කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

තනිකම

හීන බොඳ වී හඬා        වැටුණට
තාම සඳ එබෙනවා         අහසට
සීතලයි මේ නවමු        පිණිකැට
අනේ පොඩ්ඩක් තුරුළු⁣ වෙනු  මට

රෑහි පළඟැටි  තරග       ඇසුණට
තාම තනිවම  ⁣ඉන්න බය      මට
කාගෙවත් හව්හරණ       කුමකට
අපේ මතකය රැඳේ        තනියට

මඟුල් මුද්දත් ඉවත්       කෙරුමට
කිව්ව හැටි එම්බාම්        මිනිහට
ඒකවත් තිබුණ නම්       හෙමිහිට
පිරිමදින්නම් ඔබව       සිහිකොට
 
කොහිද මල්බර වසන්තය    හෙට
මං කැමති කළු  අඳුරු   මරණෙට
සදාකාලික සතුට        හිමිකොට
තනිව ඉන්නට හැකියි අද     සිට

සැඳෑ මළ හිරු ගෙදර යන     විට
බොල් හඬින් පස් මිටක් විසිකොට
සමු අරන් ඔබ ඉවත       යනවිට  
පුරුදුවෙමි  සිව්රියන්      යහනට

කිසිත් නෑසෙන නමුදු    දෙකනට
ආදරෙයි මං ඔබේ         කවියට
එදා මෙන්  තාලයට    මුසුකොට
බැරිද එක පෙම්  කවක්   ගැයුමට
 
හරිම නිසලයි තුරු වදුළු       යට  
පස් පිඩැලි උණුසුමෙන්   තැවුනට
කමක් නෑ ආදරේ         නැතිවට
යළිත් එනවද මගේ   සොහොනට

 ශ්‍රියා හිඳුරංගල

අලස සද කිරණ

ඉරි තැලුන හදවත ඉකි ගසන තරම්
ඇහි පිල්ලමක් යට මල් වැහි ගලන තරම්
අලස සරා සද වියන වැදී සන්ථානයේ
අඳුර ගොඩ ගැලුවා වඩදිය රළ උඩින්

ගිමන් හරියි සිතිජ රළ ඉතින්
නිසල දියඹ සයනයට හිස තියා
ඉසිඹුලයි ප්‍රේමය නිල් වෙරළට වී
පුංචි රළ ගෙඩි දෙපා සිඹී යැයි සිතා

සද කිරණ ටිකෙන් ටික අහිමි වූ
කුමුදු මල් බිම බලා ගෙනම සිටිත්
අකල් වස්සානයේ පෑයු සදක් දැයි
පෙරළා පැමිණි ගිම්හානය අසත්

ඊයේ පිපිණු තරු වියන අදුරු කර
පළා යයි සද මඩල ඈත අනන්තයට
මතක පොද වෙළාගත් කදුළු බිඳු
ඉකි ගසයි නෙත් කෙවෙනි උතුරමින්

සංජය ප්‍රියදර්ශන

අනේ අපොයි

හැත්තැ අටක මගෙ     වයසට
දරුණු ලෙඩක් නොවීය     මට
පළාත් පාලන         සේවෙට
යන්න  වුණා        මාදම්පෙට

පෙර අඩසිය වසක්      වගෙයි
යගම්පත්තු ගම්        සබයෙයි
තනි ලිපිකරු වූවෙ        මමයි
මැලේරියා මට         හැදුණයි

ගැහිල - ගැහිල උණ    ගැනිලා
හලාවතට           ගෙනිහිල්ලා
වයිරසයෙන්           මුදවාලා
ඇත මා සුවපත්         කරලා

මැලේරියා මේ          රටේ ම
දෙනෙකි දන්න ලෙඩකි    සෑම
වයිරස් පිට රටෙන්         ඒම
වලකා ගත යුතු       සැවොම

උඩුගම්පොල සමරතුංග

දම්පාට හැන්දෑව

දම්පාට විය හැකිද සැන්දෑව
කියා පැනයක් තිබුණි හැමදාම
ඔබ මා ළඟින්ම  ඉඳගත්තාම
හිත  පුරා  තැවරුණා ඒ පාට
පෙම් කළේ එදා සිට හැමදාම
හීනවලටයි පිරුණු දම්පාට..

