ගිනි අවි ළඟ තබා ගත් වරදට සුමන හිමි ජීවිතාන්තය දක්වා හිරයට | සිළුමිණ

ගිනි අවි ළඟ තබා ගත් වරදට සුමන හිමි ජීවිතාන්තය දක්වා හිරයට

 

දෙදහස් දහය ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ටී 56 ගිනි අවි දෙකක් ළඟ තබාගැනීමේ චෝදනාවට එම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන් වරදකරු බවට තීන්දු කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි උන්වහන්සේට ජීවිතාන්තය දක්වා බරපතළ වැඩ සහිතව සිරදඬුවම් නියම කර ඇත.

එසේම ටී. 56 ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාව හැර අත්බෝම්බ 50ක් සහ ජීව පතරොම් 210ක් ළඟ තබාගැනීමේ චෝදනාවලින් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කෙරිණි.

එහි දෙවැනි විත්තිකරු වන උන්වහන්සේගේ ශිෂ්‍ය මාවෙලතැන්නේ සුමේධ හිමියන්ද සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරිණි. අධිකරණ වාර්තාවලට අනුව මේ සිද්ධියේ නඩු නිමිත්ත මෙසේය.

2010 වසරේ පැවැත් වූ ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී එනම් 2010 ජනවාරි 20 දින එම විහාරස්ථානය වැටලූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එහි සඟවා තිබූ ජීව උණ්ඩ තොගයක්, ටී 56 ගිනි අවි 2ක්, ජීව පතරොම් 210ක්, අත්බෝම්බ 50ක් සොයාගැනීමට හැකි වූ අතර ඒ සම්බන්ධයෙන් විහාරාධිපතිවරයාට හා ගෝල හිමියන්ට විරුද්ධව නඩු පැවරිණි.

මේ සම්බන්ධයෙන් උන්වහන්සේලාට අමතරව එම්. වී. රාජබාලන්, කේ තමිල් චෙල්වම් හා සන්දහන් සුබ්‍රමනියම් යන තිදෙනාට එරෙහිවද අධිචෝදනා එල්ල කෙරිණි.

එහෙත් නඩු විභාගය අතරතුර මේ ගිහි විත්තිකරුවන් තිදෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් වූයේ 2018.06.22 දිනයි.

පසු අවස්ථාවේදී මාවෙල සුමේධ හිමියෝ ද සියලු අධිචෝදනාවලින් නිදහස් වුහ. මේ නඩුව සම්බන්ධයෙන් වසර 10ක් තිස්සේ දීර්ඝ නඩු විභාග‍යක් පවත්වන ලදී.

ඉදිරිපත්වූ සාක්ෂි සැලකිල්ලට ගනිමින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා මාවෙලතැන්නේ සුමේධ හිමියන්ට විරුද්ධ චෝදනා පැමිණිලි පාර්ශ්වය විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර නැති නිසා උන්වහන්සේ නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

එසේම විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන් ජීව පතරොම් 210ක් හා අත්බෝම්බ 50ක් ළඟ තබා ගැනීමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කළේ පැමිණිල්ල එම චෝදනාව සාධාරණ සැකයෙන් තොරව ඉදිරිපත් නොකළ හෙයිනි.

එහෙත් ටී. 56 ගිනි අවි දෙකක් ළඟ තබාගත් බවට සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ නිසා විනිසුරුවරයා ඌවතැන්නේ සුමන හිමියන්ට බරපතළ වැඩ සහිතව ජීවිතාත්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

මේ අතර, අප උන්වහන්සේ වැඩ සිටි මාළිගාවත්ත බෝධිරාජාරාම විහාරස්ථානය වෙත ගමන් කළේ මෙහි පසුබිමෙහි වැඩි දුරටත් තොරතුරු සොයා ගැනීමේ අටියෙනි. ඛෙත්තාරාම ක්‍රීඩාංගණය පසු කර අතුරු පාරවල් කීපයකින් ගමන් කර අදාළ ස්ථානට ගිය නමුත් එම විහාරයේ නාමපුවරුවක් වත් අප නුදුටු නිසා පන්සල සොයාගත්තේ බෝධිරාජ මාවතේ යමින් මග සිටින අයගෙන් අසමිනි.

