එක එක අය අතේ එක එක විදියට නැටවෙන සංවර්ධන නිලධාරියෝ | සිළුමිණ

එක එක අය අතේ එක එක විදියට නැටවෙන සංවර්ධන නිලධාරියෝ

ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් 14,022ක ආර්ථික සංවර්ධන නිලධාරීන් 14,022ක් සේවයේ

ආර්ථික සංවර්ධන නිලධාරීන්ගෙන් 75%ක්ම කාන්තාවෝ

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය උදෙසා මුළු රටටම ඇඳිරි නීතිය පැනවූ අවස්ථාවේදී ජනතාව නි‍වෙස් තුළට යොමුවූයේ අඩුපාඩු පුරවාගෙන අතමිට මුදල් තබා‍ගෙන සිටියදී නොවේ. දින කීපයකට තරම් සෑහෙන ආහාර ඔවුන්ගේ නිවෙස් තුළ තිබුණද සති ගණනක් පුරා කුසගින්න නිවාගැනීමට ඒවා ප්‍රමාණවත් වූවේ නැත. සමූපකාර හෝ ලංකා සතොස සමඟ සම්බන්ධ වී ගම් පෙදෙස්වල අත්‍යවශ්‍ය ආහාර සහිත ‍ලොරි රැගෙන යෑමේ කටයුතු ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් සිදුකරනු ලැබූවේ ඒ නිසාය. ඊට අමතරව රෝහල් සායනවලින් ඖෂධ ගෙන්වා ගැනීමට නවීන තාක්ෂණයත් සමඟ ගනුදෙනු කළ නොහැකි ග්‍රාමීය ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ සායනික වාර්තා නිවෙස්වලින් ගෙන රෝහල් කරා යොමු කර සායනයෙන් ලබාදෙන ඖෂධ නිවෙස්වලට ගෙන ගොස් බාරදුන්නේ ආර්ථික සංවර්ධන නිලධාරීන්ය. ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප ගැනීමට ඔවුන් බැංකු වෙත කැඳවාගෙන ගොස් නැවතත් නිවෙස් කරා රැගෙන ආවේත් ආර්ථික සංවර්ධන නිලධාරීන්ය.

එහෙත් රටේ ජනතාවගෙන් බහුතරයක් ආර්ථික සංවර්ධන නිලධාරීන් හඳුනන්නේ නැත. හැඳිනගත්තද ඔවුන්ගෙන් සිදුවන මෙහෙවර පිළිබඳ නිසි අවබෝධයක් නැත. ජනතාවගේ මනසේ රැඳී සිටින්නේ ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි නිලධාරීන් පමණි.“ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ පත්වීම් දුන්නේ 2012දී මෙහි මූලික සුදුසුකම වුණේ උපාධිය. උපාධිධාරීන් 58,000කට මෙම පත්වීම් දුන්නා. එයින් කොටසක් ග්‍රාමසේවා වසම්වලට අනුයුක්ත කළා. අනිත් අයට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කළා. දැන් හැමෝම වැඩ කරගෙන යනවා. ආර්ථික සංවර්ධන නිලධාරී තනතුරට වසර 8ක ඉතිහාසයක් තිබෙන්නේ. මේ නිසා අපේ ආර්ථික සංවර්ධන නිලධාරී තනතුර තවමත් ජනතාව අතර ජනප්‍රිය නැහැ. ග්‍රාමීය මට්ටමින් වසම් තුළ රාජකාරි කරන නිලධාරීන් නම් ජනතාව අතර ප්‍රචලිත වී තිබෙනවා. මොකද ගම්වල විවිධ ව්‍යාපෘතිවලට වැඩසටහන්වලට ආර්ථික සංවර්ධන නිලධාරීන් සම්බන්ධ වන නිසා.” යනුවෙන් ආර්ථික සංවර්ධන නිලධාරීන් පිළිබඳ පැහැදිලි කරමින් කතාවට සම්බන්ධ වූයේ ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරී සංගමයේ විධායක සභික නිහාල් වතුලියද්දය.

