අපි ගනුදෙනුකරුවා සමඟ සාකච්ඡා නොකර කිසිවක් කරන්නේ නෑ | සිළුමිණ

අපි ගනුදෙනුකරුවා සමඟ සාකච්ඡා නොකර කිසිවක් කරන්නේ නෑ

පසුගිය වකවානුව පුරා මූල්‍ය සේවාව වෙත විවිධ චෝදනා එල්ල විය. විශේෂයෙන් බැංකු නොවන මූල්‍ය ආයතනවල ලීසිං සේවාව ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ හැඳින්වුණේ ‘ලීසිං මාෆියාව’ ලෙසිනි. මේ තත්ත්වය පිළිබඳ විග්‍රහයක් කරන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධීකාරී, ඒ. එස්. ඊබ්‍රහීම් මෙසේ පවසයි.

‘ලීසිං වාරික ගෙවීම අතපසු කිරීම, වාහනය අත්පත් කරගැනීම දක්වා දුරදිග යෑමට ඉඩ නොතබා කටයුතු කිරීමට පීපල්ස් ලීසිං සමාගම විශාල පරිශ්‍රමයක් දරනවා. යම් හෙයකින් ගනුදෙනුකාර භවතා සැබෑ මූල්‍ය අසීරුතාවකට පත්ව ඇත්නම් ඔහු සමඟ සාකච්ජා කර ඔහුට ගැළපෙන විකල්ප මූල්‍ය සැලසුමක් අප හඳුන්වා දෙනවා.

ඊට අමතරව ගෙවීම් අතපසු වු ගනුදෙනුකාර භවතුන් සමඟ ඉදිරි ගෙවීම් පිළිබඳව එකඟතා ඇති කරගැනීමට විශේෂ ඒකක 2ක් අප ප්‍රධාන කාර්යාලයේ පිහිටුවා ඇත්තේද ගනුදෙනුකාර භවතුන් තවදුරටත් ආරක්ෂා කිරීමේ අරමුණෙන්. ගෙවීම් පැහැර හැරි ගනුදෙනුකාර භවතකුට තමා සත්‍ය වශයෙන් පත්ව ඇති අසීරුතාව සම්බන්ධයෙන් ඉහළ කළමනාකාරීත්වය සමඟ කතාකිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අප ‘විවෘත දොර’ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා. විශේෂයෙන්ම කිවයුත්තේ අප ආයතනය විසින් ගෙවීම් පැහැර හැරි අවස්ථාවලදී කටයුතු කරන්නේ 2000 මූල්‍ය ලීසිං පනතෙහි 56 වන වගන්තියට අනුකූලවයි.

තවත් කිවයුතු විශේෂ කරුණක් වන්නේ අප සමාගම වාරීක ගෙවීම් අතපසු වු වාහනයක් අත්පත් කරගැනීමට යොමු වන්නේ මාස 05-06 කින් ගෙවීම් අතපසු වු ගනුදෙනුකාර භවතුන් සඳහා වන අතර එයට පෙර අදාළ ගනුදෙනුකාර භවතා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගනුදෙනුකරු සතු ගෙවීමේ හැකියාව මනාව අධ්‍යනය කර ගනුදෙනුකරු විසින් සිතා මතා ගෙවීම් පැහැර හරින විට හෝ අප හට අදාළ ගනුදෙනුකාර භවතා සමඟ එකඟතාවකට පැමිණීමට නොහැකි වු අවස්ථාවකදී පමණයි.

බැංකු නොවන මුල්‍ය ආයතන වලින් මුල්‍ය පහසුකම් ලබාගත් වැඩිම ගනුදෙනුකාර භවතුන් පිරිසකටද අප හිමිකම් කියනවා. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගත කිරීම් අනුව A+ (lka) ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වන අතර 7 වන වරටත් ශ්‍රී ලංකාවේ වගකීම් සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමක්.

ශ්‍රී ලංකාව තුළ වටිනාම හා ප්‍රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදුකරන බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් සමාගම විසින්ද ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම පසුගියදා ඇගයීමට ලක්වුණා. එමෙන්ම අප සමාගම බිස්නස් ටුඩේ 30 ශ්‍රේණිගත කිරීම් ද ඇතුළත් සමාගමක්. දෙස් විදෙස් ප්‍රමුඛතම සම්මාන හිමි වීමෙනුත් අප සමාගම මෙරටට විශේෂිතයි. ‘

Comments