බිත්තර කටු මත ඇවිදින සජිත් | සිළුමිණ

බිත්තර කටු මත ඇවිදින සජිත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් අඟහරුවාදා ස්වාධීන රූපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලය හා ඉහළ නිළධාරින් කැඳවා තිබුණේ එහි ප්‍රගතිය විමසීම සඳහාය. 2014වසරේ අංක එකේ නාලිකාව වූ ස්වාධීන රූපවාහිනීය පසුගිය යහපාලන රජය සමයේ අංක හත දක්වා පහත වැටි තිබුණත් පසුගිය මාස පහ ඇතුළත නැවත එය මෙරටේ රූපවාහිනී නාලිකා අතරින් තෙවැනි තැනට පත් කර ගෙන ඇති බව ඔවුන් පෙන්වා දුන්නේ LMRB සමීක්ෂණ වාර්තාද ඉදිරිපත් කරමින්ය. "ස්වාධින රූපවාහිනීය අත්පත් කර ගෙන ඇති ප්‍රගතිය ගැන සතුට පළ කළ ජනාධිපතිවරයා "ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී ලෝකයේ දියුණු ක්‍රමවේද භාවිත කරන්න ඕන.ඒ වගේම විකාශනය සඳහා විදෙස් චිත්‍රපට තෝරා ගැනීමේදී ඒවා අපේ ළමා පරපුර ගැනත් හිතලයි තෝරා ගන්න ඕනේ යැයිද කීවේය.

අගමැති මහින්ද රාජපක්ෂ ඉකුත් 19දා උතුරු මධ්‍යම අධිවෙිගි මාර්ගයේ ඉදිකිරීම් ප්‍රගතිය නීරීක්ෂණය කෙළේය."මේ මාර්ගය හදන්න ප්ලෑන් කළේ අපේ ආණ්ඩුව. ආණ්ඩු වෙනස් වුණේ නැත්නම් මේ වෙන කොට මේකේ වැඩ ඉවර කරන්න තිබුණා. ආණ්ඩුවක් වුණාම ප්ලෑන් එකකට වැඩ කරන්න ඕනෙ. ආවාට ගියාට වැඩ කළාම මෙහෙම වෙනවා යැයි කීවේ නොවැම්බර් මාසයේදී මෙම මාර්ගය ජනසතු කරන්න පුළුවන් විදියට වැඩ අවසන් කරන ලෙස කොන්ත්‍රාත් සමාගමට උපදෙස් දෙමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ගේ ජන්ම දිනය නිමිත්තෙන් මිරිසවැටිය පුදබිමේ පැවැති ආගමික වතාවත් සඳහා අනුරාධපුරයට ගිය ජනාධිපති අගමැති ඇතුළු රාජපක්ෂ පවුලේ අයත් රජයේ මැතිඇමතිවරුනුත් ඒ ආගමික උත්සවයට සහභාගි වුයේ සුදුවතින් සැරසි ගෙනය. මිරිසවැටිය පුජා බිමේ පැවැති මෙම ආගමික වැඩ සටහනින් පසුව අගමැති පවුලේ අයට දිවා ආහාරය සුදානම් කර තිබුණේද මිරිසවැටිය විහාරයේම වීමද විශේෂිතය.

අගමැතිවරයා අනුරාධපුරයට යන හැමවිටම ජයන්ති විහාරයට යෑම ඔහුගේ පුරුද්දක්ය. අගමැතිවරයා ගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි ජයන්ති විහාරාධිපති නුගේතැන්නෙ පඤ්ඤානන්ද හිමි ඔහු පිළිගත්තේ සිනහමුසුවය."හාමුදුරැවනේ මැතිවරණ රැලි කීපයකට යන්න තියෙනවා. නෑවිල්ලා බැරි නිසයි ආවේ. මේ අපි ඇඳුම් මාරු කර ගත්තේ ඉක්මණට ඒ රැස්වීම් වලට යන්නැයි කියමින් තමන් ඇඳ සිටි පාට ඇඳුම ද නාහිමියන්ට පෙන්වීය.

