‘එජාපය දැන් පිරිසිදුයි’ | සිළුමිණ

‘එජාපය දැන් පිරිසිදුයි’

එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආංශු මාරසිංහ

* සමඟි ජන බලවේගයට සම්බන්ධ වූ එජාප මන්ත්‍රීවරුන් එජාපයෙන් නෙරපීම සාධාරණ නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් කියල ඔබ හිතනවාද?

ඔය සමඟි ජන බලවේගයට සම්බන්ධ වූ අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හැම දෙනාම දන්නවා අපේ පක්ෂ ව්‍යවස්ථාවේ මොනවද තියෙන්නෙ කියලා. අපේ පක්ෂ ව්‍යවස්ථාවේ සාමාජික කොන්දේසි හා විනය හා බලතල කියන පරිඡේදවල සඳහන් වෙන්නෙ පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ පූර්ව අනුමතියකින් තොරව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දැරීම හෝ වෙනත් පක්ෂයක තනතුරක් දැරීම හෝ වෙනත් දේශපාලන කණ්ඩායමක් සමඟ නාමයෝජනා බාර දීම හෝ නොකළ යුත්තේය කියලයි. සාමාජිකත්වය පිළිබඳව මීටත් වඩා බොහෝ කරුණු බොහෝම පැහැදිලිව ව්‍යවස්ථාවෙ සඳහන් වෙනවා.ඒ අනුව එජාපයෙන් සමගි ජන බලවේගයට සම්බන්ධ වූ සියලු දෙනා එජාපයෙන් නෙරපීම ව්‍යවස්ථානුකූලව සිද්ධ වු කාරණයක්.

*සමඟිජන බලවේගය බිහිවෙලාම තියෙන්නෙ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාකච්ඡාවකදී ගත් තීරණයක් අනුව නම් ඔබේ පක්ෂ ව්‍යවස්ථාව අනුව පූර්ව අනුමැතියක් තිබෙනවා නේද?

අපේ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී සාකච්ඡා කරල අපේ එකඟතාව තිබෙන්නෙ දේශපාලන සන්ධානයක් හදල ඒ යටතේ ඉදිරි මැතිවරණයට තරඟ කිරීමටයි. දේශපාලන සන්ධානයක් හා දේශපාලන පක්ෂයක් කියන්නෙ මොකක්ද කියල ඔය කතා කරන හැමෝම හොඳින් දන්නවා. අපේ පක්ෂය එදා ගත්තු තීරණය අනුව ඉදිරි මැතිවරණයට හංසයා හෝ අලියා ලකුණුවලින් එකක් යටතේ තරඟ කළ යුතුව තිබුණා. නමුත් මේ අය වෙනම පක්ෂයක් වෙනම ව්‍යවස්ථාවක් වෙනම නිලධාරීන් පත් කර ගෙන කුමන්ත්‍රණකාරීව එජාපය විනාශ කරන්න උත්සාහ කළ බවක් පෙනෙන්ට තිබෙනවා.

*සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකත්වයට එරෙහිව 2000 වසරේදීත් මේ ආකාරයටම කටයුතු කළත් ඔහුට එරෙහිව පක්ෂය විනය තීන්දුවක් නොගත්තේ ඇයි?

ඔබ හරියටම කිව්වා. 2000 ජුනි 11වනදා අම්බලන්තොටදී තමයි සජිත් ප්‍රේමදාස එජාපයට විරුද්ධව ජනතාව පෙළ ගැස්වීමේ කුමන්ත්‍රණය පටන් ගත්තේ. එවකට එජාපයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නීති ලේකම් ලෙස කටයුතු කළේ විමල් විජේසූරිය මහතායි. අම්බලන්තොට එජාප ආසන බලමණ්ඩලයේ සභාපති ආනන්ද කුලරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දී පක්ෂ නායකත්ව විවේචනය කරල පක්ෂයේ ක්‍රියාමාර්ග විවේචනය කළ බව සජිත්ට විරුද්ධව පක්ෂ නායකයාට පැමිණිලි ලැබීමෙන් පසු බරපතළ විදියට අවවාද කරල තියෙනවා. ඔබ සඳහන් කළ ආකාරයට සජිත් ගේ වයස අවුරුදු 32 ඉදලම ඔහු පක්ෂයට හා පක්ෂ නායකයාට විරුද්ධව කටයුතු කරල පක්ෂය විනාශ කරන්න උත්සහ කළ බව පැහැදිලියි. පියාණෝ රටේ නායකයා වුණා කියල පුතාණෝට නායකකම හිමි වන්නෙ නෑනේ. මෙයා ඒ නායකකම බලෙන් ගන්න උත්සාහ කරනවා කියල තමයි අපිට පෙනෙන්නෙ.

