කොරෝනාවෙන් යන එන මං නැතිවූ මැදපෙරදිග ලාංකිකයෝ | සිළුමිණ

කොරෝනාවෙන් යන එන මං නැතිවූ මැදපෙරදිග ලාංකිකයෝ

කවුරුන් හෝ මොනවා හෝ රැගෙන එනතුරු

දුප්පත් පොහොසත්, උගත් නූගත් බලවත් දුබල ආදී වූ කිසිදු තරාතිරමක් නැතිව ලොක වසංගතයක් බවට පත් වෙමින් ලොව පුරා ලක්ෂ ගණනින් මිනිසුන් මරණය කරා රැගෙන ගිය කොරෝනා වයිරසය තවමත් නිමාවන ලකුණක් පෙනෙන්නට නැත. කොරෝනා වයිරසය නිසා මිය ගිය සංඛ්‍යාව මෙන්ම ඉන් පීඩාවට පත් වූ පිරිස් අතර ඇති අතුරු කතා බොහෝය. මේද එවන් වූ අතුරු කතාවකි; මැදපෙරදිගින් ඇසෙන අපේම මිනිසුන්ගේ දුක්බර කතාවකි. අපේ රටේ වැඩි ශ්‍රමිකයන් පිරිසක් සේවය කරන්නේ මැදපෙරදිග රටවලය. කොරෝනා වයිරසයත් සමඟ අද ඔවුන් මුහුණ දී තිබෙන ගැටලු බොහෝය.

“මෙහෙ රස්සාවල් වලට ආව කවුරුවත් කවදාවත් මෙහෙදි හිඟාකන අනුන්ට අතපාන තත්ත්වයට පත්වෙලා නැහැ. ඒ අය මෙහෙ රැකියාව කරලා ලංකාවට මුදල් යවලා ජීවත් වුණා. අපේ මිනිස්සු මේ ඇවිල්ලා සුඛෝපභෝගි ජීවිත ගත කරන්නෙත් නැහැ. නමුත් අනුන්ට අතනොපා හැම දුකක්ම විඳගෙන තමන්ගේ අය වෙනුවෙන් ජීවත් වුණා. නමුත් අද වෙනකොට මේ හැම කෙනෙක්ම බොහෝම අසරණ තත්ත්වයට පත්වෙලා. කොරෝනා වයිරසය රට තුළ පැතිර යාමත් සමඟ වැඩ පොළවල් නිවාඩු දුන්නා. දැන් ඒ ආයතන වලින් පඩි ගෙවන්නේ නැහැ. මිනිස්සුන්ට දැන් සල්ලි නැහැ; කන්න බොන්න විදිහකුත් නැහැ. අපේම අය පුුළු පුළුවන් විදිහට මේ අය ගැන සොයලා බලනවා ඇරෙන්න කිසිම සහනයක් මේ අසරණ වුණ අයට නැහැ. හුඟක් අය හිතාගෙන ඉන්නේ ගෘහ සේවයට විතරයි ලංකාවේ අය මෙහෙ එන්නේ කියලා. නමුත් මෙහෙ ඉහළ පෙළේ රස්සාවල් කරන අයත් ඉන්නවා. අද වෙනකොට මේ කවුරුත් අසරණයි.” මැදපෙරදිග වෙසෙන මිතුරකු පැවැසුවේ බොහෝ කනගාටුවෙනි. මෙනිසාම මැදපෙරදිග රටවල දිවි ගෙවන අපේම සහෝදර සහෝදරියන්ගේ තොරතුරු සෙවීමේ අරමුණින් අප කිහිප දෙනෙකු සමඟ කතා කළෙමු.