"මේක ඉතින් මහින්දගේ පන්සලනේ; ඒකට ඉතින් මොකක් ඇදගෙන ආවත් මොකද?"යැයි නාහිමි කීවේ සිනාසෙමිනි.

"දැන් ඔබතුමා අවුරුදු පනහක් දේශපාලනය කරලා. මීට පෙර ආත්මවලත් ඔබතුමා මේ රට පාලනය කරන්න ඇති. ඒකාලත් අපිත් ඔබතුමා ළඟින් ඉන්න ඇති ඒකනේ මේ බැඳීම" නාහිමියන් මහින්ද අගමැතිවරයා ගේ මුහුණ බලාගෙනම කීවේය. අස්ගිරියේ නායක හාමුදුරුවන් ගෙන් ලැබුණ කෙසෙල් ඇවරියක් තියෙනවා. එකෙන් එකක් කාල තේ එකකුත් බීල යමු. "නාහිමි කීවේ අගමැතිවරයාට කිසිවක් කියන්නට ඉඩ නොතබාමය.

ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඉකුත් බදාදා රාජාංගන යායේ පැවැති මහජන හමු කීපයකට සහභාගි වී තේ එකක් බොන්න කියල ලැබුණ ආරාධනයට දුමින්ද ගේ පියා බර්ට් ප්‍රේමලාල් ගේ සමීපතමයකුගේ නිවසට ගොඩ විය. ඔහු එහි යන විටත් එජාපයට හිතවත් පිරිසක්ද දුමින්ද හමුවීමට පැමිණ සිටියා. දුමින්ද ඒ නිවසට ගොඩවෙන විටම එජාප අධාරකරුවකු දුමින්ද අසලටම පැමිණ කීවේ නෙළුම් මල් අරගෙන අලියෝ දැන් වන්දනාවෙ යනවා; අපිත් මේ ආවෙ එහෙම ගමනක් කියාය. ඒ ඇසු එහි සිටි පිරිස මහ හයියෙන් සිනා වෙද්දී දුමින්ද කීවේ අලි මේවර වන්දනාවේ නොගියත් කමක් නෑ; යූඑන්පී එකට ඡන්දය නොදී ගෙදර හිටියත් මහ පින්කමක් සිදුවෙනවා කියාය.

මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉකුත් සතියේ මහනුවරට ගියේ ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගෙන ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමටය. දළදා වහන්සේ වැඳපුදා ගෙන අස්ගිරිය මහ විහාරයට ගිය අමාත්‍යවරයාට කිතුල් හකුරු සමඟ තේ කෝප්පයක් ද ලබා දුන් මහ නාහිමි සඳහන් කළේ "ඔබතුමා පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන. අපේ රටට ජාතියට කරදරයක් ඇති වූ හැම වෙලාවකම ඔබතුමාලා කටයුතු කරල තියෙන විදිය ගැන අපි තුළ ප්‍රසාදයක් තියෙනවා. කොළඹ ජනතාව ඒවා අමතක කරන්නෙ නෑ" යනුවෙනි. "ඇත්තටම නායක හාමුදුරුවනේ රටේ ජනතාව මේ මැතිවරණයේදී බුද්ධිමත්ව හිතලා පොහොට්ටුවට ඡන්දය දීල අපිට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගන්න පුළුවන් වුණොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සමඟ මේ රට ඉදිරි වසර පහේදී දියුණු කරන්න පුළුවන් යැයි අමාත්‍යවරයා කීවේය.

"එ.ජා.ප යේ ප්‍රචාරක කටයුතු ගැන රනිල් ගෙන් පාක්ෂිකයන් කරන විමසුමට රනිල් උත්තර දෙන්නේ "අපි විතරක් නෙමෙයි පොහොට්ටුව, ජ.වි.පෙ ඇතුළු බොහෝ පක්ෂ තාම මැතිවරණ මෙහෙයුමක් අරඹලා නැහැ." යනුවෙනි.

"ඒත් සමගි ජන බලවේගය ඔක්කොටම කලින් වැඩ පටන් අරන්. නාන වැඩෙත් ආරම්භ කරලා නේද?"නායකයා අසල සිටි රවී කරුණානායක නායකයා දෙස බලා සිනාසෙමින් කීවේය.