කැඩුණු කුඩ හැමතැනම නෙක පාට
සදනු  බැරි, රතු කලු ද නිල් පාට
අලුත් කුඩයක් ගතිමි දම් පාට
ඔබෙ සිනාවේ අහිංසක පාට
ඒ කුඩේ යටින් අපි යනදාට
දැනුණෙ මල් වියන් සේ දම්පාට..

මඩකඩිති පිරුණු ඒ රළු පාර
දිගේ අප ඇවිද ගිය හැමවාර
ඇවිලුණා පොඩි දබර කලුපාට
හිත වැටුණෙ ගොහොරුවේ ගුරුපාට
ගැඹුරු ලප කැලල් සුව වූ දාක
වැසී තිබුණේ එමඟ යන ද්වාර...

ඒ වුණත්..
තෙතබරිත සැන්දෑවල අදත්
දම්පාට මල් කුඩ දුටුවොතින්
බොඳවූ හදින් ඉවතට හැරෙමි
කලුපැහැති කුඩයට මුවාවෙමි..!!

විජායී නාලිකා කරුණාතිලක

නුඹෙන් තොර ලොවක්

සිහින් සරින් හමන සුළගෙ
සුසුම් කොහෙද හොයාපන්
ඇහින් වැටී නොවැටි දිලෙන
කඳුළු බිදේ අසාපන්

ගිහින් දෙන්න දුක ගුලි කර
හිත අඳුරට කියාපන්
පහන් කරන්නට මේ රෑ
මතකෙට ඉඩ තියාපන්

දෑත් බැන්ද වෙරල පුරා
විසිරුනු පෙන කැටි
පාත් වෙලා මුවට උඩින්
ඇති සඳ රැස් වැටි

මාත් එක්ක සසර පුරා
පුරුදු සුවදෙ ගැටි
ඈත් වෙලා නුඹ ඈතින්
ඈතට යන හැටි

රසිකා කෝරාළ

කිති කවමි මල් පෙතිද

නිසංසල අඩ සඳේ ලා එළිද මුවා               කර
අත වනා තනි තරුව නුබ ගැබේ නතර         කර
කළු වළාවක  සැඟව තවත් නොම වී         නතර
මිහිතලය සිපගන්න යමි මගේ ගමන            දුර

කඳු මතින් තුරු හිසින් නේක පැහැ මලට     දෙන
නොසේදෙන ලෙස පැහැය මල් පෙතිත් කිති කවන
ළදලු පිරි බඩවැටිද තුරු ගොමුද පසු         කරන
ගිම් නිවමි ඇළ දොළද දිය කඩිති මතට       පැන

පිරුණු වැව් මත රැඳුණ රැලි අතර සෙනෙහෙ   විද
ඇලි ඇලී දිය කදට හාදු දී සුවය                විඳ
නිල්ල පිරි රන් ගොයම සරු කරන් කෙත්     වතුද
උපද්දමි සොදුරු මල් මිහිමවගෙ තුරුලෙ       වැද

සුරත් දිනකර කිරණ දියත උණුසුම්           කරන
රුසිරු ඉර මලට හොර රහසේම පෙම්        පුදන
සුසුදු පාවෙන වළා කාල සායම්              ඉසින
සොදුරු වැහි බිඳුව මම ලොවට අරුතක්      සදන

නුමාලි පීරිස්

පන්හිඳ කඩා විසි කෙරුවෙමි

කෙවිලියනේ හද නළවන
කොවුලාන
පන්සිළුනේ රස කැළඹු කිවිදාන
ලොව පැරණිමුත් යුග යුග
නුඹලා තරුණය...
බස පිරිසිඳු මධු කලතා
තොප මැව්ව
සැම ගීයකම තිබුණේ
අපෙ ජීවිතය
අත්තටු දෙමින්
අපෙ පදරුත් පණ පිම්බ
එරන් තුඩු අකාලේ
සීතග විය...
වනයේ මෙදා කොන්ක්‍රීට්
ගස් මිල අධික
බොහෝ කොවුලො පියඹා
ගොස් දුර අහස
සිතුම් ගඟුල උතුරා
පත් ඉරු ගොළුව
පන්හිඳ කඩා විසි කෙරුවෙමි
හද තැලුව