වසම් තුළ සිදු කළ යුතු ව්‍යාපෘති හඳුනාගැනීම, ශාක්‍යතා වාර්තා ඉදිරිපත් කිරීම, ඇස්තමේන්තු සකස් කිරීමට සහය වීම, ව්‍යාපෘති ආරම්භයේ සිට අවසානය දක්වා ඊට දායකත්වය සැපයීම සහ ව්‍යාපෘති පසු විපරම් කිරීම, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අවශ්‍ය මූලික තොරතුරු රැස්කිරීම සහ යාවත්කාලීන කිරීම, ස්වයංරැකියා වැඩසටහන් සැලසුම් කිරීම, රටේ ස්වාභාවික අනතුරකදී හෝ ව්‍යසන අවස්ථාවකදී ඉදිරිපත් වී ජනතාවට උදව් උපකාර කිරීම යනාදි වශයෙන් ආර්ථික සංවර්ධන නිලධාරීන් වෙත පැවැරී තිබෙන කාර්යය භාරයන් රාශියකි. කොරෝනා ව්‍යාප්ති පාලනය උදෙසා ඇඳිරි නීතිය පැනවූ කාල‍ෙය් මෙම නිලධාරීන් ගමින් ගමට ගොස් ප්‍රදේශවාසීන්ට සහන සැලැස්වීමට දායකත්වය ලබාදුන්නේ ඒ නිසාය.

“පසුගිය දවස්වල රජයෙන් රු. 5,000 ක දීමනාවක් දීපු වෙලාවෙ තේරීම් කමිටුවෙත් අපි හිටියා. සමහරු නම් ඒ වෙලාවෙ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අරගෙන දේශපාලනය ගාවාගෙන තේරීම් කමිටුවෙන් අයින් වුණා. මිනිසුන්ගේ දුක උගසට තියලා අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නවා නම් අපි රාජ්‍ය සේවකයන් නොවෙයි‍. රටේ ව්‍යසන අවස්ථාවක අපි වෘත්තීය අයිතිවාසිකම් දිනාගන්න හදන එක වැරැදියි. ඒ නිසා රු. 5000 ඔවුන්ගේ අතට ලැබෙන තුරු අපි අපේ කාර්යභාරය කළා. රජයේ වැඩපිළිවෙළට උපරිම ආකාරයට සහයෝගය දුන්නා.” යනුවෙන් නිහාල් වතුලියැද්ද තවදුරටත් විස්තර කළේය.

මේ වන විට ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් 14022ක් තිබේ. එම ග්‍රාමසේවා වසම් තුළ ආර්ථික සංවර්ධන නිලධාරීහු 14022ක් සේවය කරති. එහෙත් ඔවුන්ගේ සේවය පැය 8කට සීමා වී නැත. යම් ව්‍යාපෘතියක් ආරම්භ කළ විට එය අවසාන වන තුරු එහි රැඳී සිටිය යුතුය. දිවා-රෑ, සෙනසුරාදා ඉරිදා කියා වෙනසක් නැත. ව්‍යාපෘතිවලට, වැඩසටහන්වලට සහභාගි විය යුතුය. එහෙත් ලංකාවේ සේවයේ නිරත ආර්ථික සංවර්ධන නිලධාරීන්ගෙන් 75%ක්ම කාන්තාවෝ වෙති. ස්වාභාවික ආපදාවකදී දිවා-රෑ නොබලා කාන්තා ආර්ථික සංවර්ධන නිලධාරීන් කටයුතු කරන ආකාරය පිළිබඳ විමසා බැලීමට සිතුණේ එබ‍ැවිනි.

