“මොන කරුමයද තව ඇහැරුණ බවක් නැත” | සිළුමිණ

“මොන කරුමයද තව ඇහැරුණ බවක් නැත”

ටිබෙට් ජාතික “එස්” (එහි අරුත “සිකිම්” යැයි ආචාර්ය සුනිල් ආරියරත්න කියයි. - මහින්ද ප්‍රබන්ධ) මහින්ද හිමි සම්මත අධ්‍යාපන වර්ගීකරණයට අනුව කොළඹ යුගයේ මුල් අවධිය නියෝජනය කරන්නෙකි. ඒ හැරුණු කළ මේ කවියා සම්බන්ධයෙන් අදටත් අපට ඇත්තේ සරල භාවාතීශය හැඟීමකි. ඊට අනුව උන් වහන්සේ මේ රටේ නිදහස වෙනුවෙන් කවි ලියු ජාතිය අවදි කළ කවියෙකි. එපමණකි.

මහින්ද හිමි චරිතාපදානය ගත් කල මුලින්ම අපට දකින්නට ලැබෙන්නේ මෙරට ජන සමාජය තුළ උන් වහන්සේ සමාජගත වු ආකාරය යි. එය “සිංහලකරණය” යැයි හඳුනා ගැනීමේ වරදක් ඇතැයි නොසිතමි. ආචාර්ය ආරියරත්නගේ මහින්ද ප්‍රබන්ධ නම් තොරතුරු රැස් කිරීමේ එන ආකාරයට උන් වහන්නේ මහණ බවට පිවිසෙන්නටත් පෙර වයස අවුරුදු 12 දී සිය වැඩිමල් පැවිදි සොහොයුරා සමඟ මුලින්ම නවාතැන් ගන්නේ පොල්ගස්දුව ආරාමයේ ය. පසුව කොළඹ විද්යෝදය පිරිවෙන් ඇසුරත් ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා මහාබෝධි විද්‍යාලයට ඇතුළු වීමත් යන මේ කාරණා අර කීව සිංහලකරණය වෙනුවෙන් සැපයෙන සාක්ෂි වැන්න.

ඒ ආකාරයට ගොඩ නැගී ආ මේ ශිෂ්‍ය චරිතය පැවිදි බිමට පිවිසෙන්නේ දොඩන්දූවේ ශෛලබිම්බාරාමයේ දී යැයි සඳහන් ය. එතැන් සිට උන් වහන්සේගේ පැවිදි ජීවිතයට අදාල අධ්‍යාපන කටයුතු, උපසම්පදාව යන මේ සියලු කටයතු සිදු වන්නේ අර කීව සිංහල කරණය යන්න දිගින් දිගටම තහවුරු වන ආකාරයෙනි. සිංහල, පාලි, සංස්කෘත යන භාෂා ත්‍රිත්වයෙන්ම ලද අධ්‍යාපනය ඇත්තේ උන් වහන්සේ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙකු වශයෙන් ද කටයුතු කළහ. එය අර කී තත්වයට අදාලව දීප්තිමත්ම නිදර්ශනයක් වේ.

 19 වන මෙන්ම 20 වන සියවස් පුරා නැගී එන අධිරාජ්‍ය විරෝධි සටනේ ලා උන් වහන්සේගේ දායකත්වය හුදෙක් කවි ලිවීමෙන් එහාට නොයන්නේ යැයි යමෙකු සිතනවා නම් එය බරපතල වරදකි. අනගාරික ධර්මපාල තුමන්ගෙන් ලද ජාතික නිදහස් චින්තනය මත පාදක වෙමින් උගතුන්ගේත්, සමාජ ක්‍රියාකාරීන්ගේත් සහායෙන් ඉදිරියට ආ ඒ නිදහස් අරගලය තුළ සක්‍රීය ක්‍රියාකාරීත්වයක මහින්ද හිමියෝ ද සිටියහ. මෙය ගම හා පන්සල එක් කරමින් ගොඩනැගුවා වූ සමාජ ක්‍රියාකාරීත්වයක් ද වේ. එක් අතකින් සංඝාවාස, ධර්මශාලා ගොඩ නැගීම ආදියෙන් පන්සල ශක්තිමත් කරන අතරම අනිත් අතින් දහම් පාසැල්, ඉංග්‍රීසි පාඨශාලා ආදියෙන් නැඟී එමින් පැවැති බෞද්ධ ප්‍රබෝධයේ අවශ්‍යතා සම්පුර්ණ කර දීමක් ද සිදු කළේය. ඊට සමගාමීව සෞඛ්‍ය සංරක්ෂණ ඈ සමාජ සුබ සාධනය මෙන්ම අධිරාජ්‍ය විරෝධි ජාතික ප්‍රබෝධයේ ප්‍රබල සමාජ සංස්කෘකික ක්‍රියාකාරීත්වයන් වන ගව මස් විරෝධය, අමද්‍යප ව්‍යාපාරය මතු නොව බෞද්ධ සංස්කෘතික ව්‍යාපාර සම්බන්ධයෙන් සිය ක්‍රියා කාරීත්වය හා දායකත්වය සැපයූ ආකාරය දැක්වෙන කෙටි විස්තරයක් මෙසේ ය.

