පරමාදර්ශි කොමියුනිස්ට්වාදියාගේ උභතෝකෝටිකය අලෙක්සන්දාර් සිනෙවියෙෆ් | සිළුමිණ

පරමාදර්ශි කොමියුනිස්ට්වාදියාගේ උභතෝකෝටිකය අලෙක්සන්දාර් සිනෙවියෙෆ්

“රැකියාව අහිමි වී ගෙදර පැමිණි දිනයේ මගේ නෙත ගැටුණු පළමු දර්ශනය කුණු කන්ද මත විශ්‍රාමිකයන් පොදි කෑ ආකාරය යි. ඔවුන් දෙස බැලූ සැණින් මට මගේ ජීවිතයේ මා අත්දුටු භයානක සත්‍යය අවබෝධ විය. සමස්ත ඒකීය ජනතාවක් වශයෙන් අපි ඵෙතිහාසික සිය දිවි නසා ගැනීමක් කරගෙන ඇත්තෙමු. තමන් රුසියානු ජාතිකයින් යැයි සිතන බොහෝ මිනිස්සු දැනට ජීවත් වෙති. තව බොහෝ කල් ඉදිරියටත් ජීවත් වෙනු ඇත. එහෙත් ජනතාව යනු තනි තනි පුද්ගලයන් රාශියක් නොවේ. ජනතාවක් යනු අංග සම්පූර්ණ ජීවියෙකි. එවැනි ජීවියෙක් වශයෙන් ඌ සිය දිවි හානි කරගෙන ඇත. තනි පුද්ගලයෙක් සිය දිවි හානි තරගත් විට ඔහුගේ සෑම සෛලයක්ම, සෑම මාංශ පේශියක්ම සිය දිවි හානි කරගත් බවක් අදහස් නොවේ. සිය දිවි නසා ගැනීමේ අණ නිකුත් කරනු ලබන්නේ මොළයේ කුඩා කොටසක් විසිනි. මිනිස් ශරීරයේ සුළු කොටසක් එම අණ පිළිපදියි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අවසානයේ දී සියලු සෛල සියලු මාංශ පේශි සියලු අවයව හා ශරීරයේ සියලු කොටස් මිය යන්නේ ය.”

අලෙක්සන්දාර් සිනෙවියෙෆ් 1922 ඉපිද පශ්චාත් විප්ලවීය විශේෂයෙන්ම ස්තාලින් සමයත් ඉනික්බිතිව පෙරස්ත්‍රොයිකාව දක්වාත්. ලද රුසියානු සමාජ දේශපාලනයේ ඛේදවාචකයේ වේදනාව ප්‍රකාශශයට පත් වූ සාහිත්‍යයික පිඬුවක් හැටියට ඉහත උද්ධෘතය පෙන්වා දිය හැකි යැයි සිතමි. ඒ අනුව එය වනාහි සමාජ දේශපාලනික සිය දිවි නසා ගැනීමක් පිළිබඳ ප්‍රකාශයකි. “රුසියානු ශෝකාන්තය හෙවත් උතෝපියාවේ අභාවය” (සිංහල පරිවර්තනය- එච්. ජයරත්න) නම් කෘතියෙන් ගත් උපුටනයකි එය. ඔහුගේ කෘති සම්බන්ධයෙන් කතා කලොත් “සෝසලොජිකල් නවල්ස්”ඒ ලෙසින් වර්ගීකරණය වන (එච්. ජයරත්න එය සමාජ අටුවාමය නවකතා ලෙසින් ගැනීම වඩාත් සුදුසු යැයි සිතමි.) එම කෘතීන්හි තර්කානූකූල විවේචනාත්මක බව තුළ ඔහු සත්‍ය වශයෙන්ම මතු කරන්නට උත්සාහ කරන්නේ කුමක්ද යන්න විවාදාත්මක තැනක පවතී. ඒ අනුව ඇතැමුන් පෙන්වා දෙන්නේ සිනෙවියෙෆ් යනු ප්‍රමාණය ඉක්මවා බටහිරවාදී වෙමින් සෝවියට් රුසියානු පාලන ක්‍රමය විවේචනයට ලක් කළ අයකු බව ය. ඒ විවේචනයට, ඔහුගේ සදය උපහාසාත්මක ශෛලිය සහ කොමියුනිස්ට් විරෝධි හැසිරීම ඉවහල් වුයේද යන්න කවදුරටත් විමසිය යුත්තකි. ඊට අදාලව ඔහුගේ ඉහත කී කෘතිය මෙන්ම “යෝනිං හෙයිට්ස්” (මුදුනෝ ඈණුම් අරිති.) වුව දැඩි උපහාසය කැපී පෙනෙන තරමටම සිය විරෝධය පැහැදිලි කරන තර්කානුකූල පදනම ද අපැහැදිලි තත්වයක් නොවේ. එහිදී ඔහු අදාල සමාජ දේශපාලන පැවැත්ම සම්බන්ධයෙන් හෙලන බැල්ම දැඩි උපහාසයකින් යුක්ත වන තරමටම මද සංවේදීතාවකින් හෝ තොර යැයි පෙන්වා දී තිබේ. අලෙක්සන්දාර් සිනෙවියෙෆ් තර්ක ශාස්ත්‍රඥයෙක්, සමාජ විද්‍යාඥයෙක් හැටියට සෝවියට් දේශයේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිය වෘත්තීය පැවැත්ම තහවුරු කරගෙන සිටියේය. ඒ අතර 1993 දී, “හෙට” නම් වූ සතිපතා පුවත්පතකට තමන් සම්බන්ධයෙන් ලියු මේ සටහන කියවා බැලීම වටී.

