මානව සබඳතාවලට අඩු ලංසුවක් තැබූ ඉතාලියට ලංකාවේ සේපාල ඉගැන්වූ පාඩම | සිළුමිණ

මානව සබඳතාවලට අඩු ලංසුවක් තැබූ ඉතාලියට ලංකාවේ සේපාල ඉගැන්වූ පාඩම

සේපාලගේ වික්‍රමයට ජුනි 29 එනම් හෙට වසර 38 ක් සපිරේ


ගොවි පවුලක 33 හැවිරිදි තරුණයකු ලෙස ශ්‍රී ලංකාවේ දකුණේ උපන් සේපාල ඒකනායකට බලවත් රටක් වූ ඉතාලියට ඓතිහාසික පාඩමක් ඉගැන්වීමට අවස්ථාව ලැබුණේ කුඩා කාලයේ සිට ඔහු තුළ තිබූ ආශාවක් නිසාය. කුඩා අවදියේ සිට රට රටවල සංචාරය කිරීමට ඔහුට දැඩි ආශාවක් තිබිණි. එම ආශාව මුදුන්පත් කරගැනීමට තිබූ අධිෂ්ඨානය නිසා ගමේ ඉස්කෝලේ අධ්‍යාපනය අවසන් වීමත් සමඟම කෙසේ හෝ ජර්මනියට යෑමට ඔහුට පුළුවන් විය.

 

ගොවිපළේ රැකියාව කරන ඔහුට ආනා ඇල්දෝවන්දි හමුවන අතර මේ දෙදෙනා විවාහවීමෙන් අනතුරුව ලංකාවට පැමිණ මාස දෙකක් මෙරට සිට යළිත් ඉතාලිය බලා පිටත් විය. ඉතාලියට පැමිණීමෙන් පසු ආනාට රැකියාවක් ලැබිණි. සේපාලට රැකියාවක් ලබා ගැනීමට නොහැකි වූයේ ඉතාලිය වැනි කර්මාන්ත සහ තාක්ෂණ රටකට ගැළපෙන අධ්‍යාපනයක් ඔහුට නොතිබූ හෙයිනි.

මේ අතර ආනා සමඟ සේපාල විවාහ වූ හෙයින් ඔහුට ඉතාලියේ පදිංචියට අවසර දෙන වීසා බලපත්‍රයක් එරට රජයෙන් නිකුත් කෙරිණි. වසරෙන් වසර එය දීර්ඝ කර ගැනීමේ කොන්දේසිය අනුව එය නිකුත් කර තිබිණි. රැකියාවක් නොමැතිව කනස්සල්ලෙන් පසුවෙද්දි 1978 දෙසැම්බර් 10 වැනි දින ආනා - සේපාල යුවළට දරු සම්පතක් ලැබිණි. ඔවුන් තම පුතුට නම තැබුවේ ‘ප්‍රී’ යනුවෙනි. දරුවා ලැබීමෙන් පසු ටික කලක් සතුටින් කල් ගෙවූ ඔවුන් අතර සේපාලට රැකියාවක් නොතිබූ නිසා නිතර, නිතර රණ්ඩු සරුවල් ඇති විය. මේ අතර සේපාලට ඉතාලියේ පදිංචියට අවසර දෙමින් නිකුත් කළ වීසා බලපත්‍රය එම වසරට අනුමත කිරීම බලධාරීහු ප්‍රතික්ෂේප කළහ.