* සජිත් ප්‍රේමදාස මහතාට නායකත්ව සුදුසුකම් නැත්නම් ඔහු විපක්ෂ නායකයා ලෙස පත් කරන්න තීරණය කළේ කුමන පදනමකින්ද?

ඇත්තටම ඔහු විපක්ෂයේ නායක ධුරය ඉල්ලුවා. අපි එජාපය තුළ අර්බුද අවම කරගෙන පක්ෂය ඉදිරියට ගෙනියන්නයි උත්සහ කළේ. නමුත් දිගින් දිගටම සජිත් හා ඔහු වටා එකතු වු පිරිස ඔවුන්ට පාලනය කරගත හැකි පුද්ගයා විදියට සජිත්ට පක්ෂ නායකත්වය අරන් දෙන්න උත්සහ කළා. ඒ අනුව තමයි ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරන්න පක්ෂය තීරණය කළේ. ජනාධිපති ධුරය අහිමි වුණාම ඔහු විපක්ෂනායක ධුරය ඉල්ලුවා. ඒකත් දුන්නා. රනිල් වික්‍රමසිංහ තම තමන්ට ඕනෑ විදියට මෙහෙයවා ගන්න බැරි උදවිය සජිත් ප්‍රේමදාස වටා එක්ව ඔහුට තනතුරු තනාන්තර ලබා දෙන්න අරගල කරනවා. දැන් ඒ ඔක්කොම ඉවරයි; දැන් එජාපය පිරිසිදුයි.

* එජාපයේ නිලතලවල කාලය කොපමණද?

ඇත්තටම පක්ෂයේ නායකයා ගේ කාලය 2025වන තුරු තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා ගේ එජාප නියෝජ්‍ය නායක ධුරය ඉකුත් මාර්තු මාසයේදි අවසන් වුණා. අනෙකුත් සියලු තනතුරුත් එහෙමයි. එහෙම තිබෙන පසුබිමක තමයි ඔය අයිතිවාසිකම් ඉල්ලන්නෙ.

සමඟි ජන බලවේගයේ අය සඳහන් කරන්නෙ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් ගෙන් බහුතරය ඔවුන් සමඟ ඉන්න නිසා එජාප නායකයාට හිතුවක්කාරි විදියට කටයුතු කරන්න බෑ කියලයි.

එජාපයේ ඉන්නතාක් කල් ඔවුන් එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී සාමාජිකයන් ලෙස පිළිගන්න පුළුවන්.එජාප ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ගත්තාට පසුව ඔවුන්ට පක්ෂය ගැන හෝ පක්ෂයේ තනතුරු ගැන කතා කරන්න බෑ. දැන් ඔවුන් කැමති නම් එජාප ඡන්දදායකයන් ලෙස කටයුතු කරන්න පුළුවන්.

* එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ නායකත්වයෙන් එජාපය ජයග්‍රහණය කරවන්න සාමාන්‍ය එජාප පාක්ෂිකයන් සුදානම් කියල ඔබ හිතනවාද?

එජාපයේ ඉතිහාසය කියවන කොට අපිට පෙනෙනවා මීට පෙරත් මෙවැනි අභියෝගවලට එජාපය මුහුණ දී තිබෙනවා. ඒ කිසිම අවස්ථාවක එජාප පාක්ෂිකයන් මේ පක්ෂය අතහැර ගිහිල්ල නෑ. අපිට මතුපිටින් පෙනෙන විදියට එජාපය දෙකට කැඩිලා කියල කාට හරි කියන්න පුළුවන්. නමුත් ඇත්තම දේ තමයි එජාපය ඇතුළේ ඉදන්ම කකුලෙන් ඇදපු අය හෙළිදරව් වෙලා ඔවුන් පක්ෂයෙන් නෙරපුවාය කියන කාරණය. දැන් එජාපය නීරෝගි ශක්තිමත් පක්ෂයක්. ඒ නිසා ජනතාව පෙරටත් වඩා උනන්දුවෙන් අපේ පක්ෂය ජයග්‍රහණය කරවන්න කැප වී සිටිනවා.

