අශ්ව පැටියාගේ හොරකමේ සුලමුල සොයා ගත් හැටි | Page 2 | සිළුමිණ

අශ්ව පැටියාගේ හොරකමේ සුලමුල සොයා ගත් හැටි

අපාචිගේ වටිනාකම ලක්ෂ 5ක්

 

දඹුල්ලේ හෝටලයක ඉපැදුණු දෙමස් වියැති අශ්ව පැටවකුගේ අතුරුදන් වීමෙන් කැළඹුණු ප්‍රවෘත්තිය පසුගියදා බොහෝ දෙනකුගේ අවධානයට ලක් විය. අප ඒ ගැන සොයන්නට සිතුවේ පසුගිය වකවානුව පුරා අපට බොහෝ සත්ත්වයන් අහිමි වූ නිසාමය.

වර්තමානය වනවිට සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගැනීමට අශ්වයන් තමන් සතු කරගෙන පුරුදු පුහුණු කිරීමට සංචාරක හෝටල් හිමියන් වැඩි උනන්දුවක් දක්වති. උතුරු අර්ධද්වීපයේ පිහිටි ඩෙල්ප්ට් දුපත් ද සංචාරක පුරවරයක් ලෙස සංචාරක ආකර්ෂණයට හේතුවී ඇත්තේ එහි වෙසෙන කැලෑ අශ්වයන්ය.

දඹුල්ල හා තදාසන්න ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා සංචාරක ක්ෂේත්‍රයේ නියුතුවූවන් අලි ඇතුන් පිට අලි සෆාරි යෑම, අලි ඇතුන් සමඟ ඡායාරූප ගැනීම, වන අලින් පෙන්නීමට වන ජීවි කලාප තුළට රැගෙන යෑම, වෙනත් පක්ෂීන්, සමනලයන් නැරඹීමට අවස්ථාව සලසාදීම, ගොන් කරත්ත සවාරි, පා පැදි සවාරි ආදී බොහෝ දෑ කරති. ඒ අතරින් පෝනියන් පිට නැඟී යාම, අශ්වයින් පිට නැඟී යාම, ඔවුන් සමඟ සමුහ ඡායාරූප ගැනීම ආදිය සඳහා සංචාරකයන් වැඩි කැමැත්තක් දක්වති. දඹුල්ල කළුදිය පොකුණ ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමියකු වන ප්‍රියංකර අප්පුහාමි මහතාද තම සංචාරක හෝටලයට එන සංචාරකයින් පිනවීම සඳහා ඉන්දියාවේ චෙන්නායිවලින් ඉන්දීය අරාබි සම්භවයක් තිබෙන TIGO BOY හා SUPPER GIRL නමින් හඳුන්වන අශ්වයකු හා වෙළඹක් මිලදී ගන්නේය.

හිමිකරු විසින් ආදරයට TIGO BOY නමින් නම්කර ඇති පිරිමි අශ්වයා MYSTIC GODDESS ලෙසත් හා SUPPER GIRL ගැහැණු සත්වයා BOLD DECLARATION නමින් හඳුන්වති. මෙම සතුන් ආනයනය කිරිමේදී සත්ව නිරෝධායන සහතික පත් හා එන්නත් ලබාදීම ඇතුළු සෞඛ්‍යාරකෂිත ක්‍රමවේද අනුව රටට ගෙන්වා ඇති බවත් ඒ සඳහාවූ ලේඛන හා බලපත්‍ර තමන් සතුව ඇති බව අශ්වයින් දෙදෙනාගේ හිමිකරුවන ප්‍රියංකර කියයි. අශ්වයින් අතර නිර්භීත හා ශක්තිමත් පරිනත පිරිමි සතුන් නායකත්වය ගනියි. ඔහු වටා ගැහැනු වෙළඹුන් නිතර සැරිසරති; රොක් වෙති.TIGO BOY හා SUPPER GIRL අතර ඇතිවන ප්‍රජනන සම්බන්ධතාව මත SUPPER GIRL ගැබ් ගන්නේය. අශ්ව වෙළඹක් ගැබ්ගෙන දින 372 කදී ප්‍රසුතිය සිදු කරයි. ඒ අනුව ඉකුත් මාර්තු මස 29 දින SUPPER GIRL තම පළමු දරු ප්‍රසුතිය ලෙස පිරිමි සතෙකු බිහි කළාය. ඔහුට “අපාචි “ලෙස නම් තැබීමට ප්‍රියංකර කටයුතු කළේය. ප්‍රියංකරගේ අශ්ව ගාලේ බාරකරු වුයේ අනුරාධපුරය, සාලියපුර පදිංචි සමන් කුමාර හෙවත් සාගරය. සාගර වසර කීපයක්ම අශ්ව ගාලේ සේවකයකු ලෙස වැඩ කරමින් සිටි අතරතුර වෙනත් රැකියාවක් සොයා යන්නේ ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදීය.