"ලබන සතිය මුල එ.ජා.ප මැතිවරණ මෙහෙයුම පටන් ගන්නවා. ඒක රැස්වීම්වලට වඩා රටටම යන විදියේ ඔන්ලයින් සිස්ටම් එහෙකට අපි සැලසුම් කරලා තියෙන්නේ. මිනිස්සු කොරෝනාවලට බිලි දීලා ඡන්ද කරලා වැඩක් නැහැ." නායකයාගේ සැලැස්ම හෙළි කළේ එසේය..

"සමගි ජන බලවේගය දුගී පවුල්වලට රුපියල් 20,000 ක් දෙනවා කියලා රට වටේ කියාගෙන යනවා. මේක මාර්කට් කරන්න පුළුවන්ද?" දයා ගමගේ ඇසුවේය.

"දුප්පතුන්ට වගේම මධ්‍යම පන්තියටයි කොරෝනා වැඩියෙන්ම බලපෑම් කළේ. ඔවුන්ගේ රැකියා ලක්ෂ ගණනක් අහිමි වෙලා. එදිනෙදා ජිවත් වෙන අයටත් ලොකු ගැටලු ඇති වෙලා. අපි ඒ මිනිස්සුන්ට ගොඩ එන්න ප්‍රයෝගික වැඩපිළිවෙලකුයි යෝජනා කරන්න ඕනේ." නායකයා කී දේ සිරිකොත සිටි සියලු දෙනා අනුමත කළහ.

" නායකතුමාගේ ස්ථාවරය හරි. එ.ජා.ප ය පොහොට්ටුවයි, සමගියේ අයයි එක්ක පැටලිලා ඔවුන්ට පහර ගහන්න ඕනෙ නැහැ. ජනතාව වෙනුවෙන් කරන වැඩපිළිවෙලකුයි ඉදිරිපත් කරන්න ඕනේ." මහනුවර දිසාවට තරග වදින මාධ්‍යවේදි මහේෂ් සේනානායක කීවේය.

"ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දැන් කියන්නේ මේ වසර ලංකාව වගේම ලෝකෙම ආර්ථික අගාධයට වැටෙන වසරක් කියලායි. කොරෝනා මර්ධනය කළොත් ලබන වසරේ ටිකක් ඔළුව උස්සන්න පුළුවන් වේවි කියලාත් ඔවුන් කියනවා." නවීන් දිසානායක බැරෑරුම්ව කීවේය.

"දැන් මේ කරුණා එක රෑයකට හමුදාවේ තුන් හාරදාහක් මැරුවා කියලා කියන එක ආණ්ඩුව රකින්න හදනවා. හැබැයි හමුදා පවුල් මේ ප්‍රකාශයෙන් විශාල කළකිරීමකට පත්වෙලා ඉන්නේ." වජිර අබේවර්ධන හඬ අඩුකොට කීවෙිය.

"බැඳුම්කරයට අදාළව හිටපු ජනපතිගෙනුයි, ඔබතුමාගෙනුයි ප්‍රශ්න කරන්න යනවාලු. මේකත් ඡන්දේ මැද මිනිස්සු රවට්ටන්න ගහන ගේමක්ද?" චම්පිකා ප්‍රේමදාස ඇසුවේ එ.ජා.ප නායකයාගෙනි.

"ප්‍රශ්න කළොත් උත්තර දෙන එක නායකතුමාට ප්‍රශ්නයක් නොවෙයි. හැබැයි මේ ඡන්ද මැද ඔය වගේ ගේම්වලට උත්තර දෙන්න මම සුදානම් නෑ කියලා හිටපු ජනපති මෛත්‍රී කියලා තිබුණා. එක අතකට ඒක හරි." නවීන් දිසානායක කීවේය.

