ලොතරැයිය රටට හුරු කළ ජාතික ලොතරැයි මණ්ඩලය | සිළුමිණ

ලොතරැයිය රටට හුරු කළ ජාතික ලොතරැයි මණ්ඩලය

 

ප්‍රධාන ලොතරැයි හතරෙන් දිනකට ජයග්‍රාහකයන් ලක්ෂ පහක්

බෙදා දෙන මුදල රුපියල් දෙකෝටි තිස් හය ලක්ෂයක්

 

ජාතික ලොතරැයි මණ්ඩලය මෙරට ලොතරැයි වෙළෙදපොළ වෙත පළමුවෙන්ම ලොතරැයි පත් හදුන්වා දුන් ආයතනයයි. 1954 වසරේදී එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ඩී.ඒ. නුගවෙල මහතා විසින් මෙරට සෞඛ්‍යය සේවාවේ අඩුපාඩු සපුරා ගනිමින් වඩාත් පුළුල් ජනතා සේවයක්‌ ලබාදීමට අවශ්‍ය අරමුදල් රැස් කර ගැනීම සඳහා ලොතරැයියක්‌ ඇරැඹිය යුතුය යන සංකල්පය ඉදිරිපත් කරන ලද අතර එම සංකල්පය යථාර්තයක් බවට පත් කරමින් 1955 අංක 4 දරණ ආරෝග්‍යශාලා ලොතරැයි පනත යටතේ මෙරට පළමු ලොතරැයිය “ආරෝග්‍යශාලා” යන නමින් වෙළෙදපොළ වෙත හඳුන්වා දීම සිදු කෙරුණි.

‘අහිංසක රෝගී ජීවිතයක්‌ බේරා ගනිමු’ යන තේමාවෙන් මෙම “ආරෝග්‍යශාලා” ලොතරැයිය මෙරට ලොතරැයි මිලදී ගන්නා පාරිභෝගික ජනතාව වෙත හඳුන්වා දුන් අතර එදා එම එක් ලොතරැයියක මිල දැක්වුණේ ශත 50ක් ලෙසයි. ආරෝග්‍යශාලා ලොතරැයියේ ප්‍රථම දිනුම් ඇදීම 1955 සැප්තැම්බර් 15 වැනිදා කොළඹ නගර සභා පිටියේදී දිණුම් අදින ලදී. ප්‍රථම ජයග්‍රාහකයා වූයේ කෑගල්ල,ගලිගමුව බී.කේ නයිදෙ මහතාය. ජය මුදල වූයේ රුපියල් අනූ හත්දහස් තුන්සිය හතලිස් තුනකි. වැඩි කාලයක් යාමට පෙර මෙම ලොතරැයිය මෙරට ජනතාව අතර අතිශය ජනප්‍රිය වූ අතර එකල රට පුරා පැවැති මැලේරියා, වසූරිය වැනි රෝගයන් නිසා පීඩා විදි ඈත එපිට දුෂ්කර ප්‍රදේශයන් හී අහිංසක, දුප්පත් රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය සේවා හා වෛද්‍ය පහසුකම් සැපයීමට අවශ්‍යය අරමුදල් “ආරෝග්‍යශාලා” ලොතරැයිය හරහා ලබා දෙන ලදී.

‘ආරෝග්‍යශාලා’ ලොතරැයිය කෙටි කලක් තුළ ජනප්‍රියත්වයට පත්වීමත් සමග මෙරට ලොතරැයි වෙළෙඳපොළ පුළුල් කළ යුතුය යන අදහස රජය වෙත ඉදිරිපත් වූ අතර ඒ අනුව 1963 අංක 11 මුදල් පනත යටතේ ජාතික ලොතරැයි මණ්ඩලය පිහිටුවන ලදී. මෙරට පළමු වැනි සිංහල ජාතික පොලිස්පතිවරයා ලෙස පත්වීමටද වාසනාව ලද ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ මහතා ජාතික ලොතරැයි මණ්ඩලයේ පළවෙනි සභාපතිවරයා ලෙස පත් වීමද විශේෂයෙන් සදහන් කළ යුතුම කාරණාවක් වේ.

ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉතිහාස කතාව ඉතා රසවත් ලෙස ගලා යන සුවිශේෂී වෘතාන්තයක් ලෙසද හැඳින්විය හැකිය. මෙම වෘතාන්තය තුළ සදහන් කළ යුතු විශේෂිතම සිද්ධියක් වන්නේ මහජන සම්පත ‘සම්පත් රේඛා’ දිණුම් ඇදීම සිදු කළ රූපවාහිනී වැඩසටහනයි. මෙරට ජනප්‍රියතම රූපවාහිනී නිවේදකයකු වූ ප්‍රේමකීර්තිද අල්විස් මහතා හා රේණුකා බාලසූරිය මහත්මිය විසින් මෙහෙයවන ලද මෙම සුවිශේෂී රූපවාහිනී වැඩසටහන 1988 අගෝස්තු 4 වැනි දින පළමු වරට විකාශය වූ අතර එය එම අවදියේදී මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයින් මහත් උද්යෝහයකින් යුතුව වැළදගත් රූපවාහිනී වැඩසටහනක් ලෙසද ජනාදරයට පත් විය. මෙම සම්පත් රේඛා වැඩසටහන ලොතරැයි දිනුම් ඇදීමක් රූපවාහිනිය ඔස්සේ විකාශය කළ මෙරට පළමු රූපවාහිනී වැඩසටහන ලෙස ද ඉතිහාසයට එක් වී තිබේ.

පියවරෙන් පියවර දිගු ගමනක් පෙරට පැමිණි ජාතික ලොතරැයි මණ්‌ඩලය මේ වන විට මෙරට ලොතරැයි වෙළෙදපොළ තුළ කිසිදු හිඩැසක් ඇති වීමට ඉඩ නොතබා දහස්පතියන්, ලක්ෂපතියන්, දස ලක්ෂපතියන් හා කෝටිපතියන් රැසක් බිහි කරන දිනුම් අදින හා ක්ෂණික ලොතරැයිපත් වර්ග ගණනාවකින් යුතුව වෙළෙදපොළ වෙත නිකුත් කිරීමට සමත් වී තිබේ. ඒ අනුව මහජන සම්පත,ගොවිසෙත, වාසනා සම්පත, සුපිරි වාසනා, ජාතික සම්පත, නීරෝගා, දරු දිරි සම්පත, මෙගා ප්‍රවර්ධන නිධානය හා සෙවණ යන දිනුම් අදින ලොතරැයි ටිකට්පත්ද, සෙවණ හා සමෘද්ධි යනුවෙන් ක්ෂණික ලොතරැයි දෙකක්‌ ද ජාතික ලොතරැයි මණ්‌ඩලය විසින් ලොතරැයි වෙළෙදපොළ වෙත හඳුන්වා දී ඇත. රුපියල් 20 ක්‌ වැනි මුදලකට අලෙවි කෙරෙන ලොතරැයිපත් මගින් දිනපතාම කෝටි ගණනකින් වටිනාකමකින් යුත් මුදල් තෑගි පිරිනැමීමට කටයුතු යොදා තිබීමද විශේෂත්වයකි.

මෙහිදී මේ වන විට ජාතික ලොතරැයි මණ්ඩලය මගින් දිනපතා දිනුම් අදින ප්‍රධාන ලොතරැයි ටිකට්පත් හතර මගින් එක් දිනකට රුපියල් විස්ස සිට රුපියල් කෝටිය දක්වා ත්‍යාග දිනා ගන්නා ජයග්‍රාහකයන් ලක්ෂ පහකට වැඩි පිරිසක් එම දිනපතා දිණුම් ඇදීම් වලින් බිහි වන අතර එහිදී දළ වශයෙන් රුපියල් දෙකෝටි තිස් හය ලක්ෂයකට වැඩි මුදල් ප්‍රමාණයක් එකී ජයග්‍රාහකයන් අතර බෙදා දීමටද ජාතික ලොතරැයි මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ.