“1951 දක්වා පුරා වසර 15 ක් එහි මැ විසූ  (පානදුරේ මහ බෙල්ලන ශ්‍රී සුධර්මාරාමය) මහින්ද හිමියන් පන්සල හා ගම සම්බන්ධ විශාල වැඩ කොටසක් ඉටු කර ඇති බව පෙනේ. සුධර්මාරාමයේ නව සංඝාවාසය, ධර්ම ශාලාව, ප්‍රාකාරය, නව ලංකා දහම් පාසල, ඉංග්‍රීසි පාඨශාලාව ඉන් කිහිපයකි. හතර පේරුවේ ගම් වලින් බෙහෙත් එක් රැස් කොට නොමිලේ බෙදා දෙන පිං බෙහෙත් ශාලාවක් පිහිටුවීම, ගව මස් කෑමෙන් ගම්මුන් වළක්වාලීම සඳහා සංවිධානය කළ ගව පෙරහැර, එල්. ටී. පී. මංජු ශ්‍රීගේ සූවිසි විවරණ සිතුවම් සහිතව, පුරා මාසයක් පැවැත්වූ සූවිසි විවරණ පූජාව හා ගිනි මල් පූජාව, විනයවර්ධනකාරයන් මර්දනය කිරීම සඳහා කළ පෙරහැර ගම්මුන්ට තවමත් මතක තිබේ. අමද්‍යප ව්‍යාපාරයේලා පුරෝගාමීව කටයුතු කළ මුන් වහන්සේ පානදුර තොටමුණේ උපසම්පදා භික්ෂු මණ්ඩලයේ ලේඛකාධිකාර ධුරය ද දැරූහ.” (මහින්ද ප්‍රබන්ධ)

සාහිත්‍යධරයෙකු හැටියට ගත් කල අධිරාජ්‍ය විරෝධි ජාතික ප්‍රබෝධය මුල් කොටගත් කාව්‍යකරණයේ ලා මහින්ද හිමි ගත් මඟ පිළිබඳව ද පැහැදිලි අවබෝධයක් තිබිය යුතුම ය. විශේෂයෙන්ම උන් වහන්සේගේ “නිදහස් මන්ත්‍රය” “නිදහස් දැහැන” “ලංකා මාතා” වැනි අධිරාජ්‍ය විරෝධි සටනට සෘජුවම ආමන්ත්‍රණය කල කව් පන්ති සම්බන්ධයෙන් පොදුවේ අප තුළ ඇති ඇගයීම හෝ විවේචනය එතරම් නිවැරදි යැයි සිතිය නොහැක.

ඒ වන විට ආසියානු කලාපය විශේෂයෙන්ම භාරතයේ නැගී එමින් තිබූ නිදහස් සටන් ව්‍යාපාරයේ වේගවත් බව, ඒ උද්යෝගිමත් ජාතික හැඟීම මහින්ද හිමියන්ට ආභාසයක් මෙන්ම ආස්වාදයක් වු බව පැහැදිලි ය. අනගාරික ධර්මපාලයන් විසින් තනන ලද ජාතික ආගමික ප්‍රබෝධයේ වේදිකාව මතට මෙරට අධිරාජ්‍ය විරෝටි සටන වේගයෙන් මෙන්ම උද්යෝගයෙන් නැගෙනු ඇතැයි උන් වහන්සේ අපේක්ෂා කළහ.

“මොන කරුමය ද තව ඇහැරුණ බවක්  නැත

පැන පැන බියව මුළු වැදුමෙන් පලක්    නැත”

එවැනි උද්යෝගයක් ඉල්ලා සිටි නිදහස්කාමියෙකුගේ ස්වරය හඳුනා ගැනීමට හුදෙක් ජාතිකාභිමානය වැනි සාම්ප්‍රදායික තක්සේරුවක් ප්‍රමාණවත් නොවේ.

“ගමරාළගේ අර මහ වංගෙඩිය         වගේ

හැම එකකටම යටහත් වනු හොඳ ද  සගේ”

විශේෂයෙන්ම භාරතයේ නිදහස් සටන ගත් කල එහි වු ප්‍රබෝධය ඒ නිදහස් ව්‍යාපාරයට ගාමක බලවේගයක් ලබා දුන්නේය. යම් සීමාවන් මැද වුවත් සුභාෂ් චන්ද්‍රබෝස්ගේ උද්වේගකර බුද්ධි දැක්ම, ඒ රැඩිකල් දේශපාලන ක්‍රියාකාරීත්වය, සරෝජිනි නායිදුගේ උද්යෝගිමත් මෙන්ම රැඩිකල් කාව්‍ය ආමන්ත්‍රණය, මහත්මා ගාන්ධිගේ උත්තම පුරුෂ නායකත්වය, තාගෝර්ගේ ප්‍රඥාවන්ත පරිණත සටන්කාමී ජීවගුණය හා සමානව බැලූ කල මෙරට නිදහස් ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට අදාලව වැඩිදුරටත් උත්තේජනාත්මක හඬක අවශ්‍යතාව මහින්ද හිමියන්ට දැණුන බව පැහැදිලි ය. විශේෂයෙන්ම මෙරට නායකකාරකාදීන් ගෙන ගිය ටොප් හැට්, ටේල් කෝට් දේශපාලනය හමුවේ ඊට එරෙහිව නව තරුණ පෙළගැස්මක අවශ්‍යතාව උන් වහන්සේ අවබෝධ කරගත් බව පැහැදිලි ය.

“ගාන්දි, නේරු, පාතෙල් ඈ වීර    වරෝ

ඉන්දි නිදහසට දිව රෑ කරති         අරෝ

කන් දී උන් බසට සිංහල සොහෝවුරෝ

දන් දී පේ තිබෙන ජාතික වැඩට  වරෝ”

උන් වහන්සේගේ අරමුණ අභිලාෂය එසේ වූ පසුබිමක මහින්ද කවීත්වය නම් ධාරාව ගොඩ නැගුණේ ද ඊටම අනන්‍ය අපුර්ව නිර්මාණ ශාරිකාවක් හැටියට ය. එනිසාම එය ඉතිහාසයීය කාර්යභාරයකින් පසු අවසන් වූ කවීත්වයක් නොවී ය.

Comments