උත්තම පුරුෂ යතිවර දැක්මක සමාජ විග්‍රහය | සිළුමිණ

උත්තම පුරුෂ යතිවර දැක්මක සමාජ විග්‍රහය

ග්‍රන්ථය - කොටුගොඩ ධම්මාවාස 

             මහ නායක හාමුදුරුවෝ

කර්තෘ - උපාලි සමරසිංහ

            කර්තෘ ප්‍රකාශනයකි

මිළ -රු. 700 (පිටු 276)

අමා බුදු බණ දෙසා වදහළ බුදු පුත් කොටුගොඩ ධම්මාවාස මහ නායක හාමුදුරුවෝ මැයෙන් උපාලි සමරසිංහ විසින් රචනා කරන්නට යෙදුණු එකී කෘතිය වර්ගීකරණය කළහොත් චරිතාපදානයක් වෙයි. නමුත් කොටුගොඩ ධම්මාවාස මහ නා හිමි වැනි යතිවර  චරිතයක් සම්බන්ධයෙන් හුදෙක් චරිතාපදානයක් පමණක් ලිවිය හැකිද යන්න ප්‍රශ්නයක් වේ. කාර්යභාරයක් වශයෙන් ගත් කල උන් වහන්සේ තවත් එක් භික්ෂු චරිතයකින් එහාට ගිය සමාජ විග්‍රහයක් ඉතිහාසයට එක් කරමින් සිට්න යතිවර චරිතයක් වීම ඊට හේතුවයි. කිසියම් චරිතයක් තෝරාගෙන අතිශය වර්ණනා විෂයාන්තික්‍රාන්තිව, ඊටම පක්ෂග්‍රාහීව  ලියන්නා වූ චරිත අලංකාරයන් එකී ලේඛකයින් විෂයයෙහි සිදු කරගන්නා වූ අත් වැරදීම් වශයෙන් පෙනී යන්නේ මෙවැනි චරිතාපදාන හමුවේය.

උන් වහන්සේ සමාජ විග්‍රහයකි. ඒ බව සනාථ කරන්නා වූ සාධක ධම්මාවාස නාහිමිපාණන්ගේ චරිතයේ මෙන්ම මේ කෘතියේ ද හිඟ නැත. කොටුගොඩ මා හිමි චින්තා යන පරිච්ඡේදය ඊට දිය හැකි සුදුසුම නිදර්ශනයක් යැයි සිතමි. තවද ඒ වනාහි අවවාද මුඛයෙන් පැවසෙන සමාජ විශ්ලේෂණයක් ලෙසින් දකින්නට මම තවදුරටත් කැමැත්තෙමි. තරුණ භික්ෂූන් දේශපාලනයේ යෙදෙනවාට වඩා දේශපාලනයට ගොදුරු වීම පිළිබඳ උන් වහන්සේගේ නිරීක්ෂණය සිය කාර්යභාරය අමතක කළ පැවැත්මක් පිළිබඳව මතක් කර දීමක් වන තරමටම  ඒ තුළ ඇති බරපතල සමාජ හායනය මතු කර දෙන්නකි.

ඒ අනුව ධර්ම ශාස්ත්‍රාදිය නොම හදාරා අර කීව ආකාරයට හුදු දේශපාලන ගොදුරු බවට පත් වීමෙන් දේශපාලනික හා සමාජීය වශයෙන් කිසිදු බලපෑමක් කළ නොහැකි තැනකට ශික්ෂුව නම් සංසථාපිතය අනාගතයේ  දී ඇද වැටීම නොවැළැක්විය හැකි තත්වයක් වනු ඇත.

“ලෝකය පාලනය කරන්නේ  ලැජ්ජාව හා භය කියන දෙකයි. භය නැති සමාජයට නීති ලක්ෂයක් දැම්මත් වැඩක් නෑ. මොකද? එ අතරින් ලැජ්ජා භය නැති කෙනාට රිංගලා ඕන තරම් වැරදි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ  නිසාම ලැජ්ජා භය දෙක සමාජයක ඇති කරවන්න ඕනෑ.” හුදු බණ පදයක් ලෙසින් පෙනී යා හැකි මේ “නිර්ලජ්ජිත” බව අද වන විට පොදුවේ සමාජීය වශයෙනුත් ඉනුත් නොනැවතී ආයතනික මට්ටමෙනුත් ඇති කොට ඇති පරිහානිය සමාජ අධ්‍යයනයක්ම වන්නේය.

තවද මහින්දාගමනයෙන් පසු ලංකා සමාජයට මඟ පෙන්වු, යහ සාධනීය සංස්ථාපිතයක්ම වූ භික්ෂු සංස්ථාව අද වන විට ඒ තුළම හටගත් විසංවාදී ප්‍රතිවිරෝධතාවන් හමුවේ දැවී යන අයුරු උන් වහන්සේගේ දැක්මට අනුව මෙසේ වන්නේය.

