එක එක අය කියන අනාවැකි වලට වඩා අපිට අපි ගැන විශ්වාසයක් තියෙනවා | සිළුමිණ

එක එක අය කියන අනාවැකි වලට වඩා අපිට අපි ගැන විශ්වාසයක් තියෙනවා

 අපි කිසිම විශේෂ ගිවිසුමක් කිසිම පක්ෂයක් සමඟ ඇති කරගෙන නෑ

සමඟි ජන බලවේගයේ කෙටිකාලීන ක්‍රියාකාරීත්වයට එජාපය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සලිත වෙලා ඉන්නෙ

* සමඟි ජන බලවේගයෙන් මහ මැතිවරණයට නාම යෝජනා බාර දී ඇති ඇතැම් අපේක්ෂකයන්ට පල නොකියා පලා බෙදනවා කියන්නෙ ඇත්තද?

අපේ දේශපාලන ව්‍යාපාරයෙන් දැනට තිදෙනෙක් අයින් වෙලා. ඔබ කියන විදියට ඒ අයට යන්න කියල හෝ යන තැනට කටයුතු කරල හෝ නෑ. ඒ අය අයින් වෙලා තියෙන්නෙ ඒ අයගේ ස්වෙච්ඡාවෙන්මයි.

* සමඟි ජන බලවේගයේ ඇතැම් නායකයන් ප්‍රසිද්ධියේම කීවේ මංගල සමරවීර ගේ මතවාදය ඔවුන් පිළිගන්නෙ නෑ කියලා. ඔවුන්ට පක්ෂය ගැන කළකිරීම් ඇති වුණේ ඒ නිසා වෙන්න බැරිද?

අපි හැමෝටම අනෙකා ගේ මතවාදයත් සමඟ සියයට සීයක්ම එකඟ වෙන්න බෑනේ. අපේ සමහර අය කියන්නෙ ඒ ගැනනේ. නමුත් අපේ සමඟි ජන බලවේගයේ මේ වන විට ඉවත්ව ඇති තිදෙනාම එහෙම දෙයක් නිසා ඉවත් වුණා කියල විශ්වාස කරන්න බෑ.

* සමඟිජන බලවේගයට විරුද්ධ පාර්ශ්ව සඳහන් කරන්නේ ඉදිරි දින කීපය තුළදී තවත් අපේක්ෂකයන් බොහෝමයක් සමඟි ජන බලවේගයේ මන්ත්‍රී ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වෙයි කියලයි.?

සමඟි ජන බලවේගයේ කෙටි කාලයක ක්‍රියාකාරීත්වය දැකල එජාපය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සලිත වෙලා ඉන්නෙ. දිනෙන් දින ජනතාව සමඟිජන බලවේගය වටා රොද බඳින එක නවත්වන්න නොයෙක් උපක්‍රම යෙදුවා. නඩු දැම්මා, නාම යෝජනා නීති විරෝධි කීවා, අවලාද නැගුවා.මේ කිසිම දෙයකින් සමඟි ජන බලවේගය වටා ඒකරාශි වෙන ජනතාව පාලනය කරන්න බැරි වුණා. ඒක නිසා දැන් බොරු සමාජගත කරන්න හදනවා.

* සමඟි ජන බලවේගය සමඟ සන්ධාන ගතව සිටින සමහර සුළු ජාතික පක්ෂ හා සමඟිජන බලවේගය අතර රහසිගත ගිවිසුම් තිබෙන බවට එල්ල වන චෝදනා සත්‍යයක්ද?

නෑ. එහෙම කිසිම විශේෂ ගිවිසුමක් කිසිම පක්ෂයක් සමඟ ඇති කර ගෙන නෑ. දැන් රටේ නිර්මාණය වෙමින් තිබෙන්නෙ ඒකාධිපති, මිල්ටරිවාදි පවුල්වාදි ආණ්ඩුවක්. එ්කට විකල්පයක් ලෙස තමයි සමඟි ජන බලවේගය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හදන්න උත්සාහ කරන්නෙ. අපේ පක්ෂය රටේ ඒකීයභාවය වෙනුවෙන් බරපතළ ලෙස පෙනී සිටින පක්ෂයක්. ඒ අපේ අරමුණ ජනගත වීම වළක්වන්න තමයි ජාතිවාදි මතයක් සුළු ජතික පක්ෂ සම්බන්ධ කර ගෙන ගොඩ නඟන්න හදන්නෙ. ඒවාට දැන් ඉඩක් නෑ. ඒ වාගේම ජනතාව ඔය කියන හැම බොරුවක්ම පිළිගන්න සුදානමකුත් නෑ.

