අපේක්ෂකයන්ට මගහැරෙන මුහුදේ පාවෙන ඡන්ද | සිළුමිණ

අපේක්ෂකයන්ට මගහැරෙන මුහුදේ පාවෙන ඡන්ද

 

මෙරට ඉතිහාසයේ මෙතෙක් අත්නොවිඳි අර්බූද, අභියෝග හමුවේ පවත්වන්නට අරඅඳින තවත් මහා මැතිවරණයක් පිළිබඳ මේ වන විට බොහෝ කතිකා රටපුරා නිර්මාණය වෙමින් ඇත්තේ ය. වසර ආරම්භයත් සමඟ කරලියේ පෙරළි රැසක් ඇති කරමින් මහ මැතිවරණයේ උණුසුම වර්ධනය වෙමින් තිබුණ ද කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ මුළු රටේම අවධානය ඒ වෙත යොමු වෙද්දී මහ මැතිවරණ උණුසුම යටපත්ව ගියේය.

නාම යෝජනා අවසන් වීමත් සමඟ කොරෝනා වයිරසය බලවත් වෙමින් මහ මැතිවරණ උණුසුම එලෙස යටපත් වුව ද ජලයේ එබූ රබර් බෝලයක් මෙන් එය යළි යළිත් මතුවෙමින් ඇත්තේ චෝදනා, අවලාද, අපවාද රාශියක් ද මධ්‍යයේය.

මේ සියලු කතා අතරේ ස්වාධීන මැතිවරණ කොමිසන් සභාව විසින් මහ මැතිවරණය ජූනි මස 20 පැවැත්වීමට දින නියම කර තිබුණ ද එදින ද ඡන්දය පැවැත්විය නොහැකි බව අධිකරණයට දැනුම්දී ඇත. පාලක පක්ෂය මෙන්ම විපක්ෂය ද මහ මැතිවරණය සඳහා පෙනෙන නොපෙනෙන මට්ටමින් සූදානම් වෙමින් සිටින ආකාරයක් දැන් දැන් දක්නට ඇත.

තත්ත්වය එසේ වුව ද මෑත ඉතිහාසය පුරා පැවති සියලු මැතිවරණවල දී තම ඡන්ද අයිතිය අහිමිව දින, සති, මාස ගණන් මහ සයුරේ ගතකරන බහුදින ධීවර යාත්‍රාවල සිටිනා ධීවරයන්ට මෙවර ද තම ඡන්දය භාවිත කිරීමට අවස්ථාව නොලැබෙනු ඇත. ඒ මෙතෙක් එම පිරිස පිළිබඳව කිසිදු පුද්ගලයකු හෝ කණ්ඩායමක් අවධානය යොමු කර නොතිබීම නිසා ය. මෙරට ප්‍රධාන ධීවර වරායන් හා කුඩා වරායන් තුළින් ධීවර රැකියාවේ යෙදෙන බහුදින ධීවර යාත්‍රා ප්‍රමාණය පන්දහසකට අධිකය. රටේ ආර්ථිකයත් ජනතාවගේ පෝෂණයත් නංවන මෙම දහස් සංඛ්‍යාත ධීවරයන් පිරිසකට සෑම මැතිවරණයකදීම අහිමිවන ඡන්ද අයිතිය පිළිබඳ අපේ අවධානය යොමු කළ යුතුව තිබේ.

ක්‍රිස්තෝගු බදුගේ රනිල් ප්‍රියරත්න (43) යනු මුහුදු රැකියාව පිළිබඳ වසර විසි එකක පළපුරුද්ද ඇති තරුණ ධීවර කාර්මිකයෙකි. පසුගිය ජනාධිපතිවරණයේ දී රනිල්ට තම ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමි විය. ඒ මැතිවරණ දිනයේ දී ඔහු මුහුදු සැතපුම් දහසකට අධික දුරක මහ සයුරේ සිටි නිසාය. ඔහු තම ඡන්දය භාවිත කරන්නට අවස්ථාව නොලැබීම පිළිබඳ පවසන්නේ මෙවන් අදහසකි.