"අගරදගුරු ට හරීන් ප්‍රහාර එල්ල කිරීමයි; මංගල ඒක අනුමත කිරීමයි ආණ්ඩුවට ඉබ්බා දියේ දැම්මා වගේ වෙලා. ආගමික නායකයන්ට ප්‍රසිද්ධියේ අභියෝග කරන එක සුදුසු නෑ" රවි කරුණානායක කීවේ කතෝලිකයකු වශයෙනි.

"එ.ජා.ප ය හරීන්ගේ ප්‍රකාශය අනුමත කරන්නේ නෑ. ජෝන් අමරතුංග මේක හෙළා දැක්කා සජිත්ට තියෙන්නේ සමාව ගන්නවාට වඩා එක්කෝ හරීන් එක්ක හිට ගන්න එක. නැතිනම් හරීන්ට විරුද්ධව කටයුතු කරන එක." අකිල විරාජ් ගේ මතය සියලු දෙනා අනුමත කළහ.

එ.ජා.ප නායකයා කාදිනල් තුමා බැහැදැකීමට ගිය සතියේ ගියේය. එමෙන්ම ඔහු කතෝලික සභාවේ බිෂොප්වරුන් කීප දෙනෙකුම මුණ ගැසීමට ද සැලසුම් කොට තිබේ. එසේම මහනාහිමිවරු ප්‍රමුඛ මහාසංඝ රත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසද ඔහු ගේ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

ඇමති ප්‍රසන්න රණතුංග පහුගිය සඳුදා ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටු අපේක්ෂක කණ්ඩායම සිය නිවසට කැඳවා තිබුණේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡාවටය. ප්‍රසන්න එහි දී පහුගිය ජනාධිපතිවරණය දිනයේ සිදු වූ සිදුවීමක් සිහිපත් කළේ ය.

“ජනාධිපතිවරණයට පහුවදාට පහුවදා පාන්දර මම හිටියේ පත්තලෙගෙදර ඡන්දය ගණන් කරන තැන. මට මහින්ද මහත්තයා කතා කරලා ඇහුවා වැඩි ඡන්ද කීයක් තියෙයි ද ගම්පහ කියලා. මම කිව්වා ලක්ෂ 03 පනී කියලා”. ප්‍රසන්න කීවේය.

“ඉතින් ඉතින්” ලාන්සා ප්‍රසන්නව කතාවට තවත් උනන්දු කළේය.

“පාන්දර 03 විතර වෙනකොට උතුරු නැගෙනහිර ප්‍රතිඵල කිව්වා. ලොකු ගාණකින් සජිත් දිනලා.” ආයෙත් මහින්ද මහත්තයා මට කතා කළා. “දැන් කොහොමද?” මහින්ද මහත්තයා ඇහුවා.

“මම කිව්වා දැන් ලක්ෂ දෙකහමාර පැනලා. තව කාමර 20 ක ගණන් කරන්න තියෙනවා කියලා.

“ඒ කියන්නේ නිළ ප්‍රතිඵල නෙමෙයි”. සහන් ඇසුවේය.

“ නෑ.නෑ. අපි දාලා තිබුණනේ ගණන් කරන තැන් වලට වෙනම අපේ අය. ඒ අය තමයි මට කාමර වල ගාණ කිව්වේ”. ප්‍රසන්න උත්තර දුන්නේය.

“මහින්ද මහත්තයා කිව්වේ ලක්ෂ 03 ක් ගත්තොත් ඇති. සෙකන්ඩ් කවුන්ට් එකකට යන්න වෙන්නේ නෑ කියලා. කොහොමහරි පාන්දර 04 වෙනකොට ඡන්ද ලක්ෂ 03 පැන්නා. 05.30 වෙනකොට ලක්ෂ තුනහමාර පැන්නා. ප්‍රසන්න කියාගෙන ගියේය.

“ඒ කියන්නේ ගම්පහ ලක්ෂ 03 පැනපු නිසා තමයි සෙකන්ඩ් කවුන්ට් එක නතර වුණේ”.

“ ඒකනේ මම කියන්නේ මේ පාරත් උතුරු නැගෙනහිරට වඩා අපි ඡන්ද ගන්න ඕනේ. ගම්පහ දිනෙව්වොත් තමයි රටම දිනන්නේ. අපි හැමෝම එකා වගේ එකට මහන්සි වෙන්න ඕනේ”. ප්‍රසන්න කීවේය.