ලොතරැයි දිනුම් ඇදීම් සිදු කරමින් ජයග්‍රාහකයන් බිහි කිරීමට අමතරව ජාතික ලොතරැයි මණ්ඩලය මගින් ඉටු වන ඊළග වැදගත්ම කටයුත්ත නම් රජයේ ඒකාබද්ධ අරමුදල සඳහා අවශ්‍ය මුදල් බැර කිරීමයි. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ජාතික වකුගඩු අරමුදල, ක්‍රීඩා අමාත්‍යාංශය, සමාජ සේවා අමාත්‍යාංශය හා ළමා භාරකාර අරමුදල සමඟද අත්වැල් බැද ගනිමින් එම එක් එක් අමාත්‍යාංශ හා ආයතනය ඉලක්කගත කණ්ඩායම් සඳහා පුළුල් සේවාවක් ලබා දීමට වන අරමුදල් රැස් කිරීමේ අරමුණින් ලොතරැයි දිනුම් ඇදීම් ගණනාවක් සිදු කිරීමටද ජාතික ලොතරැයි මණ්ඩලය කටයුතු යොදා තිබේ.

ජාතික ලොතරැයි මණ්ඩලය සෑම අවස්ථාවකදීම ජනතාවගේ විශ්වාසය තහවුරු කර ගැනීමට කටයුතු කර ඇති අතර ලොතරැයි දිනුම් ඇදීම් සිදු කිරීමේදීද විද්වත් අධීක්ෂණ මණ්ඩලයකගේ පූර්ණ අධීක්ෂණය යටතේ එම ලොතරැයි දිනුම් ඇදීම් සිදු කිරීමට කටයුතු කර ඇත. එහිදී මෙම දිනුම් ඇදීම් විකාශය කෙරෙන ජාතික රූපවාහිනිය තුළ ඒ සදහා වෙනම මැදිරියක්ද ස්ථාපිත කර ඇති අතර සහකාර පොලිස් අධිකාරීවරයෙකු හෝ එම ධූරයට ඉහළ නිලයක් දරන පොලිස් නිලධාරියෙකු, රජයේ විගණකාධිපතිවරයා සමග ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය කරමින් අධ්‍යක්ෂවරයකු හෝ ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරවරයා එම අධීක්ෂණ මණ්ඩලය නියෝජනය කරමින් සෑම දිනුම් වාරයක්ම විධිමත් ලෙස අධීක්ෂණය සඳහා සහභාගී වේ.

මේ වන විට ජාතික ලොතරැයි මණ්ඩලයේ දිස්ත්‍රික් අලෙවි නියෝජිතවරු 100 ක පමණ පිරිසක් දිවයින පුරා ලොතරැයි බෙදාහැරීමේ කටයුතු වල නිරත වී සිටින අතර ඔවුන් සමග අලෙවි නියෝජිතයින් 3500 කට ආසන්න පිරිසක්ද ලොතරැයි අලෙවියේ නිරත වී සිටිති. එම අලෙවි නියෝජිත ජාලය හා සක්‍රීය ලෙස අත්වැල් බැද ගත් අලෙවි සහයකයන් 15,000 ක පමණ පිරිසක්ද සිටින අතර මේ සියලු පවුල් වල ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ආර්ථික මට්ටම යහපත් කිරීම සඳහා ද ජාතික ලොතරැයි මණ්ඩලය ඉතා ප්‍රශංසනීය කාර්ය භාරයක් ඉටු කරන බවද එම මණ්ඩලයට දක්වන ගෞරවයක් වශයෙන් මෙහිදී සඳහන් කළ යුතුමය.

මේ අතර අවස්ථා ගණනාවකදීම ජාතික ලොතරැයි මණ්ඩලය සම්මාන රැසකින්ද පිදුම් ලැබූ අතර එම සෑම අවස්ථාවකදීම තව තවත් පන්නරය ලබමින් ලොතරැයි අලෙවි වෙළෙදපොළ තුළ තමන් සතු කර ගත් විජයග්‍රාහී නාමය සෑම අවස්ථාවකදීම තව,තවත් ඔප් මට්ටම් කර ගැනීමටද ඔවුන්ට හැකි වී තිබේ. ඒ අතර “මහජන සම්පත” හොඳම වෙළෙඳ නාමය ලෙස සම්මාන හිමි කර ගැනීමද (ICON සම්මානයෙන් පිදුම් ලැබීම) දැක්විය හැකි වේ.

