ඉංග්‍රීසින් මහනුවර රාජකීය වස්තු කොල්ල කෑ සැටි | සිළුමිණ

ඉංග්‍රීසින් මහනුවර රාජකීය වස්තු කොල්ල කෑ සැටි

වෙන්දේසියේ විකිණීමට නියමිතව තිබු වස්තුන් 93ක් ඊට අදාළ ලියවිල්ලට ඇතුළත් විය. ඔටුන්න ඇතුළු ඒ සියල්ල කැබලි වලට කඩා අවුන්සය (ග්‍රෑම් 28ක් පමණ) බැගින් විකිණීමට නියමිත විය. එහෙත් වාසනාවකට ඔටුන්නට එය සිදුවුයේ නැත.

දිනය හරියටම මින් වසර 200 කට පෙර 1820 ජුනි 13 දාය. එදින මිල කළ නොහැකි අගයකින් යුත් රනින් නිම කළ මැණික් ඇල්ලූ ස්වර්ණාභරණ තොගයක් එංගලන්තයේ ලන්ඩන් නුවර කොවන්ට් ගාඩ්න්හි රජ වීදියේ අංක 38 දරණ ස්ථානයේ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන ලදී. ඒවා හඳුන්වන ලද්දේ "රජතුමා විසින් තමා අත්අඩංගුවට ගත්තවුන්ට ලබා දෙන ලද" වස්තුව ලෙසය. මෙහිදී රජතුමා යනු මෙරට අන්තිම රජ වූ මහනුවර සෙංකඩගල රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුය.

එහෙත් ඒවා රජතුමා විසින් ලබා දුන්නා නොව ඉංග්‍රීසින් විසින් පැහැරගන්නා ලද, ඔහු සතුව තිබු සම්පූර්ණ රාජ භාණ්ඩ වලින් කොටසකි. ඊට රජුගේ ඔටුන්න, සිහසුන, රජුගේ දෙපා තබන පාපුටුව සහ වසර 22ක් තිස්සේ මහනුවර රජවරුන් විසින් භාවිත කළ අසිපතද ඇතුළත් විය. සිහසුන වසර 1693 සිට භාවිත කළ අතර එම ඔටුන්න භාවිත කරන ලද්දේ 1737 සිටය. ඔටුන්න වටා නිල් සහ රෝස පාට කොන් අටක් තිබු අතර ඒ මත රනින් කළ රාජකීය 'පුෂ්පයක්' පළඳවා එහි දියමන්ති, රතුකැට, මරකත, පද්මරාග යනාදී වටිනා ගල් සහ මුතු ඔබ්බවා තිබිණි.

සම්ප්‍රදායික සිංහල මෝස්‌තර ඇතුළත් කර නිර්මාණය කරන ලදුව විල්ලුද මෙට්ට සහිත සිහසුන සහ පාපුටුව පහතරට ඕලන්ද ආණ්ඩුකාර වැන්රී විසින් උඩරට දෙවන විමලධර්මසූරිය රජතුමාට තෑගි කරන ලද්දක් විය. ඒ මහනුවර රාජධානිය සහ ඕලන්ද පාලනය අතර සාමය සහ සුහදත්වය පැවති කාලයේදීය. ලීයෙන් තැනු රාමුවකින් යුත් සිහසුන මතුපිටින් සැරසුණේ වටිනා ගල් 243ක් ඔබ්බවන තුනී රත්රන් තහඩුවකිනි. අඩි පහක් දිග, අඩි දෙකයි අගල් දෙකක් පමණ පළල එම සිහසුනේ කැපී පෙනෙන ලක්ෂණය වුයේ සිංහ රූ සහිත ඇඳි දෙකය. එම සිංහ ජෝඩුවේ දෑස් වලට දම්පාට මැණික් ගල් යොදා තිබුණි. පැහැර ගන්නා ලද වස්තු අතර විවිධ වර්ගයේ රනින් කළ වළලු, කරේ පළඳින චේන්, පදක්කම්, කිනිස්සක් සහ සටන් වලදී පළඳින ලෝහමය සැට්ටයක්ද විය. ඒවා සියල්ල විශිෂ්ට ලෙසින් කැටයම් කර නොයෙකුත් වටිනා ගල් වර්ග අල්ලා තිබිණි.