“මට ඡන්ද හිමිකම ලැබුණට පස්සෙ ඡන්ද විස්සක් විතර තිබුණා. ඉන් මට ඡන්දය දාන්න හැකිවුණ අවස්ථා දහයකටත් අඩුයි. අනෙක් හැම අවස්ථාවෙම හිටියෙ දියඹ මුහුදේ. ඡන්ද තියෙන හැම අවස්ථාවකම ඡන්ද ලක්ෂ ගණනක් මහ මුහුදේ ඉන්නවා. සමහර ඡන්දවල දී තමන්ට හිතවත්ම අය ඡන්දය ඉල්ලනවිට මුහුදු යන දිනය පසුකර ඡන්දය දමා යන අවස්ථාත් තිබෙනවා. ඒත් දැන් එහෙම වෙන්නෙ නෑ. බඩුමුට්ටු සූදානම් කර ගත් සැනින් මුහුදු යනවා. අපරාදෙ ලොකු ඡන්ද ප්‍රමාණයක් අපතේ යනවා. මොකක්හරි ක්‍රමයක් හැදුවොත් මොන පක්ෂයකට හරි ඡන්දය ලැබෙනවා. ඉතින් එහෙම කිසිම වැඩපිළිවෙලක් හදන්න තාම කාටවත් අවශ්‍යවී ඇතිබවක් පේන්න නෑ. අපේ ඡන්ද ඒ අයට වටින්නෙ නැතිව ඇති. ඒකනේ අවුරුදු ගණනක් මේ තත්ත්වය තිබිලත් කිසිම ක්‍රියාමාර්ගයක් අද වෙනකම් අරගෙන නැත්තේ. මේ මහමැතිවරණයටත් ලොකු පිරිසක් ඡන්දය නොදමා මුහුදේ පා වෙවී ඉඳීවි; ඒක ස්ථිරයි”

සිරිසේන ගලප්පත්ති (80) යනු දසක පහකට වඩා අත්දැකීම් ඇති ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකි. පළාත්පාලන සේවයේ ද දසක තුනකට අධික අත්දැකීම් ඇති ගලප්පත්ති මහතා මෙරට මහත්මා දේශපාලනය ක්‍රියාත්මක වූ යුගයේ කීර්තිමත් දේශපාලඥයන් වූ සිරිසේන හෙට්ටිගේ හා හරිස් වනිගසේකර මහත්වරුන්ගේ සම්බන්ධීකරණ හා පෞද්ගලික ලේකම් තනතුරු දරමින් 1960 වසරේ සිට 1977 වසර දක්වා කාලසීමාවේ පැවති මැතිවරණ සියල්ලේ හක්මන ආසනයේ මැතිවරණ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති ජ්‍යෙෂ්ඨයෙකි. මෙම ගැටලුව පිළිබඳ ඔහුගේ අදහස මෙසේ ය.

“මහත්මා දේශපාලනය පැවති අපේ කාලයේ මැතිවරණ වගේ නෙවෙයි, දැන් පැවැත්වෙන මැතිවරණ. එදා වගේ ඡන්ද දායකයා ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නෑ. සල්ලිවලින් හැම දේම කරනවා වගේ ඡන්දයත් ඒකෙන්ම ගන්න මාන බලනවා. පසුගිය මැතිවරණ දිහා බැලුවාම අපේ මිනිස්සු ඒවාට නතු වූ ආකාර හොඳටම පේන්න තිබුණා. ඔය මහ මුහුදේ ධීවර රක්ෂාවට ගිහින් මාසගණන් ඉන්නා මිනිස්සුන්ගේ දහස් ගණනක් වූ ඡන්ද ටික ගන්න මා දන්නා මෑත යුගයේ කිසිම නායකයෙකුට උවමනාවක් හෝ වැඩපිළිවෙලක් තිබුණේ නෑ. අපි ඡන්ද මෙහෙයවන කාලයේ තනි දවසේ මුහුදු රක්ෂාව මිස මාස ගණන් මුහුදේ ගොස් ඉඳන් කරන ක්‍රම තිබුණෙ නෑ. අනෙක ඒ කාලයේ ඡන්දයක් කීවාම මිනිසුන්ගේ පුදුම උනන්දුවක් තිබුණෙ. එදා ධීවරයා හරි උනන්දුවෙන් උදෙන්ම ඡන්දපොළට ගිහින් ඡන්දය දමා රෑට එක ගෙදරකට කට්ටියම එකතුවෙලා විනෝදයෙන් හා උනන්දුවෙන් ඡන්දය ඇහුවා. අද එහෙම නෑ. මිනිස්සු ඡන්දය කියා බලන්නෙ නෑ මුහුදු රැකියාවට යනවා. අපරාදෙ මේ ඡන්ද ටිකෙන් අපේක්ෂකයින් කීදෙනෙකුගෙ ප්‍රාදේශීය සභා, පළාත්සභා, පාර්ළිමේන්තු හීන බිඳ වැටෙනවද? මේ ප්‍රශ්නය ගැන මීට වඩා හැමෝම හිතන්න ඕන”

