මොන පැත්තේ ඉඳගෙන වැරදි කළත් ඒ වැරදි කරන අයට දඬුවම් විඳින්නම වෙනවා | සිළුමිණ

මොන පැත්තේ ඉඳගෙන වැරදි කළත් ඒ වැරදි කරන අයට දඬුවම් විඳින්නම වෙනවා

 මොන පවුල් පසුබිම් තිබුණත් අපි දේශපාලනයේ රඳවා ගන්නෙ ජනතාව

පළාත් පාලන ආයතනවල ඉන්න එජාප නියෝජිතයන් අද වෙන කොට ඉතාම අසරණ තත්ත්වයට පත් වෙලා

මොන පැත්තේ ඉඳගෙන වැරදි කළත් ඒ වැරදි කරන අයට දඬුවම් විඳින්නම වෙනවා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

පොදුජන පෙරමු‌ෙණ්

කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක කනක හේරත්

*ගුවන් ඉංජිනේරුවෙක් වූ ඔබ දේශපාලනයට ආවේ ඇයි?

එදා 2010 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එවර පැවැති මහ මැතිවරණයේදී සැම දිස්ත්‍රික්කයකින්ම තරුණ නියෝජනයක් ඇති වන ආකාරයට දිවයින පුරා තරුණයන්ට දේශපාලනයට ඇතුල් වෙන්න පුළුවන් විදියේ පසුබිමක් සකස් කලා.ඒ වන විටත් මම දේශපාලන පවුලක සාමාජිකයකු වීම නිසා මේ අවස්ථාව ලබා ගන්න එක පහසු වුණා.

* පියා ගෙන් පුතාට මාරුවෙන මේ දේශපාලන ක්‍රමය තුළ රටේ සාමාන්‍ය පවුලක තරුණයන්ට දේශපාලනය අකැප වෙයිද?

නෑ, එහෙම වෙන්න විදියක් නෑ. මොකද අපේ රටේ දේශපාලනය ඉතා පුළුල්. ප්‍රාදේශීය සභා, පළාත් සභා, හා පාර්ලිමේන්තු කියන මේ අවස්ථා තුනේදීම මෙරට සාමාන්‍ය පවුල්වල අය දේශපාලනයට ඇවිත් තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයට එන නවකයන් බොහෝමයක් දේශපාලන පවුල් පසුබිම හේතුවෙන් එහෙම ආවත් අනෙක් අවස්ථා දෙකේ දීම මෙරටේ සාමාන්‍ය පවුල්වලට විශේෂ අවස්ථා ලබා දී දේශපාලනයට ඇතුළත් කර ගෙන තිබෙනවා. ඒ අයට පුළුවන් තම දක්ෂතා ප්‍රගුණ කර ගෙන මේ රටේ නායකත්වය දක්වාම එන්න. විශේෂයෙන් සඳහන් කරන්න ඕන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සදහා නවකයන්ට පුළුල් ඉඩක් හදා දී තිබෙනවා. දි.මු.ජයරත්ත ඩි. බී. විජේතුංග වැනි අය මෙරටේ අගමැති ධූරය දක්වා ආවේ දේශපාලන පළපුරුද්දක් නිසා මිස පවුල් පසුබිම් නිසා නොවෙයි. අනෙක හොඳට මතක තියා ගන්න, මොන පවුල් පසුබිම් තිබුණත් අපි දේශපාලනයේ රඳවා ගන්නෙ ජනතාව. ඔවුන්ට එපා වූ දවසට අපි දේශපාලනයෙන් ඉවත් කරනවා.

* ඉදිරි මහ මැතිවරණයට කෑගල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරන්නෙ ඔබයි. ඔබට වඩා දේශපාලන ජ්‍යෙෂ්ඨයන් සිටියදී ඒ තත්ත්වය ඔබට ලැබුණේ කොහොමද?

දේශපාලනයේ දී මට වඩා ජ්‍යෙෂ්ඨයන් මේ දිස්ත්‍රික්කයේ ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් මැතිවරණය ප්‍රකාශයට පත් කරන අවස්ථාව වෙන කොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කල කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයා වුණේ මමයි. ඒ නිසයි කෑගල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායකයා ලෙස මට කටයුතු කරන්න අවස්ථාව ලැබුණේ.

