මෙන්න ජීවන් ! | සිළුමිණ

මෙන්න ජීවන් !

ජීවන් බැරිස්ටර්වරයෙක් කොංග්‍රසයේ තරුණ නායකයා

ජීවන් කියන නාමය මෙරට සිනමාවේත් දේශපාලනයේත් කාලයක් තිස්සේ හුරුපුරුදු සිංහල නාමයක් වුවත් සිංහල හා දෙමළ ජන සමාජය තුළ ඇති බැඳීම ඉතිහාසය පුරා පෙන්නුම් කරන තවත් නමක් ලෙස හැඳින්විය හැකිය. ජීවන් තොණ්ඩමන් කියන නම ශ්‍රී ලංකා දේශපාලන නායකත්වයට අලුතින් එක්වන්නකි. මීට පෙරාතුව ඒ නම අප දේශපාලන කරළියට එක්ව තිබු හුරුපුරුදු නමක් නොවුණ ද පසුගිය සතිය පුරා දේශපාලන කරළියේ වැඩි වශයෙන් කියැවුණු නමක් විය.

ඒ ශ්‍රීලංකා දේශපාලනයේ රටක් නැතිව සිටි ජන කොට්ඨාශයක් නියෝජනය කරමින් අවිහිංසාවාදි අරගල තුළින් රටක් ජාතියට අනන්‍යතාවක් හිමි කරදුන් සෞම්‍යමූර්ති තොණ්ඩමන් පරපුරෙන් ගැලවී ගිය තවත් පුරුකක් වූ ආරුමුගන් තොණ්ඩමන් වෙනුවට ඉදිරි දේශපාලනයට එක් වූ අලුත් නාමයකි.අප සමාජයට ජීවන් තොණ්ඩමන් කියන නාමය අලුත් වුවත් උඩරට වතුකරයේ ජීවත් වන ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජන කොට්ඨාශයේ අනාගත පරපුර වූ තරුණ කොටසට අලුත් නමක් නොවූයේ වතුකරයේ ඉහළම නියෝජනය වූ ලංකා කම්කරු කොංග්‍රසයේ තරුණ පෙරමුණේ නායකයෙක් ලෙස තරුණ අවශ්‍යතා ගැන සොයාබැලු තරුණ නායකයෙක් ලෙස ප්‍රකට වීම නිසාය.

ආරුමුගන් තොණ්ඩමන්ගේ තෙවන දරුවා ලෙස ජීවන් කුමාරවේල් තොණ්ඩමන් මෙලොව එළිය දකින්නේ 1994 නොවැම්බර් මස 09 වැනිදා තමිල්නාඩුවේ දීය. ඔහුට වැඩිමහල් සොහොයුරියන් දෙදෙනෙකි. පවුලේ තෙවැනියා වූ ජීවන් තොණ්ඩමන් සිය මූලික අධ්‍යාපනය චෙන්නායි නම් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු අගනුවර දී අවසන් කර තම අධ්‍යාපන ඉලක්කය වූ නීතිවේදය හැදෑරීම සඳහා එංගලන්තය බලා පිටත්ව යයි. ඔහු මේ වනවිට බැරිස්ටර්වරයෙකි. එහි අධ්‍යාපන කටයුතු අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණි ජීවන් තොණ්ඩමන් ලංකා කම්කරු කොංග්‍රසය හා එක්වන්නේ එවකට එහි හිස්ව තිබූ තරුණ පෙරමුණේ නායකත්වය සඳහා ජීවන් පත්කරන්නැයි වතු තරුණ ප්‍රජාව කරන ලද ආරාධනයකට අනුවය. ඔහු ලංකා කම්කරු කොංග්‍රසයේ තරුණ පෙරමුණේ නායකත්වයට පත්වන්නේ 2017 දෙසැම්බර් 23 වැනිදාය.