“මිනිස් අයිතිවාසිකමක් වූ ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය තමන්ගේ රැකියාව නිසා මේ අයට අහිමි වෙලා තිබෙනවා. රටේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කළත් ධීවරයා ගැන වගවෙන්න කිසිවෙක් නෑ. ඡන්ද කාලයේ දේශපාලඥයාට අවශ්‍ය කොහොමහරි මේ අයගේ ඡන්දය කඩාගන්න එකයි. ඒ අයගේ ප්‍රශ්න ගැන කතා කරන්න ඒ අයට කිසිම ඕනකමක් නෑ.

අපි කතාකරන බහුදින ධීවර කාර්මිකයන් ට ඡන්දය භාවිතා කරන්න බැරිවීම ගැන ඒ අය කතාකරන්න ගියොත් ධීවරයින්ගේ අනෙක් අයිතිවාසිකම් ගැනත් නැවත කතාකරන්න වෙන නිසා දේශපාලඥයා කිසිසේත් මේ ගැන මෙතෙක් කතාකර නෑ. අධ්‍යාපන අයිතිවාසිකම් ඉන් ප්‍රධානතම එකක්. මොකද ධීවරයා අධ්‍යාපනයෙන් සන්නද්ධ වුනාම දේශපාලඥයන්ට ධීවරයන් තමන්ගේ අතකොලු කරගන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා හිතාමතාම මේ ගැන නොසොයා ඉන්නවා. හැම වෙලාවෙම ධීවරයාගෙන් යමක් ගන්නවා විනා යමක් දෙන්නේ නෑ. බහුදින ධීවර කාර්මිකයාගේ ඡන්ද අයිතියත් එහෙම එකක්. මෙය අනිවාර්යයෙන් සොයා බැලිය යුතු ප්‍රශ්නයක්” දකුණේ ධීවර සංවිධානයේ සම්බන්ධීකාරක සහන් ඉසංක ගෝනලගොඩ පවසන්නේ ය.

කුඩා කල සිට ධීවර ප්‍රජාව ජීවත්වන පරිසරයක හැදී වැඩුණ හා අද දක්වාම ධීවරයා හා ගැටෙමින් ප්‍රශ්න හඳුනාගනිමින්, එය බලධාරීන් හමුවට ඉදිරිපත්කරමින් කටයුතු කරනා මහජන නියෝජිතයකු වන ජනතා විමුක්ති පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මෙම ගැටලුව සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් අදහසකි.“ධීවර කර්මාන්තය රටේ ආර්ථිකයේ මුදුන් මුලක්. බහුදින, තනි දින හා සාම්ප්‍රදායික ආකාරයට ද ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් ලක්ෂ තුනක් විතර ඉන්නවා. පාරිභෝගික ජනතාවගේ මත්ස්‍ය පරිභෝජනයෙන් සියයට අනූවක්ම ලබා දෙන්නේ මේ අය. බහුදින ධීවර යාත්‍රාවක් රැකියාවේ ගොස් මාස දෙක, මාසය, දින විස්ස මහ මුහුදේ ගත කරනවා. මේ හැමෝම ඡන්ද අයිතිය හිමි අයයි. ඒත් හැම මැතිවරණයක දී ම ඡන්දය භාවිත කිරීමට නොහැකිව බොහෝ ධීවරයන් මහ මුහුදේ සිටිනවා. ඒ නිසා තමන් සමීප මහජන නියෝජිතයා පත්කර ගන්න මේ අයට අවස්ථාව ලැබෙන්නේ නෑ. ඒක ලොකු අසාධාරණයක්. මේ ගැන අපි මැතිවරණ කොමසාරිස්වරුන්ට, මැතිවරණ කොමිසමට, රටේ පාලනය භාරව සිටින අයට, මැතිවරණයට අදාළව කටයුතු කරන මානව හිමිකම් සංවිධාන, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඇතුළු සියලු අංශ සමඟ කලක සිට සාකච්ඡා කරනවා. ඒත් ධීවරයාට සාධාරණයක් මෙතෙක් ඉටුවෙලා නෑ. කුමන හෝ ක්‍රමයක් පාවිච්චි කර ඡන්ද කාලයට මහ මුහුදේ සිටිනා ධීවරයන්ට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව දිය යුතුයි. ඒක ඔවුන්ගේ අයිතියක්. ඒ සඳහා කුමන හෝ ක්‍රමවේදයක් සකසා ගත යුතුයි. නමුත් මේ දක්වා ඒ වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම කණගාටුවට කරුණක්”