* උතුරේ ස්වයංපාලන ක්‍රමයකට සමඟිජන බලවේගයේ එකඟතාවක් තිබෙනවාද?

නෑ. අපේ පක්ෂය ඒකීය රාජ්‍ය පිළිගන්න දේශපාලන පක්ෂ සමඟ පමණයි සන්ධාන ගතව සිටින්නෙ. ස්වයංපාලනය කියන එක විවිධ අය එක එක විදියට විග්‍රහ කරනවා. පළාත් සභාවත් එක්තරා විදියකට ස්වයං පාලනයක්.

* ඔබේ පක්ෂයේ නායකයා සජිත් ප්‍රේමදාස මහතා කියනවා ඔබලාට බලය ලැබුණොත් අඩු ආදායම්ලාභි පවුල් වලට මසකට රුපියල් 20000ක් බැගින් දෙනවා කියලා. එහෙම දෙන්න ඔබලාට තිබෙන ආර්ථික වැඩපිළිවෙල මොකක්ද?

ඒ ආර්ථික වැඩපිළිවෙල වචන දෙකතුනකින් කියන්න බෑ. අපි ඒ වැඩපිළිවෙල මේ මැතිවරණයේදි ජනගත කරනවා. විශේෂයෙන් අපේ රටේ තිබෙන හැම සම්පතක්ම භාවිත කරමින් මුළු රටේම ආදායම් උත්පාදන ක්‍රියාවලිය විධිමත් කරන්න ඕන. අනෙක ලැබෙන ධනය සාධාරණව බෙදී යන්න ඕන. අපි දැන් මේ රටේ සාම්ප්‍රදායික ආදායම් උපදවන ක්‍රමවේද වෙනස් කරන්න ඕන. රාජ්‍ය දේපල ආර්ථිකය කියන මොඩලය නැවත සක්‍රිය කරන්න ඕන. නවෝත්පාදන ආර්ථික ක්‍රමවේද අපි අනුගමනය කරන්න ඕන. වී ගොවිතැන වගේම තේ පොල් රබර් වැනි කෘෂි ආර්ථිකය ප්‍රතිසංවිධානය කරන්න ඕන. හොඳ මූල්‍ය පාලනයක් ඇති කරන්න ඕන. මෙවැනි ක්‍රමෝපායන් හරහා අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා.

*උගත් බුද්ධිමතුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕන කියන සමාජ මතවාදය ගැන ඔබේ මතය මොකක්ද?

ඔය උගත් බුද්ධිමත් සටන් පාඨයට මම එකඟ නෑ. ඕවා සමහර අය නිර්මාණය කරල තියෙන නොගැඹුරු සටන් පාඨයි. මිනිසුන්ට උගත්කම තිබුණත් උපාධි සහතික තිබුණත් ඒ හැමෝම හොඳ මිනිස්සු වෙන්නෙ නෑ. රටේ මහ බැංකුව කොල්ල කෑවෙ උගත්තුනේ. ජනාධිපති මහ බැංකුවේ නිලධාරීන්ට හොඳටම දොස් කියනවා අපි අහ ගෙන හිටියා; ඒ අය කිසිම වැඩක් කළේ නෑ කියලා. ඉතින් ඕවගේ ඉන්නෙම උගත් ආචාර්ය, මහාචාර්යවරුනේ. ඒකෙන්ම පෙනෙනවා උගත් බුද්ධිමත් කියන අයගෙන් බලාපොරොත්තු වන දෙයක් වෙනවාද කියල. මේ වාගේ දේවලින් සිද්ධ වෙන්නෙ සමාජය තවත් බෙදෙන එකයි. මම කියන්නෙ නම් ආචාරධර්ම පිළිපදින විනයක් ඇති පිරිසක් හිටියොත් ඔවුන් උගතුන් බුද්ධිමතුන් කර ගන්න පුළුවන්. අද නැත්තේ හොඳ යහපත් මිනිස්සුයි. උගතුන් බුද්ධිමතුන් ගෙන් එවැනි මිනිසුන් හොයා ගන්න පුළුවන්ද? සමහරු තම තමන්ගේ උපාධි සහතික තොරම්බල් කරල ජනතාව රවටලා ඡන්දය ගන්නයි හදන්නෙ. මම හිතන්නෙ නෑ ජනතාව ඔය කියන දේවල් වලට රැවටෙයි කියල.

