කොරෝනා කාලේ ලංකාව ගැන ආලේ වැඩි වෙයි | සිළුමිණ

කොරෝනා කාලේ ලංකාව ගැන ආලේ වැඩි වෙයි

ශ්‍රී ලාංකික සිසුන් ශ්‍රී ලංකන් ගුවන්යානයේදී, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය

 

ලංකාව ඇතුළත වයිසරයේ ව්‍යාප්තිය පාලනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රජය මුහුණ දුන් දැවැන්ත අභියෝගය වූයේ ලොව පුරා වසංගතය රජ කරමින් තිබෙන රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් මවුබිමට ගෙන්වා ගැනීමයි. පසුගිය අප්‍රේල් 21 වැනිදා සිට මේ දක්වා මෙරටට ගෙන්වාගෙන ඇති විදෙස් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබමින් සිටි සිසු සිසුවියන් සංඛ්‍යාව 1,485කි. එයට පසුගිය 28 වැනිදා බෙලරුසියාවේ සිට මෙරටට පැමිණි සිසුන් 277 දෙනා ද ඇතුළත් අතර එම සංඛ්‍යාව එතෙක් එකවර මෙරටට ගෙන්වාගත් විශාලතම සිසුන් කණ්ඩායම ද වේ.

"අපි හරිම වාසනාවන්තයි. ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයට අපි හැමදාමත් ණය ගැතියි. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලාංකිකයෙක් වීමේ ආඩම්බරකම වෙනදටත් වැඩිය අපිට දැනෙනවා". මවුබිමට පැමිණි එම සිසු කණ්ඩායමේ සිටි සිසුවියක අප සමඟ එසේ පැවසුවේ ඉතා හැඟීම්බරවය. "ඇත්තටම ඒක ආශ්වර්යයක් කිව්වොත් හරි. ලෝකයේ වෙනත් රටවල් තමන්ගෙ රටේ මිනිස්සුත් මැරෙන්න ඇරලා අහල බලාගන්න වෙලාවක අපේ රටේ රජය වසංගතය තියෙන රටවලටම ගිහින් අපේ මිනිස්සුන්ව අරගෙන එනවා. "බෙලරුස් සිට පැමිණි එම සිසුන් මේ වන විට නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර එම සිසුවිය ද මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානක නිරෝධායනය වෙමින් සිටින්නීය. වට්ස්අැප් තාක්ෂණය ඔස්සේ අප සමඟ සම්බන්ධ වෙමින් තමා ඇතුළු සිසු කණ්ඩායම මුහුණ දුන් අත්දැකීම් අප සමඟ බෙදාගැනීමට එක්වූයේ ඉතා කැමැත්තෙනි. මෙතැන් සිට මම ඇය තරිනි නමින් හඳුන්වමි.

මිලියන 9.4ක ජනගහණයක් වෙසෙන එහෙත් ශ්‍රී ලංකාව මෙන් දෙගුණයක් පමණ විශාල බෙලරුසියාව ඉතා මනස්කාන්ත රාජ්‍යයක් මෙන්ම වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා ලොව නන් දෙසින් සිසු සිසුවියන් පැමිණෙන රටක් ලෙස ද ප්‍රකටය. කොවිඩ් 19 වයිරසය බෙලරුස් රාජ්‍යය ආක්‍රමණය කරන විට ශ්‍රී ලාංකික සිසුන් 800ක් පමණ එම විශ්වවිද්‍යාලවල ඉගෙන ගනිමින් සිටියහ. තරිනි ඉගෙන ගනිමින් සිටියේ මින්ක්ස් අගනුවරට කිලෝමීටර් 200ක් පමණ දුරින් විටෙබික්ස් ප්‍රාන්තයේ පිහිටි එම රාජ්‍ය විශ්වවිද්‍යාලයේය. තරිනි විටෙබික්ස් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවියක් වන අතර ඇයගේ කණ්ඩායමේ සිසුන් 400ක් පමණ ඇතුළත්ය.

