වසර 458කට පසු මුල්ලේරියා හටනට ගයාන් සහ කුසල්ගෙන් නව අරුතක් | සිළුමිණ

වසර 458කට පසු මුල්ලේරියා හටනට ගයාන් සහ කුසල්ගෙන් නව අරුතක්

 

කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා
යුද‍ට උපන් කුමරිඳු යයි නමක් ඇති වුණා
මුලෙරියා වෙලේ වතුර ලෙයට හැරවුණා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා

මේ ලාංකේය ඉතිහාසයේ ජනීජනයාගේ තොළඟ රැඳුණු ප්‍රකට කවියකි. මෙහි තෙවැනි පද පේළියෙන් කියැවෙන්නේ මුලේරියා වෙලේ වතුර ලෙයට හැර වුණා යනුවෙනි. ඒ 1562 අගෝස්තු 23 දා පහන් වන්නට හෝරා තුනක් පමණ තිබියදී, සිය අංගම්පොර ශූරයන් පිරිවරා ගත් ටිකිරි කුමරු ප්‍රමුඛ සන්නද්ධ සේනාව, පෘතුගීසි හමුදාවන්ට එරෙහිව අති බිහිසුණු සටනක් කර පරංගින් 1600ක් පමණ කැති ගා බිම හෙළන ලද අතර, එකී සටන අවසානයේ මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරවුණු බව කියැවෙයි.

ඉන් වසර 458කට පසු එවන් දැවැන්ත සංග්‍රාමයකට උර දෙන්නට මුල්ලේරියාව මේ දිනවල ලකලෑස්තිවෙයි. ඒ ‍ලේ වෙනුවට දහදිය මුල්කර ගනිමින්ය. ටිකිරි කුමරු එදා මුල්ලේරියානු සටනට ප්‍රමුඛත්වය දුන්නාක් මෙන් මෙදා මුල්ලේරියානු සටනට උර දෙන්නට පෙරමුණ ගෙන ඇත්තේ, හිටපු ප්‍රකට මෝටර් ක්‍රොස් ශූර ගයාන් සඳරුවන් සහ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරායි.

‘කොවිඩ් 19 වසංගතයත් එක්කම, අපේ වැඩත් එක්ක මුළු රට ම, අනිත් පැත්තෙන් ගත්තම මුළු ලෝකය ම නවතිනවනේ. මේ වෙලාවේ තමයි මමයි, මගේ යහළුවන් සහ කුසල් ජනිත් සහ එයාගේ යහළුවන් එක්ක මොකක් හරි වැඩකට අත ගහන්න හිතුවේ. කමල්ඩීන් කියන්නේ මගේ සහ කුසල්ගේ ‍හොඳ යහළුවෙක්. මේ සම්බන්ධතා එක්ක තමයි අපි එකතු වෙලා වැඩක් කරමු කියන තැනකට එන්නේ‘

මෙකී සංග්‍රාමයට කලින් ගයාන් සහ කුසල් ජනිත් තවත් සද්කාර්යයකට අත ගැසූහ. කොවිඩ් 19 වසංගතය පටන් ගත්ත කාලයේ ගෙවල්වල කොටු වුණු දුප්පත් ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් පටන් ගත්තා. මායි - කුසල් ජනිතුයි මෙය කරගෙන යනකොට ගොඩක් අය අපට උදව් කළා. කොහොම හරි මේ වියළි ආහාර බෙදා ගෙන යනකොට අපට සහල් හිඟයක් ඇති වුණා. ඒ වෙලාවේ තමයි චමල් රාපක්ෂ ඇමැතිවරයාගේ ලේකම්වරයා ඩිෂාන් ගුණසේකර අපට උදව් කරන්න ඉදිරිපත් වුණේ.

ඔවුන්ට ඇතිවන මේ සහල් ලබා ගැනීමේ අපහසුතාව සහ සහල් හිඟය ගයාන්ව සහ කුසල්ව නව දිශාවකට යොමු කිරීමට සමත්විය.

අපේ ගේ පිටි පස්සේ තියෙන කුඹුරු යාය අවුරුදු 10කින් විතර වගා කරලා නෑ. මම කිහිප සැරයක් ම මේ පළාතේ ගොවියන්ට මේ කුඹුරු වගා කරන්න කියලා කිව්වා. ඒත් කෙරෙන පාටක් තිබුණේ නෑ. පස්සේ මම ම ඉදිරිපත්වෙලා මේ කුඹුර අඳේට වැඩ කරන්න ගත්තා. පස්සේ ගොවි සංවිධානත් එක්ක කතා කළාම, ඔවුන් කැමැති වුණා වටේ ම තියෙන කුඹුරු ටිකේ වැඩ කරමු කියලා.

ගයාන් සහ කුසල් මුලේරියාවේ දෙවැනි සංග්‍රාමයට මුල පුරන්නේ ඒ ආකාරයෙනි.

අපි මුලින් අක්කර 40ක් තමයි වගා කරන්න ලෑස්ති වුණේ. පස්සේ තවත් අක්කර 14ක් දෙන්න පළාතේ ගොවීන් කැමැති වුණා. දැන් අපි අක්කර 54ක් සුද්ධ කරගෙන යනවා. දැනට ගයාන් සහ කුසල් ජනිත්ලා එක්ක ගොවීන් 40 දෙනකු පමණ මේ දැවැන්ත සංග්‍රාමයට අත ගසා සිටිති. ගයාන් සහ කුසල් ජනිත් පුද්ගලිකවත් මෙයට මුල්‍යමය දායකත්වය සපයන විට ගොවි සංවිධානය ද තම ශක්තිය ප්‍රමාණයෙන් මෙකී කාර්යයට සිය දායකත්වය සපයා තිබේ. වසර 10කින් වගා නොකළ යායක් වගා කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මේ සඳහා යන්ත්‍ර සූත්‍රවලින් උදව් උපකාර කිරීමට ගයාන්ගේ හිතවතෙක් වන ඇන්ජලෝ ඉදිරිපත් වී සිටියි.

ඇත්තට ම ගොඩක් අය මේ වගා සංග්‍රාමයට අපට උදව් උපකාර කරනවා. රාජ්‍ය නිලධාරින් වගේ ම ගමේ අයගෙන් ලැබෙන සහයෝගයත් අමතක කරන්න බෑ. ගමේ අයගේ සහයෝගය නැත්නම් මේ වගේ දෙයක් කරන්න බෑ.

මේ දිනවල ඇලවේලි සකස් කිරීමට ඇවැසි සියලු දේ මෙකී වගා භූමියේ සිදු වෙමින් පවතියි. මේ කටයුත්තට චමල් රාජපක්ෂ අමාත්‍යවරයාගෙන් ද උපරිම සහයෝගය මෙන්ම ආශිර්වාදයත් ලැබී ඇති බව ගයාන් පවසයි. මේ වගා සංග්‍රාමයේ වප් මඟුල් උත්සවය ජූලි 25දා මහත් උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.

මීට වසර 458කට පෙර ලෙයින් තෙත් වූ මුල්ලේරියාව මෙදා ගොවීන්ගේ දහදියෙන් තෙත්වීමට පස සකස් වෙමින් පවතියි. එකී දැවැන්ත කටයුත්ත පිටුපස යෝද සෙවණැලි වන්නේ ගයාන් සඳරුවන් සහ කුසල් ජනිත් පෙරේරායි.

 

Comments