මේ සිද්ධියෙන් සේපාලගේ සියලුම අපේක්ෂා බිඳවැටිණි. එය ලබා ගැනීමට සේපාල කළ සියලු උත්සාහ අසාර්ථක විය. එය යළිත් නිකුත් කිරීමට නම් ශ්‍රී ලංකාවට ගොස් ඉතාලි තානාපති කාර්යාලයෙන් ඉතාලිය බලා යෑමට නිකුත් කරන වීසා බලපත්‍රයක් රැගෙන එන ලෙස ඉතාලි බලධාරීහු ඔහුට පැවසූහ. මේ වන විට ‘ආනාට’ ළදරු පාසලක ගුරුවරියක ලෙස රැකියාවක් ලැබීම නිසා දරුවාගේ කටයුතු ඔහු ‍වෙත පැවරිණි. දරුවත්, බිරිඳත් සමඟ ශ්‍රී ලංකාවට ගොස් ජීවත් වීමට හෝ ඉතාලියේ පදිංචි වීමට වීසා බලපත්‍රය ලබා ගැනීමට හොඳම ක්‍රමය ‘ආනාට’ නොදන්වා ශ්‍රී ලංකාවට දරුවත් සමඟ යෑම යැයි සිතූ සේපාල දරුවා සමඟ ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහු කීප වතාවක්ම ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයට ගොස් ඉතාලි බලධාරින් කියූ අන්දමට වීසා බලපත්‍රයක් ලබා ගැනීමට කළ සියලු උත්සාහ අසාර්ථක විය. ඉන් පසු ඔහු ‘ආනාට ලංකාවට පැමිණ ජීවත් වීමට ආරාධනා කළ නමුත් ආනා එය ප්‍රතික්ෂේප කළාය. බිරිය සහ දරුවා සමඟ එක වහලක් ය‍ට ජීවත්වීමට නොහැකි වීම ගැන ඔහුට ඇතිවූයේ බලවත් කනගාටුවකි. මේ අතර 1982 අප්‍රේල් 1 දින ආනා සිය සොහොයුරු කැලිඩෝ සමඟ දරුවා දැකගැනීමට එන බව සේපාලට දැන්වීය. තමා ශ්‍රී ලංකාවේ සිටින කාලය තුළ දරුවා සමඟ රැදී සිටින හෝටලයේ නම දන්වා එම හෝටලයට දරුවා ගෙනත් දෙන ලෙස ඇය සේපාලට දැන්වූවාය. තම සැමියාට ඉතාලියේ පදිංචි වීම සඳහා ලබාගත යුතු වීසා බලපත්‍රය පිළිබඳ ප්‍රශ්නය අදාළ බලධාරින් සමග සාකච්ඡා කොට එය නිරාකරණය කරගත් බවද එය ලැබෙන බවද ආනා ඔහුට කියා සිටියාය.

බිරියත්, තම පුතුත් සමඟ එකට ජීවත් වීමට තිබූ ආසාව මල් ඵලගැන්වෙන බව සිතා ආනාගේ පණිවිඩයෙන් සේපාලගේ සිත පිනා ගියේය. ඇය ලංකාවට එන දවස ගැන සිහින ‍මවමින් සිටි සේපාල ඇය ඉල්ලා සිටි පරිදි හෝටලයට පැමිණ ඇයට දරුවා බාර දුන්නේය. දරුවා බාර ගත් ආනා යළිත් සේපාලට ඉතාලියේ පදිංචි වීසා පිළිබඳ කටයුතු සම්පූර්ණ කරගැනීමට අප්‍රේල් 4 වැනි දින හෝටලයට එන ලෙස දැන්වීය. දරුවා බාර දුන් සේපාල අහංගම ඔහුගේ මිතුරකු වන ගුණවර්ධන මහතාගේ නිවසේ නැවතී ආනා කී දිනයට හෝටලයට ගියේය.

එදින ඔහුට දැනගන්න ලැබුණේ ආනා දරුවත් රැගෙන සිය සොහොයුරු සමඟ ඉතාලියට ගොස් තිබෙන බවයි. ටික දිනකට පසු ආනා ඉතාලියේ සිට සේපාලට පණිවිඩයක් එවමින් සේපාලට ඉතාලියේ පදිංචි වීම සඳහා වීසා බලපත්‍රය නිකුත් නොකරන බැවින් දරුවා සමඟ ඉතාලියට පැමිණි බව දන්වා සිටියාය. ඒ හේතුවෙන් දරුවාගේ බාරකාරත්වයත් ඇයට ලබාගත් බවත් දරුවාගේ පින්තූරය ඇගේ ගුවන් බලපත්‍රයට ඇතුළත් කරගත් බවත් එහි කියා තිබිණි. ඉතාලි තානාපති කාර්යාලය ‘ආනා සමඟ එක්වී තමාව මුළා කළ බව සේපාලට අවබෝධ විය.