“මම ලංකාවෙන් ආවේ 2000 වසරෙදි. මෙහෙදි දැන හඳුනාගත් අයකු සමඟයි විවාහ වුණේ. අපි විවාහයෙන් පසු මෙහෙ පදිංචි වුණා. අපට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. දරුවෝ මෙහෙ ඉස්කෝලවලට යන්නේ. අප ඉන්නේ ගමක වගේ ප්‍රදේශයක. ගෙයක් කුලියට අරන් ඉන්නේ. එත් දැන් ගෙවල් කුලියවත් ගෙවා ගන්න විදිහක් නැහැ. අතේ ඉතිරි කරන් ඉන්න සල්ලි වලින් තමයි දැන් ජීවත් වෙන්නේ. ලංකාවට ආවොත් අරන් එන්න දෙයක්වත් නැහැ. අපි මෙහෙ කොටු වෙලා වගේ ඉන්නේ. අපිටත් වඩා අසරණ වුණ අය මෙහෙ ඉන්නවා. සමහරුන්ට බෙහෙත් ගන්න විදිහක් නැහැ. මෙහෙ රජයෙන් අප වෙනුවෙන් ලබා දෙන සහනයකුත් නැහැ.” ජෙනට් ශ්‍යාමලි පවසන්නට වූයේ හැඬුම්බරවය. කෙටි නිවාඩුවට ලංකාවට පැමිණ අතේ මිටේ තියෙන තුට්ටු දෙක වියදම් කරගෙන ජැන්ඩියට හැද පැළදගෙන එහෙ මෙහෙ යන මැදපෙරදිග සිටි පැමිණි අය දකින විට ඇතැමුන් කියන කතා බොහෝය. එහෙත් මේ ජීවිතවල ඇත්ත ස්වරූපය දන්නේ එහි ඔවුන් සමඟ වෙසෙන්න් පමණි.

“ ලංකාවෙන් මෙහෙට එන අපේ සහෝදර සහෝදරියෝ මෙහෙ ඇවිල්ලා සුර සැප විඳින්නේ නැහැ. සමහරු පාන් කෑල්ලක්, රොටියක් ඔතාගෙන ඇවිත් බස් එකේ යමින් ගමන් කාලා රස්සාවට ගිහිල්ලා ඇවිල්ලා බෝඩිමේ දවස ගෙවනවා. එහෙම නැත්නම් තුන් හතර දෙනා එකතු වෙලා ගෙයක් කුලියට අරන් ජීවත් වෙනවා. ඒ මිනිස්සු විඳින සැපක් නැහැ. හම්බකරන හැම සතයම තමන්ගේ ගෙදරට යවනවා. නිවාඩුවක් ලැබිලා ලංකාවට ගිහිල්ලා ඉන්න සතිය දෙක තමයි ඒ මිනිස්සු නිදහසේ හොඳට කාලා බීලා ජීවිතේ ගෙවන්නේ. කොහොම වුණත් පහුගිය කාලේ මේ රටේ පැවතුණ ඇදිරි නීතිය සමඟ අපි බොහෝම අසරණ වුණා. දැන් සමහරුන්ට රස්සාවල් නැහැ. පඩි නැහැ. සල්ලි නැහැ. කන්න බොන්නවත් නැතිව දවස ගෙවා ගන්න අමාරු අය ඉන්නවා. මෙහෙ තියෙනවා රොටි වර්ගයක් . ඒක බොහෝම අඩු මිලකට දෙන්නේ. මෙහේ කිසිම රජ කෙනෙක් ඒ රොටියේ මිල වැඩි කරන්නේ නැහැ. අද සමහරුන්ට ඒ රොටියවත් නැහැ. සමහරුන්ට රොටිය තිබුණත් හුමාලයෙන් ඒක තම්බාගෙන නිකම් කන්න වෙලා තියෙන්නේ. තව සමහර තැන් වල අය කන්න නැතිව පරිප්පු තම්බලා සුප් එක වගේ ලුණු දාලා බොනවා. මෙහෙ සමහරුන්ට අකාමා එක නැහැ. එහෙම අය බෙහෙත් ගත්තේ ප්‍රයිවෙට් තැන් වලින්. දැන් ප්‍රයිවෙට් දොස්තරලා වැඩ නැහැ. ෆාමසි වහලා; හැමෝටම යන්න වෙලා තියෙන්නේ රජයේ රෝහලට. එ්ත් අකාමා නැති නිසා රජයේ රෝහල් වලින් බෙහෙත් ගන් බැහැ. මිනිස්සු හරිම අසරණයි. අපේ ලංකාවේ අය මැරෙන්නේ කොරෝනා වයිරසයෙන් නෙමෙයි; එයාලට තියෙන අසනිප වලට බෙහෙත් ගන්න විදිහක් නැති නිසා. ලෝකයම කොරෝනා වයිරසය නිසා ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්න වෙලාවේ අපි මෙහෙ ඉන්න අයව ගෙන්නන්න කියලා බල කරන්නේ නැහැ. අපි ඉල්ලීමක් කරනවා මෙහෙ අය ගැන සොයලා බලන්න කියලා.” මැදපෙරදිග වෙසෙන මද්දුම බණ්ඩාර පැවැසීය.