“මම 1922 දී උපත ලදිමි. කොමියුනිස්ට් පරමාදර්ශයන් තුළ වැඩුණෙමි. මම කිසිදාක 1917 න් පසු රුසියාවේ ගොඩ නැගුණු සමාජ සංස්ථාව සාධාරණීකරණය කරන්නෙකු නොවීමි. එහෙත් මම ඒ තුළ හැදී වැඩුණෙමි. එහි සියලු වටිනා පරමාදර්ශයන් හඳුනා ගතිමි. පරමාදර්ශ කොමියුනිස්ට්කාරයෙක් වශයෙන් හඳින්විය හැකි මිනිසෙකු බවට පත් වුයෙමි. ස්වකීය කණ්ඩායම සහ රට වෙනුවෙන් ජීවත් වූ හා වැඩ කළ, ස්වකීය ජනතාව වෙනුවෙන් තමා සතු වු සැප සම්පත් හා නිලතල හඹා නොගිය  පුද්ගලයෙකු අපි එදා පරමාදර්ශි කොමියුනිස්ට්කාරයෙකු වශයෙන් සැලකුවෙමු. මම දැනටමත් ප්‍රතිපත්ති මත රැඳී සිටිමි. මම දැන් බටහිර ජීවත්වන නමුදු දේපල හා වස්තුව තරම් මා නොඉවසන දෙයක් නැති බව උදාහරණයක් වශයෙන් සඳහන් කරමි.”

සිනෙවියෙෆ් තමන්ට අදාලව ප්‍රකාශ කරන අන්දමට ඒ පරමාදර්ශි කොමියුනිස්ට්වාදියාගේ ආභාෂය තවමත් ඔහු සමඟ ය. එහෙත් ස්තාලින්ගේ විවේචනාත්මක පාලන සමයෙන් පසුව තවත් එවැනි පාලන අධිපතිවාදයකට ඉඩ නොතබන සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින තැනකට සෝවියට් රුසියාව පත්වීම ප්‍රතික්ෂේප නොකළ හැකි තත්වයක් වුයේය. චීනයේද සභාපති මා ඕ ගේ මරණයෙන් පසු (70 දශකය අවසානයේ) ඩෙන් ෂියා ඕ පෙංග් ගේ පැමිණීම නිරූපණය කරන ලද්දේත් පැවැති අධිපතිවාදී දේශපාලන පැවැත්මට එරෙහි සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලීම් ය. සිනෙවියෙෆ්ගේ පරමාදර්ශි කොමියුනිස්ට්වාදියා අතරමං වන්නේ මෙන්න මේ අතරමැද තීරුවේ ය. ඒ තත්වය සරලව විස්තර කළොත් මෙවැනි ප්‍රශ්නයක් මතුවනු ඇත. එනම් පැවති අධිපතිවාදය පරාජය කරනු වස් ඉදිරිපත් වු පෙරස්ත්‍රොයිකාව අර පරමාදර්ශි කොමියුනිස්ට්වාදියාට ඉටු කල සාධාරණය කුමක්ද?