ඇමති ප්‍රසන්න දිගින් දිගටම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ප්‍රහාර එල්ල කරමින් සිටි. පසුගිය සතියේ ප්‍රසන්න කීවේ මෛත්‍රී ජනාධිපති සමයේ කළ දූෂණ තොරතුරු තමන් සතු බවයි. මෛත්‍රී ඔය කියන තරම් ශුද්ධවන්තයකු නොවන බව කී ප්‍රසන්න ඒ පිළිබද ව සාක්ෂි තමන් සතු බව කීවේය. ප්‍රසන්නගේ මේ කතාව අගමැති මහින්දට ද දැනගන්නට ලැබී තිබුණි. පහුගිය බදාදා පැවති කැබිනට් මණ්ඩල හමුව අතරතුර මහින්ද ප්‍රසන්නගෙන් මේ ගැන ඇසුවේය.

“මගේ ළග මෛත්‍රී ජනාධිපති වෙලා ඉන්නකොට කරපු දේවල් වල රෙකෝඩින් තියෙනවා සර්. මිනිහා ඔය කියන තරම් ශුද්ධවන්තයෙක් නෙමේ. මම වෙලාවට ඔය ටික සර්ට දෙන්නම්කෝ..”. ප්‍රසන්න මහින්දට කීවේය.

මහින්ද ප්‍රසන්නගෙන් ඊට එහා ඒ ගැන ඇසුවේ නැත.

ඇමති ප්‍රසන්න රණතුංගට පසුගිය අගහරුවාදා විශේෂ ආරාධනයක් ලැබී තිබුණි. ඒ උත්සවශාලා හිමියන් හා ආහාරපාන සපයන්නන් සමඟ සාකච්ඡාවකට ය. ඇරයුම ලැබී තිබුණේ සහන් ප්‍රදීප් විතාන පළාත් සභා මන්ත්‍රීවරයා හරහාය. ප්‍රසන්න පිළිගැනීමට මගුල් බෙර කණ්ඩායමක් ද සංවිධායකවරු ගෙන්වා තිබුණි. සාකච්ඡාවට එමින් තිබු ප්‍රසන්නට මේ පිළිබද ව දැනගන්නට ලැබුණි. ඔහු වහා සහන්ට ඇමතුමක් ගත්තේය.

“මොකක්ද ඔයාලා ඔය කරන්න හදන්නේ”. ප්‍රසන්න ඇසුවේය.

“නෑ සර්. මේ අය ඔබතුමාව පිළිගන්න මගුල් බෙර කණ්ඩායමක් දාලා.”

“මම ඔවාට කැමති නෑ කියලා ඔයා දන්නවනේ. ඔය බෙර ගහගෙන ඔයා යන්න. මම හිමීට එන්නම්” ප්‍රසන්න කීවේය. සහන් ද වැඩේ අතෑරියේ නෑ. ප්‍රසන්න එනවිට ඔහුට නොපෙනෙන තැනක මගුල් බෙර කණ්ඩායම රැඳ වූ සහන් ඔහු වාහනයෙන් බසින විට ම ඔවුන් ය ගෙන්වා ගත්තේය.

රැස්වීමේ දී එහි සිටි අයගේ ඉල්ලීම වුණේ විවාහ මංගල උත්සව වලට සහභාගී වීමට සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති 100 සීමාව ඉවත් කිරීමය. එය 200 දක්වා වැඩි කරන්නැයි ඔවුන් ඇමති ප්‍රසන්නගෙන් ඉල්ලා සිටියහ. තමන් මේ පිළිබද ව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇතැයි කී ප්‍රසන්න පසුදින කැබිනට් මණ්ඩලයේ දී ඒ ගැන කතා කරන බව ද කීවේය.

