මහින්ද නාමයට නිගා කරන්න ඉඩ දෙන්න බෑ | සිළුමිණ

මහින්ද නාමයට නිගා කරන්න ඉඩ දෙන්න බෑ

- කිසිවක් නොකර බොහෝම දියාරු ඇල් මැරුණු පැතිලි චරිතයක් වුණා නම් මට කිසිම විවේචනයක් එල්ල වෙන්නෙ නෑ
- මම හැමවිටම උත්සාහ කරන්නෙ හැම ක්ෂේත්‍රයකටම අලුත් දිගුකාලීන වටින වැඩක් කරන්නයි 
- අපි විවිධ භුමිකාවල දක්ෂ ලෙස කැපවීමෙන් වැඩ කරපු අය; ඒකට ඊර්ෂ්‍යා කරල වැඩක් නෑ

ගුරුවරයකු ලෙස ඉතා ජනප්‍රිය වු ඔබ දේශපාලනයට පැමිණීමෙන් පසු අද වන විට ඔබේ ජනප්‍රියත්වය අභියෝගයට ලක්ව තිබෙනවා නේද?

අභියෝගයට ලක්වෙලා නෑ. මගේ ජනප්‍රියත්වය වැඩි වෙලා තියෙනවා. මම කියන කරන දේ පිළිබඳව කතා කරන අය වැඩි වෙලා. අපි මේ ලෝකයට ඉපදුණේම වැඩ කරන්න. දුවන මිනිහා තමයි වැටෙන්නෙ. ඵල ඇති රුකට තමයි ගල් ගහන්නෙ. පිඟන් සෝදන කොට තමයි පිඟන් බිදෙන්නෙ. කිසිවක් නොකර බොහෝම දියාරු ඇල් මැරුණු පැතිලි චරිතයක් වුණා නම් මට කිසිම විවේචනයක් විචාරයක් ඇති වෙන්නෙ නෑ. මගේ පරමාදර්ශී නායකයා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා. එතුමා සිංහල ජාතිය ගැන සඳහන් කරලා තිබෙන්නෙ වැඩියෙන් බැනුම් අහන්න ඕනෑ නම් වැඩියෙන් වැඩ කරන්න කියලයි. එතුමා තරම් රටට, ජාතියට ආගමට සභ්‍යත්වයට, සංස්කෘතියට වැඩ කරපු අපේ යුගයේ වෙනත් වීරයෙක් නෑනේ. එතුමටත් පහර පිට පහර දුන්නේ මාධ්‍ය මඟින්. අවසානයේ එතුමා රට අතහැර ඉන්දියාවට ගියා. එතුමා එහේදි බුද්ධගයාව, මූලගන්ධ කුටි විහාරය හදලා දේවමිත්ත නමින් මහණ වෙලා මහණදම් පුරන වෙලාවෙ එතුමා සඳහන් කර තිබෙනවා මා මිය ගිය පසු මගේ හිසවත් ශ්‍රී ලංකාව දෙසට හරවන්න එපා කියලා. උන්වහන්සේ මිය යන තෙක්ම ලංකාවට නැවත වැඩම කළේ නෑ. ඒකට හේතුව තමයි උන්වහන්සේ දැනගෙන සිටියා එතරම් "කෘතවේදී" ජනතාවක් තමයි ශ්‍රී ලංකාවෙ ඉන්නෙ කියලා.

ඔබ අපේ රට ජාතිය ගැන කලකිරිලා; විශාල සිත් වේදනාවකින් නේද ඉන්නෙ?

ඔබ මැදින් පනින්න එපා. ඔබේ මුල් ප්‍රශ්නයට මම තවම උත්තර දීල ඉවර නෑ. විශ්වයේ පළමු අග්‍රාමාත්‍යවරිය ලෙස පත් වුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය. ඇයත් අපේ රට ජාතිය වෙනුවෙන් අසාමාන්‍ය වැඩ කොටසක් කළානෙ. එතුමියගේ ප්‍රජා අයිතියත් අහෝසි කළා. මෙරටේ අවුරුදු තිහක යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂවරුන්ට එලව එලවා පහර දිල ගෙදර යැව්වානෙ. ඒ අනුව අපි තේරුම් ගන්න ඕනේ සත් භාවයෙන් රටට වැඩ කළත් හොඳක් අහන්න ලැබෙන්නෙ නෑ කියලා. ඒ නිසා ගල්මුල් ප්‍රහාරයන්ට සතුටින් මුහුණ දෙමින්, අභියෝගවලට ආදරය කරමින් ඉදිරියට ගමන් කිරීම තමයි රටට වැඩ කරන අය කළ යුත්තේ. මම කරන්නෙ ඒක