අපාචි ඉපදෙන විට සාගර වෙනත් රැකියාවක් සොයාගෙන සිටියත් වෙනත් සේවකයකු විසින් අශ්ව ගාලේ කටයුතු කරමින් සිටින අතරතුර කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරක හෝටලය වසා දැමුයේ සංචාරකයන්ගේ පැමිණීම නොමැතිවීම හා සෞඛ්‍ය හේතු මතය. ඒ අනුව එම හෝටලය රැකබලා ගැනීමට හා අශ්ව ගාලේ කටයුතු කිරීමට සිටියේ කළමනාකරුවකු ඇතුළු සේවකයන් දෙතුන් දෙනෙකි. දිනය ඉකුත් මැයි මස 24 දිනය. එදින උදැසනම ප්‍රියංකරගේ ජංගම දුරකථනයට ඇමතුමක් දුන් සේවකයකු කියා සිටියේ “අපාචි” අශ්ව ගාලේ නොමැති බවය. ඒ අනුව ප්‍රියංකර තම සේවකයන්ට උපදෙස් ලබාදුන්නේ හෝටල් භූමිය අවට වන ෙරාද පරික්ෂා කරන ලෙසය.

ප්‍රියංකරගේ හෝටලය අක්කර සියයකට වැඩි භූමි පරාසයක විශාල ඝන වන රොදකින් වසා සිටි. දඹුල්ල, කණ්ඩලම මාර්ගයේ කළුදිය පොකුණ හන්දිය අසලින් හැරී කිලෝමීටර් දෙකක් පමණ දුර මහා ඝන වනාන්තරය මැදින් දිවෙන බොරළු මාර්ගයක් ඔස්සේ හෝටලය වෙත ගමන් කළයුතු වේ. වන සතුන්ගෙන් ගහන එම මාර්ගය අගන්තුකයකුට ඇතිකරන්නේ බියජනක හැඟීමකි. හෝටලය වටා පිහිටි භූමියේ ආරක්‍ෂිත වැටක් නොමැත. අශ්වයන්, සුරතලයට ඇතිකරන සුනඛයින් හත් අටදෙනෙකු හැර විශාල පරාසයක විහිදුණු හෝටල් භූමියේ සිටින්නේ සේවකයන් දෙතුන් දෙනෙකි. මාස කීපයක් වසා දමා තිබීම නිසා හෝටල් පරිශ්‍රය පාළු ස්වභාවයක් ගෙන තිබිණි. පැය කිහිපයක් අවට වන ෙරාද පරික්ෂාකර සොයා බැලීමෙන් පසු ප්‍රියංකර දෙමසක් වයසැති කිරි බොන වයසේ පසුවන අපාචිගේ අතුරුදහන්වීම පිළිබඳව දඹුල්ල පොලිස් පොතේ පැමිණිල්ලක් දමන්නේ හිතේ ඇතිවූ දැඩි කම්පනය හේතුවෙනි. අපාචි අතුරුදහන්වූ මොහොතේ සිට අපාචිගේ මවද බලා ගත් වනම නොකා නොබී සිටියාය.

