සොමෝසා රාජවංශය පරාජය කළ නිකරගුවාවේ සැන්ඩිනිස්ටාවිප්ලවය | සිළුමිණ

සොමෝසා රාජවංශය පරාජය කළ නිකරගුවාවේ සැන්ඩිනිස්ටාවිප්ලවය

78 දී සෝමෝසා රාජ්‍ය තන්ත්‍රය අවසන් කරන ලෙස ඉල්ලා මහා වැඩ වර්ජනයක් දියත් වෙයි

පසුගිය මාස 12 තුළ 100,000 කට ආසන්න පිරිසක් රටින් පළා ගිහින්

ඩැනියෙල් ඔටේගා ප්‍රමුඛ සැන්ඩිස්ටාවන්ට නිකරගුවාවේ පාලන බලය ලබාගත හැකි වූයේ වසර 27කට පසු

බලය යනු පුද්ගලයන්ගේ ක්‍රියාවන්ට, විශ්වාසයන්ට හෝ හැසිරීම්වලට බලපෑම් කිරීමට ඇති හැකියාවයි. බලය, නපුරක් හෝ අයුක්තියක් ලෙස මෙන්ම, යහපත් ලෙස අන් අයට උපකාර කිරීම සහ ඔවුන් සවිබල ගැන්වීම සඳහා ක්‍රියාත්මක කළ හැකි මෙවලමක් ලෙසද දැකිය හැකි ය. එසේ තිබිය දී ලොව බොහෝ පාලකයන් තම දේශපාලන බලය ක්‍රියාත්මක කරන්නේ නපුරක් හෝ අයුක්තියක් ලෙස බව අපි අත්දැකීමෙන් දනිමු. එසේ නොවන්නට අද වනවිට මේ ලෝකය වඩාත් යහපත් හා වඩාත් සුන්දර තැනකි.

නපුරක් හෝ අයුක්තියක් ලෙස ක්‍රියාත්මක වී ජනතාව පීඩාවට පත්කළ කුරිරු පාලකයන් ගැන මෙන් ම, එම පීඩිත තත්ත්වයන්ගෙන් ජනතාව මුදාගැනීම පිණිස දියත් වූ ශ්‍රේෂ්ඨ විප්ලව පිළිබඳවද ලෝක ඉතිහාසය අපට ඕනෑතරම් සාක්ෂි සපයයි. එම බොහෝ විප්ලව මගින් ඒ රටවල ජනතාවගේ අනාගතය පමණක් නොව, ලෝක ඉතිහාසය ද වෙනස්කර තිබේ.

ලොව පුරා දියත් වූ එවන් ශ්‍රේෂ්ඨ විප්ලව අතර හැටේ සහ හැත්තෑව දශකවල නිකරගුවාවේ සොමෝසාගේ ආඥාදායකත්වයට එරෙහිව දියත් වූ ‘නිකරගුවා විප්ලවය‘ ද, එරට පීඩිත ජනතාවගේ අනාගතය වෙනස් කළ ශ්‍රේෂ්ඨ විප්ලවයක් ලෙස ඉතිහාසයට එක් වී තිබේ.

1898 සිට 1934 දක්වා පුරා වසර 36ක් මධ්‍යම ඇමෙරිකාවේ දියත් වූ කුප්‍රකට ‘බනානා‘ යුද්ධය අතරතුර එනම්, 1912 දී එක්සත් ජනපදය විසින් නිකරගුවාව අත්පත් කරගනු ලැබීය. 1937 සොමෝසාවරුන්ගේ දේශපාලන රාජවංශය බලයට පත්වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. 1937 සිට 1979 තෙක් පැවති නිකරගුවා විප්ලවයෙන් ඔවුන් නෙරපා හරින තෙක් ම නිකරගුවාව පාලනය කරන ලද්දේ එම රාජවංශය විසිනි.

සොමෝසා රාජවංශය සමන්විත වූයේ ඇනස්ටේෂියෝ සොමෝසා ගාර්ෂියා, ඔහුගේ වැඩිමහල් පුත් ලුයිස් සොමෝසා ඩෙබයිල් සහ අවසානයේ ඇනස්ටේෂියෝ සොමෝසා ඩෙබයිල්ගෙනි. සොමෝසා පාලන යුගයේ දී සමාජ අසමානතා, දූෂණ හා අක්‍රමිකතා බෙහෙවින් වර්ධනය වීය. සොමෝසා රජයට සහ එහි හමුදාවන්ට එක්සත් ජනපදයේ සහයෝගය ලැබුණ ද, ඒ වෙනුවෙන් එක්සත් ජනපද බහුජාතික සමාගම් මත යැපෙන්නට ඔවුනට සිදුවීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් බලතල වැඩිකර ගත් සොමෝසා, තම ඥාති හිතමිත්‍රාදීන් රජයේ ඉහළ තනතුරුවලට පත් කළේ ය. ඔවුහු ජාතික ආරක්ෂක හමුදාවේ පාලනය පවා සියතට ගනිමින් නොකඩවා බලයේ රැඳී සිටින්නට එය උපයෝගි කරගනිමින්, බලයේ සිටි අවුරුදු 43 න් අවුරුදු 30 ක් ම ජනාධිපති ධුර දැරූහ.