වෙන්දේසියේ විකිණීමට නියමිතව තිබු වස්තුන් 93ක් ඊට අදාළ ලියවිල්ලට ඇතුළත් විය. ඔටුන්න ඇතුළු ඒ සියල්ල කැබලි වලට කඩා අවුන්සය (ග්‍රෑම් 28ක් පමණ) බැගින් විකිණීමට නියමිත විය. එහෙත් වාසනාවකට ඔටුන්නට එය සිදුවුයේ නැත.

ශ්‍රී වික්‍රම රජු අත්අඩංගුවට ගැනීමෙන් පසු මහනුවර බ්‍රිතාන්‍ය මුලස්ථානය විසින් සකස් කරන ලද නිල ප්‍රකාශනයකට අනුව බ්‍රිතාන්‍යයන්ගේ පැත්තට පළා ගොස් සිටි ඇහැලේපොල අධිකාරම 1815 මාර්තු 13 දා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් හමු විය. එහිදී ඇහැලේපොල අධිකාරම කළ සඥාවකින් පසු ඔහුගේ සේවකයන් ඉහත සඳහන් කළ වස්තු වලින් කොටසක් පිරවූ මලු තුනක් ගෙනැවිත් ආණ්ඩුකාරයාට බාර දී ඇත. නමුත් රජුගේ ඔටුන්න සහ රාජ්‍ය සංකේතයක් වූ අසිපත එහි තිබී නැත. ඒවා ඉංග්‍රීසින්ට විශේෂයන්ම අවශ්‍ය විය. ඊට හේතු වුයේ උඩරට නායකයකු වූ වෙල්ලස්සේ මිල්ලෑව දිසාව පැවසු කරුණකි. එනම් ඔටුන්න සහ අසිපත ඉංග්‍රීසින් සතු නොවන තාක් පාලන බලය ඔවුන් සතු බව ජනතාව විශ්වාස නොකරන බවයි.

මෙහිදී බරපතළ සැකයට පාත්‍ර වුයේ ඇහැලේපොල අධිකාරමය. බ්‍රිතාන්‍යයන් විසින් 1816 නොවැම්බර් 5 වනදා නිකුත් කරන ලද නිකුත් කරන ලද ලියවිල්ලකට අනුව ඇහැලේපොලට කරන ලද දැඩි බලපෑම නිසා අවසානයේදී ඌව සහ කොත්මලේ අතර කැලයක සඟවන ලද ඔටුන්න, මැණික් සහ දියමන්ති ඔබ්බවන ලද රන් මිට සහිත අසිපත සහ රජුගේ තවත් වටිනා වස්තු ඔවුන්ට ලබාගත හැකිවිය.

ඉන් දෙවසරක කාලයක් තුළදී ඇහැලේපොල කෙරෙහි බ්‍රිතාන්‍යයන් තුළ වූ විශ්වාසය බිඳ වැටීම නිසා ඔව්හු ඇහැලේපොල සතුව තිබු රජුගේ බිසවට අයත් ස්වර්ණාභරණ තොගයක් තම බාරයට ගත්හ. ඉන් තවත් 11ස් වසරකට පසු රජ මාළිගයේ ඉතා විශ්වාසවන්ත සේවකයකුව සිටි වෙලගෙදර සිත්තම්බි අප්පුහාමි විසින් 1829 පෙබරවාරි 4 දා එවකට සිටි බ්‍රිතාන්‍ය ආදායම් කොමසාරිස්වරයා ඉදිරියේ දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙන ලදී. ඊට අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පුද්ගලික ආයිත්තම් සහ ස්වර්ණාභරණ රජුගේ යහන් ගබඩාවට නුදුරු කුටියක තිබී ඇත. (සිත්තම්බිවරු පාරම්පරිකව රජමාලිගයේ සේවයට කැපවූ පිරිසක් වුහ)

