හතර වටේ GOසිIP | සිළුමිණ

හතර වටේ GOසිIP

මාතර පැත්තේ අපේක්ෂකයෙක් උපන් දින සාදත් මිලට අරන්

මාතර දිසාවෙන් දියවන්නාවට රිංගන්න හදන ඇත්තෝ ටික මනාප පොරය වෙනුවෙන් අමුතු අමුතු දේවල් කරනවා කියලයි ආරංචිය.

කොළ පාටියේ අය, නිල් පාටියේ අය, පුතාණෝගේ පාටියේ අය, රජ ගෙදර නියෝජනය කරන පාටියේ අය මෙන් ම රතු පාටියේ අය දඩි බිඩියේ වැඩ කරන් යනවලු.

කාලයක් අතපය කපා ගනිමින් තමන් පාටිය මාරු නොකරන බව පැවසූ මාතරින් දියවන්නාවට ආපු හාදයා හොර රහසේ ම ජන හමු සියයකට වඩා සූදානම් කර‍ගෙනලු. හැබැයි මේ හමුවලට වෙනත් නායකයින්ට අවස්ථාවක් දෙන්නේ නැහැ කියලයි ආරංචිය. දියවන්නාවට රිංගලා සල්ලි භාගය හොයාගත්ත තවත් ඇත්තෙක් අරුම පුදුම වැඩසටහනක් කරගෙන යනවලු. උපන් දින සාද හොය හොයා යන මේ පුද්ගලයා තමන්ගේ උපන් දින සාද සඳහා මුදල් වියදම් කරමින් ජන හමු පවත්වනවා කියලයි ආරංචිය. මැතිවරණ දිනයට පෙර තිබෙන උපන් දින පිළිබඳව සොයා බලන්නටත් ඒ උපන් දින සාද තමන්ගේ අනුග්‍රහයෙන් පැවැත්වීමටත් මොහු විසින් කණ්ඩායමක් පත් කරලයි කියලා ආරංචියි.

ඒ පාටියට මේ පාටියට පැන පැන හිටිය මොහු ඉකුත් සමයේදීත් දියවන්නාව නියෝජනය කර ඇත්තෙක් කියලයි කියන්නේ.

බදුල්ලේ චණ්ඩියාට‘ටැලිෆෝනයෙන්’ අමුතු කතා

කොළ පාටියේ නායකයා එළවන්නට ලොකු ගේමක් දීපු කටකාරයාට දැන් දැන් පුතාණෝගේ පාටියේ අය අමුතු අමුතු කතා කියනවා කියලයි ආරංචිය. කොළ පාටියෙන් වෙන්වෙලා පුතාණෝගේ පාටියෙන් දියවන්නාව තරණය කරන්න හරිම පහසුයි කියලයි මොහු නිතර කියන්නේ. පුතාණෝගේ පාටි‍යේ තනතුරක් එහෙම දරන බදුල්ල පැත්තේ ඉන්න මේ හාදයා ඡන්දය ඉල්ලන්න බය වුණා කියලයි බොහෝ දෙනා කියන්නේ. පුතාණෝගේ ළඟම සිටින මිතුරා ලෙසින් පෙනී සිටින මොහු ඡන්දය පරදිනවා කියන බය නිසා අර මොකද්ද ලැයිස්තුවෙන් දියවන්නාවට රිංගන්නලු හදන්නේ. බදුල්ල පැත්තෙන් අලුත් අලුත් මුහුණු රැසක්ම දියවන්නාවට යවනවා කියලා බදුල්ල පැත්තේ ජනතාව අතර නිතර නිතර කියවෙන නිසා බදුල්ලෙන් මීට පෙර දියවන්නාවට පැනගත්ත හාදයෝ කිහිපදෙනෙක් ම බය වෙලා කියලයි ආරංචිය.

රජ වෙන්න හීන දකින හීන්දෑරි කොළඹ හාදයාගෙන් පුතාණෝට කරදරයිලු

පුතාණෝගේ පාටියේ වැඩ්ඩෝ යැයි කියා ගන්නා නායකයන් කිහිප දෙනෙකුම අතර මේ දිනවල හරි හරියට ගැටුම් ඇතිවෙනවලු.

බදුල්ල පැත්තෙන් දියවන්නාව තරණය කරලා කොළ පාටිය දැඩිව විවේචනය කරන හාදයට මහ අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ.

ආගමික නායකයකු ප්‍රසිද්ධියේ විවේචනය කරන්න මේ හාදයා කටයුතු කරපු නිසා පුතාණෝගේ පාටියේ නායකයන් බදුල්ලේ හාදයාට හොඳටම දොස් නඟනවාලු.

පුතාණෝගේ පාටියෙන් රජ වෙන්න බලන් ඉන්න හීන්දෑරි උස හාදයා මේ දිනවල ඡන්ද සටන තමන්ට දෙන්න කියලා නිතර නිතර පුතාණෝට කරදර කරනව කියලයි ආරංචිය.