වර්තමානය වන විට තරුණ දේශපාලනඥයන් රැසක් ධීවර ගැටලු පිළිබඳ කතාකරන්නට පෙරට පැමිණ ඇත. ඒ අතරින් තරුණ දේශපාලනඥයකු වන හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා ද එක් අයෙකි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්තිගේ පුතා මෙන්ම හිටපු ධීවර රාජ්‍ය අමාත්‍ය පී.එස්.එල්. ගලප්පත්ති මහතාගේ මුණුපුරකු ද වන ඔහු මෙම ප්‍රශ්නයේදී අවධානය යොමුකරන්නේ තාක්ෂණය භාවිතය පිළිබඳව ය.

“මෙම ප්‍රශ්නය මතුපිටින් පමණක් නොව ගැඹුරින් සාකච්ඡාවට ලක් කළ යුතු ප්‍රශ්නයක්. බහුදින ධීවර යාත්‍රා හඳුන්වාඳුන් කාලයේ සිට මේ ප්‍රශ්නය තිබෙනවා. මෙම ධීවර පිරිස රටේ ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කරනවා. විදේශ විනිමය රටේ ආර්ථිකයට එකතුකර දෙනවා. එවන් සේවයක් කරන මේ පිරිසේ ඡන්ද අයිතිය ආරක්ෂා කර දියයුතුයි. ඈත දියඹේ ඉන්නා මේ පිරිසට ඡන්දය භාවිතා කරන්න නොහැකිවීමෙන් අපේක්ෂකයන් බොහොමයකට පාඩු සිදුවෙනවා. දිනන්න ඉන්න කෙනා පරාජය වෙන්නත් පුළුවන්. මම යෝජනා කරන්නේ ධීවර ජනතාවට වගේම අපේ රටට විදේශ විනිමය සොයා රට රැකියා කරන ශ්‍රමිකයින්ටත් තම ඡන්දය භාවිත කරන්න ක්‍රමවේදයක් සැකසිය යුතුයි. රජයේ සේවකයාට තැපැල් ඡන්දය සේම මෙම පිරිසටත් යම් ක්‍රමයක් සැකසිය යුතුයි. මනාප අංක දුන් දිනයේ සිට ඡන්ද භාවිත කරන්න ක්‍රමයක් සකසනවා නම් ඡන්දය දී බහුදින ධීවර යාත්‍රාවල මුහුදු රැකියාවට යා හැකියි. මේ සඳහා හොඳම ක්‍රමය තාක්ෂණය භාවිත කිරීමයි. එම තත්ත්වයට අපේ රටේ ඡන්ද කිරීම තවම පැමිණ නෑ. එම තත්ත්වයට අප යා යුතුයි”

මෑත භාගයේ ධීවර ගැටලුවලදී මෙන්ම ධීවර වරායන් සංවර්ධනය, නවීන ආම්පන්න සැපයීම ඇතුළු කාර්යයන් රැසකදී ප්‍රබල මැදිහත්වීමක් ලබාදුන් තරුණ දේශපාලනඥයකු ලෙස හිටපු තේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර නමක් දිනාගෙන ඇත. ධීවර කර්මාන්තයට මෙන්ම ධීවර පවුල්වලට ද නොමැකෙන සේවාවක් කර ඇති හිටපු අමාත්‍ය මහින්ද විජේසේකරගේ පුතකු වන කංචන විජේසේකර මෙම ගැටලුවේදී සෘජු අදහසක සිටින්නේ ය.