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පි එදිරිසිංහ මහතා විසින් අදාළ පැමිණිල්ල දඹුල්ල පොලිසියට අනුබද්ධ නොවිසදුණු අපරාධ ඒකකයට බාරදෙන්නේය. එහි ස්ථානාධිපති වශයන් කටයුතු කරන්නේ පොලිස් පරීක්ෂක විජේකෝන් මහතාය. ඒ මහතා යටතේ උප පොලිස් පරීක්ෂක සමිත් වීරසිංහ, උමේෂ් කුලසිංහ, පොලිස් සැරයන් උපතිස්ස (12901) හේරත් (6545) පොලිස් කොස්තාපල් ඉමල් සම්පත් (79865) යන නිලධාරීන් එදිනම සිද්ධිය වූ ස්ථානය පිරික්සා බැලුහ.

විශාල භූමි ප්‍රදේශයක් ආවරණය වන ඝන වනාන්තරයක් මැද පිහිටි හෝටලයකට ඝන අඳුරේ කිසිදු බියක් සැකයක් නොමැතිව පැමිණිය හැක්කේ කාටද? ආරක්ෂාවට සිටි සුනඛයන්ගේ බිරුම් හඬක් නොමැතිව කිසිවෙකු පැමිණෙන්නේ කෙසේද? අශ්වයින්ගේ හේෂාරව ශබ්දය නොමැතිව අශ්වයින් සමීපයට හෝ කිසිවෙකු යන්නේ කෙසේද? පරීක්ෂණ කණ්ඩායමේ අවධානය ඒ කෙරෙහි දැඩි ලෙස යොමුවිය. ඒ පොලිස් විමර්ශන කණ්ඩායමේ අවධානය යොමු කළේ එහි සේවකයන් පිළිබඳවය. එහිදී මීට මාස හතකට පෙර අශ්වයින් රැකබලා ගත් සාගර පිළිබඳව විමර්ශන කණ්ඩායමේ විශේෂ අවධානය යොමු කළේය. එහිදී සාගර ආගිය තැන් පිළිබඳවත් ඔහු ඇසුරුකළ පුද්ගලයින් පිළිබඳවත් සිදුකළ විමර්ශනයේදී අපාචිගේ අතුරුදහන්වීමට දින දෙක තුනකට පෙර සාගර කණ්ඩලම ප්‍රදේශයට පැමිණ ඇති බව සොයා ගැනේ. ඒ අනුව සාගර අලව්ව ප්‍රදේශයේ පෝනියන් රැකබලා ගන්නා ස්ථානයකදී අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායමට හැකි විය.

සාගරගෙන් ලද තොරතුරු මත අලව්ව ප්‍රදේශයේම පදිංචි මහේෂ් කපිල අත්අඩංගුවට ගන්නේ ආපාචි දඹුල්ලේ සිට අලව්වට ප්‍රවාහනයට යොදාගත් කැබ්රියේ රියදුරු වීම හේතුවෙනි. කපිල කැබ්රිය ඉල්ලා ගෙන ඇත්තේ තම මිතුරකුගෙනි. මිතුරාගේ ගරාජයක් තුළ අලුත්වැඩියාව සඳහා වෙනත් පුද්ගලයකු විසින් ගෙනවිත් දමා තිබු කැබ් රිය ඉල්ලා ගෙන ඇත්තේ දඹුල්ලේ සිට පිඹුරකු ප්‍රවාහනයට යොදා ගන්න බව පවසමිනි. කපිලගෙන් ලද තොරතුරු අනුව අලව්ව පෝනියන් සිටින ස්ථානයේ කිසිවකුට හෝ ඇස නොගැටෙන ලෙස පෝනියන් අතර සිටි අපාචි සොයා ගැනීමට දින පහක කාලයක් තුළ සිදු කළ විමර්ශනයකින් පසු ඉකුත් 29 දින පොලිසියට හැකි විය. අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා ලක්ෂ පහක් පමණ වටිනාකමකින් යුත් අශ්ව පැටියෙකු සොරකම් කිරීමේ චෝදනා යටතේ දඹුල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අශ්ව පැටියා හිමිකරු වෙත බාරදීමට පොලිසියට නියෝග කළේය.

 

Comments