‘රාජපක්ෂවරු හැමදාම බලයට වඩා රට ගැන හිතුවා’ | සිළුමිණ

‘රාජපක්ෂවරු හැමදාම බලයට වඩා රට ගැන හිතුවා’

හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

* එජාපය බෙදිලා මහ මැතිවරණය ජයගන්න හදනවා. බෙදුණු ශ්‍රීලනිපය පොහොට්ටුවට එකතු වෙලා ඡන්දය කරනවා. තරුණ මන්ත්‍රීවරයෙක් විදියට මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?

ඇත්තටම මෙවර මැතිවරණයට පොහොට්ටුව තනියම තරඟ කළත් ඉතා විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරන්න පුළුවන්. නමුත් ශ්‍රීලනිපය අපි දේශපාලනය පටන් ගත්තු තැන. ඒ නිසා කාට වුවමනාව තිබුණත් ශ්‍රීලනිපය විනාශ කරල දාන්න රාජපක්ෂවරු ඒකට කැමති නෑ. මහින්ද රාජපක්ෂ මහතා 2015දී ජනාධිපතිවරණය පරාජයට වුවාට පසු එතුමට පළ නොකියා පලා බෙදපු ශ්‍රීලනිපය අද පොහොට්ටුවට එකතු වෙලා එකට එක ගමනක් යන්න තීරණය කිරිම ගැන අපි සතුටු වෙනවා. හැබැයි මේ රටේ ශ්‍රීලනිප පාක්ෂිකයන් තමයි මුලින්ම පොහොට්ටුව වැළඳ ගත්තේ. ශ්‍රීලනිප පාක්ෂිකයන්ට රාජපක්ෂවරු අතහරින්න බෑ; ඒකයි ඇත්ත.

*පල නොකියා පලා බෙදපු අයත් එක්ක එකතුව මැතිවරණයට මුහුණ දෙන්නෙ තනිව ජය ගන්න බැරි නිසාද?

අපිට කවුරු හිටියත් නැතත් තනියම ජය ගන්න පුළුවන් කියල 2018 පැවැති පළාත් පාලන මැතිවරණයේදී අපි පෙන්වලා තියෙනවා. මේ එකතුවීම තුළ පෙන්නුම් කරන්නෙ බෙදිල බලයට තරඟ කරනවාට වඩා එකතුව රට ගොඩ ගන්න ඕන කියන එකයි. රාජපක්ෂවරු හැමදාම බලයට වඩා රට ගැන හිතලයි කටයුතු කරල තියෙන්නෙ. අනෙක අපි දේශපාලන පළිගැනීම් කරන්නෙ නෑ කියන එකටත් හොඳ උදාහරණයක් මේ එකතුව. 2015 දී මහින්ද රාජපක්ෂ මහතාට විවිධ චෝදනා එල්ල කරමින් කටයුතු කළ අය අද එතුමා ළඟට ඇවිල්ල තමන් එදා කරපු කියපු දේවල් ගැන හිත හිතා මානසිකව විඳවනවා වෙන්නත් පුළුවන්.

* එජාපයේ බෙදීම මහ මැතිවරණයේදී පොහොට්ටුවේ ජයග්‍රහණයට මොන විදියට බලපායි කියලද ඔබ හිතන්නෙ?

එජාපයේ බෙදීම අපිට මැතිවරණ ජයග්‍රහණය සඳහා වාසි හෝ අවාසියක් ලෙස බලපාන්නෙ නෑ. මොකද එජාපය, ශ්‍රීලනිපය, ජවිපෙ මේ හැමෝම අපිට විරුද්ධව කටයුතු කරපු වෙලාවක තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කුළුදුල් පක්ෂයක් විදියට පළාත්පාලන මැතිවරණය ජය ගත්තේ. එදා බිළිඳකු වූ අපේ පක්ෂය අද නවයොවුන් තරුණයෙක්. ඒ නිසා අද එදාටත් වඩා ජනතා ආකර්ෂණය අපිට තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහණය නිසා දැන් ඒ ආකර්ශනය දෙගුණ තෙගුණ වෙලා.එජායයේ බෙදීම ඒ අය ගේ ජය පරාජයට බලපානවා මිස අපිට ඒකෙන් විශේෂ බලපෑමක් ඇති වෙන්නෙ නැ.