* ඔබ වැනි අයට තරුණ වියේදීම දේශපාලනයට ඇවිත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අවස්ථාව ලැබුණේ ජනතාව තරුණ නායකත්වය ගැන එදා තැබු විශ්වාසය නිසයි. මේ වන විට ජනතාවගේ ඒ විශ්වාසය භංග වෙලා කියල නැඟෙන චෝදනාව ගැන ඔබ මොනවද කියන්නෙ?

ඇත්තටම තරුණ දේශපාලනඥයන් බිහි කරන්න අඩිතාලම දැම්මේ අපේ පක්ෂයේ එවකට නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයායි. මේ නිසා මෙරටේ අනෙකුත් පක්ෂවලටත් සිදු වුණා තරුණයන්ට දේශපාලනය කරන්න අවස්ථාව ලබා දෙන්න. මේ තත්ත්වය මෙරටේ වංචාවෙන් දූෂණයෙන් තොර පිරිසිදු දේශපාලනක් සඳහා හොඳ ප්‍රවේශයක් වුණා. එදා පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ලැබුණ පක්ෂ විපක්ෂ තරුණයන් බොහෝ දෙනෙකු උගතුන්. මේ නිසා තමයි මේ වන විට තරුණ උගත් දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට යවන්න ඕන කියන සමාජ මතවාදයක් ඇතිවෙලා තිබෙන්නෙ. එදා පාර්ලිමේන්තුවට ආව තරුණ දේශපාලනඥයන් බොහෝ දෙනෙක් අදත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. එදා අපි ඒකාබද්ධ විපක්ෂයේ ඉඳගෙන තරුණ මන්ත්‍රීවරු විදියට මහින්ද රාජපක්ෂ මහතා සමඟ යහපාලනයට එරෙහිව කටයුතු කළ ආකාරය ජනතා ප්‍රසාදයට ලක්ව තිබෙනවා.

* සමඟි ජන බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අභියෝගයක් කියල ඒ පක්ෂය කියනවා. ඇත්තද මේ කතාව?

අනේ නෑ. කොහෙත්ම ඒ අය අපිට අභියෝගයක් නොවෙයි. දැනට මාස කීපයකට කලින් පැවැති ජනාධිපතිවරණයට අද ඔය බෙදිල ඉන්න දෙපිරිසම එකතුවෙලා තමයි අපිට විරුද්ධව කටයුතු කළේ. එදා අපිට අභියෝගයක් නොවුණ ඔවුන් අද කැඩිල බෙදිල ඒ ඒ අය අතර ඇණකොටා ගැනීම් සිද්ධ වෙද්දී අපිට අභියෝගයක් කියනවා නම් ඒ කියන අයගේ ඔළුවෙි මොකක් හරි අමාරුවක් තියෙන්න ඕන.මුල කොහෙවත් තියෙද්දි ගහ වෙන තැනක හිටවපුවාම ඒක හැදෙන්නෙ නෑ. ඒකෙ කොළ හැළෙනවා. අතු කඩා වැටෙනවා. ඉතින් දැනටමත් අතු තුනක්ද කොහෙදෝ කඩා වැටිල නේද? තව ටික දවසක් යන කොට අනෙක් අතු ටිකත් කඩා ⁣වැටෙන්න පුළුවන්. මේ නිසා පළාත් පාලන ආයතනවල ඉන්න එජාප නියෝජිතයන් අද වෙන කොට ඉතාම අසරණ තත්ත්වයට පත්ව ඉන්නවා. මේ නිසා ගමේ එජාප පාක්ෂිකයන්ගෙන් බොහෝ දෙනකු මේ වන විට ඡන්දය දීමෙන් වැළකී ඉන්න හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කරන්න තීරණය කර තිබෙනවා කියලයි අපිට ආරංචි ලැබෙන්නෙ.