“අද කීර්ති ප්‍රශංසාව ලබාගන්න උපක්‍රමයක් බවට භාවනාව පත් කරගෙන තියෙනවා. සමහර භික්ෂූන් වහන්සේලා පවා ධර්ම දේශනයකට යන්න ඉස්සර ගණන් නියම කරනවා. මේ වගේ ව්‍යාපාරික මට්ටමකට සමාජය ගෙනැල්ලා තියෙනවා. මේ වගේ උපක්‍රම භාවිතා කිරීම තමන්ගේ දුසිල්වත් බව පෙන්වීමක්.” එසේ එක් අතකින් භික්ෂු සංස්ථාව තුළත් අනිත් අතින් සමාජගතවත් මේ පරිහානිය සිදු වන ආකාරය උන් වහන්සේගේ දැක්මට හසු නොවුවක් නොවේ.

“බුදු වුණ උත්තමයෙකුගේ රූපය එක් එක් කෙනාගේ පෞද්ගලික වුවමනාකම් වලට පාරවල්, වට රවුම්, නගර, පිට්ටනි මැද්දේ තියන එක විශාල පාප කර්මයක්. ඉස්සර බුද්ධ ප්‍රතිමාවක් පිහිටෙව්වේ නැකත් බලලා, වතාවත් කරලයි. කරන ශිල්පීනුත් බොහෝම හොඳට වත් පිළිවෙත් ඇතිව ඒක කළේ. නමුත් අද එහෙම නෑ. කසළ ගොඩක් පාරේ තිබුණම ඒක අයින් කරගන්නත් බුදු පිළිම තියනවා. එහෙම ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයෙකුට අපහාස කරන එක අවිචි මහ නරකාදියට ගෙන යන අපරාධයක් විදිහටයි මම දකින්නෙ.” ව්‍යසනය ඉනුත් නොනැවතී තවත් ඉදිරියට ගොස් තිබේ.

“ඇතැම් හාමුදුරුවරු තමන්ට හිතෙන හිතෙන විදිහට සුත්‍ර පිටකය, අභිධර්ම පිටකය විස්තර කරනවා. ශ්‍රද්ධාව හා ප්‍රඥාව යන දෙකම බෞද්ධයෙකුට ඉතාම වැදගත්. විශුද්ධි මාර්ගයේ කියල තියෙනවා, ශ්‍රද්ධාව වැඩි වුණාම ප්‍රශ්න දිහා බලන්නේ මෝඩ විදිහටයි කියලා. ප්‍රඥාව වැඩි වුණාම ප්‍රශ්න දිහා බලන්නේ කපටි විදිහටයි කියලා. අපේ මිනිස්සු අද කපටි තත්වයට වැටිලා.”

රුදුරු යුද සංග්‍රාම උරුමයක් හැටියට සිය පීතෘ පරම්පරාවෙන්ම ලද පසුබිමක, නිර්දය වූ අනූන හැකියාවෙන් යුද ප්‍රයානයන්හීම යෙදී මහා මිනිස් ඝාතන හමුවේ සිත කලකිරී හුන් චණ්ඩාශෝක අවසානයේ දී සියලු ආගම් හි යහ හරය උගෙන අශෝක ස්ථම්භයන්හි මානවවාදී සදාචාරය මුල් කොටගත් සදාචාරවත් ආගමික ප්‍රතිපදාවක් ප්‍රකාශයට පත් කළේ යන්න ඇත්තක් වේ. තවද බෞද්ධ දර්ශනය මුල් කොටගෙන ඇති කලා වූ ඒ සදාචාරවාදී සමාජ සංස්කෘතිය නිසාම ධර්මාශෝක බවට පත්ව ශාසනයට පිදූ සිය පුත්‍ර මිහිඳු හිමි අත මෙරට එවු ඒ බෞද්ධාගමික සමාජ සංස්කෘතිය මෙරට සමාජයේ ඇති කලා වූ ඒ සංස්කෘතික ප්‍රබෝධය මෙරට මුහුණ පෑ සකලවිධ පර සතුරු ආක්‍රමණ ද අධිරාජ්‍යවාදය ද පරාජය කිරීමට තරම් ප්‍රබල වූ ඒ ශක්තිය, ජාතිකත්වය නිර්මාණය කිරීමට ද ඉවහල් වුයේය. එහෙත් ඔබ මේ කෘතිය කියවිය යුත්තේ ඒ දේම යළි යළිත් දැනගැනීමට නම් නොවේ. 

ඔබ මෙය කියවිය යුත්තේ ඒ උරුමය වර්තමානයත් සමඟ ගලපා, සමාජ විග්‍රහයක් වශයෙන් ගෙන අද ඒ උරුමය පවතින තැන විෂයයිකව නැවත කියවීමක් වෙනුවෙනි. 

Comments