තමාට කළ රැවටීමට හොඳ පාඩමක් ඉතාලි රජයට ඉගැන්වීමට සේපාල මේ අවස්ථාවේ ඉටා ගත්තේය. ආනා දරුවත් රැගෙන ලංකාවෙන් පිටව ගියේ 1982 අප්‍රේල් මාසයේය. ඉන් පසුවත් ඔහු ඉතාලි තානාපති කාර්යාලයෙන් වීසා ලබා ගැනීමට කළ උත්සාහ අසාර්ථක විය. සේපාල ඉන්දියාවට ගොස් 1982 ජුනි 29 දින දිල්ලියේදි අලිතාලියා ගුවන් යානයකට ගොඩ විය. සේපාල පවසන අන්දමට ඔහු ජුනි 15 වැනි දින ඉන්දියාවට ගොස් ඉන්දියාවේ මිතුරන් සමඟ සාකච්ඡා කරගෙන ජුනි 29 වැනි දින අලිතාලියා ගුවන් යානයට නැගගෙන සිටියදි ඔහුගේ මිතුරන් ගුවන් යානයට පැමිණියේ බෝම්බ සමඟ ය. රාත්‍රියේ 11ට ගුවන් යානය පියාසර කිරීම අරඹා ටික වේලාවකදි මිතුරන්ට ගුවන්යානය පැහැර ගැනීම සම්බන්ධයෙන් උපදෙස් දුන්නේය. පසුව ඔවුන් ගෙනා පුපුරන ද්‍රව්‍ය ලබාගෙන ගුවන් යානයේ සේදුම් කුටියට ඇතුළු වී ඒවා තම ශරීරයට සම්බන්ධ කරගත්තේය.

දිල්ලි ගුවන්තොටුපළට පැමිණි ගුවන් යානයේ මගීන් 261දෙනකු සිටි අතර රාත්‍රියේ 11ට පමණ පියාසර කිරීම ඇරඹුණි. ගුවන්යානය බෙංගාල බොක්ක උඩින් පියාසර කරද්දි සේපාල ගුවන්යානයේ සිටි ගුවන් සේවිකා බාබෝ ටොමාකා වෙත ගොස් ලේඛන ගොනුවක් ඇයට දී එය ගුවන් යානයේ නියමුවා ‘ගියෝර්ගියෝ ඇම්රෝසෝට දෙන ලෙස ඉල්ලා සිටි‍යේය. ගුවන් නියමු ඇම්රෝසෝ තමා අතට ලැබුණු ලේඛන සියල්ල ම පරික්ෂාවෙන් කියවා බැලුවේය. ගුවන්යානය පුපුරුවන බවට ලේඛනවලින් ලියා තිබිණි. එසේ නොකිරීමට කොන්දේසි ලෙස දන්වා තිබුණේ ඔහුගේ බිරිය වන ආනා අල්දෝවන්දි සහ හතර හැවිරිදි පුතා ‘ප්‍රි’ බැංකොක් ගුවන්තොටුපළට ගෙන්වා දීම, ඇමරිකානු ඩොලර්ස් ලක්ෂ තුනක් (300,000) ලබා දිය යුතු බවයි. මෙම ඉල්ලම් නොදුන්නොත් සියලුම ගුවන් මගීන් සහ ගුවන් යානයේ කාර්ය මණ්ඩලයත් සමඟ ගුවන් යානය පුපුරුවා විනාශ කරන බවට තර්ජනයක් එම ලේඛන මඟින් කර තිබිණි.

“මා ත්‍රස්තවාදියෙක් හෝ අපරාධකාරයෙක් නොවේ. මට අවශ්‍ය මගේ බිරිය සහ හතර හැවිරිදි පුතා ගෙන්වා ගැනීමටයි. ඉතාලියේ ආගමන, විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු මීට වගකිව යුතුයි. මේ නිලධාරින්ගේ අසාධාරණ ක්‍රියාව නිසා මගේ පවුල බිඳ වැටුණා. නැවත මුල සිට ජීවිතය ඇරඹීමට මට සිදු වී තිබෙනවා. ඒ නිසයි මා ඩොලර්ස් 300,000 ඉල්ලා සිටින්නේ.”