* අද එජාපයේ ඉන්න ඔබ මහාචාර්යවරයෙක් දක්වා ඉගෙන ගත්තේ මෙරටේ මහ ජනතාව ගේ බදු මුදලෙන්. ඒ බදු මුදල් මහ බැංකුවෙන් හොරාකාපු අය ඔබේ පක්ෂයේ ඉන්නවා නේද?

අපේ පක්ෂයේ විතරක් නොවෙයි ඕනැම තැනක ඕනෑම කෙනෙක් ජනතා බදු මුදල් හොරා කාල තියෙනවා නම් දඬුවම් විඳින්නම ඕන. මහ බැංකුවේ සිදුව ඇති වංචාව දීර්ඝ කාලයක් තිස්සේ කෙරී තිබෙන බව ඒ පිළිබඳව කරන ලද වෝහාරික විගනණ⁣යේදි ඔප්පු වී තිබෙනවා. ඒ අනුව 2015 ට පෙර මේ වංචාවට සම්බන්ධ අයටත් දඬුවම් දෙන්න ඕන. කවුරු වුණත් වරදක් කරල නම් දඬුවම් විඳින්නම ඕනෑ.

* දේශීය සම්පත් විජාතිකකරණය පිළිබඳව එජාපයට චෝදනා එල්ල වෙනවා. හම්බන්තොට වරාය චීනයට බදු දීමේ සිට සිදුව ඇති එවැනි ගනුදෙනු පිළිබඳව ඔබ මොනවද කියන්නෙ?

අපේ ආණ්ඩුව අපේ රටේ සම්පත් විජාතිකකරණය කරන්න කටයුතු කරල නෑ. රටකට අනවශ්‍ය බරක් වුණ සමහර ව්‍යාපෘති සඳහා ලබා ගෙන තිබෙන විදේශීය ණය ගෙවා ගන්න ක්‍රමයක් නැති වුණාම රජයක් විදියට ඒ ඒ ව්‍යාපෘතිවලින් ආදායමක් ලැබෙන විදියට යම් වැඩ පිළිවෙලක් යොදන්න ඕන. ඒ අනුව තමයි හම්බන්තොට වරාය බදු දෙන්න කටයුතු කළේ. හම්බන්තොට ඉදිකර තබෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, සූරිය වැව ක්‍රිඩාංගණය, මත්තල ⁣ගුවන් තොටුපල ආදී ව්‍යාපෘති නිසි ඇගැයීමක් නොකර ඉදි කීරිම නිසා රටට ඉතිරි වුණේ විදේශීය ණය බරක් පමණයි.

එදා ආණ්ඩුව කිව්වා, ආර්ථික වර්ධන වේගය 7.4 ට නැග්ගා කියල. එහෙම වුණේ කොහොමද?ඉතා අධික පොලීයකට ණය අර ගෙන කිසිම වැදගම්මකට නැති සුදු අලි ව්‍යාපෘති ක්‍රියාත්මක කළා.

ඒ ව්‍යපෘතිවල වටිනාකම් අනුව රටේ ආර්ථිකය වර්ධනය වී ඇති බව පෙනුණත් ඒක මේ මහ පොළවේ සැබෑ දියුණුව නොවෙයි. මොකද ණයට මුදල් අර ගෙන විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කළත් ඒ ව්‍යාපෘතිවල සේවය කළේ විදේශිකයන් නිසා රටට ගෙනාපු මුදලෙන් බාගයකටත් වැඩියෙන් වැටුප් හා වෙනත් පහසුකම් විදියට විදේශිකයන්ටම ගෙවලා. අපේ කාලයේ ආර්ථික වර්ධන වේගය 3% වඩා අඩු වුණත් අපි රවේ ස්ථාවර සංවර්ධනයක් සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

* එජාප දැවැන්තයෝ විදියට කටයුතු කරපු රාජිත සේනාරත්න මංගල සමරවීර වැන්නවුන් ගැන අද ඔබ මොනවද හිතන්නෙ?

අපේ පක්ෂයේ ඕනෑම කෙනකුට නිදහසේ කටයුතු කරල තම තමන්ගේ දේශපාලන පෞරුෂය හදා ගන්න නිදහස තිබුණා. නමුත් රාජිත මංගල වැන්නවුන් පිළිබඳව අද සමාජයේ විශාල අප්‍රසාදයක් ඇති වී තිබෙනවා. ඒ අය කල කී දෑ වෙනුවෙන් අද ඒ අය ඊට ගැළපෙන ප්‍රතිඵල බුක්ති විඳිනවා. මංගල මුල සිටම අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ මම හෙළා දැක තිබෙනවා.