දශක හයකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලාංකික ජනතාවගේ විශ්වාසය දිනා ගත් ‘ලොතරැයියේ ප්‍රමුඛයා’ ජාතික ලොතරැයි මණ්ඩලය ලොතරැයි ජයග්‍රාහකයන් බිහිකිරීමට හා රජයේ සංවර්ධන ක්‍රියාවලියට දායක වනවාට අමතරව රටේ සංස්‌කෘතික, සමාජ හා ක්‍රීඩා කටයුතු සඳහා විශාල දායකත්වයක්‌ ලබා දුන් රාජ්‍ය ආයතනයක් ලෙසද ජනතාවගේ ප්‍රසාදයට හා බුහුමනටද පාත්‍ර වී තිබේ. කොරෝනා වසංගතය හමුවේද රජයට සහය වෙමින් රුපියල් මිලියන 25ක මුදලක් කොවිඩ් 19 අරමුදලට ලබා දීමට එම මණ්ඩලය කටයුතු කළ අතර රෝගයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රට වසා දැමීම නිසා ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටි සිය අලෙවි නියෝජිත මහත්ම,මහත්මීන් සදහා රුපියල් දෙදහස් පන්සියයක මුදලක් බැගින් ලබා දීමටද,ඒ සදහා පමණක් රුපියල් මිලියන 43 කට අධික මුදලක් වෙන් කිරීමටද පියවර ගන්නා ලදී. මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එකතුව ශබ්ද විකාශන යන්ත්‍රය මගින් ජනතාව දැනුවත් කිරීමටද කටයුතු කළ අතර ඇදිරි නීතිය නිසා නිවාස වලම කාලය ගත කරන්නට සිදු වූ ජනතාවගේ මානසික සෞඛ්‍ය යහපත් කිරීම සඳහා ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය සමඟ එකතුව විශේෂ වැඩසටහන් සංවිධානය කර විකාශය කිරීම සඳහා අනුග්‍රහයද දක්වන ලදී. ඊටත් අමතරව හෝමාගම රෝහලේ හා කාසල් කාන්තා රෝහලෙත්, ගම්පහ රෝහලෙත්, තංගල්ල මූලික රෝහලෙත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ද ජාතික ලොතරැයි මණ්ඩලය මඟින් ලබා දීමට කටයුතු කෙරුණි.

ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය ව්‍යාප්ත වීම ආරම්භයේදී ඇඳිරි නීතිය පනවමින් රට වසා දැමීමට පෙර 2020 ජනවාරි,පෙබරවාරි හා මාර්තු මාසවල දිනුම් අදින ලද ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ටිකට් පත් මගින් ප්‍රථම හා සුපිරි ත්‍යාග හිමි කර ගත් ජයග්‍රාහකයන් 200 ක් පමණ පිරිසක් තම ත්‍යාග මුදල් ලබා ගැනීම සදහා ජාතික ලොතරැයි මණ්ඩලය වෙත සිය ජයග්‍රාහී ලොතරැයි ටිකට්පත් ඉදිරිපත් කර තිබුණි. ජාතික ලොතරැයි මණ්ඩලයේ වර්තමාන සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා විසින් එම ජයග්‍රාහකයන් සදහා ඔවුන්ගේ නිවාස වලටම ගොස් අදාළ ත්‍යාග මුදල් ලබා දීම සඳහා උපදෙස් ලබා දුන් අතර ඒ අනුව මේ වන විට එකී ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග මුදල් ලබා දීමටද ජාතික ලොතරැයි මණ්ඩලය සමත්ව තිබේ. මේ කටයුතු දැනට ද ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිතුමා, ක්‍රියාකාරී අධ්‍යක්ෂතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය හා සාමාන්‍යාධිකාරිතුමාගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වේ.