දශක හතරකට වැඩි කාලයක් බලයේ සිටි සොමෝසා රාජවංශය අල්ලස් ලබා ගැනීමෙන්, කාර්මික ඒකාධිකාරියෙන්, ඉඩම් කොල්ලකෑමෙන් සහ විදේශ ආධාර ලබාගැනීමෙන් විශාල ධන සම්භාරයක් රැස්කර ගත්තේය. 1970 දශකය වන විට සොමෝසාවරුන්ට නිකරගුවාවේ ලාබදායී ඉඩම්වලින් 1/5 ක් එනම්, 23% ක් පමණ හිමිව තිබූ අතර, පවුලේ ධනය ඩොලර් මිලියන 533 ක් වීය. එය එවකට නිකරගුවාවේ ණය ප්‍රමාණයෙන් අඩක් පමණ වූ අතර, 1979 දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 33 ක් පමණ වී ය. නිකරගුවාවේ ආර්ථිකය තීරණය කරනු ලැබුවේ සොමෝසා හෝ පාලන තන්ත්‍රයට සමීපව සිටි නිලධාරීන් සහ වෙනත් අය විසිනි. සොමෝසා හෝ ඔහුගේ අනුගාමිකයෝ බැංකු, වරාය, සන්නිවේදනය, සේවා සහ ඉඩම් විශාල ප්‍රමාණයක් හිමිකරගෙන සිටියහ.

සොමෝසාගේ ආඥාදායකත්වයට එරෙහිව නැගුණු විරෝධය, ජාතික විප්ලවයක් දක්වා මෙහෙවීමේ ඓතිහාසික කාර්යභාරයට උරදෙනු ලැබුවේ වාමාංශික දේශපාලන පක්ෂවල එකතුවක් ලෙස ගොඩනැගුණු ‘සැන්ඩිනිස්ටා ජාතික විමුක්ති පෙරමුණ‘ (Front of Sandinista National Liberation) විසිනි. එම සංවිධානය සොමෝසා ආඥාදායකත්වය නෙරපා හැරීම සඳහා නිකරගුවාව පුරා ප්‍රචණ්ඩකාරී ව්‍යාපාරයක් දියත් කළේය.

එරට ‘ඔටෝනෝමා‘ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයන් වූ කාලෝස් ෆොන්සෙකා ඇමඩෝර්ල සිල්වියෝ මයෝර්ගා සහ ටොමස් බෝර්ජ් මාටිනස්ගේ සහ සෙසු ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ කරන ලද ‘සැන්ඩිනිස්ටා ජාතික විමුක්ති පෙරමුණ‘ යනු එහි ආරම්භක සාමාජිකයන්ට දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබඳ පළමු අත්දැකීම නොවී ය. සංවිධානයේ පළමු මහලේකම්වරයා වූ ඇමඩෝර්, සොගෝසාගේ පාලන සමයේ දී රැඩිකල් පුවත්පතක ‘සෙගෝවියා‘ නමින් අනෙකුත් සිසුන් සමඟ කටයුතු කර ඇත.