එහෙත් ඒ සුවදායී පරිසරය කණපිට හැරෙන්නේ පසුගිය පෙබරවාරි 28 වැනිදා මින්ස්ක් නගරයෙන් පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වීමත් සමඟය. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනුව බෙලාරුස්හි ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ කොවිඩ් 19 වයිරසය ව්‍යාප්ත වීමේ අවදානම ඉතා සුළු කොට සැලකූ අතර ඔහු නිතරම මුව ආවරණ පැලඳීම, සමාජ දුරස්ථකරණය ආදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අවඥාවෙන් බැහැර කළේය. ආසාදිතයන් වැඩිවෙමින් තිබුණද මාර්තු 30 වැනිදා වන විටත් එරට නිරෝධායන ක්‍රියාවලියක් හෝ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කිරීමක් සිදුනොවූ අතර වසංගතය පිළිබඳ නිල වාර්තාවල විනිවිද භාවය පිළිබඳ ද රට තුළ විවේචන ඇතිවිය.

"බෙලරුස් රජය මේ වයිරසය හැඳින්වූයේ වසංගතයක් විදිහයට නෙවෙයි. සාමාන්‍ය නිව්මෝනියා තත්ත්වයක් කියලයි. ඒ වගේම මියයන පුද්ගලයන් වයිරසයෙන් මැරුණා කියලත් කිව්වේ නැහැ. සාමාන්‍ය හෘදය රෝග වගේ බෝ නොවන රෝගවලින් මියයන බවක් තමයි ප්‍රචාරය කළේ. නමුත් අපේ නේවාසිකාගාරවලිනුත් ආසාදිතයන් හමුවෙන්න පටන්ගත්තාම අපිට අපේ ජීවිත ගැන ලොකු බයක් දැනෙන්න ගත්තා. ආසාදිතයන් හමුවුණාම ඔවුන්ව ගෙනියනවා. ඒ ගෙනියන්නෙ කොහෙද කියලවත් කවුරුත් දන්නෙ නැහැ. ඒ වගේ තත්ත්වයක් තුළ ලංකාවේ අපි කවුරුහරි ආසාදිතයන් වුණොත් අපිට මොකක්ද වුණේ කියලා කවුරුවත් දන්නෙ නැතිවෙයි කියලා අපිට ලොකු බයක් දැනුණා. වසංගතය අතරෙත් ඉගැන්වීම් කටයුතු සිදු කෙරුණා. කථිකාචාර්යවරු ඇවිත් දේශන පැවැත්වුවා. පහුවෙනකොට ඔන්ලයින් මඟින් ඉගැන්වීම් කළත් හොස්ටල් ඇතුළෙත් ආසාදිතයෝ හිටිය නිසා අපිට ලොකු අවදානමක් දැනුණා. "

සාමාන්‍යයෙන් බෙලරුස් හි 6 වසරක වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීමට ලක්ෂ 140ක පමණ මුදලක් වැය වේ. පළමුව ලක්ෂ 30ක මුදලක් ගෙවීමෙන් අනතුරව ඉතිරිය වාරික වශයෙන් ගෙවීම සිදුවන අතර වීසා, ගුවන් ටිකට්පත්, වෛද්‍ය පරීක්ෂණ සඳහා වෙනම මුදල් වැයකළ යුතුය. වසරකට දෙවරක් පමණ මෙරටට පැමිණීමට සිසුන්ට අවස්ථාව සැලසෙන අතර ඒ සඳහා ගුවන් ටිකට් පත්, වීසා සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා විටින් විට විශාල මුදලක් වැය කිරීමට සිදුවේ.

අප්‍රේල් 3 වැනිදා වන විට බෙලරුස්හි කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව දෙදහසකට ආසන්න වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් තමන් මෙරටට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීමට ශ්‍රී ලාංකික සිසුන් කටයුතු කරන්නේ ඒ අනුවය.