කොවිඩ් 19 නව කොරෝනා වයිරසය පාලනය කිරීම සදහා රජය ගත් වෑයම සාර්ථක වීමත් සමඟ මේ වන විට ලොතරැයි අලෙවියද ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට පැමිණෙමින් තිබේ. පවතින වාතාවරණය හමුවේ ඉතාම ආරක්ෂිත ලෙස ජාතික ලොතරැයි මණ්ඩලය මගින් වෙළෙදපොළට නිකුත් කරන සියලු ලොතරැයි ටිකට්පත් මුද්‍රණය, බෙදාහැරීම හා අලෙවිය සිදු කිරීමට අවශ්‍යය සියලු පියවර ගෙන ඇති අතර සෞඛ්‍ය නීති, රීති අනුගමනය කරමින් ලොතරැයි අලෙවිය සිදු කරන ආකාරය පිළිබඳව විටින් විට සිය අලෙවි නියෝජිත ජාලය දැනුවත් කිරීමේ විවිධ වැඩසටහන් දියත් කිරීමටද එම මණ්ඩලය මේ වන විටත් අවශ්‍ය සියලු කටයුතු හා විධි විධාන යොදා තිබීමද අගය කළ යුතු කරුණකි.

දිනෙන් දින නව්‍යකරණය වන තාක්ෂණය හා මුහු වෙමින් සිය ලොතරැයි වෙළෙදපොළ පුළුල් කිරීමටද ජාතික ලොතරැයි මණ්ඩලය කටයුතු යොදා ඇති අතර www.lucky1.lk හා www.811.lk වෙබ් අඩවි වලට පිවිසීමෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ලොතරැයිපත් ටිකට්පත් මිලදී ගැනීමට ජනතාව වෙත අවස්ථාව ලබා දීම එහිදී සදහන් කළ යුතු විශේෂම කාරණාවක් වේ. ඊට අමතරව 811 හා 989 යන දුරකථන අංක වලට ඇමතීමෙන් හා එස්.එම්.එස්.පණිවිඩ යොමු කිරීමෙන්ද එම ලොතරැයි මිලදී ගැනීමට ජනතාව වෙත පහසුකම් සලසා ඇත.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිධූරයේ මේ වන විට කටයුතු කරන්නේ නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතායි. කැළුම් ප්‍රියංකර ලියනගේ, කමල් හුසේන්, ඩී.ඩී ජයසිරි හා එච්.සී.ඩී.එල් සිල්වා යන මහත්වරු එහි සෙසු අධ්‍යක්ෂවරු ලෙස මේ වන විට කටයුතු කරති. එසේම සාමාන්‍යාධිකාරීවරයා ලෙස දර්ශන විජේසිරිවර්ධන මහතාත්, අතිරේක සාමාන්‍යාධිකාරීවරයා ලෙස සංජීව එදිරිසිංහ මහතාත් කටයුතු කරන අතර 405 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක්ද ජාතික ලොතරැයි මණ්ඩලයේ දියුණුව වෙනුවෙන් කැප වී සිටිති.

***************************

ජාතික ලොතරැයි මණ්ඩලයේ කාර්යභාරය අසමසමයි

නීතිඥ ලලිත් පියුම් පෙරේරා,

සභාපති - ජාතික ලොතරැයි මණ්ඩලය

ජාතික ලොතරැයි මණ්ඩලය පුරා දශක හයක කාලයක් අප මාතෘ භූමිය වෙනුවෙන් සිය වගකීම් හා යුතුකම් නොමසුරුව ඉටු කළ ඉතාම සුවිශේෂී රාජ්‍ය ආයතනයක් ලෙස හැඳින්විය හැකියි. ලොතරැයි මිලදී ගන්නා ජනතාව ජයග්‍රාහකයන් බවට පත් කරනවා මෙන්ම රටේ සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය වෙත සැපයීමත් අප අඛණ්ඩවම සිදු කළා.

විශේෂයෙන්ම සෞඛ්‍ය, කෘෂිකර්මය, ක්‍රීඩා, නිවාස යන ක්ෂේත්‍ර වලට අදාළව එම ක්ෂේත්‍ර සදහා අරමුදල් රැස් කරන ලොතරැයි ගණනාවක්ම මේ වන විට අප ලොතරැයි මණ්ඩලය මගින් පවත්වා ගෙන යනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මිලදී ගන්නා ජනතාව පුංචි රුපියල් විස්සක් වැය කරමින් තමන්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට උත්සාහ කරනවා මෙන්ම රටේ සංවර්ධනයටද දායක වන විශිෂ්ට පාරිභෝගිකයන් පිරිසක් ලෙසද අපට හඳුන්වා දීමට පුළුවන්.