කමලා මැණිකේ වීරසේකර

නළල ඇබිත්තක් ඉඹින්න

අපේ දිවි මඟ හෙළි පෙහෙළි කළ
පහන් ටැඹ ඔබ
තාදි ගුණයෙන් සපිරි
ඔබේ සන්සුන් දිවි පැවැත්ම
මහරු පන්නරය විය
දූ පුතුන් කැළකට

සැරසී සුදු වතින්
සුදු මල් වියන් යට
සුවබර යහනක
සුපුරුදු පිංබර  සිනාවෙන්
සැතපී සිටී ඔබ අද
පසක් කරමින් දිවියෙ අනියත

දරුමුණුබුරන් සැම - 
මී මුණුබුරන් සමඟින
පෙළගැසී හිඳිති - සිපගන්න ඔය
නළල ඩිංගක් - මේ බවේ 
අවසන් වතාවට

සඳුන් සෙවණක සිසිල වියැකී
නිවුණු  නෙත් යුග  නිවී ගිය සඳ
අපේ දියුණුව නිබද පැතූ ඔබ
සදා දිදුලයි - සිත් සතන් තුළ

චන්ද්‍රා රෝහිණී කැටිපෙආරච්චි

මංමුළා වී

කඳු කරයේ අලංකාර
නීල හරිත කඳු මුදුනක්
හෙමින් සැරේ වෙලා ගත්තෙ
අහස පුරා සැහැල්ලුවෙන්
 
පාවී යන වලාගැබක්
ලැබුනු සිසිල පිනි බිඳුවෙන්
කන්ද වින්දෙ ආ‌දරයෙන්
පාවී ආ‌ දේදුන්නෙන්
කන්ද ඔටුනු පලඳාලා
එම අසිරිය විසිතුරු කර
මල් වැස්සක් ඇ‌ද හැලුණා...
එහෙත්,
සෙමන් සෙමෙන්
පුළුං වලා අඳුරුවීය
පිනි බිඳු හිම කැටි බඳුවිය
දෝංකාර දෙමින් නැගුනු
විදුලි අකුණු මේඝ වලා
කඳු මුදුනම වෙලා ගැනිනි..

ජල ධාරා මතුවී විත්
ගස්මුල් උදුරා ගෙනගො‌ස්
කන්දේ එක් පැතිකඩක්ම
නාය ගො‌සින් කඳු පාමුල
සියල්ල නැවතුනි,

ඇ‌ලී ගැලී සිටි වලාව
තව කන්දක වෙලී සැපට
නීල හරිත කඳු භාගය
නිසො‌ල්මනේ බලාහිඳී
රො‌න් මඩ වු තම පාමුල

චන්ද්‍රා ජයවීර

නුඹ නොමියෙන වග

පිය වර යන්තමින් ඔසවන බිළිඳු        වියේ
පියකරු මගේ දෝතට පැමිණි          පැයේ
සිය දහ ගුණේකින් සපිරුනි සතුට       ළයේ
එය ගිය කාලයට දැන් අමතකව         තියේ

දිලිසෙන රිදී නූලෙන් මල් කිණිති        මසා
රැළි ගවුමකින් දණ හිස තෙක් සිරුර     වසා
තිළිනෙට ලද නුඹගෙ හැඩ අද කොහිද   අසා
පිළිතුරු යදිමි , මට මතකය මතක       නිසා

ඉස්සර මෙහෙට ආ ගිය පොඩි      දරුවන්ට
තිස්සෙම ඇවැසි විය නුඹ අර     ගෙනයන්ට
ඇස්වල කඳුළු පුරවා හැඬු           ළමයින්ට
ලස්සන නුඹේ පෙන්වූයෙමි       නැළවෙන්ට