* ඔබතුමාලා විපක්ෂයේ සිටියදී තරුණ ජවයත් අරගෙන යහපාලන හොරු කියල විවිධ මැති ඇමතිවරුන්ට ටොප් 10 ටොප් 20 කියල චෝදනා එල්ල කළා. දැන් ඔබලට බලය තියෙන වෙලාවේ ඔබලා එදා එල්ල කරපු චෝදනා වලංගු නැද්ද?

ඔබ ඔය ප්‍රශ්නය ඒ විදියට අහන්න හේතුව අපේ රජය කාලේ ඒ චෝදනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවනවා කියන එකනෙ. ඇත්තටම අපි එදා කළ චෝදනා අදටත් ඒ ආකාරයෙන්ම වලංගුයි. නමුත් අපිට ඒ චෝදනා සම්බන්ධයෙන් නැවත සොයා බලා කටයුතු කරන්න වෙලාවක් තිබුණෙ නෑනේ. ඒකට එක හේතුවක් තමයි ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම. අනෙක බාර කාර ආණ්ඩුව යටතේ වුණත් කිසි දෙයක් කරන්න බැරි විදියට කොරෝනා වසංගතය පැතිරෙන්න පටන් ගත්තා. දැන් අපි මැතිවරණයට මුහුණ දීල එයින් ජයග්‍රහණය කරල එදා අපි කළ හැම චෝදනාවක් සම්බන්ධයෙන්ම විධිමත් ආකාරයට විමර්ශනය කරල වැරදිකරුවන්ට දඬුවම් කරන්න කියල අදාල ආයතනවලට බල කරන්න අපි සුදානමින් ඉන්නෙ.

* පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ දිනවල පැවැත්වෙන විමර්ශනයේදි හෙළි වෙන කරුණු අනුව වරද කරුවන්ට දඬුවම් ලැබෙයි කියල ජනතාවට විශ්වාසයක් තියා ගන්න පුළුවන් කියල හිතනවාද?

ඇත්තටම මේ සම්බන්ධයෙන් ඉකුත් ආණ්ඩුව නිවැරැදි විමර්ශනයක් කළාද කියල අපිට ප්‍රශ්නයක් මතු වෙන්නෙ දැන් කෙරෙන පරීක්ෂණයේ දි හෙළිදරව් වෙන කරුණු අනුවයි. දැන් කෙරෙන පරීක්ෂණ ඉතාම විනිවිදභාවයෙන් යුතුව කෙරෙන නිසා රටේ ජනතාවටත් ඒ විමර්ශන වලදී හෙළිවන කරුණු දැන ගන්න අවස්ථාව තිබෙනවා. අපේ කාලයේ විමර්ශන කටයුතු කෙරෙන්නෙ ප්‍රසිද්ධියේ. ඒ නිසා වරදකරුවන්ට දඬුවම් නොදී සිද්ධිය යට ගහන්න ජනතාව ඉඩ දෙන්නෙ නෑ. ඒ නිසා මේ විමර්ශන අවසානයේ වැරදිකරුවන්ට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න රජයට සිද්ධ වෙනවා. එතැනදී තරාතිරම හෝ වෙනත් සාධක කිසිවක් වැදගත් වෙන්නෙ නෑ

* ඔබ කියන ආකාරයට වැරදිකරුවන්ට දඬුවම් දීමේදි තරාතිරම හෝ වෙනත් සාධක වැදගත් නෑ කිව්වට මේ සිද්ධියට දැනටමත් චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔබේ දේශපාලන සන්ධානයේ සභාපති නේද?

ඔව් ඒක එහෙම වුණා කියල එතුමා වරදක් කරල තියෙනවා නම් ඒකෙන් බේරෙන්න ලැබෙන්නෙ නෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධාන ගතවීම නිසා තමයි එතුමට මේ දේශපාලන සන්ධානයේ තනතුරක් ලැබෙන්නෙ. එහෙම වුණා කියල තමන් කරල තිබෙන වැරදිවලින් බේරෙන්න ඉඩක් ලැබෙන්නෙ නෑ. දේශපාලනය කරන කොට අපිට එකට වැඩ කරන්න පුළුවන් වුණත් අපි එකට වැඩ කරනවා කියල වැරදි කරන්න හෝ කරල තියෙන වැරදි වලින් බේරෙන්න හෝ ඉඩක් ලැබෙන්නෙ නෑ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රතිපත්තිය අනුව මොන පැත්තේ ඉඳගෙන වැරදි කළත් ඒ වැරදි කරන අය දඬුවම් විඳින්නම වෙනවා.