එසේ දේශපාලනයට පිවිසෙන ජීවන් තොණ්ඩමන් වෙනත් තනතුරු ලාභීන් මෙන් පැත්තකට වී බලා සිටියේ නැත. තම පියාගේ, සීයාගේ අඩිපාරේ යමින් 2017 පටන් පැවැති සියලු මැතිවරණවලට සම්බන්ධ වෙමින් ලංකා කම්කරු කොංග්‍රසය නම් වූ සිය දේශපාලන අනන්‍යතාව ඉදිරියට ගෙන යාමට කටයුතු කළේය. එදා ජනාධිපතිවරණ සමයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කැපවූයේ තම පරපුරේ තරුණයින්ට නව ජවයක් ඇතිකර දී මේ අරමුණ මුදුන් කරගෙනය. එහි දී ඔහු ජනතාවට ආයාචනා කළේ මෙලෙසිනි. “සියලු ජීවීන් එක්වෙමු - ගෝඨාභය රාජපක්ෂ කවදත් අප ඔබ සමඟයි... වතුකරය නැමැති ජීවනය සුරැකීමට සියලු ජීවීන් එක්ව පොහොට්ටුවට ඡන්දය දෙන්න“ ඔහුගේ ආරාධනය තුළ ගැඹුරු අර්ථයක් කාවැදී තිබුණි. ඒ ගැඹුරු අර්ථය සිය තරුණ පරපුරට අවබෝධ කර දුන්නේ පවත්වන ලද රැළි වලදීය. ඉදිරි දැක්මක් සහිතව වතු තරුණ පරපුරේ අනාගතය භාරගැනීමට ගිය ජීවන් තොණ්ඩමන් සමස්ත වතු ජනතාවගේ අනාගත ඉරණම තීරණය කෙරෙන ලංකා කම්කරු කොංග්‍රසය කෙසේ වෙනස් කරාවිද?

අද ජීවන් ගැන කතා කරන්නට සිදුවූයේ ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයත් සමඟය. එහෙත් අපට ආරුමුගම් තොණ්ඩමන් ගැන කතාකරන්නට සිදුවූයේ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතා මියයාමෙන් පසුව නොවේය. ලංකා කම්කරු කොංග්‍රසය යනු දැවැන්ත ඉතිහාසයක් සහිත වෘත්තීය හා දේශපාලන සංවිධානයකි.

අද වනවිට ලංකා කම්කරු කොංග්‍රසය තුළ තවත් ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් සිටිති. එහි සභාපත් ධූරය දරන්නේ එම. මුත්තු සිවලිංගම්ය. ඔහුද එහි පැරණිම සාමාජිකයෙකි. මේ ආකාරයේ පැරණි සාමාජිකයන් ගණනාවක් සිටිය දී ඒ සියලුදෙනා අබිබවා ජීවන් තොණ්ඩමන්ට නායකත්වය කරා ගමන් කළ හැකි ද ? පසුගිය කාළයේ ඌව පළාත් සභාවේ ඇමතිවරයකු ලෙස කටයුතු කළ සෙන්දිල් තොණ්ඩමන් ද ආරුමුගම් තොණ්ඩමන් හා එක්ව ක්‍රියාකරමින් හැකියාවන් කොතෙකුත් ප්‍රදර්ශනය කළ නායකයකු නිසා ඔහුට නායකත්වය පිරිනැමීමක් ගැන කොංග්‍රසයේ පිරිසක් කතා කළ අවස්ථාවේ ඊට දැඩි විරෝධයක් පළවී ඇත. මෙයින් පෙනී යන්නේ කොංග්‍රස් නායකත්වය තොණ්ඩමන් පරපුරෙන් ගලවාගැනීමට තවත් පිරිසක් බලා සිටින බවය.

එවන් අභියෝග හමුවේ නායකත්වය කරා ළඟාවීමට ජීවන් තොණ්ඩමන් සතුව ඇති ශක්තිය උරගා බලන අවස්ථාවකට මුහුණ දී සිටින අතර මේ විරෝධතාවන්ට පොහොර දමන පිරිස පරාජය කිරීමට ද ජීවන් තොණ්ඩමන් පියවර ගත යුතුව ඇත.

ටී.චන්ද්‍රෙස්කර

Comments