ලෙස්ටර්ගේ  පත්‍ර රස්සාව! | සිළුමිණ

ලෙස්ටර්ගේ  පත්‍ර රස්සාව!

පසු කලෙක මහා සිනමාවේදියෙකු වුවත් ලෙස්ටර්ට වුවමනා වූයේ  පත්‍ර කලාවේදියෙකු වීමටය. ඒ  දක්ෂ පියානෝ වාදන ශිල්පිණියක වූ මවත් චිත්‍ර ශිල්පියෙකු  වූ සොහොයුරාත් ක්‍රිකට් ලෝලියෙකු වූ පියාත් ජීවිතයේ එක් පසෙකින් සිටියදීය. 

බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත් ඔහු  ඒ කාලයේ හොඳම රචනාවට හිමි ත්‍යාගයට පිට පිටම හිමිකම් කීමත් ශේක්ෂ්පියර්ගේ රචනා කෙරෙහි දැක්වූ විශේෂ ඇල්මත් ඔහුගේ අනාගත අභිලාෂය ශක්තිමත් කිරීම සඳහා මනා පිටිවහලක් වූයේය. මේ හැරුණ කල බොහෝ ලේඛකයන්ට නොපිහිටන වාසනා ගුණයක්ද ලෙස්ටර්ට පිහිටා තිබුණේය. එය නම් ඉතා ලස්සනට අත් අකුරු ලිවීමේ හැකියාවය. පාසැලේදී ක්‍රිකට් ක්‍රීඩකයකුව සිටියද, ක්‍රීඩා තොරතුරු නොකඩවා එකතු කිරීමේ යෙදී සිටියද ලේඛකයකු වීමේ උවමනාව ඒ සියල්ල අභිබවා ඉස්මතුව පැවතියේ මේ සියලු කරුණු හේතු කොටගෙනය. නමුත් අපගේ අධ්‍යාපන රටාවට අනුව ලෙස්ටර්ව දක්ෂයකු ලෙස පිළිගැනීමට නම් ගණිතය සහ භෞතික විද්‍යාව ආදී විෂයයන්ද සමත් විය යුතු විය. 

ඉංග්‍රීසි, ලතින් ආදී විෂයයන්ගෙන් ඉහලම ලකුණු ලැබුවද මෙකී වීෂයයන්ගෙන් අසමත් වීම නිසා ඔහු ලන්ඩන් මැට්රික් විභාගයෙන් අසමත් වූයේය.

“සිහගිරි“ නමින් හැඳින් වූ සිය මහගෙදර තමන්ගේ කාමරය තුළට වී ලෝක සාහිත්‍යයේ දැවැන්තයින් ඇසුරු කිරීම ඔහුගේ දින චරියාව බවට පත් වූයේ එතැන් සිටය. ලේඛකයෙකු  වීමේ තම සිහිනය සැබෑ කර ගැනීමේ උත්සාහය වඩාත් හොඳින් මුවහත් කර ගැනීමේ අවස්ථාව ඒ නිසා ඔහුට උදා වූයේය. “ඩේලි නිව්ස්” පුවත් පතට ලිවීමෙන් තම ලිවීමේ හැකියාව උරගා බැලූ ලෙස්ටර්ට ඒවා දිගින් දිගටම පළවීම නිසා

ප්‍රමාණවත් ජනප්‍රියත්වයක් අත් පත් කර ගැනීමට හැකි විය. පසු කලෙක ජාත්‍යන්තර කීර්තියට පත් ටාසි විට්ටච්චි සහ හැරිසන් පීරිස් ද මේ කාලයේ ඔහුට සමගාමීව නිදහස් ලේඛකයින් ලෙස “ඩේලි නිව්ස්” පුවත් පතට ලිපි සැපවූවෝ වෙති. පණහේ දශකය වන විට ලෙස්ටර් කෙටි කතා රචනයටද බට අතර ටයිම්ස් වාර්ෂික කලාපවල පවා ඒවා පළවීම ඔහු ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් විය.