1960 දශකයේ සාමාජිකයින් විසිදෙනෙකුගෙන් සමන්විත වූ මෙම සංවිධානය විශ්වවිද්‍යාල සිසුන්ගේ ද සහාය ඇතිව නිකරගුවානු සමාජය තුළ සිටි ගොවීන්ගේ හා සොමෝසා විරෝධී කොටස්වල මෙන් ම, කියුබානු කොමියුනිස්ට් රජයේත්, සමාජවාදී පැනමා රජයේ සහ එරට සමාජවාදීන්ගේත් සහාය ලබා ගත්තේ ය. සිසුන්, ගොවීන්, ව්‍යාපාරිකයන් සහ මාක්ස්වාදීන් සුළු ප්‍රමාණයකින් සමන්විතව සිටි මෙම සන්ධානය 1970 දශකය වන විට ඇනස්ටේෂියෝ සොමෝසා ඩෙබයිල්ගේ පාලන තන්ත්‍රයට එරෙහිව මිලිටරි ප්‍රයත්නයක් දියත් කිරීමට තරම් ශක්තිමත්ව සිටියේ ය. ෆිදෙල් කැස්ත්‍රෝ සහ අර්නස්ටෝ චේගුවේරාගේ ව්‍යාපාරවලින් ආශ්වාදය ලත් මෙම පෙරමුණ ඉක්මනින් ම ගරිල්ලා උපක්‍රම කෙරෙහි අවධානය යොමු කළේ ය. 1970 දශකයේ දී සැන්ඩිනිස්ටාවන් පැහැරගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ අතර, එමගින් ඔවුන් ජාතික වශයෙන් පිළිගැනීමට ලක් වී ය. එසේම, සොමෝසා පාලන තන්ත්‍රයට එරෙහි බලවේගයක් ලෙස ශක්තිමත් වීමට ද එය හේතුවක් වීය. ⁣එහෙත්, එක්සත් ජනපද හමුදාව විසින් ඉහළ පුහුණුවක් ලබා දුන් නිකරගුවාවේ ජාතික ආරක්ෂක බලකාය, ‘සැන්ඩිනිස්ටා ජාතික විමුක්ති පෙරමුණේ‘ ප්‍රහාරයන්ට එරෙහිව සටන් වැදුණේ, වධහිංසා, ඝාතන, බිය ගැන්වීම් සහ වාරණයන් භාවිත කරමිනි.

සොමෝසා රාජ්‍ය තන්ත්‍රය විරුද්ධවාදීන් අත්අඩංගුවට ගැනීම සඳහා ‘වැටලීම්‘ (Round-up) මාලාවක් දියත් කරන ලද අතර, එය මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් ලෙස ජාත්‍යන්තර වශයෙන් ද හෙළා දැකීමට ලක් වීය. 1978 දී එක්සත් ජනපද ජනාධිපති ජිමී කාටර්ගේ පරිපාලනය විසින් සොමෝසා තන්ත්‍රයට ලබාදෙමින් තිබූ ආධාර කපා හැරියේය. එහෙත්, ආධාර ලබා ගැනීමේ මුවාවෙන් වටලෑම් නැවැත්වීමට සොමෝසා කටයුතු කළද, රහසිගත ඝාතන සිදුකිරීම් හා බිය වැද්දීම් නතර නොවීය. 1978 ජනවාරි 10 වන දින, ‘මැනගුවා‘ පුවත්පතේ කර්තෘ සහ ‘ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති සංගමයේ‘ නිර්මාතෘ, පේද්‍රෝ ජොකුවොන් චමරෝ කාර්ඩිනල්, සොමෝසාගේ මැරයන් විසින් ඝාතනය කරන ලද අතර එය පදනම් කරගෙන එරට අගනුවර වන මැනගුවා හි දරුණු කෝලාහලයක් ඇතිවිය.

ඉන් අනතුරුවල ජනවාරි 23-24 දිනවල සෝමෝසා රාජ්‍ය තන්ත්‍රය අවසන් කරන ලෙස ඉල්ලා මහා වැඩ වර්ජනයක් දියත් වූ අතර, ‘මනගුවා‘හි පමණක් නොව, අනෙකුත් පළාත්වල ද ව්‍යාපාරවලින් 80% ක් පමණ වසා දැමීමට එම වැඩවර්ජනය සමත් වීය.

1978 අගෝස්තු 22 වන දින ‘සැන්ඩිනිස්ටා ජාතික විමුක්ති පෙරමුණ‘ දැවැන්ත පැහැරගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලද අතර, එහි දී ඇඩන් පැස්ටෝරාගේ නායකත්වයෙන් යුත් ‘සැන්ඩිනිස්ටා හමුදාව‘ එරට ජාතික මාළිගාව අල්ලා ගත්තේ ය. ව්‍යවස්ථාදායක සැසිවාරයකට සහභාගිවෙමින් සිටි සොමෝසාගේ ආධාරකරුවන් දෙදහසක් එහි දී ප්‍රාණ ඇපකරුවන් ලෙස අත්අඩංගුවට ගත් අතර, පැස්ටෝරා ඔවුන් නිදහස් කිරීමට මුදල් ඉල්ලා සිටියේ ය. දින දෙකකට පසු රජය ඩොලර් 500ල000 ක් ගෙවා සිරකරුවන් නිදහස් කර ගැනීමට එකඟ වූ අතර, එය ‘සැන්ඩිනිස්ටා ජාතික විමුක්ති පෙරමුණ‘ ලද විශාල ජයග්‍රහණයක් වී ය.