ගුවන් මගීන් 261 සහ කාර්ය මණ්ඩලයේ ජීවිත රඳා පවතින්නේ එම අවස්ථාවේදී තමා ගන්නා තීරණ මත යැයි අවබෝධ කරගත් ඇම්රෝසෝ ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බව සිතුවේය. මේ වන විට ගුවන් යානය බෙංගාලි බොක්කට ඉහළින් අඩි 37000ක් උඩින් අහසේ පියාසර කරමින් තිබිණි. ගුවන් නියමු ඇම්රෝසෝ එය අඩි 25000 දක්වා පහළට ගෙනවිත් සේපාලගේ ඉල්ලීම් කෙරෙහි සිය අවධානය යොමු කළේය. ඉන්පස් සේපාලගේ තර්ජනාත්මක ලේඛන එකිනෙක හොඳින් අධ්‍යයනය කළේය. ඉන්පසු සේපාලගේ තර්ජනය අනුව ගුවන් යානය බැංකොක් ගුවන් තොටුපළට බැස්සවීමට පියවර ගනු ලැබීය. ගුවන් යානය බැංකොක් ගුවන් තොටුපළේ නතර කරන විට ජුනි 30 වැනි දින හිමිදිරිය විය. මෙහිදී ඇම්රෝසෝට බාධා කීපයකට මුහුණ දීමට සිදු විය.

ගුවන්යානය පැහැර ගැනීමට ලක්ව තිබෙන බවත් ඊට සම්බන්ධ පුද්ගලයා සහ ඊට මුල්වී ඇති හේතූන්, ඔහුගේ ඉල්ලීමුත් අදාළ බලධාරින්ට දැන්වීමට ඔහුට පහසුකම් නොතිබිණි. ගුවන් යානය බැංකොක් ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු එය පැහැරගැනීමට ලක්ව තිබෙන බව ඇම්රෝසෝ ගුවන් මගීන්ට දැන්වීය. දවල් කාලය වන විට ගුවන්යානය ඇතුළත තත්වය ඉතා අසතුටුදායක විය. ඊට හේතුව වූයේ යානයේ දොරවල් විවෘත කිරීමට අවසර නොදීමයි. මේ වනවිට දවල් ආහාරය මගීන්ට දිය යුතු බවත් ආනා සහ දරුවා සිටින ස්ථානවලින් සොයාගෙන ඇති බවත් ඇම්රෝසෝ සේපාලට දැන්වීය. ආනා සහ දරුවා මේ වන විට බැංකොක් බලා එමින් සිටින බවද සේපාලට දැන්වීමෙන් පසු ඔහුගේ තද ගතිය ටිකක් ලිහිල් විය. මේ අවස්ථාවේ ගුවන්යානයේ සිටි කාන්තාවන්, ළමයින් සහ මහලු අය නිදහස් කිරීමට ඔහු එකඟ විය. එහිදී ගුවන්යානයේ එක දොරටුවකට පමණක් පඩිපෙළක් තැබීමෙන් ගුවන්යානයෙන් පිටවීමට අවසර දුන් බව ඔහු පොලිසියට පවසා ඇත.

මේ වන විට සේපාල ඉල්ලා සිටි ඇමරිකන් ඩොලර් ලක්ෂ තුන ලැබී තිබෙන බවත් බිරිය සහ පුතු බැංකොක් වෙත ළඟා වී තිබෙන බවත් ඔහුට ඇම්රෝසෝ දැනුම් දී ඇත.

ඇම්රෝසෝ සේපාලගේ බිරිය ආනා ඇතුළට ගන්න නම් ඔහු ළඟ තිබෙන පුපුරන ද්‍රව්‍ය සඟවා ගෙන තිබෙන තැනින් එළියට ගත යුතු බව පැවසීය. මීටර් තුනකට ඈතින් පුපුරන ද්‍රව්‍ය තැබීමට සේපාල එකඟ විය. ආනාට ගුවන් යානයට ඇතුල්වීමට යානයේ හතරවැනි දොරටුව විවෘත කිරීමෙන් පසු ගුවන්යානයට සම්බන්ධ පඩි පෙළක් ඔස්සේ ඇය යානයට ඇතුළු වූවාය. යානයේ අනෙකුත් දොරවල් සියල්ල වසා දමනු ලැබීය. සැමියා සහ බිරිය කතා කරද්දී බෝම්බ තිබුණේ වම් පසය. ඔවුන් දෙදෙනා ගේ සාකච්ඡාව සුහද එකක් නොවීය. දෙදෙනා අතර තිබූ අමනාපකම් මෙහිදී මතු විය.