පුතාණෝ ප්‍රධාන කරගනිමින් පවත්වන ජනහමුවලදී පරිස්සමින් කතා බහ කරන ලෙස පුතාණෝට ඔහුගේ පාටියේ නායකයන් කිහිප දෙනෙකුම කියනවා කියලයි ආරංචිය.

හිටපු රජ කෙනෙක් ගුවන් විදුලි නාළිකාවක පැය ගාණක්ම බලෙන් රැඳී ඉඳලා

රජ ආසනයට පත් වෙලා හිටපු පොලොන්නරුව පැත්තේ හාදයා ජොලියට බරයි කියලා පොඩි ළමයා පවා හොඳින්ම දන්නවාලු නේ. කාලයක් තිස්සේ ම නොයෙක් නොයෙක් චරිතවලින් මොහුව මුහුණු පොතේ හැඳින්වුණා. ලෝකයේ රාජ්‍යවල රජකමට පත් වුණු කිසිම රජෙක් මොහු තරම් මුහුණු පොතේ නම් ජනප්‍රිය වුණේ නැහැ කියලයි ආරංචිය.

රාජ්‍ය උත්සවය කුමක් වුවත් එහිදී කවි පදයක් ගීතයක් මෙන් ම විහිළු කතාවක් පැවැත්වීමට පොලොන්නරුව පැත්තේ හිටපු රජා අවස්ථා ගණනකදීම ක්‍රියා කරපු හැටි මාධ්‍ය තුළින් මෙරට වැසියන් දැක තිබෙනවා.

රජකමෙන් පස්සේ ජන මාධ්‍යවල පෙනී සිටින්න දැඩි කැමැත්තක් දක්වන මොහු පසුගිය සතියේ රූපවාහිනියක නිවේදකයකු ලෙසත් කටයුතු කළාලු.

පුලතිසිපුර මේ හාදයාව ගුවන් විදුලි නාළිකාවකින් රාත්‍රී වැඩසටහනකට ගෙන්නුවාලු. පැය කිහිපයක් ගුවන් විදුලි වැඩසටහනේ සිටිය මොහු එදින කාලය මදි වූ නිසා ඊට පසුවදාත් එම ගුවන් විදුලි ආයතනයට පැමිණ තමන්ට තව පැය දෙක තුනක් ගුවන් විදුලියේ වැඩසටහනක් ඕන බව කිව්වා කියන්නේ.

වැඩිම කැමැත්ත පො‌ෙහාට්ටුවේ කඩවසම් තරුණයාටලු

එක ම පාටියේ කට්ටියක් නුවර පළාතේ ලොකු අර්බුදයකලු. පොහොට්ටු පාටියේ හය දෙනෙක් මේ තරගයේ ඉන්නව කියලයි ආරංචිය. වැඩිම ලකුණු අරගෙන දියවන්නාවට එන්න තමයිලු මේ අය අතර උත්සාහ කරන්නේ.

හය දෙනාම ජයග්‍රහණය කරන බව දැනගෙන ඉන්නවා කියන්නේ. ඒ පැත්තට මේ පැත්තට පැන පැන හිටිය හාදයෙක් ඔය හයදෙනා අතර ඉන්නවා කියන්නේ. එයා නම් වැඩිම මනාප ගන්නවා කියලලු අනික් පාටිවල අය කියන්නේ. මේ අය අතර සිටින තරුණ ජවයෙන් යුත් කඩවසම් තරුණයා පළමු වැනියා වෙනව කියලත් කියනවා. ජනප්‍රිය අයිය කෙනෙකුත් මේ අතර ඉන්නවානේ; එයාට ජනතාවගේ කැමැත්ත ගොඩක්ම තියේවි කියලයි ආරංචිය.

කොරෝනා නිසා රතු පාටිය අවුලක

කොරෝනා වසංගතය පාලනය කිරීමේදී ලෝකයේ බොහෝ රටවල්වලට වඩා ශ්‍රී ලංකාව ඉදිරියෙන් ම සිටියා කියන එක රතු පාටියේ නායකයන් කිහිපදෙනෙකුම මේ වනවිට ප්‍රසිද්ධ වේදිකාවේ කියනවා කියන්නේ.

රතු පාටියේ දඩබ්බරයා මෙන් ම වෘත්තීය සමිති නායකයා දිගින් දිගටම රජයට සහ ජනාධිපතිවරයා ඇගයීමකට ලක් කරනවාලු. මෙන්න මේ තත්ත්වය දියවන්නා තරගයට තමන්ට ලොකු පාඩුවක් කියලා රතු පාටියේ නායකයන් දෙදෙනෙකුට හොඳටම තරහ ගිහින් කියලයි ආරංචිය. රතු පාටියේ කොළ පාටියට හිතවත්ම නායකයා මේ ගැන වචනයක්වත් කතා කරන්නේ නැතිව හිටියයි කියලයි කියන්නේ.

Comments