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් පිළිබඳ සොයා බැලීමේ ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ වගකීම ඇත්තේ එරට තානාපති කාර්යාලවලටය. නමුත් එය එසේ සිදු නොවන්නේ යැයි මැදපෙරදිග දිවි ගෙවන ශ්‍රී ලාංකිකයන් නගන මැසිවිල්ලයි.“පහුගිය දවසක මෙහෙ ඉන්න ලංකාවේ කෙනෙකුගේ බිරිද මිය ගියා. ඇය ඉන්දුනීසියන් කාන්තාවක්. ඇය මිය ගියේ කොරෝනා වයිරසය වැළදීමෙන්. ඇය දරුවන් තිදෙනෙකුගේ මවක්. අපි අපිට පුළුවන් ආකාරයට ඔහුට මුදලක් එකතු කර දුන්නා. මෙහෙ මුලින්ම රස්සාව නැති වූණේ ටැක්සි ඩ්‍රැයිවර්ලාට සහ සැලුන්වල වැඩ කරපු අයට. ඒ අය දැන් බොහෝම අසරණයි. නිවෙස් වල සේවය කරන අයට තාම ලොකු බලපෑමක් නැහැ. නමුත් පසුගිය දවස් වල අපිට දැන ගන්නට ලැබුණා එක් කාන්තාවක් නිවෙසින් එළවා දමා තිබු බව. රස්සාවල් නැති නිසා දැන් සමහරුන්ට ගෙවල් කුලිය ගෙවා ගැනීම ප්‍රශ්නයක්. පසුගිය දවසක ගෙවල් කුලිය ගෙවලා නැහැ කියලා එක ගෙදරකින් එක්කෙනෙක් එළවලා තිබුණා. මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. පසුගිය දවස්වල කොටසක් ලංකාවට ආවත් තවත් කොටසකට එන්න බැරි වුණා. තානාපති කාර්යාලයේ දැනුම් දීමකට හුඟක් අය ලංකාවට එන්න ආවා. ඒත් තාවකාලික ගමන් බලපත්‍ර තියෙන අයට එන්න ලැබුණේ නැහැ. ඔවුන් දැන් මෙහි ලොකු ප්‍රශ්නයක ඉන්නේ. රස්සාව නැහැ. හිටපු ගෙවල් වලින් එළියට බැහැලා ආවා; ආයේ යන්න තැනක් නැහැ. දැන් එක කාමරේ හතර පස් දෙනා එකට කොටු වෙලා ඉන්නවා. මැද පෙරදිග, විශේෂයෙන්ම කුවෙට්වල දුක්ඛිත ජීවිතයක් ගෙවන මේ අය ගැන සොයලා බලන්න කියලා තමයි අපි කාගෙනුත් ඉල්ලන්නේ.”

නිශාන්ත සංජීව පවසන්නේ එසේය. එමන්ම කුවෙට් හී තරණ සංවිධානය පවසන්නේ මේ වන විට එරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 29,359 ක් බවත් මරණ 23ද සිදුව ඇති බවත්ය.

“ මෙහෙ තානාපති කාර්යාලයෙන් කියලා තියෙනවා අපට බඩු මල්ලක් දෙනවා කියලා. ඒත් රටේ ඇඳිරිනීතිය දාලා තියෙද්දි අපට ඒක ගන්න යන්න විදිහක් නැහැ. මේ රටේදි කොරෝනා වයියරස වැළදුන ඒ අයගේ අයට විතරයි සැලකිල්ලක් දක්වන්නේ. ලංකාව වගේම වෙනත් විදේශ රටවල අය ගැන බලන්නේ නැහැ. රජයෙන් කියන්නේ නිවෙස් වලට වී ඉන්න කියලා. මම සේවය කරන්නේ වෛද්‍යවරයෙක් ළඟ. ඒ වෛද්‍යවරයා රෝහලට ගිහිල්ලා අත්සන් කරලා ගෙදර එනවා. ඔවුනුත් බයයි. කොහොමත් මෙහෙදි අපේ ලංකාවේ අයට ලැබෙන සැලකිල්ලක් නම් නැහැ.” සෞදියේ වෙසෙන තරුණයකු පැවැසු වේ එසේය.සවුදිවල වෙසෙන ජයරුවන් පසන්නේ ද එවැනිම කතාවකි.මේ රටේ නම් දැන් හොඳ පැත්තක් පේන්නම නැහැ. මිනිස්සු කිසිම පරිස්සමක් නෑ. මම ෂොප් එකක වැඩ කරන්නේ. අපි මාස්ක් දාගෙන සෞඛ්‍යාරක්ෂිත විදිහට වැඩ කළත් මෙහෙ මිනිස්සු එහෙම පරිස්සමක් නැහැ. සමහර අය ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙන්නේ රස්සාවල් නැහැ. පඩි ගෙවන්නේ නැහැ. අපි වුණත් කැමතියි ලංකාවට එන්න. එත් ...?

