට ඉතාමත් සාර්ථකව සැකසෙමින් පවතින බවත්, සිංගප්පූරුව , මාලදිවයින, යුරෝපීය සහ මැද පෙරදිග රටවල් වෙතින් ලැබී තිබෙන මෙම ඇණවුම්වල වැඩි වීම, කොරෝනා වසංගතය තුළ උදා වූ යහපත් පැතිකඩක් බවත් ඔහු තව දුරටත් පෙන්වා දෙයි.

"සාමාන්‍යයෙන් අපේ ගොවිපොළෙන් පමණක් වාර්ෂිකව ලබන අඹ ඵලදාව, ටොන් 500ක් පමණ වනවා. එයින් වාර්ෂිකව පිටරට යවන ප්‍රමාණය, 40% ක්. ඉතිරි 60% යොදා ගන්නේ, ජාත්‍යන්තර වෙළෙඳපොළට සකසන අඹ ආශ්‍රිත අතුරු නිෂ්පාදන සහ දේශීය වෙළෙඳපොළට යැවෙන නැවුම් අඹ වෙනුවෙන්. TJC අඹ, නැවුම් පලතුරක් ලෙස අපනයනයෙන් පමණක් වාර්ෂිකව රටට රැගෙන එන විදේශ විනිමය ප්‍රමාණය දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක් පමණ වනවා. ඉදිරියේ දී අපි මෙය දස ගුණයකින් වැඩි කිරීමට බලාපොරොත්තු වන්නේ, TJC අඹ අප රටට ආවේණික සහ රට තුළ පහසුවෙන් වගා කළ හැකි බෝගයක් වන නිසා ඒ වගේම, මෙම අඹ ප්‍රභේදයේ ඇති ගුණාත්මක භාවයෙන්, ශරීර ප්‍රතිශක්තිකරණය වර්ධනය වනවා. දියවැඩියා රෝගීන්ට පවා ගුණ දෙන පලතුරක්. විටමින් A,C සහ E බහුලයි. වියළි අඹ ලෙස සකස් කළ විට, මේ ගුණාත්මක බව තවත් ඉහළයි.

TJC වියළි අඹ කිලෝවක් හදන්නේ, නැවුම් අඹ කිලෝ දහයක් යොදාගෙන. නැවුම් අඹවල ඇති ජල ප්‍රමාණය පමණක් ඉවත් කර, පෝෂණීය ගුණය සහ අනෙකුත් සියලු ලක්ෂණ එලෙසම පවතින ලෙස සකස් කෙරෙන අතර, කෘත්‍රිම වර්ණකාරක හෝ රසකාරක යොදා නොගැනන නිසා, අඹවල ඇති ප්‍රතිශක්ති ගුණයද එලෙසම සුරැකෙනවා.මෙවැනි වසංගත සමයක පිට රැටියන්, TJC අඹ වැඩිපුර ආහාරයට ගැනීමට පෙළැඹී තිබෙන්නේ, මේ පිළිබඳ ඔවුන්ගේ දැනුම්වත්භාවය ඉහළ නිසා. එය,රටක් හැටියට අපට සතුටු විය හැකි තත්ත්වයක්. මෙම ආර්ථික බෝගය වගා කිරීම සඳහා අප ව්‍යවසායකයන් දිරිගන්වන අතර ම, එහි ගුණාත්මක බව එලෙසම රැකිය යුතු බව තරයේ අවධාරණය කරනවා. අද වන විට, ඉතා හොඳ විදේශීය වෙළෙඳපොළක් අප නිර්මාණය කොටගෙන තිබෙන්නේ, මේ ගුණාත්මක භාවය ආරක්ෂා කළ නිසා. එය තව තවත් වර්ධනය කර ගැනීම තුළ TJC අඹ, ප්‍රබල ආර්ථික බෝගයක් බවට පත් කරන්නට ශ්‍රී ලංකාවට පුළුවන්. මොකද, දැනටමත් ලංකාවේ වියළි සහ අතරමැදි කලාප වන අනුරාධපුර, පුත්තලම, පොළොන්නරුව, වව්නියාව, අම්පාර, කුරුණෑගල, යාපනය, මුලතිව්, හම්බන්තොට ,මොනරාගල, මාතලේ දිස්ත්‍රික්කවල, පන්දහසකට අධික පිරිසක් TJC අඹ වගාවේ නියැළී සිටිනවා. මේ සියල්ල අප විසින් සැපයූ මවු ශාක. එසේ, අක්කර 10,000ක පමණ සිටුවා තිබෙන TJC අඹ ගස් ප්‍රමාණය, ලක්ෂ 10 ක්. මේ ගස්වලින් ඵලදාව නෙළීම ආරම්භ කරන විට, අපනයන ආදායම් දස ගුණයකින් වැඩි කරන එක රටක් හැටියට අපිට අභියෝගයක් නෙවෙයි..."