කිවූ ලෙස ම ප්‍රසන්න බදාදා කැබිනට් මණ්ඩලයට මෙම ඉල්ලීම ඉදිරිපත් කළේය.”සර්. මගුල් ගෙවල්වලට සහභාගී වන ගාණ අඩුම තරමින් 200 ක් 250 ක් කරන්න කියලා ලොකු ඉල්ලීමක් තියෙනවා. ඒ ගැන යමක් කරනවා නම් හොදයි”. ප්‍රසන්න කීවේය.

“ අපි මේ ගැන සොයා බලාගෙන යනවා”. පවිත්‍රා ඇමතිවරිය කීවාය.

“ඔව් දැන් රට යථා තත්ත්වයට පත්වෙමින් තියෙන එකේ ඔය සීමා ටික ටික පරිස්සමින් ලිහිල් කරන්න ඕනේ. ඒ ගැන ඉක්මණින් පියවරක් ගන්න ඕනේ”. අගමැති මහින්ද කීවේය.

කැබිනට් මණ්ඩල අවසානයේ මහින්ද ප්‍රසන්නට කතා කර ආරාධනයක් කළේය.

“ ප්‍රසන්න ඔයාට පහසු වෙලාවක හම්බන්තොටට ඇවිත් රැස්වීමකට දෙකකට සහභාගී වෙලා යන්න”. මහින්ද කීවේය.

“හරි සර්. මම ඕන වෙලාවක එන්නම්. ඒක මට ගෞරවයක්”. ප්‍රසන්න කීවේය.

මහින්ද සහ ප්‍රසන්න කතාබහ කරමින් සිටි තැනට ඇමති බන්දුල ආවේ පොඩි නෝක්කාඩුවක් කියමිනි.

“ඔන්න ඔයාගේ කැබිනට් පේපර් එක ලබන සතියේ දානවා. නැත්නම් මට කණක් ඇහිලා ඉන්න නෑනේ”. බන්දුල කීවේ ගම්පහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම ගැනය.

“ඒක ඉක්මණට දාන්න කියලයි මම කිව්වෙත්”. ප්‍රසන්න සිනාසෙමින් කීවේය.

“ඔව්.ඔව්. ප්‍රසන්න වැඩකට බැස්සොත් කරලම තමයි පස්ස බලන්නේ”. මහින්ද බන්දුලට කීවේ සිනාසෙමින් ය.

සෙසු පාර්ශ්ව විධිමත් මැතිවරණ මෙහෙයුමක් කොළඹ අරඹා නොතිබුණ ද සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගය මේ වන විට මැතිවරණ මෙහෙයුමේ ඉදිරියටම ගොස් හමාරය.

වෘත්තීය සමිති කාන්තා හා තරුණ බලවේග සමාජ ක්‍රියාකාරීන් ගුරුවරුන් කම්කරුවන් ශිෂ්‍යයන් මෙන්ම කලාකරුවන්ගේ ද විවිධ සංවිධාන සමඟ සජිත් පාර්ශ්වය මේ වන විට සාකච්ඡා වට රාශියක් සම්පූර්ණ කොට අවසන්ය.ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා රටටම තම පණිවුඩය ගෙන යාමේ කටයුතු ද හොඳින්ම සිදුවෙමින් තිබේ.

සජිත්ගේ ශක්තිය තවත් තීව්‍ර කරමින් චම්පික රණවක, රංජිත් මද්දුම බණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න ප්‍රමුඛ නායකයින් සියලු දෙනාම ඒ ඒ දිස්ත්‍රික්කවල ජනතාව අතරටම ගොස් මැතිවරණ මෙහෙයුම දියත් කොට තිබේ.

එහෙත් හරීන් ප්‍රනාන්දු අගරදගුරුතුමා සම්බන්ධව කළ ප්‍රකාශය ආන්දෝලනාත්මක ස්වරූපයක් ගත්තේය. සජිත් වහාම එය හෙළා දැක්කා පමණක් නොව අගරදගුරුතුමාගෙන් සමාවද අයැදීය..

ආණ්ඩුව චම්පික මෙන්ම රාජිත නීතිමය රාමුවක් තුළ කොටුකර පීඩනයකට ලක් කිරීමකට උත්සාහ දරන බව සමගි ජනබලවේගය තුළ කසුකසුවක් පැතිර ගියේ ඉකුත් සතියේය.

