ප්‍රේක්ෂකයන් ගෙන්වා ගන්න නම් කළ යුතු දෑ මෙන්න | සිළුමිණ

ප්‍රේක්ෂකයන් ගෙන්වා ගන්න නම් කළ යුතු දෑ මෙන්න

මෙම 27 වෙනිදා දිවයින පුරා සියලු සිනමාහල් විවෘත කිරීමට තීරණය කර ඇති අතර ඒ පිළිබඳ සාකච්ඡාවක් පසුගිය සඳුදා (22) චිත්‍රපට සංස්ථාවේදී පැවැත්විණි. සිනමාහල් සඳහා ප්‍රේක්ෂකයන්  ආකර්ෂණය කර ගත හැකි චිත්‍රපට ගණනාවක් නිපදවී තිබුණද, චිත්‍රපට නිෂ්පාදකවරුන්ගෙන්  විශාල පිරිසක්, එනම්  සියයට 99ක්ම  තම සිනමා පට මෙම දිනයට ප්‍රදර්ශනය කිරීමට  සූදානම් නොවූ අතර “නිව්ස් පේපර්” චිත්‍රපට කණ්ඩායම පමණක් සිය අනුමැතිය ඒ සඳහා ලබා දී තිබේ. මෙම අදහස් විමසීමෙන් අප අදහස් කරන්නේද ප්‍රේක්ෂකයා ආකර්ෂණය කර ගත හැකි වන්නේ කොයි ආකාර චිත්‍රපට වලින්ද යන්න පිළිබඳය.      

ආකර්ෂණීය චිත්‍රපට තෝරා ගැනීමේ අයිතිය ශාලා හිමියන්ට ලබාදිය යුතුයි

ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම

පළමුවෙනි කාරණය තමයි සිංහල සිනමාව මේ මොහොතේ  පත්වී තිබෙන තත්වයෙන් ගොඩ එන්නට නම් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව වහාම චිත්‍රපට පෙන්වීම පටන් ගත යුතුයි. එය මාසිකව පරීක්ෂණ කාලයකට යටත්ව හෝ අත්හදා බලන්නට පුළුවන්.

මෙය එයට හොඳ අවස්ථාවක්. මොකද අද අපට විදෙස් චිත්‍රපට එන්නේ නැහැ. 

ඒ නිසා හොඳම සිනමා ශාලාවල හොඳ චිත්‍රපට තිරගත කිරීමේ අවස්ථාවක් අපට ලැබෙනවා.

ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස මට කියන්නට ඇත්තේ චිත්‍රපට පෝලිමේ ඇති ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත හැකි  චිත්‍රපට තෝරා ගැනීමේ වගකීම සිනමා හල් හිමියන්ට ලබා දිය යුතුයි. ඔවුන්ගේ දීර්ඝ කාලීන අත්දැකීම් මත ඔවුන්ට එය අසීරු කරුණක් වන්නේ නැහැ. මොකද මේ පෝලිමේ ඉතා හොඳින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත හැකි චිත්‍රපට ගණනාවක්ද ඇති බව පෙනී යන දෙයක් නිසා.    

ඒ අතරම සංස්ථාවේ මැදිහත්වීමෙන්ද  කලාත්මක චිත්‍රපට කීපයක් හෝ තෝරා මේ අතරම ප්‍රදර්ශනය කළ හැකියි. මා දකින්නේ ඒ ආකාරයෙන් කටයුතු කළහොත් මෙය සිංහල සිනමාවේ අලුත් පිබිදීමකට අවස්ථාවක් කර ගත හැකි බවයි.

 

ත්‍රී-ඩී ඇනිමේෂන් සහ යොවුන් චිත්‍රපට ප්‍රේක්ෂකයන් ආකර්ෂණයට යොදා ගත හැකියි

චිත්‍රපට නිෂ්පාදක ජනිත මාරසිංහ

චිත්‍රපට ශාලා විවෘත කිරීම හොඳ දෙයක් . මොකද අනික් හැම තැනකටම වඩා සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න පුලුවන් සිනමා ශාලාවකදී. ඒ නිසා අප සිනමාහල් විවෘත කර ප්‍රේක්ෂකයා ඒ වෙත ගෙන්වා ගත හැකි සිනමා නිර්මාණවලට  පළමු තැන දිය යුතු බව මම පිළි ගන්නවා.   ළමයින් සඳහා වූ ඇනිමේෂන් (කාටූන් ) වලට අද හොඳ ආකර්ෂණයක් තිබෙනවා.  විශේෂයෙන් ත්‍රී -ඩී ඇනිමේෂන් ළමයින්ට ගෙදරදී බලන්නට නොලැබෙන දෙයක්. ළමුන්ට ආකර්ෂණය වන චිත්‍රපටයක් කියන්නේ එය පවුලේ උදවිය සහභාගී වන චිත්‍රපටයක් වෙනවා කියන එක. ඒ වගෙම තමයි යෞවනයින් සඳහා වූ ක්‍රියාදාම චිත්‍රපට. ඒ සඳහා තරුණයින් පැමිණෙන්නේ කණ්ඩායම් වශයෙන්. මම හිතනවා අදාල තාක්ෂණය සහිත සිනමා ශාලා හිමියන්  නව ප්‍රදර්ශනයේදී මේ ගැන අවධානයක් යොමු කළහොත් අපට ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි කර ගන්නට පුලුවන් වේවි කියා. මේ  දේ සිදු කරන්නට චිත්‍රපට අපට තියෙනවාද කියන එක නම් ප්‍රශ්නයක්.