“මෙම ප්‍රශ්නය අපි බොහෝ සෙයින් කතාබහට ලක්කර තිබෙනවා. ඡන්දය භාවිතය ධීවරයාගේ ද මානව අයිතියක්. එය ලබාදිය යුතුව තිබෙනවා. ධීවරයා මහමුහුදට වී සිටින්නේ ඔවුන් හා ඔවුන්ගේ පවුල් ගැන පමණක් සිතා නොවෙයි. මුළු රටේ ජනතාව හා රටේ ආර්ථිකය ගැනත් සිතායි. හොඳ මාළු අස්වනු ලැබෙන විට ඔවුන්ගේ අතමිට සරුවෙනවා වගේම විදේශ විනිමයෙන් රටේ ආර්ථිකයත් සරුවෙනවා. ජනතාවගේ පෝෂණ මට්ටම වැඩිවෙනවා. මෙම පිරිස කරනා සේවය සුළුවෙන් සිතා බැහැරකරන්න බෑ. අති විශිෂ්ට සේවයක් සිදුකරන පිරිසක්. අපි මේ වටිනා මිනිස්සුන්ගේ වටිනා ඡන්දය ආරක්ෂාකර දිය යුතුයි. ඔවුන්ටත් ඡන්දය ප්‍රකාශ කරන්න යම් සහන ක්‍රමවේදයක් සකස්කර දිය යුතුයි. ධීවර කාර්මිකයන් වෙනුවෙන් තැපැල් ඡන්දයක් ලබා දිය යුතුයි. එය මැතිවරණයට ආසන්නම පොහොය දිනයට පසු දින ධීවර වරාය පරිශ්‍රයේ කළ හැකියි”

මෙම ගැටලුවේදී විසඳුමක් ලබාදිය යුතු ආයතනය වන්නේ මැතිවරණ කොමිෂන් සභාව ය. ඒ සම්බන්ධයෙන් කළ විමසුමේදී මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මෙලෙස පැවසුවේ ය.

“මෙම ප්‍රශ්නය ගැන අපි දිගින් දිගටම දේශපාලන පක්ෂ ඇතුළු කණ්ඩායම් සමඟ සාකච්ඡා කර තිබෙනවා. ධීවරයන් පමණක් නොවෙයි ගුවන් තොටුපල, වරාය, හෝටල් කාර්ය මණ්ඩල වගේම වෛද්‍යවරුන්ටත් මෙම ප්‍රශ්නය තිබෙනවා. එවැනි පිරිස් සඳහා ආයතන ප්‍රධානීන් ඡන්දය දමන්න යම් සහන කාලයක් ලබා දුන්නත් යම් කොටසකට ඡන්දය දමන්න බැරිවෙනවා. ඒ වගේම කෘෂිකාර්මික කටයුතු සඳහා පිට පළාත්වලට ගොස් සිටින පිරිසටත් මේ ප්‍රශ්නය තිබෙනවා. මේ අය සඳහා ඡන්දය පාවිච්චි කරන්න සහනයක් දෙන නීති ප්‍රතිපාදනයක් මැතිවරණ පනතේ නෑ. මැතිවරණ රාජකාරි සඳහා සම්බන්ධ වන නිලධාරීන් ඇතුළු කාර්යමණ්ඩල සඳහා පමණයි තැපැල් ඡන්ද ලබාදීම සඳහා මැතිවරණ පනතේ නීති ප්‍රතිපාදන තියෙන්නේ. බහුදින ධීවර කාර්මිකයින්ට කලින් දිනක ඡන්දය දමන්න අවස්ථාව ලබාදෙන්න කියා යොජනාවක් කළොත් ඒ සඳහා පනතේ නීති ප්‍රතිපාදනයක් නෑ. මේ සඳහා තිබෙන හොඳම විසඳුම තමයි පාර්ලිමේන්තුව හරහා පනතක් මගින් මැතිවරණ පනතට මේ වෙනුවෙන් නීති ප්‍රතිපාදනට එක්කරදීම.”

 

Comments