ආක්‍රමණික බ්‍රිතාන්‍ය හමුදා සීතාවක සීමාව පසු කර මහනුවර දෙසට ගමන් කරන බව රජමාලිගයට සැලවූ වහාම සිත්තම්බි අප්පුහාමි, පහලවෙල දේව නිලමේ, තලගුණේ වන්නකු නිලමේ සහ අයියගලු උන්නාන්සේ එකතුව ඒ සියලු වටිනා වස්තු පෙට්ටි දෙකක දමා මුද්‍රා තැබුහ. රජු මැද මහනුවරට පළා ගියේ වස්තු සහ වටිනා ඇඳුම් පිරවූ පෙට්ටි හතරක් රැගෙනය. එහෙත් බ්‍රිතාන්‍යයන් විසින් තෙල්දෙනියෙදී රජු අල්ලා ගන්නා විට ඔහු සතුව තිබුණේ අසිපත සහ රන් කාසි පිරවූ පෙට්ටියක් පමණය. වස්තු පිරවූ අනෙක් පෙට්ටි සුරක්ෂිතව සඟවා තැබීම සඳහා රජුට හිතවත් විවිධ පුද්ගලයන්ට බාර දෙන ලදී. ඔටුන්න බාර දෙන ලද්දේ පොත්දුල්ගොඩ ගම් ප්‍රධානින්ටය. ‍

රජු සුද්දන්ට හසුවීමෙන් දින හයකට පමණ පසු ඇහැලේපොල අධිකාරම සිත්තම්බි අප්පුහාමි ගේ සහාය ඇතිව රජුගේ වස්තුව සිය නිවසේ සැඟවීය. අප්පුහාමි පැවසු අන්දමට එදින රාත්‍රී ඔහුව එම නිවසට කැඳවූ ඇහැලේපොල වස්තුව පිරවූ පෙට්ටි විවෘත කර එහි වූ දෑ පිරික්සුවේය. ඉන්පසු ඔහු කළේ රජ ඇඳුමින් සැරසී රන් හිස්වැස්ම ද ලා ගැනීමයි. එසේ කිරීමේ නුසුදුසු කම සිත්තම්බි අප්පුහාමි ඇහැලේපොලට පෙන්වා දුන් විට ඔහු අප්පුහාමිට පවසා ඇත්තේ ටික දිනකින් බ්‍රිතාන්‍යයන් තමාව රජකමට පත්කරනු ඇති බවයි. එහෙත් එය එසේ සිදු වුයේ නැත. උඩරට නායක්කර් රජපෙළපතේ අන්තිම පාලකයා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට ද්‍රෝහි වීමටඉංග්‍රීසින් ඇහැලේපොලව දිරි ගැන්වූ නමුත් ඔහුට රජකම දීමට ඔවුන්ගේ කිසිදු අදහසක් නොවීය. (ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බ්‍රිතාන්‍යයන් විසින් ඔහුගේ මව, බිසෝවරුන් සතර දෙනා, පවුලේ සෙස්සන් සහ නෑදෑයින් සමඟ දකුණු ඉන්දියාවේ වෙල්ලෝරයට පිටුවහල් කරන ලදුව එහිදී 1832 ජනවාරි 30 වනදා උදර රෝගයකින් මියගියේය).

බ්‍රිතාන්‍යයන් විසින් පැහැර ගන්නා ලද ඉතාමත්ම වටිනා රාජකීය වස්තුව වුයේ මහනුවර රජුගේ සිහසුනයි. ඔවුන් විසින් එය 1815 දී නැවක පටවා එංගලන්තයට ගෙනගියාට පසු ඒ ගැන කිසිදු ආරංචියක් නොවීය. ඔවුන් කළේ එය මහනුවරින් පැහැරගන්නා ලද අනෙකුත් වස්තු සමඟ එරට වින්ඩ්සර් මාලිගයේ භාණ්ඩාගාර කාමරයේ තැන්පත් කිරීමයි. ඉන්දියාවේ මයිසුර් ප්‍රාන්තයේ පාලකයා වූ ටිප්පු සුල්තාන් ගෙන් පැහැරගන්නා ලද වටිනා වස්තුන්ද තැන්පත් කර තිබුණේ එම කාමරයේය. ඉන්පසු ලංකාවේ ජනයාට සිහසුන ගැන කිසිවක් දැනගන්නට නොලැබුණි.