ලංකාවෙ ඉදි කරන්න හදන විශාලතම ක්‍රිඩාංගණයත් එක්ක ඔබට තිබෙන සම්බන්ධය මොකක්ද?

මම දේශපාලනයේ ළඳ බොළද විදියට හිතන හෝ ඒ විදියට ක්‍රියා කරන අයෙක් නොවෙයි. ලංකාවෙ තිබෙන පාසැල් ප්‍රමාණය දසදහසකට වඩා වැඩියි. මේ පාසැල්වලට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ඒ අතර වැදගත්, විශාලතම, ජනප්‍රියම පාසැල ලෙස පිළිගැණුනේ කොළඹ රාජකීය විද්‍යාලයයි. ඒක වසර 185 ක් පැරණියි. මේ විද්‍යාලයට වඩා විශාල අලුත් විද්‍යාලයක් මම හැදුවේ හෝමාගම පිටිපන කියන දුෂ්කර ගම්මානයේ. ප්‍රධාන පාරට පේන්නෙ නැති හරිහමන් පාරක්වත් නැති කැලෑවකින් වට වු භුමියක මහින්ද රාජපක්ෂ විද්‍යාලය ඉදි කළා. දැන් එහි දරුවෝ හත් දහක් ඉගෙන ගන්නවා. ගුරුවරු තුන්සීයක් විතර එහි උගන්වනවා. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි රාජකීය විද්‍යාලයේ දරුවෝ 622 කින් 19 දෙනකු අසමත් වු බව වාර්තා වුණා. පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ දරුවෝ 762 කින් දරුවෝ තුන් දෙනයි අසමත් වෙලා තිබෙන්නෙ. කොළඹ ආනන්ද, නාලන්ද, රාජකීය විද්‍යාල වල ආදි ශිෂ්‍ය සංගම් මේ විද්‍යාලය හදන්න මට විශාල වශයෙන් උදව් කළා. මේ වෙන කොට එය දකුණු ආසියාවේ විශාලතම ද්විතීයික පාසැල ලෙස සැලකෙනවා. ඒ වගේම මම යුනෙස්කෝ සහාය ඇතිව අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාශයේ මීපේ කියන ගමේ දකුණු ආසියාවෙ ගුරු සංවර්ධන මධ්‍යස්ථානය පිහිටුවලා තියෙනවා. එ් මධ්‍යස්ථානය ඉන්දියාව, බංගලිදේශය, භූතානය, පකිස්තානය, නේපාලය හා මාලදිවයින කියන රටවල් වලටත් පොදු ආසියාවේ අධ්‍යාපන සංවර්ධන කේන්ද්‍රය ලෙසයි ගොඩනඟා ගෙන ආවේ.

මම ඇහුවෙ දැන් කතා බහට ලක්වෙන විශාලතම ක්‍රිඩා පිටියට ඔබට තිබෙන සම්බන්ධය ගැනයි.