* දේශපාලනඥයන් පක්ෂ මාරු කරමින් මැතිවරණ ජය ගන්න දරණ උත්සහය තරුණ දේශපාලකයෙක් විදියට ඔබ දකින්නෙ කොහොමද?

ඔය කාරණයේ දෙපැත්තක් තියෙනවා. සමහර දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති රටට හෝ එරටෙ ජනතාවට ගැළපෙන්නෙ නැත්නම් රටට ආදරේ කරන දේශපාලනඥයන්ට එවැනි පක්ෂයක ඉන්න බෑ. සමහර දේශපාලනඥයන් බලය සඳහා වාසි පැත්තට පනින ගතියකුත් තියෙනවා. ඒ තමන්ගේ වාසියට. එජාපයෙන් සමඟි ජන බලවේගයට ගොස් සිටින ලක්ෂ්මන් කිරිඇල්ල ශ්‍රීලනිපයේ උප සභාපතිවරයෙක් විදියටත් කටයුතු කරල තියෙනවා. ඒ අය වාසියට පක්ෂ මාරු කරනවා වෙන්න පුළුවන්. හැබැයි ජනතාව ඔවුන් සමඟ පැන පැන යන්නෙ නැතුව ඔවුන් රට පැත්තේ හිට ගන්නවා. මේ වන විට එජාපයේ බොහෝ පාක්ෂිකයන් පොහොට්ටුව වටා එකතු වන්නේ කිරි ඇල්ලලා වැනි අය ගේ අවස්ථාවාදී දේශපාලනය නිසයි. අද ජනතාවට තියෙන්නෙ පක්ෂ දෙකයි. ඒ තමයි රටට ආදරේ පක්ෂය හා රටට ආදරේ නැති පක්ෂය කියන දෙක.

* විරුද්ධ පක්ෂවල මතය වී තිබෙන්නෙ මැතිවරණය දැන්ම පවත්වන්න එපා කියලයි. ඔබලා කොරෝනා වසංගතය අස්සෙ මැතිවරණය පවත්වන්න ඕන කියනවා. ඒක හරිද?

කොරෝනා වසංගතය අස්සෙ අපි මැතිවරණය පවත්වන්න ඕන කියල කව්රුවත් කොහෙදිවත් කියල නෑ. මේ රජය දැන් කොරෝනා වසංගතය පාලනය කරලා. රට තුළ මැතිවරණය පවත්වන්න පුළුවන් කියල සෞඛ්‍යය බලධාරීන් පෙන්වා දී තිබෙනවා. එහෙම තියෙද්දී විපක්ෂය මැතිවරණය එපා කියන්නෙ ඇයි කියල රටම දන්නවා. නමුත් මේ රටේ බහුතර ජනතාව සාධාරණ මැතිවරණයක් අපේක්ෂාවෙන් ඉන්නෙ. රටේ ජනතාව ඉකුත් නොවැම්බර් මාසේ මෙරටට අලුත් ජනාධිපතිවරයෙක් පත් කර ගත්තා. ඔහු මෙරටේ ජනතාවත්, රටත් සංවර්ධනය සඳහා අලුත් වැඩ පිළිවෙලක් සකස් කරල ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න ඇතැම් අණපනත් වෙනස් කර ගන්න ඕන. ඒක කරන්න අලුත් පාර්⁣ලිමේන්තුවක් අවශ්‍යයයි. ඒ නිසයි අපි කියන්නෙ හැකි පළමු අවස්ථාවෙම මැතිවරණය පැවැත්විය යුතුයි කියලා.

* කම්කරු කොංග්‍රස් නායක තොණ්ඩමන් මහතා ගේ අභාවය මධ්‍යම පළාතේ මැතිවරණයට මොන විදියේ බලපෑමක් ඇති කරයිද?

