මතභේදාත්මක එම්සීසී ගිවිසුමට රජය අස්සන් නොකරයි | සිළුමිණ

මතභේදාත්මක එම්සීසී ගිවිසුමට රජය අස්සන් නොකරයි

මතභේදාත්මක එම්සීසී ගිවිසුමට රජය අස්්සන් නොකරන බව සම කැබිනට් ප්‍රකාශකයකු වන වැවිලි කර්මාන්ත අපනයන කෘෂිකර්ම ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

ඉකුත් ‘යහපාලන‘ රජය මගින් අදියර දෙකකට අස්සන් කරන ලද සහෂ්‍රක අභියෝගතා සමායතන ගිවිසුම හෙවත් හෙවත් එම්සීසී ගිවිසුම මගින් පාර්ලිමේන්තු පරමාධිපත්‍යය උල්ලංඝණය කිරීමක් සිදුවන බවද නීතිපතිවරයාට රජය වෙනුවෙන් පෙනී සිටීමට හෝ අධිකරණය වෙත යාමට හෝ නොහැකි පසුබිමක් ඉන් නිර්මාණය වී ඇති බවද එම ගිවිසුම පිළිබදව සමාලෝචනය කිරීමට පත්කරන ලද කමිටුව සිය අවසන් වාර්තාව මගින් අවධාරණය කර තිබේ.

මෙම එම්සීසී ගිවිසුම ක්‍රියාත්මක කළ සෙසු රටවල වත්මන් තත්ත්වය පිළිබද අවධානය යොමු කර ඇති සමාලෝචන කමිටුව මැඩගස්කරය, හොන්ඩුරාස් වැනි රටවලට අත්ව ඇති ඉරණම ඉතාම කනගාටුදායක බව ප්‍රකාශ කර තිබේ.

එම්සීසී ගිවිසුම් සමාලෝචන කමිටුව ඉකුත් දෙසැම්ර්බර් 18 වැනිදා අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව පත් කළ අතර එහි සභාපතිවරයා වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්ය.

කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කෙළේ ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටලු ලේකම් ආචාර්ය ඩී.එස් ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන මහත්වරුන්ය. ඉකුත් යහපාලන රජය එම්සීසී ගිවිසුමට 2017 සහ 2018 දී අදියර දෙකකින් අස්සන් කර ඇතැයි කමිටු වාර්තාව හෙළි කරන අතර ඒ වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 10ක් ප්‍රදානය කර ඇති බව දැක්වෙතත් එම මුදලට අදාළ කිසිදු ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නැතැයි කමිටුවේ සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් සිළුමිණට කීය.

Comments