වැහි වැටෙන දවස් | සිළුමිණ

වැහි වැටෙන දවස්

කෘතිය - වැහි වැටෙන දවස්

කර්තෘ - චින්තක සමන් හේරත්

මෙවර සතියේ කවි පොත ලෙසින් ඉදිරිපත් කරන්නේ නව පරපුරේ කවියකු වන චින්තක සමන් හේරත් විසින් ලියන ලද ‘වැහි වැටෙන දවස්‘ කාව්‍ය සංග්‍රහයයි. එය ඔහුගේ දෙවන කාව්‍ය සංග්‍රහයයි. ‘හිතාදර දළඹුවනි‘ ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහයයි. එය නිකුත් කරන්නේ 2018 වසරේදීය.

කවියාට විවිධ අත්දැකීම් ප්‍රස්තුත වේ. ඇතැම් අත්දැකිම් ජීවිතයේ තමන්  විසින් විඳි දේය. ඇතැම් අත්දැකීම් අනුන්ගේය, අනුන්ගෙන් අසා දැන ගත් දේය. මේ විවිධ ලෙසින් ලැබෙන අත්දැකිම් කවියෙකු අතින් වචන වලින් ලියා ගලපා කපා කොටා සකස් කරන්නේ ශල්‍ය වෙද්‍යවරයෙක් සියුම් සැත්කමක් කරන්නාක් මෙනි. චින්තක සමන් හේරත් කවියාගේ වැසි වැටෙන දවස් කාව්‍ය සංග්‍රයේ මෙවන් නිර්මාණ අපට හමුවේ.

කාලයක් තිස්සේ විහාර මහා දේවි උද්‍යානය පසුපස මහවැලි කේන්ද්‍රය අසල දවස ගත කරන මහ මඟ චිත්‍ර ශිල්පියෝ ගණනක් අපට හමුවේ. මෙය කොළඹ ඒ ප්‍ර දේශයේ සැරි සරන්නන්ට බොහෝ සුලබ දසුනකි. පාර අයිනේ තැබූ සිතුවම් තනි කොට ඔවුහු ඒ අසල හෙවණකට වී සිටීති. නැතිනම් පින්සලක් ගෙන කැන්වසය මත සිතුවමක් අඳිති. බොහෝ විට මේ සිත්තරුන්ගේ ජීවනෝපාය වන්නේ සිතුවම් විකිණීමය. ඇතැම් විට සිතුවම් වෙනත් අයෙකුගේය. ඔහු එය විකුණන්ට ආ තරුණයකු පමණි. සිතුවමක් විකිණිම අවිනිශ්චිතය. එහෙත් සැමදා ඔවුහු එහි පැමිණෙති. සිතුවම් නොවිකිණීම, දවස මහ මඟ ගෙවීම, අවසානයේ හැන්දෑ අඳුරේ මේ සිතුවම් යළි රැගෙන යාම එක්තරා විදිහක දඩුවමක් වැනිය. එයත් සිතුවමේ ඇතැම් තැන් මෙන් හිස්ය. ඔහුට කියන්ට අවශ්‍ය වී ඇත්තේ මේ සිත්තරුන්ගේ ජීවිත වල ඇති දුක් බව ගැන යැයි සිතේ. චින්තක සමන් විදී සිතුවම්කරුවන් ගැන මෙසේ ලියන්නේය. මාතෘකාව ‘හිස්කමක සිතුවමක්.

“ත්‍රී රෝද මැඳුරක පටවා

ඉතිරි සිතුවම් පිරිපත උන් මැකී ගිය පසුවද

හිස්කමක සිතුවමක් පවතී

විදීයේ අවට මෙන් මා තුළද..“

ඇතැම් නිර්මාණවල ඇත්තේ ඔහු විසින් කියවන ලද පොතකින් ලැබූ අත්දැකිම්ය. එවන් නිර්මාණ කිහිපයක්ම අපට මෙම කාව්‍ය සංග්‍රහයේදි හමුවේ.

 වැහි වැටෙන දවස් ගැන කවියා මෙලෙසින් ලියයි. කථකයාට වැස්ස දුටු විට සිහිවන්නේ අතීතයේ දවසකි; ඇය සහ ඇගේ ජීවිතයයි.

‘ මේ වැස්ස මෙ පරිදිම වැටෙනවා ඇති

නුඹ සිටින පෙදෙසටද 

සැමියා තාම එහෙම මද?

ගෙදර එන්නේ ඉදහිට ද? ගෙවී ගිය 

දින පිළිබඳ ඔහොම ඉන්නේ මොනවට ද?‘

 චින්තක සමන් විවිධ මානයන් ඔස්සේ තම නිර්මාණ පෙළ ගස්වයි. මට සිතෙන පරිදි මේ වසංගත සමයේ කොරෝනා වයිරසය පිළිබද කවියක් ඇතුළත් වූ පළමු කාව්‍ය සංග්‍රහය වන්නේ ද චින්තක සමන්ගේ වැහි වැටෙන දවස් කාව්‍ය සංග්‍රහයයි. නමුදු එහි කියැවෙන්නේ ඉතාලියේ සිසිලියා ප්‍රෙද්ශයේ වෛරසය පැතිර යාමත් සමඟ ඔහුට ඇයගේ ජීවිතය සිහිවීමයි. ඒ කතකයාගේ එක්තරා දවසක තිබූ ප්‍රේමයක්යැයි පාඨකයාට සිතේ. මාතෘකාව කොරෝනා නම් මොනවද?

‘ඔබ සිටින වග  සිසිලියා  පෙදෙසේ

මේ අවුල් වියවුල් මැද සැලවිය 

අහම්බෙන් මෙන්

ස්වයං වෛරසයක් පැතිර යයි දැන් මා තුළ

ලේ නහර ඔස්සේ අවුස්සා පෙර මතක....‘

Comments