 මේ කාලයේ ලේක්හවුස් ආයතනයේ පැවති වාර්තාකරුවන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වුවද එම අවස්ථාව උදා වූයේ ලෙස්ටර්ගේ ඥාති සොහොයුරකු වූ ප්‍රෙඩි සිල්වාටය. මේ කාලයේ ලෙස්ටර්ගේ වීරයා වූයේ ලන්ඩනයේ සිට ඉංග්‍රීසියෙන් නවකතා ලියූ ජිනදාස විජේතුංගය. මේ අතර කාව්‍ය රචනාවටද උත්සාහ කළ නමුත් තමා ලියූ එකම කවි පොත එහි තිබූ අඩු පාඩු දැක පුළුස්සා දැමුවේය. 1940 වන විට ලෙස්ටර්ට රැකියාවක් තිබුණේ නැත. ඔහු මේ  කාලයේ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ඉංග්‍රීසි අංශයේ නවකතා විචාරකයෙකු ලෙස කටයුතු කළේය. අනතුරුව සිනමාව හා නාට්‍ය විචාරයේද යෙදුණේය.

1944 වන විට ලෙස්ටර්ගේ හැකියාවන් හඳුනා ගත් ඉයන් ගුණතිලක තමා කතුවරයාව සිටි “කේසරී” පුවත් පතට සිනමා ලේඛකයෙකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ලෙස්ටර්ට ලබා දුන්නේය. අනතුරුව 1945 දී “ටයිම්ස්” පුවත් පතේ වසර එක හමාරක් කටයුතු කළ ලෙස්ටර් එංගලන්තයට යෑමෙන් පසු “ලන්ඩන් ටයිම්ස්” පුවත් පතේ විශේෂාංග ලේඛකයෙකු ලෙස  කටයුතු කළේය. පැය 24 මුළුල්ලේම කැපවී වැඩ කළ ඔහු සිනමාවට යොමු වූයේ හොඳම පත්‍ර කලාවේදියෙකු ලෙස බෞතීස්ම ලබමින් සිටියදීය. එය වෙනමම දීර්ඝ වෘතාන්තයකි.මෙය ඔහු සිනමා කරුවකු වූ පසු පත්‍රකාරයෙකු නිසා වූ ඇබැද්දියක් ගැනය.

ලෙස්ටර් උපත ලැබූ දෙහිවල මහ ගෙදර වූ “සිහගිරි” ය ඒ වන විටද අවුරුදු 125 පමණ පැරණි එකකි. ලෙස්ටර් දිනක් ඡායාරූප ශිල්පියෙකු වූ තම මිතුරකු සමඟ ගොස් එහි පින්තූර සමූහයක් ගත්තේ ජීවන සිහිවටන ලෙස තබා ගනු පිණිසය. මිතුරා එකී පින්තූර මුද්‍රණය කරවාගෙන ලෙස්ටර්ට රැගෙන ආවේ ඔහු තම පත්තර මිතුරකු වූ “ද අයිලන්ඩ්” පුවත් පතේ බී.සී. පෙරේරාත් සමඟ සුහද කතා බහක යෙදෙමින් සිටියදීය. ඒ ඩික්මන් පාරේ නිවසේය. මේ කදිම ඡායාරූප ගොන්න දුටු බී.සී. ඉන් කිහිපයක් ඩැහැ ගත්තේය.

“හැබැයි පුතෝ පත්තරේ එහෙම දානව නෙවෙයි“ ලෙස්ටර් සුහද ඉල්ලීමක් කළේය. නමුත් දවසක් දෙකක් යාමටත් ප්‍රථම බී.සී. ඒ පින්තූර ඇසුරෙන් පුවත්පතට ලිපියක් ලිවේය. අජිත් සමරනායක ලෙස්ටර්ගේ උපන් ගෙය රැක ගැනීම රජයේ යුතුකමක් බව පවසමින් තව දුරටත් විශේෂ ලිපියක්ද පළ කර තිබිණි.   

මේ පුවත දුටු ලෙස්ටර්ගේ සොහොයුරිය කොතෙක් කළබලවීද යත් මෙම නිවස රජයට පවරා ගනු ඇතැයි භීතියට පත් වූ අතර මොහොතක් වත් පමානොවී මෙම වටිනා පෞරානික නිවස බිමටම සමතලා කර දැමුවාය! 

පුවත්පත් කලාවේ යෙදී සිටි ලෙස්ටර් සිනමාවට පිවිසීම ගැන කතාන්දර රැසක් ඇත. නමුත් මගේ අදහස නම් ඔහු පත්තර කලාවට සමුදී සිනමාව තෝරා ගන්නට ඇත්තේ මේ සිද්ධියෙන් පසුව බවය.

Comments