ඔව්. ඒකට උත්තර දෙන්න තමයි මම මේ උත්සහ කරන්නෙ. මට පුළුවන් වුණා ආසියාවෙ බන්ධනාගාරයක් තුළ තිබෙන එකම පාසැල ලෙස සූනීත පාසැල වටරැක බන්ධනාගාරයේ ආරම්භ කරන්න.ඒ වගේම ශ්‍රී ලංකාවෙ තිබෙන විශාලතම හරිත විශ්වවිද්‍යාලයත් හෝමාගමට ගෙන එන්න මට පුළුවන් වුණා. ඒ සඳහා එවකට වෘත්තීය පුහුණු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම එකම ආකාරයට ඩෙල්ෆ් දූපතේ සිට දෙවුන්දර තුඩුව දක්වා මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර දහසක් ඉදිකළා. ඒ වාගේම තෙමහල් මහින්දෝදය තාක්ෂණක පීඨ 251 ක් ඉදි කරන්නත් අපිට පුළුවන් වුණා. මම හැම වෙලාවකම හිතන්නෙ මීට පෙර කළ නොහැකි වූ දෙයක් කරලා රටටත් ජනතාවටත් සේවයක් කරල තෘප්තිමත් වෙන්නයි. මේ කිසිම මහා පරිමාණ දැවැන්ත ව්‍යාපෘතියකින් සත පහකවත් ලාබ ප්‍රයෝජන මුදල් ගෙන මගේ දරුවන්ට කන්න දීලා නෑ.

තවම ප්‍රශ්නයට කෙලින් උත්තරයක් ලැබුණෙ නෑ; ඒ නිසාද මේ විශාලම ක්‍රිඩාංගණය හදන්න උත්සාහ කරන්නෙ?

හෝමාගම දීගම කියන ගමේ දැනටමත් අක්කර 28 ක ඉදිකළ විශ්වවිද්‍යාලයක් තියෙනවා. ඊට ඉදිරිපිටින් තිබෙනවා ගුවන් විදුලි සංස්ථාවෙන් පවරා ගත් අක්කර 126 ක ඉඩමක ඉදිකළ මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිඩාංගණය. මේ ක්‍රීඩාංගණය මෙරට ජනතාව ගේ බදු මුදල් වියදම් නොකර ජාතික තලයට දියුණු කරලයි තිබුණේ. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ තිබුණු කැපවීම නිසායි. මේ ක්‍රීඩාංගණයේ තමයි සමස්ත ලංකා ජාතික ක්‍රිඩා උළෙල, සමස්ත ලංකා පාසැල් ක්‍රිඩා උළෙල ආදි ජතික මටිටමේ ක්‍රීඩා උළෙලවල් පැවත්වුණේ. ජපන් ආධාර මත ඉදි කෙරුණු බේස් බෝල් ක්‍රීඩාංගණය තිබෙන්නෙත් මේ ක්‍රිඩාංගණයේම කොටසකයි. පසුගිය යහපාලන රජය කාලේ හැම තැනම තිබුණ මහින්ද රාජපක්ෂ නාම පුවරු ඉවත් කළා. මහින්දෝදය කියන නම ඉවත් කරල තාක්ෂණ විද්‍යාගාර විදියට තමයි ඒ කාලේ ඒ විද්‍යාගාර නම් කරල තිබුණේ. දීගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේත් ඒ නම ගලවා වීසි කළා. රට කඩන්නෙ නැතුව බෙදන්නෙ නැතුව සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් හැම මිනිසකුටම ජීවත් වීමේ අයිතිය තහවුරු කළ ඒ උදාර නායකත්වයට නිගා කරන්න ඉඩ නොදී එතැන ලංකාවෙ පළමු ක්‍රීඩා විශ්වවිද්‍යාලය ඉදි වෙනවා. එතැන තවත් ක්‍රීඩාගාර තිබෙනවා. ඒ අතර තමයි ක්‍රිකට් පාලක මණ්ඩලය ලෝක ක්‍රිකට් ක්‍රිඩා තරඟය සඳහා ඛෙත්තාරාමය ඉඩ කඩ මදි කියල කීව නිසා යහපාලන රජය දීගම ක්‍රිඩාංගණය ජාත්‍යන්තර ක්‍රිඩාංගණයක් ලෙස දියුණු කරන්න සැලසුම් කරල තිබුණේ. ඒ සැලසුම් මම දැක්කා. මේ ක්‍රිඩාංගණය ඉදි වුණොත් ඒ ප්‍රදේශවල විශාල ආර්ථික සමාජයීය විපර්යාසයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා මට ඒ ඉඩම පෙන්වන්න ගියා.කොළඹ දිසාපති, නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියාත් බන්දු, දීගම ගමේ පන්සලේ හාමුදුරුවෝ මහාචාර්ය මාගම්මන ප්‍රඥානන්ද නාහිමි ක්‍රිකටි පාලක සභාවේ නිලධාරින් ඒ ගමනට එකතුව සිටියා. මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් සඳහා ඉඩමක් බැලීම හා ඒ ගැන අදහස් ප්‍රකාශ කිරීමේ වරද මොකක්ද?

