ජනතා පරමාධිපත්‍ය රැක දී පසෙකට විසි වූ ප්‍රෝඩාවේ ආධිපත්‍ය | සිළුමිණ

ජනතා පරමාධිපත්‍ය රැක දී පසෙකට විසි වූ ප්‍රෝඩාවේ ආධිපත්‍ය

සුගිය මාර්තු මස 02 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවන ලද අතර නාමයෝජනා භාර ගැනීම, මැතිවරණය පැවැත්වීම (අප්‍රේල් 25) නව පාර්ලිමේන්තුව කැඳවීම සඳහා දින නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී. අප්‍රේල් මස 25 දින මැතිවරණය පැවැත්විය නොහැකි බැවින් ජූනි මස 20 දින මැතිවරණය පවත්වන බව පවසමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් පසුව නිකුත් කරන ලදී.මේ ගැසට් නිවේදන දෙක මඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් විවිධ පුද්ගලයන් සහ සංවිධාන විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 8ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබුණි. (එක් පෙත්සමක් පසුව ඉවත් කර ගන්නා ලදී). දින 10ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු විමසීමට ගත් මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප වීම නීතිය නිසි අයුරින් රැක දීම ගැන කතා කරනවාටත් වඩා මෙම පෙත්සම් ගොනු කළ අයගේ සැබෑ අවශ්‍යතාව කුමක්දැයි යන්න විමසා බැලීම වටනේය. එහෙත් අධිකරණය දක්වා ගිය මූලික අයිතිවාසිකම් සම්බන්ධව අදාළ කරුණු විවරණය කරනවා හැරෙන්නට මාධ්‍යයට කළ හැක්කක් නැත.

ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගිය මැතිවරණ පෙත්සම්හි ආරම්භය සනිටුහන් වන්නේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ යොවුන් අංශයේ සභාපතිවරයා වන නීතිඥ චරිත ගුණරත්න විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමත් සමඟය. (SC/FR/89/2020) අංක දරන එම පෙත්සම මඟින් 2020 ජූනි මස 20 වැනිදා දෙවැනි වරටත් දින නියම වූ මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක් කර තිබුණි. චරිත ගුණරත්න යනු දේශපාලනඥයකු වන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත්‍රයෙකි. ඔහු විසින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, එන්.ජේ. අබේසේකර, එස්. රත්නජීවන් එච්. හූල්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපති නම් කර තිබුණි.

එම පෙත්සම මඟින් ඔහු තව දුරත් විවරණය කර තිබුණේ 2020 ජුනි 20 වන දින පැවැත්වීමට නියමිතව ඇති මැතිවරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) සහ 14 වැනි වගන්ති යටතේ ආරක්‍ෂා කර ඇති සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් / හෝ උල්ලංඝණය කරමින් ඇති බවත්ය.තවද, 2020 ජුනි 20 වන දින පැවැත්වීමට නියමිතව ඇති මැතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වන වගන්තිය මගින් ආරක්ෂා කර ඇති රාජ්‍ය ප්‍රතිපත්තියේ සහ මූලික යුතුකම්වල ඇති විධිමත් මූලධර්ම උල්ලංඝණය කර ඇති බව ද පෙත්සම්කරු විසින් ප්‍රකාශ කර තිබුණි.එම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නේදැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරුණු විමසන අවස්ථාවේදී මැතිවරණය හා සම්බන්ධ ගැසට් පත්‍ර දෙක අභියෝගයට ලක් කරමින් තවත් පාර්ශ්ව 7ක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරන ලදී. ඒ පෙර සඳහන් කළ පාර්ශ්වයන් හා පුද්ගලයන්ම වගඋත්තරකරුවන් කරමිනි.

එයින් ඇතැම් පෙත්සම්වලින් කියැවුණේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 3ක් ඇතුළත යළි පාර්ලිමේන්තුව කැඳවීම කළ යුතු වුවත් මේ දක්වා එවැන්නක් සිදුව නැති බවයි. එම නිසා පැරැණි පාර්ලිමේන්තුව කැඳවීම කළ යුතු බවට ඇතැම් පෙත්සම්කරුවෝ කියා සිටියහ. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය හා මැතිවරණ කොමිසම විසින් ජූනි 25 දින දෙවැනි වරට මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදන අභියෝගයට ලක් කරමින් මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණි.