මාවෙලතැන්නේ සුමේධ හිමියන්ද විහාරස්ථානයේ නොසිටි අතර උන්වහන්සේ වළල්ලාවිට අනෙක් විහාරස්ථානයට ගොස් ඇති බව දැනගන්න ලැබිණි.

විහාරස්ථානයේ සිටි දායිකාවක පැවසුවේ දායක සභාවේ සභාපතිවරයාද පසුගිය වසරේ මියගිය බවයි.

විහාරස්ථානය ආසන්නයේම ජීවත්වන ඒ.කේ. මොහොමඩ් ෂාරුක් (65) මෙසේ කීය. “නායක හාමුදුරුවෝ කාටවත් උදව්වක් මිසක කරදරයක් කරලා නැහැ. ජාති - ආගම් භේදයකින් තොරව හැමටම උදව් කළා. ලියුම් පවා හදලා දුන්නා. “වරෙන්, පලයන්” කියලා කතා කරන්නෙ නැහැ.

හාමුදුරුවෝ දේශපාලනය කළා ද කියලා අපි දන්නෙ නැහැ. දායකයන්ට යුතුකම් ඉටු කළා. සිංහල- බෞද්ධ විතරක් නෙමෙයි දෙමළ, මුස්ලිම් අයත් පන්සලට ආවා ගියා.”

නිලන්ති පුෂ්පකුමාරි (44) එම විහාරයේ දායිකාවකි. මේ ඇගේ හඬයි. “අපි බොහෝ කල් ඉදලා හාමුදුරුවන් දන්නවා. ජාති ආගම් භේදයක් නැතුව කාටත් හොඳට සැලකුවා. අපි දකින විදිහට හාමුදුරුවෝ වැරදි නැහැ. සාධාරණයක් ඉටුවෙයි කියලා අපි හිතනවා.”

එච්. ඒ. කුසුමාවතීට අවු.72 කි. ඇය පැවසුවේ මෙවැන්නකි.“අපේ පන්සලට අපේ හාමුදුරුවෝ නැත්නම් වැඩක් නැහැ. මේක මුස්ලිම් ගමක් මැද්දේ තියන පන්සලක්. ඒත් කරදරයක් නැතුව හිටියා. හාමුදුරුවෝ හොඳ කෙනෙක්.

මෙතන ඉස්සර පන්සලක් තිබුණේ නෑ ගෙවල් 2ක් තිබුණේ. කලින් නායක හාමුදුරුවරු දෙනමක් හිටියා. ඉන්පසු මේ හාමුදුරුවෝ පන්සල පවත්වාගෙන ගියා. දායක පවුල් ගණනාවක් තිබෙනවා. අදටත් ඒ අය පන්සලට එනවා යනවා. හාමුදුරුවෝ නිවැරදියි කියලයි කියන්නෙ. හැබැයි එහා පැත්තේ සමහර පිරිස් හාමුදුරුවෝ සමඟ තරහින් හිටියා.”

මේ ආකාරයට අවට ගම් වැසියන් බොහෝ දෙනකු කතා කළේ පන්සල හා සුමන හිමියන් ගැන ප්‍රසාදයකිනි.

ඔවුන් තුළ මේ සිදුවීම ගැන කම්පනයක් ඇතිව තිබෙන බවක් පැහැදිලිවම පෙනෙන්න තිබිණි.

අපට අධිකරණයේ කටයුත්තක් විවේචනය කළ නොහැකිය. යුක්තිය පසිඳලීමට ඇති ඉහළ අධිකරණ වෙත ඒ කටයුත්ත පවරා අපි නිහඬව බලා සිටිමු.

 

ඡායාරූප - චින්තක කුමාරසිංහ

Comments