රට පුරා මෙම ආර්ථික බෝගය වවන්නට දිරි දෙන, එල්ලාවල හෝටිකල්චර් සමාගම සතූ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්කිරියාගම, දඹේවටන පිහිටි අක්කර 140ක් තරම් වන සුවිසල් ගොවිපොළේ අක්කර 100 කම වගා කර ඇත්තේ Tom EJC ප්‍රභේදයයි. එහි 10,000ක් තරම් වන අඹ ගස්වල නඩත්තු කටයුතු වෙනුවෙන් සේවකයන් 250ක් රැකියාවේ යෙදී සිටී. ඉන් 90%ක්ම, අවුරුදු 20 සිට 60 දක්වා වයස් කාණ්ඩවල කාන්තාවන් වීම තවත් සුවිශේෂී කරුණකි. මේ සියලු දෙනා, ගල්කිරියාගම දඹේවටන සහ අවට ගම්මානවල කාන්තාවන් වන අතර, ගස් සුද්ද කිරීම, කෘමි සතුන් පාලනය, පොහොර යෙදීම, අතු කප්පාදුව, අඹ ගෙඩිවලට බෑග් දැමීම, අඹ නෙළීම, ඇසුරුම් කිරීම වැනි සියලු කටයුතු සිදු වන්නේ ඔවුන් අතිනි.

"මේක ගහකොළ සහ සොබා දහමත් එක්ක බැඳුණු රාජකාරියක්. ඒ නිසා රැකියාවෙන් ඔබ්බට ගිය විශාල බැඳීමක් ඔවුන් සහ අඹ ගස් අතර තිබෙනවා. තුන් මාසයක් පුරා ඒ සුවිශේෂි බෑගයෙන් අඹ ඵලය ආරක්ෂා වන බැවින්, නිරෝගීව සහ සුරක්ෂිතව එය වැඩෙන අතර, ග්‍රෑම් 600 සිට කිලෝවක් දක්වා බරින් යුතු ගුණාත්මක බවින් ඉහළ අඹ ලැබෙනවා. ඇත්තටම, මේ ක්‍රමයට වවන අඹවල පසු අස්වනු හානිය ද අවමයි..."

එමෙන්ම,රටක් ලෙස තේ රබර් පොල් සහ අතිරේක බෝග අපනයනයට හුරු වී සිටිය ද, නව ආර්ථික බෝගයක් සමඟ විදේශ වෙළඳපොළට පිවිසෙන්නට සිතන නව ව්‍යවසායකයන්ට, හොඳ වෙළෙඳපොළ අවස්ථාවක් ඇති බව වීරසූරිය තව දුරටත් පෙන්වා දෙයි. ඔහුට අනුව, හැඩය තත්ත්වය සහ පෙනුම අනුව අඔ අස්වැන්න ශ්‍රේණිගත කරන අතර,නොම්මර එකේ කොලිටිය, විදේශ විනිමය ඉපැයිය හැකි අපනයන කෘෂි වෙළෙඳපොළට යැවේ. දෙවැනි කොලිටියේ අඹ දේශීය වෙළෙඳපොළ සහ සැකසූ ආහාර වෙනුවෙන් යොදා ගැනේ. වසර 30 ක ආයු කාලයක් හිමි, අතින් නෙළා ගත හැකි උසට වර්ධනය වන, TJC අඹ ගසක් පීදෙන්නට ගත වන්නේ වසර තුනක් පමණි. අවුරුද්ද පුරාම ඵලදාව ලැබෙන මෙම අඔ ප්‍රභේදය ඉතා කෙටි කාලයක් තුළ ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගත හැකි සාර්ථක මඟක් ලෙස ද ඔහු පෙන්වා දෙයි.

ජාත්‍යන්තරය ජය ගත හැකි නව දේශීය පලතුරු ප්‍රභේද පිළිබඳ නිරතුරු පර්යේෂණ සිදුකරන එල්ලාවල ගොවිපොළේ, අද වන විට සිටුවා ඇති අඹ විශේෂ ගණනාව අතුරෙන් කර්තකොලොම්බන්, තෝතපූරී, වෙල්ලකොලොම්බන්, මල්වාන, කෙන්සින්ග්ටන් ප්‍රයිඩ්, විලාඩ්, එල්ලාවල රෙඩ්, කීත්, R2E2, මල්ලිකා, කරබාවෝ, නන්දොක්මයින් සහ නීලම්, යන අඹ වර්ග මේ වනවිට සාර්ථක ප්‍රතිඵල ලබා දෙමින් පවතී. මීට අමතරව, ලාභයෙන් ඔබ්බට ගිය පරමාර්ථ වෙත දායකවෙමින්, පාසල් වතු සම්බන්ධ කොටගෙන සිදුකෙරෙන ව්‍යාපෘතියක්ද ඔවුන් සාර්ථකව ක්‍රියාත්මක කරයි.