‘සැන්ඩිනිස්ටා‘ කැරලිකරුවන්ට වෙනිසියුලාවෙන් සහ පැනමාවෙන් ද්‍රව්‍යමය ආධාරත්, කියුබාවෙන් ආයුධ සහ මිලිටරි උපදේශනත් ලැබීම සොමෝසා රාජ්‍යයට එරෙහි කැරලි 1979 දක්වා නොකඩවා ඉදිරියට ගෙන යන්නට විශාල ශක්තියක් විය. මෙම ප්‍රහාරවල ප්‍රතිඵලය වශයෙන් 1979 මුල් භාගයේ දී ‘සැන්ඩිනිස්ටා ජාතික විමුක්ති පෙරමුණ‘ සහ සොමෝසාගේ රජය අතර සාම සාකච්ඡා ආරම්භ වූ අතර, එම සාකච්ඡා අධීක්ෂණය කරන ලද්දේ ‘ඇමෙරිකානු රාජ්‍ය සංවිධානය‘ විසිනි. කෙසේ වුව ද, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමට ඉඩ දීමට සොමෝසා තන්ත්‍රයට කිසිදු අදහසක් නොමැති බව පැහැදිලි වූ විට මෙම සාකච්ඡා බිඳ වැටුණි.

1979 ජුනි මාසය ආරම්භ වන විට අගනුවර හැර රටේ සෙසු සියලු ප්‍රදේශ ‘සැන්ඩිනිස්ටා ජාතික විමුක්ති පෙරමුණ‘ යටතේ පැවති අතර, සොමෝසාගේ හමුදා හා ‘සැන්ඩිනිස්ටා‘ කැරළිකරුවන් අතර පැවති දරුණු සටන්වලින් පසුව 1979 ජූලි 17 වන දින ජනාධිපති සොමෝසා ඉල්ලා අස්විය. සටන්වලින් 10,000 කගේ පමණ ජීවිත අහිමි විය.

ඉන් අනතුරුව, 1979 සිට 1990 දක්වා නිකරගුවාව පාලනය කිරීමට ඩැනියෙල් ඔටේගාගේ නායත්වයෙන් යුත් ‘සැන්ඩිනිස්ටා ජාතික විමුක්ති පෙරමුණ‘ කටයුතු කළද, එක්සත් ජනපදයේ අතපෙවීම් නිසා එය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. එක්සත් ජනපදයේ පිටුබලය ලද ‘කොන්ට්‍රාස්‘ කැරලිකරුවන් හා නිකරගුවානු රජය අතර 1981-1990 දක්වා පැවති ‘කොන්ට්‍රා‘ යුද්ධය එහි ප්‍රතිඵලයයි. ‘සැන්ඩිනිස්ටා ජාතික විමුක්ති පෙරමුණ‘ට සෝවියට් සංගමයෙන් ද, ‘කොන්ට්‍රාස් සංවිධානය‘ ට එක්සත් ජනපදයෙන් ද විශාල වශයෙන් ආධාර උපකාර ලද මෙම යුද්ධයෙන් මියගිය ගණන 30,000ක් පමණ වේ. 1989 දී ‘තෙලා‘ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ‘කොන්ට්‍රා‘ යුද්ධය අවසන් වීය.

විනාශයට පත් නිකරගුවාව ගොඩනැගීමට නිකරගුවානු රජය ප්‍රතිසංස්කරණ රැසක් ගෙන ඒමට උත්සාහ කළේය. 1985 දී ගොවිජන ප්‍රතිසංස්කරණ මගින් වර්ග කිලෝමීටර් 950 ක් එනම්, අක්කර 235,000ක ඉඩම් ගොවීන්ට බෙදා දෙන ලදි. මෙය 1980 සිට ගොවීන්ට බෙදා හරින ලද මුළු ඉඩම්වලින් සියයට 75 ක් පමණ වීය. එසේම, ඔර්ටෙගා විසින් සෑම ගොවියකුට ම ඉඩමේ හිමිකම සහ එය ආරක්ෂා කිරීම සඳහා රයිෆලයක් ද ලබාදෙනු ලැබීය.