ඕනෑම කෙනෙක් මොන මට්ටමේ හෝ වරදක් කරලා තිබෙනවා නම් ඒ අය ඒ වරදට දඬුවම් විඳින්න ඕන. රංජන් හා මංගල ගේ කතා නිසා ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද අඩු වුණා. දැන් එවැනි අන්තවාදී මත දරන්නන්ගෙන් තොරව අපේ පක්ෂය පිරිසිදු වෙලා තිබෙනවා. ඒ නිසා මෙවර මැතිවරණයේදි ජනාධිපතිවරණය මඟහැර ගිය අයත් එජාපයට ඡන්දය දෙනවා.

* සමඟි ජන බලවේගයේ ඇතැම් පිරිස් ප්‍රසිද්ධියේ එජාප නායකයා ඇතුළු පක්ෂයේ ප්‍රබලයන්ට වංචා දූෂණ චෝදනා එල්ල කරන එක ගැන මොනවද කියන්නෙ.?

ඔය සමඟිජන බලවේගයට සම්බන්ධ අයටත් නොයෙක් චෝදනා තිබෙනවා. දෙතුන් සැරේ පක්ෂය පාවා දීල එහෙට මෙහෙට පැනපු අය ජනතාව ළඟට එනතුරු ජනතාව බලාගෙන ඉන්නවා.

අනෙක ඕකේ ඉන්න සමහර අයට හොරට මුදල් අච්චු ගහල, නිදන් කඩල, මිනී මරල වංචා සහගතව වාහන ගෙන්වලා ආදි විවිධ චෝදනා එල්ල වී තිබෙනවා.

සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් ඕකේ ප්‍රධානියකුට චෝදනා එල්ල වී තිබෙනවා. එවැනි චෝදනා මේ දක්වා එ් අය ප්‍රතික්ෂේප කරලත් නෑ. ඉතින් කවුද හොරු කවුද හොඳ කියල මේ මැතිවරණයේදී ජනතාව ඉතාම හොඳට තෝරල බේරල ලෝකයටම හෙළි කරාවි.

* අතීතයේ එජාප නායකයන් ජනතාව ජිවත් කරවන්න කැප වුණා. නමුත් යහපාලන ආණ්ඩුව නියෝජනය කළ එජාපයේ ඔබලා පාස්කු ප්‍රහාරය වළක්වා නොගෙන ජනතාව මරණයට කැපවන තුරු බලා සිටිම නින්දිතයි නේද?

ඒ චෝදනාවට මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒක වැරදි කතාවක්. මොකද මේ ප්‍රහාරය සමිබන්ධයෙන් විමර්ශනය කළ කිසිම තැනක එජාපයට චෝදනා එල්ල වී නෑ.

මෙහි ප්‍රධාන චූදිතයා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි.

ඒ සම්බන්ධ ප්‍රමාණවත් කරුණු මේ වන විට රැස්කරලා තියෙනවා. දැන් මේ ආණ්ඩුව ඒ වැරදිකරුවන් සම්බන්ධයෙන් නීතීය ක්‍රියාත්මක කරන්න ඕන.

*විධායක ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ නීතිය යටතේ චෝදනා එල්ල කරන්න බැරි විදියට විධායක ජනාධිපති ධුරය නිර්මාණය කළේ එජාපයමයි. අද ඒකත් ඔබලාටම පාරාවළල්ලක් වෙලා නේද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 19 වන සංශෝධනය හරහා විධායක ජනාධිපති ගේ බලතල සීමා කරල තියෙන නිසා මේ අපරාධය සම්බන්ධයෙන් අධිකරණය කටයුතු කරන ආකාරය දෙස අපිට බලා ගෙන ඉන්න වෙනවා.

අනෙක ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගියවිට හෝ ඉවත් වු විටක ඔහු ගේ ධූර කාලයේ කළ වැරදි සම්බන්ධයෙන් නඩු පවරන්න පුළුවන්.

මීට පෙර හිටපු ජනාධිපතිවරණයටත් අධිකරණයේ නඩු පවරලා තියෙනවා.

Comments