සොයිසාපුර ප්‍රහාරකයන්ට වැඩ වරදී | Page 2 | සිළුමිණ

සොයිසාපුර ප්‍රහාරකයන්ට වැඩ වරදී

ප්‍රහාරය එල්ල වූ හෝටලය

- ප්‍රහාරය මෙහෙයවූ විදේශයන්හි වෙසෙන පාතාල සාමාජිකයන් හෝටලයේ හිමිකරු වන ලසන්ත නමැත්තා අතර වූ දුරකථන සංවාද කිහිපයක්ද කරළියට පැමිණෙයි 
- වෙඩි ප්‍රහාරයට මූලික වී ඇත්තේ පසුගිය ඇඳිරිනීති සමයේ රත්මලාන අවට සිදුවූ සිද්ධියක්

කොරෝනා වසංගතයෙන් අඩපණ වූ ජනජීවිත යථා තත්ත්වයට පත්වීමටත් මත්තෙන් පාතාල සාමාජිකයන්ගේ හිස එසවුණු අවස්ථා කිහිපයක්ම ගෙවී ගිය දින කීපයේ වාර්තා විණි.ඒ අතර ගිනිඅවි අතැති පිරිසක් පසුගිය 29 වැනිදා අලුයම සුදු පැහැති වැගන්ආර් රථයකින් පැමිණ රත්මලාන, සොයිසාපුර හන්දියේ පිහිටි ‘ලක්මැදුර‘ හෝටලයට වෙඩි වරුෂාවක් එල්ලකර පලා යන ආකාරය අසල සීසීටීවී කැමරාවක මනාව සටහන් වී තිබිණි. පොලිස් ආරක්ෂාවද යොදවා තිබූ එම හෝටලයට වෙඩි ප්‍රහාර දියත්කොට අපරාධකාරයන් පලා ගියේ ත්‍රාසජනක චිත්‍රපට දසුන් පෙළක් විලසිනි.

ඒත් සමඟ එම ප්‍රහාරය මෙහෙයවූ විදේශයන්හි වෙසෙන පාතාල සාමාජිකයන් හෝටලයේ හිමිකරු වන ලසන්ත නමැත්තා අතර වූ දුරකථන සංවාද කිහිපයක්ද කරළියට පැමිණියේය.

එම දුරකථන සංවාදවලින් හෙළි වූයේ ප්‍රහාරය මෙහෙයවූයේ ඉතාලියේ වෙසෙන බවට සැලවෙන සිංහාර අමල් සමින්ද සිල්වා හෙවත් කුඩු අංජු නැතිනම් රත්මලාන අංජු නමැති සංවිධානාත්මක අපරාධකාරයා විසින් බවයි. ඊට දුරකථන ඔස්සෙ හෝටලයේ හිමිකරු අමතන්නෙ අංජුගේ ප්‍රධානතම ගෝලයා වන ඩුබායි රාජ්‍යයේ වෙසෙන එල්ලාවල ලියනගේ ධර්මසිරි හෙවත් ‘ධර්මේ‘ නමැත්තායි.

වෙඩි ප්‍රහාරයට මූලික වී ඇත්තෙ පසුගිය ඇඳිරිනීති සමයේ රත්මලාන අවට ජනතාවට ආධාර බෙදාදීමකට අදාළ මුදල් හුටපටයකි.

එහි ප්‍රතිඵලයක් ලෙස අංජුගේ මෙරට ගෝලයන් සිවුදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් කඩු, මන්නා පිහි සමඟ විත් පසුගිය 19 වැනිදා රාත්‍රියේ සොයිසාපුර හන්දියේ අදාළ හෝටලයට කඩා වැදී දැඩි අලාභහානි කරමින් පලා යන්නෙ හෝටලයේ සිටි සේවකයකුටද මන්නා පහර එල්ල කරමිනි. එම ප්‍රහාරයද මනා ලෙස හෝටලයේ සීසීටීවී කැමරාවන්හි සටහන් වී තිබිණි.

එහෙත් එම ප්‍රහාරය පිළිබඳව හෝටල් හිමිකරු පොලිසියට පැමිණිල්ලක් කර නොතිබිණි.අනතුරුව හෝටල් හිමිකරු ලසන්තට ඩුබායිවලින් දිගින් දිගටම දුරකථන ඇමැතුම් ගලා ඒමත් සමඟ කප්පම් ඉල්ලීමක් පිළිබඳව ඔහු විසින් ගල්කිස්ස පොලිසියට පැමිණිලි කර තිබිණි.