ඔබේ ආණ්ඩුවෙ ක්‍රිඩා විෂය බාරව වෙනම ඇමතිවරයෙක් ඉන්නවා. ඇයි ඔබ ඔහුගේ විෂය පථයට රිංගන්න හදන්නෙ?

මේ ක්‍රිඩා විශ්වවිද්‍යාලය, ක්‍රිඩාංගණය ආදිය පිළිබඳ වගකීම තිබෙන්නෙ හා ඒවා ක්‍රියාත්මක කරන්නෙ ක්‍රීඩා අමාත්‍යංශයෙන් තමයි. ඒවා හැදෙන්නෙ මගේ මැතිවරණ කොට්ඨාශය වන හෝමාගම. මගේ ආසනයේ මොනවා කවුරු කළත් ඒ හැම දෙයක්ම මගේ ආසනයේ ජනතාවට කරනවා කියලයි මම හිතන්නේ. ඒ නිසා ඒ දේවල් ඉතා හොඳින් මගේ දෙයක් විදියට කර ගන්න මම කැප වෙනවා. රටෙන් හෝ ලෝකයෙන් මගේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ළුණු බිකක් හරි වැඩිපුර ගන්න පුළුවන් නම් මම ගන්නවා. මම පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍යය අමාත්‍යවරිය සමඟ එක්ව රත්නපුර හා කළුබෝවිල අතර තිබෙන එකම ජාතික රෝහල ලෙස හෝමාගම රෝහල දියුණු කරන්න සැලසුම් කරල තියෙනවා. මගෙ ආසනයේ කෙරෙන හැම දෙයක්ම වඩාත් හොදට කරන්න මම මහන්සි වෙන්න ඕන. ඒකට වෙන කවුරුත් එන්නෙ නෑනේ.

මේ ක්‍රීඩාංගණයට විරෝධතා එල්ල වෙද්දී ඔබ කියනවා හිඟා කාල හරි ක්‍රීඩාංගණය හදනවා කියලා. ආණ්ඩුවෙ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් විදියට ඒ ප්‍රකාශයේ වරදක් තිබෙන බව ඔබට දැනු‍ණේ නැද්ද?

ආධාර ඉල්ලා ගන්නවා කියන එක තමයි හිඟා කනවා කියන එකේ වඩාත් සභ්‍ය වචනය වෙන්නෙ. මම මීට පෙරත් මෙහෙම දේවල් කරල තියෙනවා. කොරියාවෙ මහ දාන පතියෙක් වන ආචාර්ය ඩී.ජුන්ගුන් හමුවෙලා මගේ පිළිවෙත කියලා, එකක් ලක්ෂ පහක් වටින පියානෝ 3000 ක් හා එකක් රුපියල් 35000 ක් වටිනා ග්‍රීන් බෝඩ් 30000ක් ලංකාවෙ පාසැල් වලට බෙදාදීල තියෙනවා. මේවායේ වටිනාකම ලංකා මුදලින් රුපියල් ලක්ෂ 1000යි. කොරියන් සමාගම් සමඟ කතා කරල ලංකාවෙ එකම ඩිජිටල් ස්මාර්ට් ක්ලාස් රූම් එක හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට දුන්නා. ඒකේ වටිනාකමත් රුපියල් ලක්ෂ දාහයි.

ජපානයේ ආචාර්ය හිතෝ කියන අධ්‍යාපනඥයා හමුවෙලා කෝටි එකහමාරක බස් එකක් මහින්ද රාජපක්ෂ විද්‍යාලයට දීල තියෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 13ක ප්‍රදානයක් කොයිටා එකෙන් ලබා ගෙන ලංකාවෙ තාක්ෂණ සංවර්ධන මධ්‍යස්ථානයක් වෙනුවෙන් යොදවා තිබෙනවා. එහෙම ආධාර ලබා ගෙන කරපු බොහෝ දේවල් තව තියෙනවා. මම කිව්ව කතාවට සමච්චල් කරන අය ඒ විදියට ආධාර ඉල්ලගෙන කරල තියෙන එක දෙයක් කියන්න කියල මම ඉල්ලනවා.