නීතීඥ චරිත ගුණරත්නට අමතරව රාවය හිටපු කර්තෘ අයිවන් ඇතුළු හත් දෙනෙක්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, සමගි ජන බලවේගයේ මහලේකම් හා හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික හෙළ උරුමයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ලේකම් ආරියවංශ දිසානායක, නව ලංකා නිදහස් පක්ෂයේ නායක හා හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම, හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙසේ පෙත්සම් ඉදිරිපත් කරන ලදී.මැතිවරණය සම්බන්ධ වූ මේ මූලික පෙත්සම් විභාගයට ගැනීම පිණිස අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විනිසුරු මඬුල්ලක් පත් කරන ලදී. ඒ අනුව පසුගිය මැයි මස 11 වැනිදා මේ පෙත්සම් සලකා බැලීම සඳහා මැයි මස 18 සහ 19 දෙදින යොදා ගන්නා ලදී.

ඒ අනුව 18 වැනිදා ප්‍රථම වරට පෙත්සම් විභාගයට ගත් අතර පෙත්සම්කාර පාර්ශ්වය විසින් අධිකරණයට කරුණු දැක්වීම ආරම්භ කරන ලදී. පෙත්සම්කාර පාර්ශ්වය විසින් පවසා සිටියේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් රැක දීම පවත්නා ආණ්ඩුවේ වගකීමක් බවත් වර්තමානයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මහ මැතිවරණයක් පවත්වා පාර්ලිමේන්තුව නිසි කලට නොපැවැත්වීම මත ජනතා අයිතීන් උල්ලංඝණය වී ඇති බවට මූලිකව කරුණු ඉදිරිපත් කරන ලදී. එම කරුණු මත ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ නියෝගය හා මැතිවරණ කොමිසම විසින් ජූනි මස 25 වැනිදාට මහ මැතිවරණය පැවැත්වීමට නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටියහ.

මැයි 19 වෙනිදා පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු ගෙන හැර දැක්වූ නීතිඥවරුන් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 3ක් ඇතුළත මැතිවරණයක් පවත්වා ඊළඟ පාර්ලිමේන්තුව කැඳවිය යුතු නමුත් 2020 ජූනි 2 වැනිදා වන විට පාර්ලිමේන්තුව රැස් කළ නොහැකි බවයි.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා මාස 3කට වරක් හෝ පාර්ලිමේන්තු සැසිවාරයන්ට සහභාගි විය යුතු නමුත් වර්තමාන තත්ත්වය තුළ එවැන් පසුබිමක් නිර්මාණය වී නොමැති බවත් ඔවුහු කරුණු දැක්වූහ. එමෙන්ම රාජ්‍ය මූල්‍ය පාලන බලය හිමි වන්නේ පාර්ලිමේන්තුවට පමණක් බව පෙන්වා දුන් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් පැවසුවේ ජනාධිපතිවරයා එම පාලන බලය අතට ගැනීම නීති විරෝධී බවයි.