එම පැමිණිල්ලත් සමඟ ගල්කිස්ස පොලිසිය විසින් අදාළ උසස් පොලිස් නිලධාරින්ගේද උපදෙස් මත හෝටලයට පොලිස් නිලධාරින් තිදෙනෙකුගෙන් යුත් ආරක්ෂාවක්ද යෙදවිණි. එසේම එම පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශ නිලධාරින් විසින් 19 වැනිදා හෝටලයට ප්‍රහාර එල්ල කිරීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තෙ පසුගිය 27 වැනිදායි.

එසේ තමන්ගේ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත්, තම කීමට අවනත නොවීමත්, ලසන්ත විසින් වෙනත් පාර්ශ්වයන්ට මුදල් ලබාදීමත් පිළිබඳ කිපුණු අංජු සහ ධර්මසිරි දෙදෙනා පසුගිය 29 වැනිදා රාත්‍රියේ නැවතත් හෝටලයට ප්‍රහාරයක් දියත් කිරීමට සැලැසුම්කොට හෝටල් හිමිකරුට දුරකථන ඇමැතුමක් ගෙන පවසා තිබුණේ ‘හඬන්නට ලෑස්ති‘ වෙයන් යනුවෙනි. අනතුරුව එදින අලුයම 12.20ට පමණ සොයිසාපුර ක්‍රීඩාංගණය දෙසින් සුදු පැහැති වැගන්ආර් රථයකින් ටී56 ඇතුළු නවීන ගිනිඅවි අතැතිව පැමිණි පිරිසක් හෝටලයට වෙඩි වරුෂාවක් එල්ලකර පලා ගියේය.

එහෙත් හෝටලයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් තිදෙනා වෙඩික්කරුවන් පලා යන තෙක් බලා සිට තිබුණේ ඇස්-කන් නොමැතිවුන් විලසිනි.

කෙසේ හෝ නිලධාරින් තිදෙනා වෙඩික්කරුවන් පලා ගිය පසු හෝටලයේ ඉදිරිපිට මාර්ගයේ අනෙක්පස සිට හෝටලය දෙසට එන ආකාරයද සීසීටීවී කැමරාවන්හි සටහන් වී තිබුණේය. ටී56 ගිනිඅවියක්, රිවෝල්වරයක්ද සහිතව එම ස්ථානයේ රාජකාරියෙහි නිරතවූ ගල්කිස්ස පොලිසියට අනුයුක්ත එම නිලධාරින් තිදෙනාගේ වැඩ තහනමකට ලක්කෙරුණේ වෙඩි තබා පලා යාමට ඉඩදීම, එකී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම තැත් නොකිරිම ඇතුළු එම අවස්ථාවේදී කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසාවෙනි. එම ප්‍රහාරයෙන් සුළු මොහොතකට පසුවද ඩුබායිහි සිට ධර්මසිරිගෙන් හෝටල් හිමිකරුට නැවතත් ඇමැතුමක් ලැබී ඇත.

ඉන් කියැවී ඇත්තෙ ප්‍රහාරය ‘ට්‍රයල්‘ එකක් පමණක් බවත් අනිවාර්යයෙන්ම හෝටල් හිමිකරු මරණ බවටයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතාගේ සෘජු අධීක්ෂණයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශාන්ත රත්තෙපිටිය සහ සහකාර පොලිස් අධිකාරි කමල් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක නදික සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය විසින් හෝටලයට එල්ල කළ ප්‍රහාර ද්විත්වයටම නායකත්වය දුන් 34 හැවිරිදි ලියනගේ ජනිත් හෂාන් විමලවීර හෙවත් කොණ්ඩ ජනියා අත්අඩංගුවට ගත්තේය.

එසේම හෝටලයට පහර දීමට පැමිණි තවත් ප්‍රධානතම සැකකරුවෙක් ලෙස අත්අඩංගුවට පත්වූයේ රත්මලාන, ධර්මාරාම පාරේ, වලව්වත්ත වෙසෙන 42 හැවිරිදි දොන්සාලු රෝෂන් හෙවත් රෝසාය.

කොණ්ඩ ජනියා ගල්කිස්ස පොලිසිය විසින් මොරටුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින හතක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර දුන් අතර රෝසාද කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින හතක රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කිරීමටද පොලිසියට අවසර ලැබිණි.

Comments