අලිතාලියා ගුවන් යානය පැහැර ගෙන තම ඉල්ලීම් ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණීමට ජූලි 1 වැනි දින සූදානමින් සිටි තිදෙනාට එයාර්ලංකා UL423 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණියේ ජූලි 2 වැනි දින දහවල් 1.30ටයි. එයාර් ලංකා සමාගම සේපාල පවුලට මේ සඳහා අය කිරීමක් කළේ නැත. එහෙත් සේපාල ඔහුට ලැබුණු ඩොලර් ලක්ෂ තුනෙන් එයාර් ලංකා සමාගමට මුදල් ගෙවීමක් කළේය.

සේපාල, ඔහුගේ බිරිය සහ පුතා කටුනායක ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු රේගු නිලධාරින් ඔහුගෙන් ප්‍රශ්න කරමින් අලිතාලියා ගුවන් යානය පැහැර ගැනීමට හේතු විමසුවේය. ඉතාලි රජය ඔහුට සැලකු අසාධාරණ පිළිවෙතට පාඩමක් ඉගැන්වීමට එසේ කළ බව ඔහු පැවසීය.

ගුවන්තොටුපළෙන් එළියට එන විට ඔහු දැක ගැනීමට විශාල පිරිසක් ඒ වටා රැස්ව සිටියහ. ඉතා උණුසුම් අත්පොළසන් නාදයකින් වීරයකු ලෙස රැස්ව සිටි ජනයා ඔහු පිළිගත්හ. ගුවන්තොටුපළේ සිට මෝටර් රියකින් එවකට ඉන්ටර්කොන්ටිනන්ටල්, වත්මන් කිංස්බරි ලෙස නම් කර ඇති හෝටලයේ සේපාල පවුල එදින නවාතැන් ගත්හ.

ජූලි 2 වැනි දින එසේ ගෙවීයද්දි ජූලි 3 වැනි දින කොටුවේ පොලීසියේ සහකාර පොලිස් අධිකාරි නිකොලස් මහතා හෝටලයට පැමිණ ඔහු සමඟ ලංකා බැංකුවේ අන්තර්ජාතික ගනුදෙනු අංශයට ගොස් සේපාල අත තිබූ ඩොලර්ස් 280,000 සේපාලගේ නමට ගිණුමකට තැන්පත් කළේය. ඉන්පසු කොළඹ කොටුවේ මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයක් අනුව කිසිවකුට එම මුදල් ගැනීමට නොහැකි අයුරින් තැබීමට නියම කෙරුණි. එම මුදල් බෑගය සේපාලට විරුද්ධව පැවති නඩු විභාගයේදි අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

බැංකොක් ගුවන් තොටුපළේදී එවකට එහි සිටි ශ්‍රී ලංකා තානාපතිනිය වූ මානෙල් අබේසේකර මහත්මිය පැමිණ අලිතාලියා ගුවන් යානයේ සිටි මගීන් නිදහස් කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියාය. ශ්‍රී ලංකාවට පැමිණි විට ඔහු අත්අඩංගුවට නොගන්නේ නම් තමා ඇගේ ඉල්ලීම ඉටු කරන බව සේපාල පැවසීය. මේ සම්බන්ධයෙන් මානෙල් අබේසේකර මහත්මිය මඟින් සේපාල කොළඹ විදේශ අමාත්‍යාංශ කාර්යාලය සමඟ සාකච්ඡා කීපයක් ම අලිතාලියා ගුවන්යානයේ සිට කෙරිණි. එහි ප්‍රතිඵලය වූයේ සේපාල පවුල කොළඹට පැමිණි විට සේපාලව අත්අඩංගුවට නොගන්නා බවට කොළඹ විදේශ අමාත්‍යාංශ කාර්යාලයෙන් සහතිකයක් ලබාදීමයි.