සැබවින්ම ජාතික ලොතරැයි මණ්ඩලයේ කාර්යභාරය ඉතා පුළුල් මෙහෙයුමක්. අපි හැමදාම ලොතරැයි හතරක් දිනුම් ඇදීම සිදු කරනවා. සැබවින්ම ඒ කාර්ය ලේසි පහසු කටයුත්තක් නෙවෙයි.

මේ යාන්ත්‍රණය විධිමත්ව ක්‍රියාත්මක වෙන්න ඕනේ. දීප ව්‍යාප්ත අලෙවි නියෝජිත ජාලයත් එක්ක දෛනිකව ඒ මෙහෙයුම වෙනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලය විධිහට අප ලොකු වෙහෙසක්, මහන්සියක් ගන්නා බවද කිව යුතුයි. එහි සාර්ථකත්වය තමයි සෑම විටම අපගේ ආයතනය ඉහළට ඔසවා තබා ඇත්තේ.

කොවිඩ් 19 නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය තුළ පසුගිය මාස කීපයක් පුරා අපට ලොතරැයි අලෙවි කිරීමට සිදු වුණේ නැහැ. එහෙත් අප අපට හැකි විධිහට එම වයිරසයේ බලපෑම නිසා පීඩාවට පත් වූ පාර්ශ්වයන් වෙත සහන ලබා දීමට වගකීමකින් යුතුව මැදිහත් වූ බවත් සඳහන් කළ යුතුයි. අතිගරු ජනාධිපතිතුමා හා අගමැතිතුමාගේ උපදෙස් පරිදි කොවිඩ් මර්දනය වෙනුවෙන් ආරම්භ කරන ලද විශේෂ අරමුදලටද අපි රුපියල් මිලියන 25ක මුදලක් පරිත්‍යාග කළා, එමෙන්ම ආර්ථික වශයෙන් යම් පීඩාවකට පත්ව සිටි දිවයින පුරා සිටින අපගේ සමස්ත අලෙවි නියෝජිත ජාලය වෙතද වහාම සහන සැළසීම සදහා අප රුපියල් මිලියන 43ක් වෙන් කර තිබෙනවා.

එපමණක් නෙවෙයි 2020 වසරේ ජනවාරි,පෙබරවාරි හා මාර්තු මාස වලදී ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ටිකට්පත් මිලදී ගෙන ඉන් ප්‍රථම හා සුපිරි ත්‍යාග ලබා එම ජයග්‍රහණ ලබා ගැනීමේ අරමුණින් එම ටිකට් පත් ජාතික ලොතරැයි මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණු ජයග්‍රාහකයින්ගේ එම ත්‍යාග මුදල් ඔවුන්ගේ නිවාස වලටම ගොස් භාර දීමේ වැඩසටහනක්ද පසුගිය දිනවල ක්‍රියාත්මක කළා. එම වැඩපිළිවල තවමත් අප ක්‍රියාත්මක කරනවා.

මා ජාතික ලොතරැයි මණ්ඩලයේ තිස්තුන් වන සභාපති වරයා ලෙස වැඩ බාර ගත්තේ ජාතික ලොතරැයි මණ්ඩලයේ වටිනාකම, ඉන් ජනතාවට ලබා දිය හැකි සේවය පිළිබඳ අවබෝධයක්ද ලබා ගෙනයි. ඉදිරියේදී නවතම තාක්ෂණයක් සමඟ ජාතික ලොතරැයි මණ්ඩලය “ලොතරැයියේ ප්‍රමුඛයා” ලෙස තව තවත් ඉහළට ඔසවා තැබීමට බලාපොරොත්තු වෙනවා.

ඒ සදහා අනෙකුත් අධ්‍යක්ෂවරු, සාමාන්‍යාධිකාරීතුමා ප්‍රමුඛ අපගේ සමස්ථ කාර්ය මණ්ඩලය වගේම දිවයින පුරා ලොතරැයි අලෙවියේ යෙදී සිටින අලෙවි නියෝජිත ජාලය මෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයෙන් දිනපතාම එහි ලොතරැයි මිලදී ගන්නා ජනතාවත් ඉහළින්ම සහයෝගය ලබා දෙන බවට මට විශ්වාසයි.

Comments