නර්තන ශිල්පිණිය | සිළුමිණ

නර්තන ශිල්පිණිය

අම්මේ
නුඹ නැටුම් ශිල්පිණියකව සිටි බව කියති ඔවුහු මට
තිබුණ බව නුඹට නුඹේ සිරුරට කැපෙන 
දිගු අලංකාරවත් පා යුග
කියති ඔවුහු මට නුඹ නැටුම් ශිල්පණියකව සිටි බව

අම්මේ
නුඹ මනහර ඒකල ගායනාවන් ඉදිරිපත් කළ බව
එය මනා සේ හැඟුම්බර විණි නම් දෑස් පියා ගත් බව
නුඹේ වත අහසට යොමු කළ බව කියති ඔවුහු මට
කියති ඔවුහු මට නුඹ මනස්කාන්ත 
නැටුම් ශිල්පණියකව සිටි බව

අම්මේ
නුඹ සැමවිටම ඉතා මුදුව සිටි බව කියති ඔවුහු මට
වසත් සමයෙහි ඇරඹුමෙහි නදී දිය මතින් නැවෙමින්
මනහර ලෙසින් සෙලවුණවිලෝ තෙරක් ගැන
කියති ඔවුහු මට
නුඹ ලලිතවත් නැටුම් ශිල්පණියකව සිටි බව

අම්මේ කියති ඔවුහු මට නුඹ මංගලෝත්සවයන්හී
නර්තනයන් පෑ ශිල්පිණියක බවකියති ඔවුහු මට
දෑස් පියාගෙන නුඹ පාමින් මදහස
දෑත් නවා මදක් ඉදිරියට දිගු කරවැල්ලේ 
පා ගටමින් නැටූ බව
අනේ මං එවේලේ එතන සිටියා නම් කෙතරම් අගේද
කියති ඔවුහු මට නුඹ නටනු දැකුමත් සතුටක්ම බව

අම්මේ
මා ද නර්තණ ශිල්පිණියක බව කියති ඔවුහු මට
නමුදු මම එය නොදනිමි මංගලෝත්සවයන්හී 
නර්තණ ශිල්පිණියක් වීම කවරාකාරදැයි නොදනිමි මම
තවත් මෙහි විවා මංගලෝත්සවයන් නොමැත
ඇත්තේ අවමඟුල්, බොහෝ අවමඟුල් පමණි
අපි එහි ගයන්නෙමු නටන්නෙමු අනාගත මනාළියක හෝ
මනාළයෙකු වැතිර හිඳිනා මිනී පෙට්ටිය සමඟ
වේගයෙන් ඇදෙමින් ආගන්තුක මන්දහාස
මකා දමා ඇත අප කඳුළු
අම්මේ
අප දෑස් පිරී ඇත පළිගැනීමේ අරමුණින්

දයාබර අම්මේ
කියති ඔවුහු මට මා නර්තණ ශිල්පිණියකැයි
අවමඟුල්වල නටන

1954 ඔක්තෝබර් 24 දින ක්සෝහා මවකට සහ සුලූ පියකුට දාව නටාල්හී උපත ලද නොකුග්සිනා එලීසේ ම්හොල්පේ වර්ණභේදවාදයට එරෙහිව දැඩි සේ මැදිහත්වූ  කිවිඳියක, ලේඛිකාවක, රංග ශිල්පිණියක මෙන්ම නාට්‍ය අධ්‍යක්ෂවරියකද වෙයි. ඇය සිය ජීවිතය අරඹන්නී මෙහෙකාරියක ලෙසිනි. එහෙත් පසුව සාහිත්‍ය සහ කලාකාරියක බවට පත්වන ඇගේ නිර්මාණයන් මේවන විට ජර්මානු, ඉතාලි ඇතුළු විවිධ භාෂාවන්ට පරිවර්තනය වී තිබේ. සම්මානලාභී නිර්මාණකාරියක වන ඇය වර්තමාන දකුණු අප්‍රිකාවෙහි පරසිදු චරිතයකි.

Comments