හොලිවුඩය චිත්‍රපට හැදීම අරඹයි | සිළුමිණ

හොලිවුඩය චිත්‍රපට හැදීම අරඹයි

කොහොමත් අවදානම් තත්වයක තිබූ සිනමාවට අපේ රටේදී නම් සිදු වූයේ ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නා මදිවාට පයින්ද ගැසුවා  වැනි වැඩකි. මේ ඉරණමටම මුහුණ දුන් හොලිවුඞ්, බොලිවුඩ්, සහ කොලිවුඩ්  යන මහා සිනමා අධිරාජ්‍යයන් අතරින් හොලිවුඩය දැන් තමාගේ චිත්‍රපටවල  වැඩ පටන් ගෙන තිබීම මේ අතර විශේෂ පුවතක් වන්නේ මේ වන විට ලොව වැඩිපුරම කොරෝනා තර්ජනයට ලක්වී ඇති රට බවට අමෙරිකාව පත්ව ඇති බැවිනි.

මේ අතරින් පළමුවැන්නා ලෙස පෙන්වා දිය හැක්කේ ලෝක සිනමාවේ දැවැන්තයෙකු ලෙස සැලකෙන ජේම්ස් කැමරන්ය. ඔහු තමාගේ සම්මානනීය චිත්‍රපටයක් වූ “ඇවේටර්” කෘතියේ දෙවන කොටස වන “ඇවේටර්-2” නිෂ්පාදන කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. නමුත් එය ලොව පුරා ප්‍රේක්ෂකයින්ට දැක බලා ගැනීමට ලැබෙන්නේ ලබන වසරේ දෙසැම්බර් මස දීය.

ටොම් කෲස් රංගනයෙන් මෙන්ම නිෂ්පාදනයෙන්ද දායක වන “මිෂන් ඉම්පොසිබල්” චිත්‍රපට මාලාවේ “මිෂන් ඉම්පොසිබල් -7” චිත්‍රපටයේ වැඩ කටයුතු දැන් ඔවුන් විසින් ආරම්භ කර ඇති අතර එය ලබන වසරේ නොවැම්බර් වල තිර ගත කිරීමට සැලසුම් කර ඇත.  එමෙන්ම ඩිස්නි චිත්‍රපටයක් වන “ලිට්ල් මර්මේන්” රූ ගත කිරීම්ද මේ වන විට ආරම්භ කර ඇති අතර එයද ලබන නොවැම්බර් වල තිර ගත කිරීමට නියමිතය.

ලොව පුරා ඉතා ජනප්‍රිය වූ තවත් චිත්‍රපට මාලාවක් වූ “බැට් මෑන්” චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය ද සිය වැඩ ආරම්භ කර ඇති අතර එයද සෙසු චීත්‍රපට වලට සමගාමීව ලබන නොවැම්බරයේදී ප්‍රදර්ශනය වනු ඇත. 

මේ අතර ටොම් හෑන්ක්ස් සුප්‍රකට ගායක එල්විස් ප්‍රෙස්ලිගේ චරිතය රඟපෑ චිත්‍රපටයක් වන “එල්විස්” මේ දිනවල තිරගත කිරීමේ සූදානමක්ද පවතී.

Comments