මේ කරුණු දැක්වීම් හමුවේ මැයි 20 වනදා වගඋත්තරකාර පාර්ශ්වයක් වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු කිහිප දෙනෙක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙන්වා දුන්නේ රටේ පවත්නා සෞඛ්‍ය ප්‍රශ්නය මත ජූනි 20 වැනිදා කිසිසේත්ම මැතිවරණයක් පැවැත්වීමට කොමිසමට හැකියාවක් නොහැකි බවයි. සෞඛ්‍ය අංශ මඟින් මැතිවරණයක් පැවැත්විය හැකි බවට නිර්දේශ ලබා දී සති 9ත් 11ත් අතර කාලයකදී මැතිවරණය පැවැත්විය හැකි බවට කොමිසම තීරණය කර ඇති බවද ඔහු කරුණු දක්වමින් පෙන්වා දුන්නේය‍. කොමිසම විසින් එම තීරණය දැනුම් දීමත් සමඟම පෙත්සම්කාර පාර්ශ්වයක් වූ හරිත ගුණරත්න, වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පැවසුවේ තම සේවා දායකයාගේ ඉල්ලා සිටි සහනය (ජූනි 20 වැනිදා මැතිවරණය පැවැත්වීමට එරෙහි අභියෝගය) ලැබුණු බවත් එම නිසා සිය මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස් කර ගන්නා බවයි.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වයන්ට එරෙහිව කරුණු මතු කළ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ විමසා සිටියේ ජනාධිපතිවරයා විසින් වසර 4 1/2කදී පාර්ලිමේන්තුව විසුරුවා නොහැර නියමිත කාලයම අවසන් වන තුරු සිට පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදදේ නම් හා එවිට කොරෝනා වසංගතය පැමිණියේ නම් ක්‍රියාත්මක වන්නේ වෙනම ක්‍රමවේදයක්ද යන්න බවයි. මැතිවරණ කොමිසම විසින් සති 9ත් 11ත් අතර තවත් කාලයක් ඉල්ලා සිටීමෙන් මැතිවරණය කල් දැමීමට පසුබිම නිර්මාණය කරනු ලබන බවද ඔහු පෙන්වා දුන්නේය.මෙහිදී ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පවසා සිටියේ ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ හෝ අවලංගු කිරීමේ ක්‍රමවේදයක් නොමැති බවයි.

මැයි 21 වැනිදා වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පවසා සිටියේ මහ මැතිවරණය පැවැත්වීමට කොමිසම විසින් දින 60ත් 70ත් අතර කාලයක් ඉල්ලා සිටීම විමතිය දනවන කරුණක් බවය. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන්නට පෙර විසුරුවා හැරිය හැකි බවට සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මීට පෙර තීන්දුවක් ලබා දී ඇති බව ඔහු විසින් පෙන්වා දෙන ලදී. එම නිසා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට පත් කිරීමට කිසිවකුට හැකියාවක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.

මැයි 26 වැනිදා නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් රජයේ අධි නීතිඥ ඉන්දිකා දේවමුණිද සොයියා පැවසුවේ ජනාධිපතිවරයා විසින් 33/2 සී වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව කතානායක, සභානායක, විපක්ෂ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහෝසි වී යන බවයි. මේ අතර මේ පෙත්සම් සම්බන්ධයෙන් අතරමැදි පාර්ශ්වකරුවන් 15ක් විසින් විරෝධතා පෙත්සම් අධිකරණයට ගොනු කර තිබුණි. ඒ පිළිබඳව කරුණු දැක්වීම මැයි 28 වැනිදා ඇරැඹිණි. අතර මැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ මල්වතු පාර්ශ්වයේ අධිකරණ සංඝනායක හිමිනමක් වන අතපත්තුකන්දේ ආනන්ද හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, මහාචාර්ය සුදන්ත ලියනගේ, ව්‍යාපාරික සම්පත් මෙරෙන්චිගේ, නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, අනුර ෆොන්සේකා ඇතුළු පුද්ගල පාර්ශ්වය 15ක් විසිනි. මෙහිදී අතපත්තුකන්දේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පැවසුවේ කොරෝනා වසංගතය නිසා මැතිවරණය කල් දැමීමෙන් කිසිදු ආකාරයක මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝණය වීමක් සිදු නොවුණු බවයි. එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා මාස 3ක් ඇතුළත යළි පාර්ලිමේන්තුව කැඳවීමේ නීතියක් නැති බවද ඔහු පෙන්වා දුන්නේය.

ජූනි මස 1 වැනිදා රැස්වූ පංච පුද්ගල විනිසුරු මඬුල්ල විසින් මේ පිළිබඳව තීන්දුව ජූනි 2 වැනිදා පස්වරු 3.00ට ලබා දෙන බව පවසා සිටින ලදී.

ඒ අනුව ජූනි 2 වැනිදා පස්වරු 3.14ට විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 501 ශාලාවේදී අදාළ තීන්දුව ඒකමතිකව සිදු කරන ලද්දක් බව පවසා පෙත්සම් සියල්ල විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කරන ලදී.

Comments