මැදපෙරදිග රටවල ජීවත් වන ශ්‍රි ලාංකිකයෝ දැන් දවස ගෙවන්නේ දෙගිඩියාවෙනි.

කොහොම වුණත් කුවෙට් රජයේ රෝහල් වල ශ්‍රීලාංකිකයන් සඳහා ඉඩක් නැත. දිනෙන් දින වැඩි වන රෝගී සංඛාවත් සමඟ එරට රෝහල් වල ඉඩ පහසුකම් අඩුවෙමින් පවතී. රජයේ සෞඛ්‍ය උපදෙස වී ඇත්තේ පැරසිටමෝල් ඖෂධය ලබා ගනිමින් නිවෙසට වී සිටින ලෙසය. පසුගිය කාලයේ තරුණයෙකු සහ කාන්තාවක කුවේටයේදි සිය දිවි හානිකර ගනු ලැබීය. එයට හේතුවද කොරෝනා වයිරසයයි. කෙසේ වෙතත් එරට දී අසරණ වෙන අය වෙනුවෙන් ශ්‍රීලාංකිකයෝම පුළු පුළුවන් ආකාරයට උදව් කර ගනිති.

මැදපෙරදිග ශ්‍රී ලාංකිකයන් ගැන කතා කරන අතරට අපට රුමේනියාවේ වෙසෙන ශ්‍රි ලාංකික තරුණයකු සමඟද කතා කරන්නට අවස්ථාව ලැබිණි. ඔහුගේ ගම මහියංගනයයි.

“මට මෙහෙදි කොරෝනා වයිරසය වැළඳුණා. අපි ගාමන්ට් එකක වැඩ කරන්නේ. අපි මහන රෙදි වල එක් කොටසක් මහන කෙනෙක් ඉන්නවා පිට. ඇයගෙන් තමයි වයිරසය ආවේ. අපේ කාමරේ හිටපු අයගෙන් අන්තිමටම තමයි මට හැඳුණේ. මම රෝහල් ගතව සිටියා දවස් විසි එකක්. හිතා ගන්න බැහැ මොකක් වුණේ කියලා. උණු වතුර නානකොටත් සීතක් දැනෙනවා තදින්. ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. දවස් දාසයක් කාමරයට වී සිටියා රෝහලෙන් ආවාට පස්සේ දැන් වැඩපොළෙන් දැනුම් දී තිබෙනවා වැඩට එන්න කියලා. අපිට මෙහෙ කිසිම සැලකිල්ලක් නැහැ. මේ රටට ලංකාවේ එම්බසියක් නැහැ. පෝලන්ත එම්බසියෙන් තමයි බලන්නේ. මෙරට මාධ්‍ය මඟින් අපි ගැන කියවගෙන තමයි රජයේ අවධානය අප ගැන ලබා ගත්තේ. මේ වෙනකොට කට්ටියක්ව රස්සාවෙන් අයින් කරලා කිසිම දැනුම් දීමක් නොකර. අපිට දැන් ලංකාවට එන්නත් බැහැ. අපි ලංකාවට ආවොත් අපේ ගෙවල් වල මිනිස්සු කන්න බොන්න නැතිව අසරණ වෙනවා. මොන ප්‍රශ්නය වුණත් දැන් මෙහෙම ඉන්න තමයි අපට වෙලා තියෙන්නේ. ඒත් ලංකාවේ අපි මෙහෙ අසරණයි. අපි ගැනත් අවධානය යොමු කරනවා නම් තමයි හොඳ. මෙහෙ මිනිස්සු අතර මීටරයේ පරතරයවත්, පරිස්සම් වීමක් වත් නැහැ.ඉසුරු පවසන්නේ කණගාටුවෙනි.

Comments