රටින් පිටුවහල් කරන ලදුව බටහිර ජර්මනියට ගොස්, පසුව 1999 නොබෙල් සම්මානයට ඔහුගේ නම යෝජනා කොට තිබියදීත්, සෙර්බියාවට බෝම්බ හෙළීම දැඩි වාවේචනයට ලක් කිරීම හේතු කොටගෙන සම්මානය ජර්මන් ලේඛක ගුන්තර් ග්‍රාස්හට පිරිනමන ඒ තත්වය නිර්මාණය කරන්නේත් අර පරමාදර්ශි කොමියුනිස්ට්වාදියා මුහුණ පෑ අතරමං වීම විසිනි. තවද මේ අතරමං වීම අවසානයේ දී ඔහු තුළ උහතෝකෝටිකයක් නිර්මාණය කළේ යැයි ද සිතමි.

ඔහුගේ බිරිඳ පවසන ආකාරයට යුගෝස්ලාවියාවේ හටගත් දේශපාලන සිද්ධීන් කරණකොටගෙන යළිත් රුසියාවට පැමිණීමට ඔහු තීරණය කලේය. ඒ අනුව 1999 ජුනි මාසයේ ආපසු රුසියවට පැමිණි ඔහු තමන්ගේ ඒ පැමිණීම ගැන මෙසේ සඳහන් කොට තිබේ.

 “මගේ ජනතාව හා මගේ රට විනාශ කරන්නවුන්ගේ කඳවුර තුළ මට රැඳී සිටිය නොහැකි ය.”

1978 -85 අතර කාලයේදී සිනෙවියෙෆ් සෝවියට් රුසියාවේ පැවැති සැබෑ කොමියුනිස්වාදය අධ්‍යයනය කලේ යැයි සඳහන් වේ. ඒ සඳහා ඔහු ශාස්ත්‍රීය ලිපි ලේඛන මෙන්ම සමාජ ප්‍රහසන, සමාජ අටුවාමය නවකතා හා සමාජ සදාචාරාත්මක සාහිත්‍යය යොදාගත් බවක් ද සඳහන් ය. ඒ අතරවාරයේ දී සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ නාමයෙන් ආ පෙරස්ත්‍රොයිකාවට ඔහුගේ එරෙහි වීම ගැන එච්. ජයරත්න පෙන්වා දී ඇති ආකාරය ඉතා අපූරුය.

“ඔහු සෝවියට් දේශය බිඳ දැමීමට විරුද්ධව ස්වකීය පෑන මෙහෙයවුයේ ය. එම කාල පරිච්ඡේදයේ දී උග්‍ර කොමියුනිස්ට් විරෝධියෙක් කොමියුනිස්ට් ක්‍රමය අගයන්නෙකු බවට පත් විය. ස්තාලින් ඝාතනය කිරීමට පිඹුරුපත් සකස් සකස් කල පුද්ගලයෙක් ස්තාලින්වාදියෙකු බවට පරිවර්තනය විය. ” අලෙක්සන්දාර් සිනෙවියෙෆ් නම් පරමාදර්ශි කොමියුනිස්ට්වාදියාගේ උහතෝකෝටිකය ලෙසින් අප දකින්නේ (බොහෝ විට උක්ත ප්‍රශ්නයට අදාලව රුසියානු ජාතියට අනන්‍ය වූ) ඒ විසංවාදය යි.

Comments