බීමට පිරිසිදු දිය බිඳක් ඉල්ලා හඬන වකුගඩු රෝගයෙන් බැටකන මිනිස්සු | Page 2 | සිළුමිණ

බීමට පිරිසිදු දිය බිඳක් ඉල්ලා හඬන වකුගඩු රෝගයෙන් බැටකන මිනිස්සු

 

කෙතරම් නව සොයා ගැනීම් කළත්, පර්යේෂණ කළත් මිනිස් සිරුරේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තවමත් හඳුනා නොගත් රෝග පිඩා රැසක් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රතිකාර ක්‍රම සොයාගැනීමට මානම සංහතියට හැකියාව ලැබී නැත.

එනිසාම මේ වනවිට සමාජයේ කරළියට පැමිණ ඇති ‘බෝ නොව රෝග’ සම්බන්ධයෙන් වත්මනේ ඉමහත් කතිකාවතක් නිර්මාණය වී තිබේ. අද වන විටත් නිසි ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගෙන නැති මාරාන්තික වකුගඩු රෝගය සම්බන්ධයෙන් සිදුකරන ලද ගවේෂණයක තොරතුරු ඔබ හමුවේ පෙළ ගස්වන්නට අප සිතුවේ කලක් තිස්සේම ඒ ගැන කතාබහ මතුවූ බැවිනි. ‘වකුගඩුව’ මිනිස් ජීවිතය පවත්වා ගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන්නා වූ කාර්යයන් රැසක් ඉටු කරන බව ඔබ සැම දන්නා කරුණකි.

බෝංචි ඇටයක හැඩය ගත් මෙම ඉන්ද්‍රියේ ප්‍රමාණය වැඩිහිටි පුද්ගලයෙකුගේ සාමාන්‍යයෙන් සෙ.මි 10 – 14 දිගින් ද, සෙ.මි 5 – 6 පළලකින් ද සහ සෙ.මි 3-4 ඝනකමකින්ද යුත්ත වන බව වෛද්‍ය විද්‍යාව සඳහන් කර ඇත.

එහි සාමාන්‍ය බර ග‍්‍රෑම් 120-175 අතර වෙයි. මෙම යුගය ඉන්ද්‍රිය මහා ප්‍රාචීර පේශියට පහළින්, උදර බිත්තියට පිටතින්, සිරුර පිටුපස බිත්තියට ආසන්නව, කාශේරුකාව දෙසට සමමිතිකව පිහිටා ඇත්තේය. දොළොස්වන උරස් සහ තුන්වන කටී කාශේරුකා අතර ස්ථානගත වී ඇති අතර, සාමාන්‍යයෙන් දකුණු වකුගඩුව වම් වකුගඩුවට වඩා තරමක් පහතින් පිහිටා තිබීම විශේෂත්වයක් වේ. එක් වකුගඩුවක වෘක්කානු මිලියනයක් පමණ අඩංගු වන අතර එය වකුගඩුවේ කාර්යන් හා ගැළපෙන පරිදි නිර්මාණය වී ඇත.

ශ්‍රී ලංකාවේ කාලික වකුගඩු රෝගීන් සහ එම රෝගය නිසා මරණයට පත් වූ විශාල පිරිසක් 1990-1992 කාලය තුළ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පදවිය ප්‍රදේශය ආශ්‍රිතව වාර්තා වී ඇත බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

පසුව මැදවච්චිය ප්‍රදේශයේත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය වැනි ප්‍රදේශවලත්, ඌව පළාතේ ගිරිඳුරුකෝට්ටේ, මහියංගනය වැනි ප්‍රදේශවලත්, නැගෙනහිර පළාතේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේත්, මධ්‍යම පළාතේ විල්ගමුව, හෙට්ටිපොළ වැනි ප්‍රදේශවලිනුත් වකුගඩු රෝගීන් හඳුනා ගනු ලැබිණි.

විශේෂයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පැතිර ඇති වකුගඩු රෝගී තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය දා සිදුකළ සොයා බැලීම්වලට අනුව අනාවරණය වූ කරුණු දෙස අවධානය යොමු කළහොත් දිස්ත්‍රික්කය පුරා පැතිර ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 3000කට අධිකය.

මේ වනවිට නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පුබිබිලිය, බඹරගහවත්ත, හැලඹගහවත්ත, මාරගමුව, ඕපල්ගල, අඹන, තුනේ කනුව හා නාඋල ආදි ග්‍රාමනිලධාරි වසම් රැසක 170 කට වැඩි වකුගඩු රෝගීන් මේ වනවිට රෝහල් තුළින් ප්‍රතිකාර ලබති.

ඉහත කී ප්‍රදේශයන් හි සිදුකළ සංචාරවල දී හමුවු බඹරගහවත්ත ප්‍රදේශයේ ජිවත්වන පුද්ගලයෙකු වන යු.ජි. ගුණරත්න මහතා (48) කියා සිටියේ සිය ගම්මානයේ වකුගඩු රෝගය හේතුවෙන් බොහෝ පිරිසක් ඉතා අසරණ වී ඇති බවයි.

කුමන කාරණාවකින් මෙම රෝගය වැළදී ඇද්ද යන්න තහවුරු වී නැතැත් පවත්නා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රුධිර පිරිසිදුකිරීම් සඳහා ගමන් කිරීම ගැටලුකාරි තත්ත්වයක් බවට පත්වී ඇති බව ද ගුණරත්න මහතා මෙහිදී කියා සිටියේය.

කාලානුරූපව සිය ප්‍රධාන ජිවනෝපාය ගොවිතැන කරගත් බොහෝ පිරිසකට මෙන්ම අද වන විට නාඋල මෙන්ම විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල බොහෝ පිරිසකට ද වකුගඩු රෝගය වැළදී තිබේ.