"අපි මුහුණ දීලා තියෙන තත්ත්වය ගැන ජනාධිපතිතුමාටම කියන්න ඕන වුණා. අප්‍රේල් 5 වැනිදා සිළුමිණ පුවත්පතට යොමුකළ ලිපිය තමයි අපි ගැන පළවූ පළමු ප්‍රවෘත්තිය. ඉන්පසුව තමයි මොස්කව් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහයෝගය ඇතිව අපිව ලංකාවට ගෙන්වා ගැනීමේ කටයුතු ආරම්භ වුණේ. අපි මෙච්චර කල් බෙලරුස් ආවේ ඩුබායි, අබුඩාබි හරහා තුර්කියෙන් යුක්රේනයට ගිහින් එහේ සිටයි මින්ස්ක්වලට එන්නේ. ඒත් ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකන් ගුවන් යානයක් බෙලරුස් ආවේ අපි වෙනුවෙන්මයි. ශ්‍රී ලංකා රජය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනාධිපති කාර්ය සාධක බලකාය ඒ වෙනුවෙන් කළ සේවයට අපි ණයගැතියි. සාමාන්‍යයෙන් බෙලරුස් සිට යෑමට ඒමට ගුවන්ටිකට් පත සඳහා වැයවන්නේ රුපියල් 1,75,000ක පමණ මුදලක්. නමුත් මෙවර අපිට පැමිණීමට පමණක් දෙලක්ෂ හාරදහසක මුදලක් වැයවුණා. නමුත් අපිව අවදානම මැද ආරක්ෂිතව ලංකාවට ගෙන්වා ගැනීම අපට මිල කළ නොහැකි සේවයක්."

තරිනි ඇතුළු බෙලරුස් සිටි පැමිණි විශ්වවිද්‍යාල සිසුන් පසුගිය 28 වැනිදා මධ්‍යම රාත්‍රියේ බණ්ඩාරනායක ගුවන්තොටුපළින් මවුබිමට පා තබන විට බෙලරුස් රාජ්‍යයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 42,556ක් සහ මරණ 235ක් වාර්තා වී තිබිණ. "ලංකාවට පය තිබ්බ මොහොතේ හිතට දැනුණු සැනසීම ගැන කියන්න චචන නැහැ. ලංකාවට ආවා කියලා අම්මටයි තාත්තටයි කතා කළ වෙලාවේ එයාලට වගේම මටත් ඇඬුණා. අපිව ලංකාවට ගෙන්නගෙන අපේ රජය අපිටයි අපේ දෙමවුපියන්ටයි දුන්න සැනසීමට ජාති ජාතිත් පින් සිද්ධ වෙනවා. අපිව ප්‍රවේශමෙන් ගෙනාව වගේම නිරෝධායන කටයුතුවලට යොමුකරලා ගෙදර ඉන්නවාටත් වැඩිය හොඳින් අපිව බලාගන්නවා"