නමුත්  දැනට නිපදවා ඇති උදයකාන්තගේ ගින්දරී සහ ගිරිරාජ්ගේ කතුරු මිතුරු වැනි චිත්‍රපටද ඉතා පැහැදිලිවම ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක්වේවි කියා මා සිතනවා. ඒ අතරම කෙරෝනාව එන විට ප්‍රදර්ශනය නතර කළ චිත්‍රපටවලටද යම් තිර කාලයක් දිය යුතුයි.  

 

විනෝදාස්වාදය සපයන පවුලේ චිත්‍රපට වලින් ප්‍රදර්ශනය ආරම්භ කළ යුතුයි

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු

ලංකාවේ චිත්‍රපට බලන්නෙ සිංහල මිනිස්සු නෙවෙයි  දෙමළ මිනිස්සු. ඒ ඇයි කියල හොයල බැලුවොත් මිනිස්සු හෝල් එකට ගෙන්වන්න පුළුවන් චිත්‍රපට මොනවද කියල අපට තේරුම් ගන්න පුළුවන් වේවි.

දෙමළ චිත්‍රපට වල විශේෂත්වය තමයි ඒවා සාමාන්‍ය ජන ජීවිතයේ ගැටලුවක් මුල් කරගත් පවුලටම විනෝදාශ්වාදය සපයන ඒවා වීම. ඒ වගේම පහළ ස්ථරයේ ජනතාවගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටින වීරයෙකු විසින් ඔවුන් ගේ මනසට සහනයක් ලබා දීම. මේ හැම චිත්‍රපටයක්ම වාගේ පවුලේ චිත්‍රපට.

ඒ නිසා මේ මොහොතේ ඇති එක විකල්පයක් තමයි විනෝදාශ්වාදයක් සපයන පවුලේ චිත්‍රපට වලින් ශාලාවල ප්‍රදර්ශනය ආරම්භ කිරීම. මේ කාරණයෙන් ඔබ්බට ගිය කලාත්මක නිර්මාණ මෙන්ම අවර ගණයේ චිත්‍රපටත් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක්වන්නේ අඩුවෙන්. එසේම ප්‍රේක්ෂකයාට දැනෙන අයුරින් ටිකට් පතක මිල අඩු කිරීමක්ද විය යුතු යයි මා සිතනවා.

පසුගිය කාලයේ ගෙදරට කොටුවූ ජනතාව රූපවාහිනී චැනල් තුළින් දවසට චිත්‍රපට 5 ක් වත් නොමිලේ නැරඹුවා. සිනමා ශාලා විවෘත කිරීමත් සමඟ රූපවාහිනී චිත්‍රපට ප්‍රදර්ශනයටද යම් සීමාවක් පැනවීම සිදුවිය යුතු යයි මම සිතනවා.

 

අවධානමක් අරගෙන ප්‍රදර්ශනයට ඉදිරිපත් වුණේ නිව්ස් පේපර් චිත්‍රපටයේ නිෂ්පාදකවරු විතරයි

චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති අනුරාධ බී. රැකව

කවුරු මොනවා කිව්වත් කාලයක් ගෙවල් වලට හිරවෙලා හිටපු මිනිස්සු චිත්‍රපට බලන්න කැමැත්තෙන් ඉන්නවා. රූපවාහිනියෙන් දවසකට කීයක් බැලුවත් ජනතාවට පුළුල් තිරයක චිත්‍රපටයක් බලන ආශ්වාදය ලබන්න බැහැ.

 අද (22) චිත්‍රපට සංස්ථාවේ අපේ නිෂ්පාදකවරු සමඟ මේ ගැන සාකච්ඡාවක් තිබුණා. ඉතා පැහැදිලිවම දුවන චිත්‍රපට කරපු අය ඇවිත් හිටිය. ඒත් ඒ අය කවුරුවත් මේ අවස්ථාවෙ තමන්ගෙ නිර්මාණය ප්‍රදර්ශනය කිරීමට කැමති වුණේ නැහැ. අවදානමක් ඇති බව තමයි කිව්වෙ. 

නමුත් “නිව්ස් පේපර් ” චිත්‍රපටයේ එච්. ඩී. ප්‍රේමසිරි සහ රවීන්ද්‍ර ගුරුගේ යන නිෂ්පාදක මහත්වරුන් තමන් නිර්මාණය කළ චිත්‍රපටය මෙම අවධානම බාර ගෙන ප්‍රදර්ශනයට කැමැත්ත පළ කළා. 

චිත්‍රපට ප්‍රදර්ශකයින් වශයෙන් අපට ලොකු විශ්වාශයක් තියෙනවා මෙය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගනී කියා.          

 

Comments