*මේ දිනවල මැතිවරණ කොමිසමට එල්ල වන විවිධ චෝදනා සම්බන්ධයෙන් ඔබ මොනවද හිතන්නෙ?

ඇත්තම කතාව තමයි මැතිවරණ කොමිසම හුඟක් අයට හිසරදයක් වෙලා.මොකද අපේ රටෙි මැතිවරණ කාලයට බලය ධනය පාවිච්චි කරල නොයෙක් අකටයුතු කරපු අයට දැන් ඒව කරන්න මැතිවරණ කොමිසම ඉඩ දෙන්නෙ නැ.මම හිතන්නෙ ඔය බෙහෝමයක් විරෝධතාවලට ප්‍රධාන හේතුව ඒකයි.

අපි ස්වාධීන මැතිවරණ කොමිසම ස්ථාපිත කළේ මෙ රටේ මැතිවරණ සංස්කෘතිය වෙනස් කරන්න. දැන් බලන්න මේ කොමිසම කොච්චර හොඳ දේවල් කරල තියෙනවද? ස්වාධීන මැතිවරණ කොමිසම නොතිබුණා නම් මේ වෙන කොට එකිනෙකා කපාගෙන, කොටාගෙන, මරාගෙන, ගිනි තියාගෙන, හට්ටි මුට්ටි ටකරන් සිල් රෙදි බෙදා ගෙන කොච්චර දේවල් වෙන්න තිබුණද?නමුත් මේ කොමිසම නිසා ඒවා මොනවත් කරන්න බැරි වෙලා. දැන් ජනමාධ්‍ය හරහා සිදු කෙරෙන මැතිවරණ දූෂණ තමය දකින්න තියෙන්නෙ. ඒවත් වළක්වන්න ඕන. මේ කොමිසම නිසා දැන් අපේ මැතිවරණ සංස්කෘතිය වෙනස් වෙලා. ඒක තව වර්ධනය කර ගන්න ඕන. මැතිවරණ කොමිසම අලුත් නිසා එහි සාමාජිකයින් ⁣අතින් වැරදි සිදුවෙන්න පුළුවන්. අපි කියන්නෙ ඒවත් නිවැරදි කර ගෙන මේ ඇතිවෙලා තිබෙන හොඳ දේ ආරක්ෂා කර ගන්න ඕන.

* රජයේ මුදල් පිළිබඳව පූර්ණ වගකීම තිබෙන්නෙ ජනාධිපතිට නොවෙයි පාර්ලිමේන්තුවට කියල පහුගිය දවස්වල ඔබලා ලොකු ගෝරනාඩුවක් කළා. ඔබලා ගේ ආණ්ඩුවේ ලොක්කෝ මහ බැංකුව කොල්ල කන කොට පාර්ලිමේන්තුවේ ඒ වගකීමට මොකද වුණේ?

අපි එදත් ඒ ගැන සටන් කළා. එදා අපි පාර්ලිමේන්තුවේ කළ කී දේ මොනවද කියල දැන ගන්න හැන්සාඩ් වාර්තා කියවන්න. ඒවා කියවන්නෙ නැතිව අනවබෝධයෙන් අපිට චෝදනා කරන එක සාධාරණ නෑ.

