දෙවැනි ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සුදානම්! | සිළුමිණ

දෙවැනි ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සුදානම්!

දෙවැනි ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව මේ වසරේ සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ශ්‍රී ලංකා රජයේ අවසරය හිමිව ඇතැයි ශ්‍රීලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි‍. ඒ අනුව තරගාවලියට සහභාගී වන ප්‍රධාන පාර්ශ්වකරුවකු වන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා ප්‍රකාශ කර තිබුණි.

මේ තරගාවලිය සහ ක්‍රීඩකයන් මුහුණ දුන් දීර්ඝ කාලීන විවේකයෙන් මුදවා, ඔවුන් වඩාත් ක්‍රියාකාරී මට්ටමට ගෙන ඒම ඇතුළු කරුණු මුල්කර ගෙන, පුහුණු කඳවුරක් මේ දිනවල පල්ලේකැලේ පැවැත්වෙයි. ඒ සඳහා ක්‍රීඩකයන් සමඟ කටයුතු කිරිමට හය දෙනකුගෙන් සමන්විත පුහුණු අභ්‍යාසකවරුන්ගේ කණ්ඩායමක්ද පල්ලෙකැළේ බලා පිටත්ව ගොස් තිබේ‍‍‍‍. ක්‍රීඩකයන් 24 දෙනකු සිටින හෙයින් පුහුණු කඳවුර අතරවාරයේදී ක්‍රීඩකයන් අතර පුහුණු තරගයක් හෝ දෙකක් පැවැත්වීමෙන් ඔවුන් තරග තත්ත්වයන්ට හුරු කරවීමත් තවත් අරමුණකි. දෙවැනි නේවාසික පුහුණු සැසිය ක්‍රීඩකයන් 24 දෙනකුගේ සහභාගිත්වයෙන් 22 වැනිදා පල්ලෙකැලේදී ආරම්භවිය. එය කෝවිඞ් -19 ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් රජයේ සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කරමින් පැවැත්වෙන දින 10 ක පුහුණු කඳවුරකි.

“කෝවිඩ්-19 න් පසුව වඩාත්ම හොඳින් සූදානම් වූ අන්තර්ජාතික කණ්ඩයම බවට ශ්‍රී ලංකා කණ්ඩායම පත්කිරීම මෙම පුහුණු කඳවුරේ ප්‍රධාන අරමුණයි” යැයි ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබේ. ශ්‍රීලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අරමුණ වන්නේ විස්සයි 20 ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වුවහොත් ඒ සඳහා කණ්ඩායම සූදානම් කිරීමයි. මෙම තරගාවලිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව කියැවෙතත් ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් තවමත් නිකුත් වී නැත. අනෙක් අතට ඉන්දියාවේ සහ පාකිස්ථානයේ කොවිඩ් 19 වසංගත තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙමින් තිබේ. මේ සටහන තබන විට ඉන්දියාවෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයනගේ සංඛ්‍යාව 440685 කි. පාකිස්ථානයේ එකී සංඛ්‍යාව 185034කි. එංගලන්ත සංචාරය ඉලක්ක කරගනිමින් පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන් පුහුණුව අරඹා ඇතත් කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දීය කණ්ඩායම තවමත් පුහුණුවීම් ආරම්භ කර නැත.

ඉන්දීය ක්‍රිකට් ආයතනය ඉන්දීය රජයෙන් අවසරය ගත යුතුව ඇති අතර, ඒ සම්බන්ධ ප්‍රතිචාර ඉක්මනින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙනු ඇතැයි ලේකම්වරයා විශ්වාසය පළ කර සිටියි. මේ ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව පැවැත්වීමේදී සියලු කණ්ඩායම්වල ක්‍රීඩකයන් ඒ ඒ රටවල් තුළදීම පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කළ යුතු අතර, තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට පැමිණ නිරෝධායන නීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

එබැවින් ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය හා කොවිඩ්19 ට එරෙහිව අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් සම්බන්ධව ඉන්දියාව ඇතුළු තරගාවලියට එක් වන සියලු රටවල් දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ආසියානු විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය යන රටවල් පහ නිත්‍ය වශයෙන්ම සහභාගී වන අතර, අගෝස්තු මාසයේ මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම ද මේ තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.

ආසියානු ක්‍රිකට් විස්සයි 20 තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට හිමිව තිබූ අතර, ඉන්දියාවේ විරෝධය හා කොවිඩ්19 ව්‍යාප්තිය වැනි කරුණු හේතුවෙන් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු සූදානම් කරන ලෙස ආසියානු ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයෙන් ඉල්ලිමක් කර තිබුණි. ජාත්‍යන්තර ප්‍රජාව විසින් ශ්‍රී ලංකාව ආසියාවේ සෞඛ්‍යාරක්ෂිත රටක් ලෙස පිළිගෙන ඇති හෙයින් මේ තරගාවලිය පැවැත්වීමට ආරාධනා ලැබුණු බව ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා විශ්වාසය පළ කරයි. වසර හතරකට වරක් පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගාවලිය මෙය වන අතර, පසුගිය 2016 වසරේ බංග්ලාදේශයේ පැවැති මුල්ම තරගාවලියේදී බංග්ලාදේශය පරදවා ඉන්දියාව ශූරතාව හිමි කර ගත්තේය. එම තරගාවලියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ තරගය ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉන්දියාව, පාකිස්තානය හා බංග්ලාදේශය හමුවේ පරාජයට පත්ව තරගාවලියෙන් ඉවතට ගියහ.

 

Comments