“මම උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් නව පේරාදෙණිය වසමේ සේවය කරන්නේ. ගෙලිඔය ප්‍රදේශයේ ඔය ගොඩ ගලද්දී මමත් ග්‍රාම නිලධාරිත් එක්ක එකතුවෙලා වැඩ කළා. උඩුනුවර ප්‍රදේශයේ නායයෑමකදී එතැනට ගිහින් ජනතාවට සහන සැලසීමට පියවර ගත්තා. ඒ වගේ අවස්ථාවලදී අපි දිවා,රෑ- අව්ව,වැස්ස නොබලා වැඩ කරනවා. අපිට රජයෙන් මෝටර්සයිකල් දීල තිබෙන නිසා ප්‍රවාහන ගැටලුවක් මතු වෙන්නේ නැහැ. මගේ වසමට අයිති පාහින්ගමුව ප්‍රදේශයේ අතුරු මාර්ගයක් කොන්ක්‍රීට් කළ අවස්ථාවක මම ඒ වැඩ අවසන් වන තුරු රැඳී සිටියා. ඒ වගේ දවස්වලට ගෙදර යන්නේ රෑ වෙලා. ශ්‍රමදාන, ඩෙංගු මර්දන වැඩසටහන්, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, ස්වයංරැකියා කරන අය පුහුණු කිරීමේ වැඩසටහන් වගේ ග්‍රාමීය මට්ටමේ පැවැත්වෙන සෑම වැඩකටම අනෙක් නිලධාරීන් සමඟ එකතු වෙලා වැඩ කරනවා. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. මම රාජකාරි කටයුතුවලට ගියාම නිවෙසේ වැඩකටයුතු කරගෙන දරුවන් බලාගන්නේ මගෙ මහත්තයාගේ අම්මා. අපේ ප්‍රශ්නවලට අපි පිළියම් යොදාගෙන රාජකාරියට මුල්තැන දීලා වැඩ කරනවා. අපි ගැහැනු කියලා වැඩ පැහැරහරින්නේ නැහැ” යනුවෙන් පැවසුවේ ආර්ථික සංවර්ධන නිලධාරීනී ශිරෝමි හේරත්ය.

ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොරව ආර්ථික සංවර්ධන නිලධාරීන් සිය ශ්‍රම දායකත්වය රටේ සංවර්ධනයට ලබා දුන්නද ඔවුන්ටත් රැකියාවේ ගැටලු නැතිවා නොවේ. ඔවුන්ගේ රැකියාවට අදාළ සේවා ව්‍යවස්ථාවක් සකස් කර නොතිබීම ප්‍රධාන ගැටලුවයි. ආර්ථික සංවර්ධන නිලධාරී තනතුර සඳහා නිසි ක්‍රමවේදයක් නොතිබීම තවත් ගැටලුවකි. වසමක රාජකාරියේ යෙදී සිටින ආර්ථික සංවර්ධන නිලධාරියකු නිවාඩු ලැබූ විට (ප්‍රසූත නිවාඩු) ඒ වෙනුවට වැඩබලන ආර්ථික සංවර්ධන නිලධාරියාට දීමනාවක් හිමි නොවීමද ඔවුන්ගේ සිත් කනස්සල්ලට පත් කර ඇත.

“ආර්ථික සංවර්ධන නිලධාරී තනතුර බිහි වුණේ 2012දී. ඊට පෙර සංවර්ධන සහකාර නමින් තමයි උපාධිධාරීන් රැකියාවලට බඳවා ගත්තේ. අද මේ රැකියාවේ පොදු තනතුර වෙන්නේ සංවර්ධන නිලධාරී. ඔවුන්ගෙන් කොටසක් ග්‍රාමසේවා වසම්වලත්, කොටසක් අමාත්‍යාංශවලත්, දෙපාර්තමේන්තුවලත් සේවය කරනවා. හැබැයි මේ අයගේ රාජකාරියේ නිසි ක්‍රමවේදයක් නැහැ. උදාහරණයක් හැටියට ඩෙංගු මර්දන වැඩසටහනකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකට උදවු වෙනවා. පෝෂණ ඌනතා තොරතුරු රැස් කිරීම සහ වැඩසටහන්වලදී පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ට උදවු කරනවා. ඉදිකිරීමකදී කාර්මික නිලධාරීන් ඇතුළු කණ්ඩායම්වල සහාය ලබාගෙන වැඩ කරනවා. හැම තිස්සේම තව කාගෙ හරි මුක්කුවක් වෙලා. ඊට හේතුව තමයි නිසි ක්‍රමවේදයක් නොතිබීම. ආර්ථික සංවර්ධන නිලධාරී තනතුරට බඳවාගන්නේ උගත් පිරිසක්. ඔවුන්ට රට සංවර්ධනය වෙනුවෙන් මීට වඩා ඵලදායි විදිහට වැඩ කරන්න පුළුවන්. ඒ නිසා රටේ සම්පත්වලින් ප්‍රයෝජනයක් ගැනීමට රජය වැඩපිළිවෙළක් යොදනවා නම් හුඟාක් හොඳයි. උගත් පිරිසකගෙන් රටට ඵලදායි වැඩක් නොගත්තාම ඒ අය රටට වැඩකුත් නැහැ. ආර්ථික සංවර්ධන නිලධාරී රැකියා කරන අපිට රැකියා තෘප්තියකුත් නැහැ. ඉදි‍රියේදී ස්වයංපෝෂිත ආර්ථිකයක් සැලසුම් කරනවා නම් ගොඩාක් වටිනවා.” යනුවෙන් ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් ජයසුන්දර ආර්ථික සංවර්ධන නිලධාරීන් මුහුණපාන ගැටලු පිළිබඳ අනාවරණය කළේය.