හැළඹගහවත්තේ පදිංචි එච්.එම්. බේබි මහත්තයා (52) කියා සිටියේ රුධිර පිරිසිදු කිරීම් සඳහා මහනුවර, මහියංගනය හෝ පොලොන්නරුව රෝහල්වලට රෝගීන්ට දින 05කට වතාවක් ගමන් කළ යුතු බවයි. ඒ සඳහා එක් අවස්ථාවකට ත්‍රි රෝද රථ කුළිය ලෙස රුපියල් 4500ක් වැය වන බව ද හෙතෙම කියා සිටියේය. වකුගඩු රෝගය හේතුවෙන් වසර 14ක් ඇඳ මතට වී සිටින පුබ්බිලිය ප්‍රදේශයේ රෝගියකු කියා සිටියේ මරණය අබියස තමන් ජීවත් වන බවයි.

මෙම ප්‍රදේශවල සිදුකළ සංචාරයේ දී අනවාරණය වූ තවත් කරුණක් වන්නේ මෙම රෝගීන් සඳහා භාවිතයට ගත හැකි ඉතා පිරිසිදු ජලය නොමැති බවයි.

රෝගීන් බොහෝ පිරිසක් කියා සිටියේ ආහාර පාන හිඟ වුවත් බොන්නට හොඳ වතුර පොදක් තමන්ට ලැබෙන්නේ නම් එය ඉතා වටිනා කටයුත්තක් බවයි.

වසර ගණනාවක් තිස්සේ මාතලේ දිස්ත්‍රික්කයේ පවත්නා වකුගඩු රෝගය සම්බන්ධයෙන් රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අප කළ විමසීමක දී අදහස් දැක්වු නාඋල ප්‍රාදේශිය ලේකම් ආත්මා ඩිලුක්ෂි ජයරත්න කියා සිටියේ රජය මගින් වකුගඩු රෝගීන්ට ලබාදෙන රුපියල් 5000 සේ දීමනාව මෙවර නිවෙස් වෙතටම ගොස් සිය නිලධාරින් ලබාදුන් බවයි. භාවිතයට ගන්නා ඖෂධ ද අප්‍රේල් මාසයේ දී නිවෙස්වලට ලබාදුන් බවත් මැයි මාසයේ ද එම වැඩසටහන ක්‍රියාවට නන්වන බව ද ඇය කියා සිටියාය. එමෙන්ම රුධිර පිරිසිදු කිරිම් සඳහා මහනුවර මහ රෝහලට යෑමට සිදුව ඇති රෝගීන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් ද සිය අවධානය යොමුවී ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටියාය. කෙසේ වෙතත් අදටත් විසඳී නැති වකුගඩු රෝගය සම්බන්ධයෙන් බොහෝ විද්වතුන් පළ කරන අදහස්වලට අනුව මෙම රෝගය වැළදීම සඳහා බලපාන කාරණා ද මෙහිදි සැලකිල්ලට ගත යුතුය.

මෙම රෝගයට ලක්ව සිටින බහුතරය ගොවිතැනෙන් ජීවිකාව ගෙන යන්නන් වන අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් ද පිරිමි අයවලුන් වීම විශේෂත්වයකි. සමහර අවස්ථාවලදී පවුලේ කිහිප දෙනකුට මෙම රෝගය පවතින අතර රෝගය කෙරෙහි ජානමය සාධක බලපාන බවට ද විද්වතුන්ගේ අදහස වී තිබේ. වකුගඩු රෝගීන්ගේ රෝග විනිශ්චය සඳහා සහ වකුගඩු රෝගය නිසා ශරීරය අභ්‍යන්තරයේ සිදු වූ බලපෑම් නිර්ණය කිරීමට රෝගීන්ගේ මුත්‍ර සහ රුධිර පරීක්ෂාවන් බොහෝ සේ ඉවහල් වන කරුණකි.

රටම වෙළාගනිමින් සිටින මෙම මාරාන්තික රෝගයෙන් මිදීම සඳහා පවත්නා මෙන්ම පැවති රජයන්ද විවිධ ක්‍රියාමාර්ග රැසක් ඉටුකර හා ඉටුකරමින් පවතියි.

එහෙව් පසුබිමක රටත් ගිලගන්නා මේ මාරාන්තික වකුගඩු රෝගයෙන් මිදීම සඳහා දැනට අවශ්‍යය යැයි වෛද්‍යවරු සඳහන් කරන ප්‍රතිකාර ක්‍රමවේදයන්ට අමතරව පිරිසිදු පානිය ජලය මෙම රෝගීන් සඳහා අවශ්‍ය කාරණාවකි.

එැබැවින් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හැළඹගහවත්ත ඇතුළු ග්‍රාම නිලධාරිවසම් වලින් කිහිපයකට හෝ පිරිසිදු ජල බිඳක් ලබාදීමේ ක්‍රමවේදයකට යෑමට මෙම ලිපිය කියවන කිසිවකුට හෝ හැකියාව ඇත්තම් එය මහඟු පිනකි.

අඩුම තරමේ වතුර පිරිසිදුකර ගත හැකි ජල පෙරණ (ෆිල්ටර්) හෝ ඔවුන්ට ලබාදීමට හැකිනම් මේ මොහොතේ මේ රෝගීන් ලබන මහත්වූ අත්වැසිල්ලකි.

සමාජය වෙනුවෙන් බොහෝ දේ ඉටුකර ඇති මේ ගොවි මහතුන් අද වන විට වගා බිම් දෙස සුසුම්ලමින් බලා සිටිති. මේ සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරින්ගේ අවධානයද කඩිනමින් යොමුවනු ඇතැයි යන්න අපේ බලාපොරොත්තුවයි.

 

Comments