පසුව වාර්තාවී ඇති අන්දමට එය එංගලන්තයේ තිබු කාලයේ එරට රජතුමා වින්ඩ්සර් හි ශාන්ත ජෝජ් පල්ලියේ 'ගාට' නමැති ගරු නාමය (Order of the Garter) ආගමික නායකයන්, උසස් හමුදා නිලධාරීන් සහ වෙනත් ප්‍රභූන්ට පුදකිරීමේදී හිඳගෙන ඇත්තේ එම සිහසුනේය. එනිසා එය හඳුන්වන ලද්දේ 'ගාට සිහසුන' ලෙසිනි. එංගලන්ත රජු අපේ සිහසුන දෙවරක්ම පාවිච්චි කර ඇත. ඒ නෝවේ රටේ එවකට සිටි රජුට සහ පෘතුගාලයේ රජුටත් ගාට නාමය පුද කිරීම සඳහාය. එයින් පැහැදිලි වන්නේ යුරෝපීය රජුන්ද කුමන හේතුවක් නිසා හෝ අපේ සිහසුන ඉදිරියේ දණ ගැසූ බවයි.

සිහසුන ගැන මෙරට ජනයාට දැනගන්නට ලැබුණේ 1913 පැවැත්වුණු චිත්‍ර ප්‍රදර්ශනයක් නිසාය. ඒ එය විවෘත කිරීමට පැමිණි එවකට මෙරට වැඩබලන ආණ්ඩුකාරයාව සිටි ශ්‍රීමත් එඩ්වඩ් ස්ටබ්ස් කල කතාවකිනි. වාසනාවකට මෙන් එතුමාගේ කාලයේදීම එනම් 1934 සැප්තැම්බර් මාසයේ එවකට එංගලන්තයේ රජ කළ පස්වැනි ජෝජ් රජුගේ පුත් ග්ලොස්ට ආදිපාදවරයා විසින් සිහසුන ඇතුළු තවත් මහනුවර රාජකීය භාණ්ඩ කිහිපයක් ලංකාවට ගෙනැවිත් බාර දෙන ලදී. එය සිදුවුයේ මෙරට ජනනායකයන් විසින් කරන ලද බලවත් ඉල්ලීම් වල ප්‍රතිඵලයක් ලෙසින්ය. එහෙත් මෙරටින් සුද්දන් පැහැර ගෙන ගිය 90 කට වැඩි මිලකල නොහැකි, ඉතාමත් වටිනා මහනුවර රාජකීය භාණ්ඩ යළි කිසිදා අපට නොලැබිණි.

මේ සිද්ධීන් වලට සම්බන්ධ ඇහැලේපොල අධිකාරම ගැන තවදුරටත් සඳහන් කළ යුතුව ඇත. ඉංග්‍රීසින් සහ ඔහු අතර අන්‍යෝන්‍ය විශ්වාසය බිඳ වැටීම නිසා 1818 මාර්තු දෙවනදා අත්අඩංගුවට ගන්නා ලද ඇහැලේපොල 1825 තෙක් සිරකරුවකු ලෙස කොළඹ රඳවා තබන ලදී. 1817-1818 ඌවේ බ්‍රිතාන්‍ය-විරෝධී සන්නද්ධ අරගලයට ඔහුගේ කිසිදු සම්බන්ධයක් නොවූ නමුත් ඉංග්‍රීසින් එම අරගලය දරුණු ලෙස මැඩලීමෙන් පසු ඔහු සහ එම කැරැල්ලට සහභාගී වූ යේ යැයි චෝදනා ලැබූ පිළිමතලාවේ සහ මත්තෙමගොඩ ආදී උඩරට නායකයෝ (හිස් ගැසුම් කෑ කැප්පෙට්ටිපොළ සහ මඩුගල්ලේ හැර) මුරිසි දිවයිනට නැව් මගින් පිටුවහල් කරන ලදහ. එහිදී ඇහැලේපොල හැර අනෙකුත් නායකයන්ට සලකන ලද්දේ සාමාන්‍ය සිරකරුවන් ලෙසය. එහෙත් ඇහැලේපොලට රජ කුමරෙකුට මෙන් සලකන ලද අතර පදිංචියට මනරම් පරිසරයක පිහිටි දෙමහල් මන්දිරයක් සහ සේවකයන්ද ලැබිණි. ඔහුට ඒ අවට සිත්සේ සැරිසැරීමටද නිදහස හිමි විය. ඉංග්‍රීසින් එහිදී ඔහුට සැලකුවේ ගරුත්වයෙනි.

ඇහැලේපොල පාචනය වැළඳීමෙන් දින හයකට පසු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී 1829 අප්‍රේල් 4 දා මියගියේය. ඔහුගේ සිරුර මුරිසි දිවයිනේ ශාන්ත අන්ද්‍රේ වනයේ දී ආදාහනය කරන ලද අතර අද එතැන ඔහු සිහිවීම පිණිස තනා ඇති සිහිවටනයක් දක්නට ඇත.