ලංකාවට පැමිණි ජූලි 1 - ජූලි 3 දක්වා සේපාල නිදහස් පුද්ගලයකු ලෙස කල්ගෙවීය. බැංකොක් ගුවන්තොටුපළේදි වූ සහතිකය නැති නම් එකඟතාව ජූලි 3 වැනි දින උදේ 10.45ට මුදල් තැන්පත් කිරීමත් සමඟ ම ශ්‍රී ලංකාවේ සිටි ඉතාලි තානාපතිවරයා ප්‍රැන්කෝ මිසිලි ද බයසි මහතා පොලිසියට කළ පැමිණිල්ල අනුව ලංකා රජය උල්ලංඝනය කළේය.

තානාපතිවරයා සිය පැමිණිල්ලෙන් කියා සිටියේ සේපාල ඒකනායක ඉතාලි රජයට අයත් මුදල් සොරා ගෙන ඔහු ළඟ තබාගෙන සිටිනා බවයි. තානාපතිවරයාගේ පැමිණිල්ලෙන් පසු ශ්‍රී ලංකා රජය සේපාල ඒකනායකට එරෙහිව නිත්‍යනුකූල පියවර ගැනීමට පොලිසියට බලය පැවරීය. ඒ අනුව ජූලි 3 දින 12.45ට පොලිසිය, සේපාල පවුල සොයා ඉන්ටර් කොන්ටිනන්ටල් හෝටලයට යද්දි ඔවුන් හෝටලයෙන් පිටව ගොස් බව දැනගන්නට ලැබිණි.

ඔවුන් දකුණු පළාතේ නෑගම් ගොස් තිබූ බව පොලිසියට දැන ගන්නට ලැබිණි. සහකාර පොලිස් අධිකාරි නිකලස් දකුණු පළාතේ පොලිස් ස්ථානවලට මොවුන් ගැන පවසමින් අත්අඩංගුවට ගන්නා ලෙස දුරකථනයෙන් දැන්වීය.

ඔවුන් දකුණු පළාතේ නෑගම් ගියේ ‍හොටේල් කෝපරේෂන් ආයතනයට අයත් කාර්වලින් බව දන්වමින් එම මෝටර් රථ සෝදිසි කරන්නයැයි පොලිස් අධිකාරිවරයා නියම කළේය. එදින සවස 5ට සේපාල, ආනා සහ ‘ප්‍රි’ තිදෙනා අත්අඩංගුවට ගැනීමට ගාල්ලේ පොලිසිය සමත් විය. එදිනම සේපාලගේ සොහොයුරු සහ ඔහුගේ මිතුරකු ගිය මෝටර් රියද අත්අඩංගුවට ගැනීමට හැකි විය.

සේපාල සහ ආනා කොළඹට ගෙනවිත් ඔවුන්ගෙන් දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරමින් දෙදෙනාගේ ම ප්‍රකාශ සටහන් කරගනු ලැබීය. සේපාලගේ සොහොයුරු සත්‍යපාල සහ ඔහුගේ මිතුරු ගුණදාස ළඟ තිබී ඩොලර් 10,000ක් සොයා ගැනීමට පොලිසිය සමත් විය. සේපාලගේ සතුටු ජීවිතයේ දින ගණන අවසන් විය. දැන් ඔහු පොලිස් අත්අඩංගුවේ පසුවන, අපරාධයක සැකකරුවෙකි. සේපාල අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු ළඟ තිබී ඩොලර් 100 යේ නෝට්ටු 46ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගනු ලැබිණි. ඉන්පසු ඔහු කොටුවේ මහේස්ත්‍රාත්වරයා හමුවට පමුණුවනු ලැබීය. මහේස්ත්‍රාත්වරයා සේපාලව රක්ෂිත බන්ධනාගාරගත කළේය.

ආනා ගේ දෙවැනි ප්‍රකාශය සටහන් කරගනිද්දි ඇගේ අත් බෑගයේ තිබූ ඩොලර්ස් 2500ක් පොලිස් පරීක්ෂක ගජනායක මහතාට ඈ දුන්නාය. ඇගේ ගුවන් ගමන් බලපත්‍රය ඇයට නැවත ලබා දීමෙන් පසු දින කීපයක් ලංකාවේ සිට දරුවත් සමඟ ඉතාලියට ගියාය. මෝදිනා ප්‍රදේශයට ගිය ඈ සේපාලගෙන් දික්කසාද වී දරුවාගේ බාරකාරත්වය ලබාගෙන ඔහුගෙන් වෙන්විය.

Comments