බාල බොළඳ විය අරගෙන           රහසේම
කාල තුරඟු පැන ගොස් ඇත       නොකියාම
ආල වඩන ගත රූ සිරු              වියැකීම
කෝල කතාවකි ඇතැමුන් හට           තාම

ජයසිරි රුවන්පතිරණ

අසන් මිනිසුනේ

මිනිසුනේ මිනිසුනේ
මිහිකතගෙ දරුවනේ
නිමක් නැති තෙරක් නැති
අපේක්ෂා පොදි බැඳන්
එකිනෙකා පරයමින්
කොහෙද මේ දුවන්නේ...

නොහැඟේද නොදැනේද
ලෝ වැනසෙනා බවක්
හික්මවනු බැරිවේද
නොහික්මුණු සිත් සතන්...

නිල් අඹර නැසෙනවා
භූ තලය වැනසෙනවා
හෙට දිනේ මේ ලොවම
වනසේද කියා හිතෙනවා...

මුළු ලොවම නිහඬ කොට
විෂ දුම් වලා නැති කොට
රැක ගනිමු 
ගහ කොළ පරිසරය
රැක ගනිමු මිනිස්කම....

මහානාම ද සිල්වා

බිදුණු හදක්

රතු රෝස
පෙති විසුල
රෝස මල් මාවතේ

⁣ගොළු මතක
තුෂර තුඩු සමඟ
යාවී ඇතේ
තැවුම් රිදවුම්
මුසුව ගලා ගිය
ජීවිතේ
හිම ගිරක බර දැනේ
තටු සිදුණු
හදවතේ

නුඹ වියු සිහින සළු
කල් ඉකුත් වී
ගිහින්
මුදු තෙපුල් මිහිරි බස්
අගුළු වැටිලා
සැණින්
ඩේලියා මල් පිපුණු
උයන් තෙර
කෙලවරින්
මතක් පොදි
නොදැනීම බොහෝ
ඈතක ගිහින්

අබේසිංහ හඳවලපිටිය

හිමියනේ මම නන්ද

වියගහක දුර මැනපු නෙත් පහර බිම         නැවුණු
පඬු ගැහුණු  චීවරය වැටී දෙවුරම             වැසුණු
තල්කුඩය ඔබ ගතට හිරු කිරණ           මගහැරුණු
දුටු විගස  සැනසුණා මගේ හිත            වල්වැදුණු

නිහැඬියාවක දැනෙන සිසිල් මදනළ           එක්ක
සව්සතට පෙම්කරන මැසි මදුරු කැළ          එක්ක
කිචිබිචිය සියොතුන්ගෙ මිහිරි ගීහඬ            එක්ක
මම දැහැන් ගතවුනා ඔබේ අරණත්             එක්ක

පව්කාර සිතුවිලිම පිබිදෙද්දි හිතේ                 අග
සංසාරෙ ආගමන වැරදුණිද අතර                මඟ
ගම්භාර දෙවියන්ට පුද තියන පහන              ළඟ
මං තාම  යදින්නෙත් වැරදුණේ කොහෙද         වග

මල්තියා වැන්ද බුදු පාමුලට හිස              නැවුණු.
කල් ගියා වැඩිද තේරුම් ගන්න මේ           කරුණු
ගැල් රෝද  ලෙස ගෙවන කරුමෙ අමතක නොවුණු
සිල් අරන් මගේ හිත මෙතෙක් කෙලෙසින්    පිරුණු
 
ගිනිගත්ත හිත එක්ක දැවුණු හේනක්          අස්සෙ
වගේ සැනෙකින්  වෙනස් වුණු වැඳිරි රුව    ඔස්සෙ
කලකිරුණු සිත  තබා මගේ හද           අග්ගිස්සෙ
හිමියනේ මම නන්ද වැටුණු ඔබගේ           පස්සෙ

චන්ද්‍රසිරි හෙට්ටිආරච්චි

Comments