ඇහැලේපොල අපේ ඉතිහාසයේ හංවඩු ගැසී ඇත්තේ ද්‍රෝහියෙකු ලෙසය. ඔහු ද්‍රෝහියෙකු වුයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුටද නැතිනම් රටටද? රාජ ද්‍රෝහී වීම සහ දේශ ද්‍රෝහී වීම එකක්ද? එය විවාදයට තුඩු දී ඇති කරුණකි. සීතාවක රාජසිංහයන් විසින් කොනප්පු බණ්ඩාගේ පියා මරා දැමීම නිසා පෘතුගීසින්ට එකතුවූ ඔහුට පසුකලෙක පෘතුගීසින් කන්ද උඩරටින් පන්නා දමා පළවැනි විමලධර්මසුරිය නමින් රජවීමට හැකි විය. එහෙත් ඇහැලේපොලට එවන් අවස්ථාවක් නොලැබිණි.

බ්‍රිතාන්‍ය පාලන යුගයේ මෙරට සිටි ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු වූ ඉංග්‍රීසි ජාතික ආචිබෝල් කැම්බල් ලෝරි ‘ලංකාවේ මධ්‍යම පළාත් ගැසට්’ පත්‍රයේ (A Gazetteer of the Central Province of Ceylon) මෙසේ පවසයි:

 

(උපුටා ගැනීම)

“ඇහැලේපොල ගේ අරමුණ වුයේ ඉංග්‍රීසි හමුදාවේ පිහිටෙන් මහනුවර රජු බවට පත්වීම යයි බොහෝ දෙනෙකු සිතති. ඔහු බ්‍රවුන්රිග් ජනරාල්වරයාට උඩරට ආක්‍රමණය කිරීමට පෙලඹවුයේ මේ නිසා යැයිද කියති. මෙහි ඇත්ත නැත්ත මම නොදනිමි. එහෙත් එය සැබෑවක් නම් ඇහැලේපොල සමඟ ගනුදෙනු කළ ඉංග්‍රීසින්ට වඩා ඔහු දක්ෂ රාජ්‍ය තාන්ත්‍රික පාලකයකු විය හැකිව තිබූ බව මගේ විශ්වාසයයි. ඇහැලේපොල එංගලන්තයේ සහායයෙන් රජකමට පත්කර ඔහුගේ ආරක්ෂාවටත් ඔහු පාලනය කිරීමටත් ඉංග්‍රීසි සේනාංකයක් රැඳවුයේ නම් වසර 1818 කැරැල්ලක් මතුවී එය අතිශය ක්‍රෑර ලෙස මර්දනය කිරීමට ඉංග්‍රීසින්ට සිදුවන්නේ නැත. ඔහු වැනි ශූර ස්වදේශික පාලකයෙකු යටතේ රටට සෞභාග්‍යමත් කාලයක් උදාවිය හැකිව තිබුණි.

වසර 1817-1818 අතර කාලයේ උඩරට ඉංග්‍රීසි පාලනයේ කතාව ඉතාමත් ලජ්ජාසහගතය. වසර 1819 වනවිට එහි ප්‍රභූ පවුල් වල නායකයන්ගෙන් කිසිවකු ඉතිරි වුයේ නැති තරම්ය. සියගණන් ජනයා එක්කෝ අසිපතට හෝ තුවක්කු වලට හෝ ගොදුරු වී මියගිය අතර සෙස්සෝ කොලරාව, වසුරිය යනාදී රෝගවලින්ද සගින්නෙන්ද මාරුමුවට පත්වුහ....ඇහැලේපොල රජ කළා නම් අද අපට පසුතැවීමට සිදු වී ඇති ඒ සිද්ධීන් සිදු නොවනු ඇත...."

 

(උපුටා ගැනීම නිමි)

 

මූලාශ්‍රය:

 

THE REVOLT IN THE TEMPLE

Times of Ceylon (June 10 and Nov. 4, 1962)

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය

අන්තර්ජාලයේ ලංකා ඉතිහාස විස්තර

රසවාහිනී 1964 මාර්තු කලාපය

සිළුමිණ 1965 ජුලි 11

 

 

Comments