කඳුරට දෙමළ ජනතාවගේ නායකයා ලෙස කටයුතු කළ තොණ්ඩමන් මහතා ගේ අභාවය කඳුරට දෙමළ ජනතාවට විශාල පාඩුවක්; අපිටත් දේශපාලනිකව ඔහුගේ අභාවය ලොකු අඩුවක්. එතුමගෙ අඩුව සම්පූර්ණ කරන්න වෙන කාට බැරි වුණත් එතුමා අපේක්ෂා කළ දෙය ඉටු කරන්න එතුමගෙන් පසුව ඒ පක්ෂය බාර ගන්න අයට පුළුවන්. අපි විශ්වාස කරනවා තොණ්ඩමන් මහතා ගේ අනුගාමිකයින් සියලු දෙනාම එක්ව මේ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා මෙරටේ අගමැති ලෙස පත් කරගෙන එතුමා මගින් කඳුරට ජනතා අපේක්ෂා ඉටු කර දෙන්න ක්‍රියා කරයි කියලා.

* තොණ්ඩමන් ඇමතිවරයා මිය ගියාම රජය කොරෝනා නීති රීති උල්ලංඝණය කළ බවට විපක්ෂය චෝදනා කරනවා. මේ ගැන මොනවද කියන්නෙ?

ඔව්, ඔබ ඔය කියන ආකාරයට කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින්ම පනවා තිබු නීති රීති යම් ප්‍රමාණයකට තොණ්ඩමන් ඇමතිවරයා ගේ මළගම නිසා උල්ලංඝණය වුණා වෙන්න පුළුවන්. මේ වැනි සිද්ධියකදී අපි බලන්න ඕනෙ කරුණු කිපයක් තියෙනවා. තොණ්ඩමන් මහතා එක් ජන කොට්ඨාශයක නායකයෙක්. ඔහු ගේ අනුගාමිකයෝ විශාල පිරිසක් රටපුරා ඉන්නවා. ඔහු ගේ අභාවය ඒ ජනතාවට දරා ගන්න අමාරුයි. නීති දැඩි කරල ඔවුන් ගේ දුක පාලනය කරන්න ගියොත් ඒක ආවේගයක් වෙලා විශාල කලබලයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ක්‍රමයෙන් ඒ තත්ත්වය පාලනය කරන්න ඕන. ආණ්ඩුවෙ ඇමතිවරයකු ගේ මළගම ඇඳිරි නීතිය දමා ගෙන ආදාහනය කරන්න සිද්ධ වුණු එක ගැන කවුරුත් කතා කරන්නෙ නෑ.

* කොරෝනා වසංගතය අස්සේ හාල් මාෆියාවක් ගැනත් අහන්න ලැබෙනවා. ඇත්තටම මේ වැනි තත්ත්ව පාලනය කරන්න ආණ්ඩුව අසමත්ද?

ඔව් අපේ රටේ හාල් මාෆියාවක් ගැන පසු ගිය කාලයේ විවිධාකාර කරුණු වාර්තා වුණා. කොරෝනා වසංගතය නිසා සාමාන්‍ය ජනතාව මෙන්ම මෙ රටේ ව්‍යාපාරිකයන් ඇතුළු සියලු නිෂ්පාදකයනුත් අසිරු තත්ත්වයට පත් වුණා කියන කාරණාව ඇත්තක්. නමුත් ඒ ඇත්ත කාරණයට මුවා වෙලා ඇතැම් පිරිස් ජනතාව අපහසුතාවට පත් කරන්න කටයුතු කරනවා නම් රජය ඒකට ඉඩ දෙන්නෙ නෑ. ඒ නිසා තමයි සඟවා ගෙන සිටින වී තොග ගැන සොයා බලා හාල් සඳහා පාලන මිලක් ප්‍රකාශයට පත් කරල තිබෙන්නෙ. දැන් ඒ අයට වී හෝ හාල් සඟවලා වැඩක් නෑ. මොකද නියම කළ මිලට වඩා වැඩි මිලකට හාල් විකුණන්න නැවත ඉඩක් ලැබෙන්නෙ නැති නිසා. මේ තත්ත්වය තුළත් ජනතාව අපහසුතාවට පත් කරන්න කවුරු හෝ කටයුතු කරනවා නම් ඒකටත් රජයට විසඳුම් දෙන්න පුළුවන් කියලා කාටත් අවබෝධයක් තියෙන්න ඕන.

*ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ ප්‍රථම කුඩා අමාත්‍ය මණ්ඩලයේ ඔබටත් තනතුරක් ලැබුණා.ඒ ගැන මොනවද හිතෙන්නෙ?

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අපිට තනතුරු දීලා අපිව සතුටු කරන්න උත්සහ කළේ නෑ. අපිට තනතුරක් එක්ක වගකීම් පවරලා ජනතාව වෙනුවෙන් ඒ වගකීම් කලට වෙලාවට අපි ලවා ඉටු කරවා ගන්නයි එතුමා උත්සාහ කළේ. එතුමා ඉතා ඉක්මණින් කටයුතු කරනවාට කැමතියි. සමහර බරපතළ කාරණා සතියෙන් දෙකෙන් විසඳා දෙන්නැයි අපෙන් ඉල්ලීම් කළා. ඒවා ඇත්තටම අභියෝග. නමුත් අපි කැපවීමෙන් ඒ හැම දෙයක්ම කළා. එතුමා වංචාවට දූෂණයට ඉතා අකමැතියි. එවැනි තත්ත්වයන් හා පුද්ගලයන් වහාම වෙනස් කරන්න පියවර ගන්නා නායකයෙක්. සමහර ආයතන සම්බන්ධයෙන් ජනතාව කළ පැමිණිලි කඩිනමින් විමර්ශනය කරලා විසදුම් ලබා දීමට එතුමාම මැදිහත් වුණා ඔබට මතක ඇති.

*ඔබ කියනවා ජනාධිපති වංචාව දුෂණයට සම්බන්ධ ආයතන හා පුද්ගලයන් වහාම වෙනස් කරන්න පියවර ගන්නවා කියලා. ඔබ කියන්න උත්සාහ කරන්නෙ ඔබේ කණ්ඩායම තුළ වංචාව දුෂණයට සම්බන්ධ අය නෑ කියලද?

නෑ, මම එහෙම කියන්නෙ නෑ. එවැනි චෝදනා තිබෙන අය ඉන්නවා. චෝදනා නම් හැමෝටම එල්ල වෙනවා. නමුත් එවැනි වරදක් කළා කියල තවම කවුරුත් වරදකරුවෙක් වෙලා නෑනේ. එකිනෙකාට එල්ලව ඇති චෝදනා ගැන විමර්ශනය කරලා කවුරු හෝ වරදකරුවෙක් වුණොත් ඒ අයට දඬුවම් ලැබෙන්න ඕන. එදාට ඒ අයට අපේ කණ්ඩායම තුළ කටයුතු කරන්න ලැබෙන එකක් නෑ. චෝදනා එල්ල වී ඇති කිසිවකුත් ආරක්ෂා කරන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු නොකරන බව නම් ඉතාම පැහැදිලියි.

*පාර්ලිමේන්තුව බුද්ධිමතුන් හා උගතුන්ගෙන් පමණක් සමන්විත විය යුතු බවට නැගෙන සමාජ හඬ පිළිබඳව ඔබ මොනවද හිතන්නෙ?

ඒ හඬ මේ දක්වා ප්‍රමාද වූයේ ඇයි කියලයි මම කල්පනා කරන්නෙ. රටට වැදගත් අණපනත් සම්මත කරන ස්ථානය ලෙස පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ බුද්ධිමත් උගතුන් බව පිළිගත යුතු කරුණක්. නමුත් උගත්කම පමණක්ම ප්‍රමාණවත් නෑ. මොකද මහ පොළවේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන් අය වෙන්නත් ඕනේ. රනිල් වික්‍රමසිංහ එජාප නායකයා උගතෙක් වගේම බුද්ධිමත් අයෙක් නොවෙයි කියල කියන්න බෑනේ. නමුත් ඔහු ප්‍රායෝගික නෑ. ඒ නිසා තමයි අද එජාපය ගාල ගෝටිටියක් වෙලා තියෙන්නෙ. මේවා ගැනත් ජනතාව හිතන්න ඕන.

Comments