*පාස්කු ප්‍රහාරය ආරම්භ වන්නේ ඔබගේ දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමයකට හානි සිද්ධ කිරීමෙන්. මේ තත්ත්වය මත ඔබේ දිස්ත්‍රික්කයේ ජාතික ආරක්ෂාව හා ජාතික සමඟිය පිළිබඳ කටයුතු වල ප්‍රගතිය කොහොමද?

එදා සිද්ධිය හොඳින් නීරික්ෂණය කරන කොට තේරෙනවා මුස්ලිම් ජනතාව ගේ ඡන්ද ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඇතැම් දේශපාලනඥයන් මේ සිද්ධියට අනුබල දීල තියෙනවා කියලා. එදා ඔය කියන බුදුපිළිමවලට හානි සිදු කළ දවසේ මමත් එතැනට ගියා. මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් පිරිසකුත් එතැන හිටියා. නමුත් ඔවුන්ට මේ සිද්ධිය නිවැරැදිව වාර්තා කරන්න එදා රජයෙන් ඉඩ දීල තිබුණෙ නෑ. මේ නිසා එදා නියපොත්තෙන් කඩා ගන්න තිබුණ දේට අවසානයේ ජිවිත 350කට වැඩි ප්‍රමාණයක් බිලි දෙන්න සිද්ධ වුණා. ඒකට එවක පැවැති යහපාලන රජය වගකියන්න ඕන කියන එක අද එදා රජයේ හිටපු අය ප්‍රසිද්ධියේ කියනවා.

* වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනවරම ලබා ගත්තේ නිර්පාක්ෂිකයෙක් විදියටයි. දැන් ඔහු ඒකාධිපතිවාදයට තල්ලු වෙමින් ඉන්නවා කියල විපක්ෂය චෝදනා කරනවා. ඔබේ මතය මොකක්ද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිර්පාක්ෂිකයෙක් නිසා මේ රටේ සියලු පාක්ෂිකයන්ට සතුටු වෙන්න පුළුවන්. මොකද මේ වන විටත් එතුමා ක්‍රියා කර තිබෙන ආකාරය අනුව ජාති, ආගම්,හෝ පක්ෂ බේදයෙන් තොරව සියලු දෙනාටම සාධාරණ ආකාරයට එතුමාගේ වැඩපිළීවෙලේ ප්‍රතිලාභ ලැබිල තියෙනවා. කොරෝනා වසංගතය තුළ එතුමා ගත්තු තීරණ මෙන්ම ක්‍රියාකළ ආකාරය අද මුළු ලෝකයේම ප්‍රශංසාවට ලක්ව තිබෙනවා. වාහන ලීසින් සම්බන්ධයෙන් සමාජයේ ගොඩනැගුණ මතවාදයට ඇහුම්කන් දීල වාහන සීස්කරන එක සම්පූර්ණයෙන්ම නතර කරල තියෙනවා. මේ සමාජවාදි ක්‍රියාමාර්ග එජාපයට මෙන්ම සමඟිජන බලවේගයට ඉවසන්න බෑ. ඒනිසා තමයි බොරු මතවාද සමාජගත කරන්න උත්සහ කරන්නෙ. ඒ සියල්ලටම මේ මහ මැතිවරණයේදී ජනතාව නිවරදිව උත්තර දීල මේ රට නැවත ගොඩගන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත වරක් බලය ලබා දෙන්න පොහොට්ටුව ජයග්‍රහණය කරවන්න ඇඟිලි ගනිමින් ඉන්නවා.

 සිටියා. නමුත් මෙවර ඒ විසිරුණු කණ්ඩායම් නැවත සමඟිජන බලවේගය වටා එක්ව සිටින නිසා ඔය එක එක අය කියන අනාවැකි වලට වඩා අපිට අපි ගැන විශ්වාසයක් තියෙනවා.

Comments