ඔබ ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක විදියට ඔබේ ආසනයට ඔබ කරන දේවල් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවෙදි ප්‍රකාශ කිරීම ඒ තනතුර අවභාවිත කිරීමක් නොවේද?

තම තමන් තමන්ගේ ආසනවලට කරන දේවල් ගැන කියන්න අපේ පොහොට්ටුව මූලස්ථානයේ සතිපතා මාධ්‍ය හමු පැවැත්වෙනවා. අපි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවෙදි කරන්නෙ ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේදී ගන්න වැදගත් තීරණ දැනුම් දීමයි. නමුත් ඒ මාධ්‍ය හමුවෙදි ඔයාලම තමයි මම මගේ ආසනයේ කරන දේවල් ගැන ප්‍රශ්න කරන්නෙ. මාධ්‍යවේදියකු ප්‍රශ්නයක් ඇහුවාම ඒකට උත්තර දෙන එක තනතුර අවභාවිතාවක් කියන්නෙ කොහොමද? ඔබලම මගෙන් ප්‍රශ්න අහල දැන් කියනවා මම තනතුර අවභාවිත කරනවා කියලා. ඒක කොච්චර සාධාරණද කියල හිතල බලන්න.

ඔබගේම ශිෂ්‍යයෙක් වෙන හිටපු අමාත්‍යවරයෙක් කියල තිබුණා ඔබ දුන්නු වැරදි තොරතුරු මත ක්‍රීඩාංගණය ගැන කරපු ප්‍රකාශයට සමාවෙන්න කියල. ඒ ගැන මොනවද කියන්නෙ?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ භාෂණයේ හා ලේඛනයේ නිදහස තහවුරු කරල තියෙන නිසා ඕනෑම කෙනකුට ඒ වාගේ දේවල් කියන්න පුළුවන්. උදය ගම්මන්පිල කියන්නෙ මගේ හොඳ ගෝලයෙක්. මම ආචාර්ය උපාධිය හැදෑරු චීනයේ බීජින් විශ්වවිද්‍යාලයෙන් එතුමටත් ආචාර්ය උපාධිය සඳහා අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න මගේ රෙකමදාරුව ලබා දීල තියෙනවා. තව අවුරුදු තුන හතරකින් එතුමත් ආචාර්ය උදය ගම්මන්පිල

ඔබ මෙරටේ ජනතාවට පොදු ඇමතිවරයෙක් විදියට කොහොමද සියලු සම්පත් හෝමාගම ආසනයට ඒකරාශි කරන්නෙ. ඒක සාධාරණද?

ඒක හරි වැරිදි ප්‍රකාශයක්. මම අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ හැම අමාත්‍යාංශයකින්ම රටපුරා බොහෝ දේවල් කරලා තියෙනවා. මම ආර්ථික මධ්‍යස්ථානයක් මීගොඩට හැදුවා. ඒ වගේම පිළියන්දල, රත්මලාන නාරාහේන්පිට, වැලිසර, වේයන්ගොඩ, තඹුත්තේගම, ඇඹිලිපිටිය, නුවරඑළිය යන ප්‍රදේශ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන 13ක් ඉදි කළා. මම සතොස බාර ගන්න කොට තිබුණෙ සතොස වෙළඳසැල් 20යි. මම එවැනි වෙළඳසැල් 200ක් ආරම්භ කළා. සමුපකාර අමාත්‍යවරයා විදියට සමූපකාරවලට ලක්ෂ දහය බැගින් දීලා කෝප් සිටි 1200 ක් ආරම්භ කළා. මම හිතන්නෙ අපි කරන හොඳ දේවල් දකින්න තරම් ගොඩක් අයගෙ ඇස් කාරුණික වෙලා නෑ කියලයි. සමහර අයට එහෙම ඇසක් තිබුණත් මේ දේවල් දකින්න කැමති නෑ.