ආර්ථික සංවර්ධන නිලධාරීන් මුලින් ආර්ථික කටයුතු අමාත්‍යාංශයට අයත් වුවත් දැන් අයත් වන්නේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයටය. ස්වදේශ කටයුතු අතිරේක ලේකම් කේ.පී. ධර්මතිලකගෙන් මේ පිළිබඳ විමසීමක් කළේ එබැවිනි. “අපිට අයිති කොටස් 4ක් ඉන්නවා. ඒ සංවර්ධන ක්ෂේත්‍ර සහකාරවරුන් 330කුත්, සංවර්ධන නිලධාරීන් 187 දෙනෙකුත්, සංවර්ධන සහකාරවරුන් 889කුත්, සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සහකාරවරුන් 100කුත් අපට අයිතියි. මුළු ගණන 900යි. මේ පිරිසගේ උසස් කිරීමේ පටිපාටිය ඇතුළු ගැටලු නිරාකරණය කරගැනීමට අප කටයුතු කරගෙන යනවා. මේ අයගෙන් සංවර්ධන ක්ෂේත්‍ර සහකාරවරුන් සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සහකාරවරුන් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට යෑමට ඉල්ලීමක් කර තිබෙනවා. අප එක්ක ඉන්න අයගේ ගැටලු විසඳීමට අප මැදිහත් වෙනවා. ඔය කියන ආර්ථික සංවර්ධන නිලධාරීන් අයිති වෙන්නේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට.” ස්වදේශ කටයුතු අතිරේක ලේකම් කේ.පී. ධර්මතිලක පැහැදිලි කළේය.

ඒ අනුව අප ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් ආලෝක බණ්ඩාර අමතනු ලැබීය. “ආර්ථික සංවර්ධන නිලධාරීන් අභ්‍යාසලාභීන් හැටියට බඳවාගෙන අවුරුද්දෙන් ස්ථිර කළා. ස්ථිර කරන විටත් ව්‍යවස්ථාවක් 2013දී හදලා තිබෙනවා. එකවර විශාල ප්‍රමාණයක් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීමත් එක්ක ප්‍රශ්න ඇතිවුණා. මේ අයගේ බඳවා ගැනීමට විරුද්ධව උසාවියේ නඩුවක් දාලා තිබිලා එය 2017දී ඉවර වුණා. විශාල ප්‍රමාණයක් බඳවා ගැනීමේදී ඔවුන්ට සේවාවන් හා කාර්භාරයන් සඳහා යෙදවීමේ ගැටලු ඇතිවුණා. දැන් අපි ඒවා නිරවුල් කරගෙන යනවා.” ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් ආලෝක බණ්ඩාර විස්තර කළේ එලෙසිනි. රටේ උගත් පිරිසකගෙන් ඵලදායිසේවාවක් ලබාගැනීම රජයේ වගකීමකි. එය රටේ සංවර්ධනයට පිටිවහලක් වනු ඇත.

Comments