* ඒ මුදල් කොල්ලයට සම්බන්ධ අය ඔබේ කණ්ඩායමේ ඉන්නවා නම් ඔවුන්ට විරුද්ධව ඔබලා කටයුතු කරනවාද?

ඔව්. නමුත් ඒ සිද්ධියට සම්බන්ධ කිසිම අයෙක් අපේ පක්ෂයේ නෑ. ඔබලා ඔය චෝදනා කරන්න උත්සාහ කරන්නෙ සුජීව සේනාසිංහ ඒ සිද්ධිය ගැන පොතක් ලිව්වා කියලනේ. එහෙම නොවෙයි මම කියන්නෙ; මේ පිළිබඳව කරන ලද විමර්ශන වලදී නම් කියැවුණ කව්රුවත් අපේ පක්ෂයේ නෑ. දැන් මේ කොල්ලයට සම්බන්ධ අය හෙළිදරව් වෙලා තියෙනවා. මේ ආණ්ඩුවට තියෙන්නෙ ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නයි. ඇයි එහෙම කරන්නෙ නැත්තෙ? මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති කිව්වා අර්ජුන් මහේන්ද්‍ර ගෙන්වා ගන්න අත්සන් 21000 ක් ගැහුවා කියල. මම ඒකට මොකුත් කියන්න යන්නෙ නෑ.නමුත් රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීමක්වත් කරල තියෙනවාද? ඒ මොනවත් නොකර අපිට චෝදනා කරනනෙ ඇයි?

* දැන් ඔබලා වෙනම පක්ෂ හදාගෙන මහ බැංකු මහ මුදල් කොල්ලය, පාස්කු ප්‍රහාරය ආදිය ගැන හිටපු ජනාධිපති අගමැති ඇතුළු පිරිසට ඇඟිල් දිගු කිරිමෙන් එදා රජයේ සාමුහික වගකීම නේද උල්ලංඝනය කරන්නෙ?

මේ වාගේ දේවල් වලට තියෙන සාමුහික වගකීම මොකක්ද? ජනතාවට හානියක් වන දේවල් පිළිබඳව සොයා බලලා වැරදිකරුවන් හෙළිදරව් කිරීම තමයි අපි හිතන්නෙ සාමුහික වගකීම කියල. ජනතාවට අපි සාමුහිකව වග කියන්න බඳිලා ඉන්නවා. මේ කරන්නෙ ඒක තමයි.

* ඔබ කියනවා ඔබලා ජයග්‍රහණය කරනවා කියලා. නමුත් පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව ඡන්දය පාවිචිචි කර තිබෙන ආකාරය නිරික්ෂණය කළොත් ඔබලා ගේ නිගමන වැරදියි කියල හිතෙන්නෙ නැද්ද?

ඔබ කොහොමද එහෙම කියන්නෙ. පසුගිය ජනාධිපති මැතිවරණයේදීත් ජනතාව ඡන්දය පාවිචිචි කරල තිබෙන්නෙ සුපුරුදු ආකාරයටමයි. වෙනසකට තියෙන්නෙ දේශපාලනයට නවකයකු වු ගෝඨාභය රාජපක්ෂ ට ඡන්දය දීම කියලයි ඔය ඒ පැත්තට ආවඩන අය කියන්නෙ.ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට නවකයෙක්වත් නිර්පාක්ෂිකයෙක්වත් නොවෙයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වුණේ පොහොට්ටුව ලකුණෙන්; ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්. ඉතින් එයා නිර්පාක්ෂිකයෙක් වෙන්නෙ කොහොමද?පසුගිය මැතිවරණ වලදී අපේ අතිනුත් වැරදි වුණා. ඒ නිසා පාක්ෂිකයන් පක්ෂය අතහැරල ගියා. සමහරු ඡන්දය නොදී සිටියා. නමුත් මෙවර ඒ විසිරුණු කණ්ඩායම් නැවත සමඟිජන බලවේගය වටා එක්ව සිටින නිසා ඔය එක එක අය කියන අනාවැකි වලට වඩා අපිට අපි ගැන විශ්වාසයක් තියෙනවා.

 

Comments