ඒ අනුව හිස් පාසල් ඉඩම් සංවර්ධනය කොට එම හිස් පාසල් ඉඩම තුළ Tom EJC, අඹ ප්‍රභේදය ස්ථාපිත කර ඔවුන් විසින් නඩත්තු කර දෙනු ලබන අතර, ලැබෙන ආදායමෙන් වැඩි කොටසක් පාසලේ සංවර්ධන කටයුතු සඳහා ලබා දෙනු ලැබේ. මේ වන විටත් බොහෝ පාසල් ප්‍රමාණයක ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර, ප්‍රයෝජනයට නොගත් හිස් ඉඩම් ඇති පාසල්වලින් කෙරෙන දැනුම්දීමට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සමාගම සූදානමින් සිටී.

ටොම් එල්ලාවල නම් විද්වත් පරිසරවේදියා විසින් හඳුන්වා දුන් මෙම, අඹය පිළිබඳ නොදන්නාකමෙන් ඇතැමුන් පවසන්නේ, 'අල්පෝන්සු ' නමිනි. නමුත් අල්පොන්සු යනු, අපේ රටේ අඹ වර්ගයක් නොවේ. එය ඉන්දියානු අඹ වර්ගයකි. Tom EJC යනු ශ්‍රී ලංකාවට ආවේණික දේශීය අඹ ප්‍රභේදයක් වන අතර මෙය පැහැදිලිවම ප්‍රභේද දෙකකි.

"TJC කියන්නේ, මහ ඉලුප්පල්ලමේ දී මට මුණගැහුණු පිලිපීන ජාතික ගොවි පර්යේෂකයකු වන, ජුවාන් කාලෝස් සහ මා විසින් පර්යේෂණකොට වැඩි දියුණු කළ අඹ විශේෂයක්. හැම ගෙඩියක්ම ග්‍රෑම් හය සීයයෙන් එහා කිලෝ එකහමාර දක්වා බරක් ඇතිව වර්ධනය වන ඇටය පුංචි, වැස්සට සුළඟට නො හැළෙන ශක්තිමත් අඹ මල් පොකුරක් හැදෙන, අවුරුද්ද පුරා හොඳ ගෙඩි ඵලදාවක් ලැබෙන රන් පාට අඹ ප්‍රභේදයක්. මට ඕනෙ වුණා මේ අඹ වර්ගය ව්‍යාප්ත කරන්න. කෘෂිකර්මයවත් දැනගෙන හිටියෙ නැහැ මෙහෙම අඹයක් ගැන. අන්තිමේ එයාලා කිව්වා,' ඔබ නමක් දෙන්න, අපි මේක අලුත් අඹ ප්‍රභේදයක් හැටියට රෙජිස්ටර් කරන්නම්...' කියලා. මගේ ටොම් එල්ලාවල නමින් Tom-E අරගෙන, මේ වෙනුවෙන් මා එක්ක හුඟක් වෙහෙසුණු ' ජුවාන් කාලෝස් ' ගේ නමින් JC අරගෙන තමයි, Tom-Ejc ප්‍රභේදය ලෙස නම් කළේ. කටේ පහසුවට පසුව TJC ලෙස අපි වෙළඳපොළට හඳුන්වා දුන්නා...".

'1930 නොවැම්බර් මස 26 වැනි දින උපන් මගේ තාත්තා, පහුගිය පෙබරවාරි මාසයේ 08 වැනි දා අප අතරින් වියෝ වුණා. ඔහු ජීවත්ව සිටි සමයේ සිය කෘෂිකාර්මික පර්යේෂණ සහ ජීවිත අත්දැකීම් පිළිබඳ සිංහල පුවත්පතකට දුන් එකම සම්මුඛ සාකච්ඡාව වූ, සිළුමිණේ පළ වූ ව්‍යාපාරික ලිපිය වෙනුවෙන් ඔය කතාව කිව්වේ, බොහොම අභිමානයෙන්.කොහොම වුණත් තාත්තගේ දැක්ම, පවුලක් හැටියටත් ආයතනයක් හැටියටත් ඉදිරියට ගෙන යන්න අප හදවතින්ම බැඳී ඉන්නවා. දේශීය දේ ජාත්‍යන්තර වෙළෙදපොළට ගෙන යෑම, විදේශ විනිමය මෙරටට ගෙන ඒම, අපේ රටේ කෘෂිකර්මය නඟා සිටුවීමට දායක වීම ඒ අරමුණු අතර ප්‍රධානයි.'

ටොම් එල්ලාවල ගේ දෙවැනි පුතු, සමාගමේ අධ්‍යක්ෂ සුරේෂ් එල්ලාවල පවසන්නේ සිය පියාගේ දැක්ම මතින්, දේශීය කෘෂි ආර්ථිකයට හදවතින්ම දක්වන දායකත්වය පිළිබඳවය.

Comments