ඔබ ඔබේ මන්ත්‍රී වැටුපත් මහින්ද රාජපක්ෂ විද්‍යාලයට පරිත්‍යාග කරනවා කියල ප්‍රකාශ කර තිබුණා. එ් කියන්නේ ඔබට වෙන වෙන වාසි තියෙනවා කියන එකද?

මම කරන කිසිම දෙයකින් පෞද්ගලිකව මම සත පහක වාසියක් අරගෙන නෑ. මම බදු ගෙවන්නකු බවට පත් වුණේ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ශිෂ්‍යයකුව සිටියදීයි.

මම විවාහ වෙන්න පෙර ‘සුද්දිලා ගේ කතාව‘ චිත්‍රපටය හදලා හොඳම චිත්‍රපට නිෂ්පාදකට හිමි සම්මානයත් දිනා ගත්තා. අපි විවිධ භුමිකාවල දක්ෂ ලෙස කැපවීමෙන් වැඩ කරපු අය. ඒකට ඊර්ෂ්‍යා කරල වැඩක් නෑ.

ඔබ අධ්‍යාපන අමාත්‍යවරයා විදියට විශාල සේවාවක් කළ බව කියනවා. නමුත් ප්‍රවීණ ක්‍රීඩකයන් කියන්නෙ පාසැල් බොහෝමයක සිසුන්ට ක්‍රිඩා කරන්න සුදුසු ක්‍රීඩාංගණ නැතිව තිබියදී රටම අමාරුවෙන් ඉන්න මේ වෙලාවෙ ඔබ විශාලම ක්‍රීඩාංගණයක් හදන්න උත්සහ කිරීම වරදක් කියලයි.?

මට නම් එහෙම වරදක් පේන්නෙ නෑ. මම හදන්නෙ මිනිසුන්ට බූරුවා ගහන්න පිට්ටනියක් නම් ඒක වරදක්. අනෙක ඔය කියන අයට තෙරෙන්නෙ නෑ මෙවැනි විශාල වැඩක මූලක සැලසුම් සඳහාම ලොකු කාලයක් අවශ්‍ය වෙනවා කියලා.

මේ අය කතා කරන්නෙ මම අද හෙටම ක්‍රිඩාංගණය හදන්න පටන් ගන්නවා වාගේනෙ. මම ළඟදිත් කළුතර ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයක් හදන්න ඉත්තෑපානේ මහ නායක හාමුරුවෝ හා රෝහිත අබේගුණවර්ධන සමඟ ඉඩමක් බලන්න ගියා. එහෙම ගියා කියල ඒ ගැන කතා කළා කියල අද හෙට ඒවා පටන් ගන්න බෑ. තොණ්ඩමන් ඇමතිවරයා සමඟ නුවරඑළියේ විශ්වවිද්‍යාලයක් හදන්න ඉඩම් බලන්නත් මම එහි ගියා.

වෛද්‍ය විද්‍යාලයට වසර 150 ක් පිරෙන වෙලාවෙ කාන්තා නේවාසිකාගාරයකට ඉඩමක් බලන්න මේ සතියේ ගියා. එහෙම ගියා කියල ඒවා දැන්ම පටන් ගන්න බෑ. මුලික සැලසුම් හදන්නත් මාස ගණන් ගතවෙනවා. මේ මගේ හැටි. මීපේ තාක්ෂණ විශ්වවිද්‍යාල භූමයේ පාසැල් ළමුන්ට පමණක් සීමාවන ක්‍රිඩාංගණයක් හදනවා. මම කරල තියෙන දේ බලලා ඉන්ද්‍රිගෝචර ප්‍රත්‍යස්ථ අවබෝධයක් ලබා ගෙන තමන් ගේ ගම්වලට වැඩ කරන්නෙ කොහොමද කියල දැන කියා ගන්න කියලා; මා ගැන කියවන අයට මම ආරාධනා කරනවා.

කොරෝනා වසංගතය පාලනය කරන්න රජය පනවන නීති රජයම උල්ලංඝණය කරනවා. හැබැයි පිරිසට ඒකරාශි වෙන්න එපා කියමින් ඔබ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමු පවත්වනවා. මේ ගැන මොනවද කියන්නෙ?