නිකරගුවානු විප්ලවය බොහෝ සංස්කෘතික වැඩිදියුණු කිරීම් හා වර්ධනයන් එරටට රැගෙන ආවේය. වඩාත් වැදගත් ම දෙය වූයේ, සාක්ෂරතාව වැඩිදියුණු කිරීමයි. ඒ වනවිට එරට ජනතාවගෙන් 50.3%ක් අකුරු නොදැන සිටියහ. සාක්ෂරතාව නැංවීම සඳහා පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් මෙන් ම ගුරුවරුන් ද යොදා ගැනිණි. මාස පහක් ඇතුළත එරට අකුරු නොදත් පුද්ගලයන්ගේ ප්‍රතිශතය 50.3% සිට 12.9% දක්වා පහත වැටිණි.

එහි ප්‍රතිඵලයක් ලෙස යුනෙස්කෝව 1980 සැප්තැම්බර් මාසයේ දී ඔවුන්ගේ සාර්ථක සාක්ෂරතා ව්‍යාපාරය වෙනුවෙන් “නදීෂ්ඩා කේ. කෘප්ස්කයා” සම්මානය ප්‍රදානය කළේය. එසේම, ලතින් ඇමරිකානු රටක පිහිටුවන ලද පළමු සංස්කෘතික අමාත්‍යාංශය නිකරගුවාවේ පිහිටුවීමත්, වැඩි වැඩියෙන් පොත්පත් මුද්‍රණය කිරීමත් ආරම්භ වීය. කෙසේවුවද, බලය නිසියාකාරව යෙද වූ ‘සැන්ඩිනිස්ටා‘ ව්‍යාපාරය ම බලය නපුරක් හෝ අයුක්තියක් ලෙස යොදා ගනිමින් බලය රැකගැනීමට කටයුතු කරන්නට පටන් ගත්තේය. එහි පළමු පියවර ලෙස පුවත්පත් වාරණයක් ආරම්භ වීය.

ස්වාධීන පුවත්පතක් වන ‘ලා ප්‍රෙන්සා‘ වාරණය කරනු ලැබුවේ, මීට පෙර සොමෝසා රජයට එරෙහිව කටයුතු කළ එහි භූමිකාව පවා නොතකමිනි. ඒ අනුව, සැන්ඩිනිස්ටා රජයට එරෙහි කිසිදු තොරතුරක් ප්‍රකාශයට පත් කිරීමට අවසර නොලැබිණි. සියලු ම වාර්තා මුද්‍රණය කිරීමට පැය හතකට පෙර රජයේ වාරකයන්ට ඉදිරිපත් කළ යුතු වීය.

‘සැන්ඩනිස්ටා‘ රජය එරට ‘මිස්කිටෝ‘ අනාතයන්ට සැලකූ ආකාරයෙන් තවත් මානව හිමිකම් උල්ලංඝණයන් සිදු වීය. මිස්කිටෝවරු 15,000 කට වැඩි පිරිසකට නැවත පදිංචියට යාමට බල කෙරිණි. එවකට සිදුකරනු ලබන මිනිස් ඝාතනවලට දඬුවම් නොදුන්නා පමණක් නොව, ඒවාට සම්බන්ධ වූවන් තනතුරින් ද උසස් කරන ලදී. මෙම සියලු අවකල් ක්‍රියා 1990 මැතිවරණයට ඍජුව ම බලපෑ අතර, එහි ප්‍රතිඵලය වූයේ, සැන්ඩිනිස්ටා විරෝධී පක්ෂ බහුතරයක් තේරී පත්වීමයි. ඉන්පසුව ඩැනියෙල් ඔටේගා ප්‍රමුඛ සැන්ඩිස්ටාවන්ට නිකරගුවාවේ පාලන බලය ලබාගත හැකි වූයේ වසර 27කට පසු එනම් 2017 දීය.

එසේ බලය ලබා ගත්තද, ඔර්ටෙගා පරිපාලනය සැලකිය යුතු ආර්ථික හා දේශපාලන අභියෝගයන්ට මේ වනවිට මුහුණ දෙමින් සිටීග පසුගිය වසර දෙක තුළ එරට ආර්ථිකය 10‍‍% කින් පමණ හැකිළී ඇති අතර, වඩාත් මධ්‍යස්ථ අනුපාතයකින් වුවද, මේ වසරේ දී එය යළිත් හැකිළෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කරයි. විරැකියාව 10% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පසුගිය මාස 12 තුළ 100,000 කට ආසන්න පිරිසක් රටින් පළා ගොස් ඇත. සංචාරක කර්මාන්තය තුළ විදේශ සෘජු ආයෝජන දළ වශයෙන් සියයට 50 කින් පහත වැටී තිබේ. ලතින් ඇමරිකාවේ කුඩා ම රටවලින් එකක් වන නිකරගුවාවේ ආර්ථිකය, දේශපාලන තත්ත්වය වෙනස් වන තෙක් එකතැන පවතිනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

 

Comments