එතැන් සිට තරිනි අප හා පැවසුවේ ගුවන්යානයෙන් පිටතට පැමිණි මොහොතේ සිට යුද හමුදා සාමාජිකයන් ඔවුන් වෙනුවෙන් සිදුකළ සත්කාර ගැනය. "ෆ්ලයිට් එකෙන් බැස්සට පස්සේ අපි හැමෝගෙම උණ බැලුවා. හැමවෙලාවෙම අපි හිටගත්තේ මීටරයෙ පරතරය ඇතිවයි. ඒ විදිහට පෝලිමක් හැදිලා අපි ඉස්සරහට එනකොට අපේ අතේ තිබුණ බෑග් සේරම අරගෙන අපි දාගෙන හිටපු මාස්ක්, ගල්වුස් ඉවත් කළා. ඊළඟට අත් හෝදන තැනට පෝලිමේ ගිහින් අත් හෝදලා අත්පා විශබීජනාශක ස්පේ කළාට පස්සේ එතැනින් අපිට අලුත් මාස්ක් සහ ග්ලවුස් දුන්නා. ඊටපස්සෙ විශබීජහරණය කළ අපේ බෑග් අපිට නැවත බාරදුන්නා. ඊට පසුවයි අපි ගුවන්තොටුෙපාළ ඇතුළට ආවේ.එතනදිත් ආයෙමත් උණ බලලා ස්කෑන් මැෂින් එකෙනුත් චෙක් කරලා පාස්පෝට් පරීක්ෂාව සහ ලියකියවිලි පිරවීම සිදු කළා. ඒ දේවල් වෙන අතරේ පැය 24ක විතර ගුවන්ගමනක් නිසා වෙහෙසට පත්වෙලා සිටි අපව මීටරය පරතරය අනුව සුව පහසුවට අසුන් පනවලා කන්න දුන්නා. ඉන්පසු නැවත අපිට ටෝකන් එකක් දීලා උණ බලලා විශබීජහරණය කරලා අර ටෝකන් එක අනුව බස්වලින් නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙනාවා."

ඒ අනුව ඔවුන්ගෙන් 59දෙනකු මේ වන විට මීගමුවේ තරු පන්තියේ හෝටලයක නිරෝධායනය වේ. සාමාන්‍යයෙන් රුපියල් 15,000ක් පමණ වන කාමරයක් නිරෝධායන කටයුතු වෙනුවෙන් දෙදෙනකුට ලබාදී ඇති අතර එක් අයකු ගෙවිය යුත්තේ රුපියල් 7,500ක මුදලකි. ආහාරපාන ඇතුළු සෙසු පහසුකම් ලබාදෙන අතර එම කටයුතු සියල්ල යුද හමුදා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු වේ. "මම හිතන්නේ හැකියාවක් තියෙන අය ඒ විදිහට පෞද්ගලිකව මුදල් ගෙවලා නිරෝධායනය වීම හොඳයි. මොකද රජය එක් අයකුගේ නිරෝධායන කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා. ඒ නිසා හැකියාවක් තියෙන අය ඒ විදිහට මුදල් ගෙවලා නිරෝධායනය වීමෙන් රජයට පුංචි හෝ සහනයක් ලබාෙදන්න පුළුවන්. ඒ නිසයි මම මගේ දුවව හෝටලයක නතර කළේ" හෝටලයක නිරෝධායනය වෙමින් සිටින තරිනිගේ මිතුරියකගේ පියකු අප සමඟ එසේ පැවසුවේය.

ඊට අමතරව කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය, ජයවර්ධනපුර සරසවියේ නේවාසිකාගාරයක්, රාජගිරියේ ආයුර්වේද රෝහල සහ පිටිපන හරිත සරසවිය බෙලරුස් සිට පැමිණ සිසුන්ගේ නිරෝධායන මධ්‍යස්ථාන ලෙස වෙන්කර තිබේ. " එක කාමරයක දෙදෙනකු සඳහා අවශ්‍ය හැමදේම ඉතා පිළිවෙළට සූදානම් කර තිබුණා. දිනපතා තේ සමඟ අපිට වේල් 6ක් කෑමබීම දෙනවා. දවසට කිහිප වතාවක් උණ බලනවා. පී.සී.ආර් පරීක්ෂණත් සිදුකරනවා. අපිට දැන්ම ගෙවල්වලට යන්න ලැබුණෙ නැහැ කියලා කිසිම දුකක් නැහැ. අපි ගොඩක් සතුටින් නිරෝධායන කටයුතුවලට අපේ සහාය දෙනවා. අපි වෙනුවෙන් රජය කළ දේ වගේම මේ නිරෝධායන මධ්‍යස්ථානවල සේවය කරන යුද හමුදා සොයුරු සොයුරියන් ගැන අපිට තියෙන්නේ ලොකු ගෞරවයක්."

 

Comments