එල්ලේ ක්‍රීඩාවට අර්ජුන රණතුංග කරගසයි | සිළුමිණ

එල්ලේ ක්‍රීඩාවට අර්ජුන රණතුංග කරගසයි

ජාතික ශුරතා තරගාවලියේ වසර 2019ට නියමිත තරගාවලියේ අවසන් මහ තරගය මෙතෙක් පවත්වා අවසන් වී නැත

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නිලවරණය අගෝස්තු මස 31වැනිදාට පෙර පවත්වා නිම කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශය තමන්ට දැනුම් දි ඇතැයි එහි ලේකම් සිරිල් පෙරේරා අප කළ විමසුමේදි පැවැසිය. මේ අතර සභාපතිධුරයට ඉදිරිපත්වීම සඳහා ක්‍රීඩා සමාජ නියෝජිතයන් රැසකගෙන් අර්ජුන රණතුංගට ලැබි තිබෙන ඇරියුම පිළිබඳ සලකා බැලීමට සූදානම් බව හිටපු ඇමැතිවරයෙකු වන අර්ජුන රණතුංගගේ සමිප ආරංචි මාර්ග පවසයි. කෙසේ වූවද ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නේ එල්ලේ ප්‍රවීණයන් සමඟ ඉදිරියේ දී පැවැත්වෙන සාකච්ඡාවකින් පසුව එළැඹෙන කරුණු මත පදනම්ව බවත් වැඩිදුරටත් පැවැසේ.

මේ අතර අර්ජුන රණතුංග මාධ්‍යයකට අදහස් දක්වමින් ප්‍රකාශකර සිටියේ, දේශීය ක්‍රිකට් පරිපාලනයට පිවිසීමට තමාට රට තුළ ඉඩක් නොමැති බව තහවුරු වී තිබෙන බැවින් තවදුරටත් ඒ පිළිබඳව කාලය නාස්ති නොකරමින් රටේ දුප්පතුන්ගේ ක්‍රීඩාවක් වෙනුවෙන් උදව් කිරීමට තමා කැමැත්තෙන් පසුවන බවයි.

මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට උදව් කරන්න මා මෙතෙක් දැරූ සියලු උත්සහ අසාර්ථක වුණා. ජනාධිපතිවරුන් ගණනාවක් ළඟට ගිහින් රටේ ක්‍රිකට් ක්‍රීඩාව දූෂිතයන්ගෙන් බේරා ගන්නා ලෙස මම ඉල්ලීම් කළා. නමුත් ඒ කිසිදු ජනාධිපතිවරයෙක් මට ඇහුම් කන් දෙන්න උනන්දුවක් ගත්තෙත් නෑ, වගේම ඔවුන්ටත් මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න උනන්දුවක් තිබ්බේ නෑ.

ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා එකම ක්‍රිකට් නායකයා මා වුණත් දූෂිතයන් මට ක්‍රිකට් පරිපාලනයට එන්න දෙන්නෙ නෑ. ඔවුන්ගේ මාෆියාව ඒ තරම් රටේ ප්‍රබලයි. මෙහෙම තත්ත්වයක් උඩ මේ රටෙන්ම බිහිවුණු එල්ලේ වැනි දුප්පතුන්ගේ ක්‍රීඩාවක පරිපාලනයට එන්න මට අවස්ථාවක් ලැබුණොත් මම ඒක සතුටින් බාර ගන්නවා’ යැයි ද අර්ජුන රණතුංග එහිදි වැඩිදුරටත් පවසා තිබුණි. වර්ෂ 1962දී ආරම්භ කරන ලද එල්ලේ සම්මේලනයේ සභාපතිවරු ලෙස වත්මන් අගමැතිවරයා, හිටපු ඇමැතිවරුන් වන ජෝශප් මයිකල් පෙරේරා, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, හිටපු නියෝජ්‍ය ඇමැති සරත් ගුණරත්න යන අය කටයුතු කළහ.

එල්ලේ සම්මේලනයේ වත්මන් ලේකම් සිරිල් පෙරේරා ගෙන් කළ විමසුමක දී පැවසුවේ ලබන අගෝස්තු 31 වැනිදාට පෙර එල්ලේ සම්මේලනයේ නිලවරණය පවත්වා අවසන් කළ යුතු වූවත්, අගෝස්තු 5 වැනිදාට යෙදී තිබෙන මහ මැතිවරණය හේතුවෙන් මේ වනවිට අගෝස්තු 31 වැනිදාට පෙර නිලවරණය පවත්වා අවසන් කිරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් ගොඩනැගී තිබෙන බවයි.

අපට අදටත් අනුග්‍රහයක් නෑ. 1994 එස්. බී. දිසානායක ක්‍රීඩා අමාත්‍යවරයා විදියට ඉන්න කොට යසෝධා සමුහ ව්‍යාපාරයේ අනුග්‍රහකත්වය ලබා දුන්නා. ඊට පස්සේ අපට ස්ථිර අනුග්‍රහකයක් නෑ. යෝෂිත රාජපක්ෂ එල්ලේ සම්මේලනයේ සභාපති විදියට ඉන්න කාලයේ සී.එස්.එන්. ආයතනය හුගක් උදව් කළා. එල්ලේ නිලවරණය මෙහෙයවීම සඳහා මේ වනවිටත් විශ්‍රාමලත් කම්කරු කොමසාරිස්වරයකු වන නන්දසේන විතානගේ ගේ ප්‍රධානත්වයෙන් සිව් පුද්ගල කමිටුවක් ද පත් කර තිබේ.

එල්ලේ සම්මේලනය වාර්ෂිකව සංවිධානය කරන ප්‍රධානතම තරගාවලිය වන ජාතික ශුරතා තරගාවලියේ වසර 2019ට නියමිත තරගාවලියේ අවසන් මහ තරගය ද මෙතෙක් පවත්වා අවසන් වී නැත. මේ අවසන් මහා තරගය මාර්තු මාසයේ පවත්වන්න සැලසුම් කරලා තිබුණේ. කොවිඩ්19 වසංගතයත් එක්ක සියල්ල කල් දාන්න සිදු වුණා. අවසන් මහා තරගයට ඒකල රශ්මි සහ උදම්මිට ගාමිණී සුදුසුකම් ලබලා තිබුණේ යැයි ලේකම් සිරිල් පෙරේරා පවසයි.

 

Comments