කැබිනට් ප්‍රකාශක විදියට කැබිනට් මණ්ඩලය ගන්නා තිරණ ජනතාවට දැනුම් දීම මගේ වගකීමක්. එ්ක කරන්න මාධ්‍ය හමු තියන්න වෙනවා. එහෙම නොවුණොත් සමාජ මාධ්‍ය හරහා වැරදි තොරතුරු සමාජගත වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒකෙන් වරදකරු වෙන්නෙ මමයි.

මාධ්‍ය හමු නොපවත්වා ඔබ කියන තාක්ෂණය යොදාගෙන කැබිනට් තීරණ මාධ්‍ය ආයතනවලට යවන්න නොහැකිද?

තාක්ෂණය යොදා ගෙන අපිට ඒක කරන්න පුළුවන්. නමුත් අපි කියන කාරණා පිළිබඳව මාධ්‍යවේදීන් අපෙන් ප්‍රශ්න අහල වඩා හොඳින් නිරවුල්ව වාර්තා කරන්න අවස්ථාව ලැබෙන්නෙ මාධ්‍ය හමුවේදියි. අනෙක අපි කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමු සඳහා බලෙන් මාධ්‍යවේදීන් සම්බන්ධ කර ගන්නෙ නෑනෙ. කැමති අයට එන්න පුළුවන්; එන අයට කොරෝනා පාලනය සඳහා ප්‍රකාශිත ක්‍රමවේද අනුගමනය කරමින් තමන්ගේ රාජකාරිය කරන්න අපි පහසුකම් සලසා තිබෙනවා.

අපේ රට කොරෝනා වසංගතයෙන් මුදවා ගන්න සෞඛ්‍ය අංශවල අය ත්‍රිවිධ හමුදාව පොලීසිය මෙන්ම මාධ්‍ය ආයතන හා මාධ්‍යවවේදීන් ද විශාල මෙහෙයක් ඉටු කළා. නමුත් මෙරටේ ජනමාධ්‍ය අමාත්‍යවරයා විදියටවත් ඔබ ඔවුන් ඇගැයිමකට ලක් කරල නෑ කිව්වොත් පිළිගන්නවාද?

නෑ, එහෙම ඒක පිළිගන්න බෑ. මොකද මම පෞද්ගලිකව ගීතයක් රචනා කරල මේ සියලුම දෙනා රටක වාසනා මහිමය කියල ඇගයීමට ලක්කර උපහාර දක්වා තිබෙනවා. මාධ්‍යවේදීන්ට තමන්ගේ හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස පාවිච්චි කරන්න අවස්ථාව ලබා දුන්නා. මාධ්‍ය ආයතන වලට හා මාධ්‍යවේදීන්ට කරන ලොකුම උපහාරය තමයි මාධ්‍යකරණය සඳහා අවශ්‍ය නිදහස ලබා දීම. අපි ඒ පසුබිම ඇති කරල තියෙනවා. අද ⁣රාජ්‍ය මාධ්‍ය ආයතනයක නියෝජිතයකු විදියට රටේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ගෙන් සෘජුව ප්‍රශ්න කරන්න ඔබට නිදහස තියෙනවා. මම උත්සහ කරන්නෙ හැම මාධ්‍යවේදියකුටම ඔවුන් ගේ ආදායමේ තරමට ගෙවලා ගන්න හෝ නිවාස යෝජනා ක්‍රමයක් කොළඹ හදන්නයි. ඒ වගේම ඔවුන් ගේ සේවා කාලය පළපුරුද්ද යනාදියට අනුව මාධ්‍යවේදීන් ට ඩිප්ලෝමා හෝ උපාධියක් ලබා ගත හැකි උපාධි ආයතනයක් ආරම්භ කරන්නත් අපේ අවධානය යොමුව තිබෙනවා. සරලව හිතල සරල දෙයක් කරනවාට වඩා මම හැමවිටම උත්සහ කරන්නෙ හැම ක්ෂේත්‍රයකම අලුත් දිගුකාලීන වටින වැදගත් වැඩක් කරන්නයි.