ඇවන්ගාඩ් අහෝසි කර එහි කටයුතු රජයට පවරා ගන්න මූලිකව කටයුතු කළේ චම්පික රාජිත, අර්ජුන ආදී හිටපු ඇමතිවරුය. ජ.වි.පෙ ද පිටින් හිඳ එකී යෝජනාවට සහාය දැක්වීය. මේ ආණ්ඩුව ඔවුන් පස්සෙන් පන්නන්න හේතුව ඒකයි.

කසුකුසුවට හේතුව කිරිඇල්ල එළියට දැම්මේ එසේය.

"යහාපාලනයේ ඔය ඇමතිවරුයි ජ.වි.පෙ යි පරාද කරන්න මම මිලියන 50 ක් මේ ඡන්දෙදි වැය කරනවා." යැයි ඇවන්ගාඩ් අධිපතිවරයා සඳහන් කර ඇති බවද ඔහු කීවේය.

"මේ ජනාධිපති කොමිසමට නිල වශයෙන් යෑමට අවසර නැති රජයේ මුදල් ගසා කාපු කෙනෙක් අපට අභියෝග කිරීම තුට්ටුවකටවත් සලකන්නේ නැහැ. මේ ජනාධිපති කොමිසම ඔවුන්ටම පාරාවලල්ලක් කරන්න අපි කටයුතු කරනවා." චම්පික රණවක, අර්ජුන, රාජිත මෙන්ම ජ.වි.පෙ ද අභියෝග කරන්නේ එසේය.

"ගිය ආණ්ඩුවේ වැඩ කරපු ඇමතිවරු හිටියේ අතළොස්සයි. විවිධ චෝදනා මැද මම වරාය නගරය ඉදි කළා. කොළඹ ගිලා බහිවි කියලායි සමහරු කිව්වේ. නිවාස 25,000 ක් විතර අපි ජනතාවට ලබා දුන්නා. මාලබේ - කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට ජපානයෙන් රුපියල් කෝටි 40,000 ක් දශම එකේ පොලියට තවත් වසර 15 කින් ගෙවීම් ආරම්භ කරන්නයි අපි පටන් ගත්තේ. වසර 3 කින් ඒක ඉවර කරන්න තිබුණා. කොළඹ තදබදය අවම කරන ඒ ව්‍යාපෘතිය මේ ආණ්ඩුව නවත්වලා 6% ගිනි පොලියට කැළණියේ ඉදලා වෙන මොකක්ද පාරක් හදන්න යනවා. ජනතාව මේවා තේරුම් ගන්න ඕන." චම්පික රණවක සමාජ මාධ්‍ය හරහා රට දැනුවත් කර තිබුණේ එසේය..

"රාජ්‍ය සේවා කොමිසම තියෙද්දි ඊට උඩින් ආරක්ෂක අංශවල කණ්ඩායමක් පත් කරලා. මේ නිසා කොමිසමට උඩින් රාජ්‍ය සේවයට නියෝග දෙන තත්ත්වයක් ඇති වෙලා. ඒක ව්‍යවස්ථාවටත් පටහැනියි. අද මිනිස්සුන්ට රැකියා අහිමි වීමෙන් ඔවුන් අනාථ වෙලා. අලුතින් රැකියා බිහි වෙන්නෙත් නැහැ. බඩු මිල අහස උසට නැගලා. ඉන්ධන අඩුම මිලට දෙන්න පුළුවන් තත්ත්වයක් තිබියදි ඉන්ධනවලිනුත් ගසා කනවා. මහ මැතිවරණයේදි අපට බලය දුන්නොත් අපි ජනතාවට සහන දෙන හැටි පෙන්වනවා. පහුගිය වසර පහේදි අපි ඒවා ඔප්පු කරලා පෙන්නුවා." ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ ඉකුත් දා කොළඹදී පැවැති සමඟි ජන බලවේගයේ ඉහළ පෙළේ නායක හමුවකින් පසුව පැවැති සුහද කතා බහකදීය.

Comments