කොරෝනා සම්බන්ධයෙන් රටේ අනෙක් අය සඳහා වලංගු නීති තොණ්ඩමන් ඇමතිවරයා ගේ මරණය සිදු වු මොහොතේ වලංගු නොවුණේ ඇයි?

ඔව් අපි දැක්කා මේ ගැන නොයෙක් අය ආණ්ඩුවට චෝදනා එල්ල කරල තියෙනවා. නමුත් මෙතනදී රජය වරදක් කරල හෝ අදාළ නීති රීති අකුලා ගැනීමක් කරල නෑ. තොණ්ඩමන් කියන්නෙ මේ රටේ එක්තරා ජන කොට්ඨාසයක නායකයෙක්. ඔහු නියෝජනය කරන ජනතාව මේ රටේ ආර්ථිකයකට විශාල දායකත්වයක් ලබා දෙන අධ්‍යාපන මට්ටම සාපේක්ෂව අඩු පිරිසක්. ඔහුන් අසීමිත ලෙස ආදරය කරපු නායකයා ගේ අභාවයේදි රජය දැඩි ලෙස සීමා පනවන්න ගියා නම් ඔවුන් ඒක වැරදි විදියට තේරුම් අරගෙන වතුකරයේ අරගලයක් ඇති වෙන්න ඉඩ තිබුණා. එවැනි තත්ත්වයක් කොරෝනා පාලනයට මහත් සේ බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසයි කොරෝනා පාලනය සඳහා අදාළ සියලු නිති රීති ඉතා දැඩිව නමුත් මානුෂිය පදනමින් ක්‍රියාත්මක කරමින් හැම පැත්තක්ම බේරා ගන්න රජය කටයුතු කළේ.

ඇමරිකානු පොලිසිය කළු ජාතිකයකු මැරුවාය කියන චෝදනාව නිසා අද ඇමරිකාවෙ ඇතිව තිබෙන තත්ත්වය පෙනෙනවා නේද? අපේ රටේ බාර් ඇරපු වෙලාවෙ ජනයා පොරකමින් බාර් ළග හැසිරුණු ආකාරය පාලනය කරන්න වෙඩි තියල කඳුළු ගෑස් ගහල මර්දනය කරන්න පුළුවන් ද?මෙවැනි අවස්ථා බුද්ධිමත් ලෙස පාලනය කර ගැනීම තමයි රජයක වගකීම වෙන්නෙ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධුරයට පත් වු පසුව මෙරටේ පැවැති බදු ප්‍රතිපත්තිය කණපිට පෙරළලා රජයට ආදායම අඩු වුණාම අසීමිතව මුදල් අච්චු ගහනවා කියන කතාව ඇත්තක්ද?

මුදල් අච්චු ගැහුවා කියල කිව්වට ඔය කවුරුවත් ඒක ගැන පැහැදිලිව කියන්නෙ නෑ. මිලියන 200 ක් මුදල් අච්චු ගැහුවෙ කාසි හා නෝට්ටුද? එහෙම නැත්නම් M1 මුදල්ද? එහෙම නැත්නම් M2 මුදල් ද? එහෙම නැත්නම් M2-B ඒකාබද්ධ මුදල්ද අච්චු ගැහුවා කියන්නෙ.මුදල් අච්චු ගැහුවා කිව්වට හරියට කවුරුවත් කියන්නෙ නෑ මොන වර්ගයේ මුදල්ද අච්චු ගැහුවෙ කියල.

ඔබ කියන්නේ සංසරණය සඳහා වන රුපියල්, ශත මුදල් අලුතින් අච්චු ගැහුවෙ නෑ කියලද?

කවුරු හරි ඔප්පු කළොත් මෙරටේ සංසරණය වන රුපියල් සත මුදල් මිලියන දෙකක් අලුතින් අච්චු ගැහුවා කියල මම මැතිවරණයට ඉදිරිපත් කරල තියෙන නාම යෝජනා ඉල්ලා අස්කර ගන්නවා.

කවුරු හරි කියන විදියට අලුතින් මුදල් අච්චු ගැසුවා නම් ඒ මුදල් නෝට්ටුවල ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා ගේ හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගේ අත්සන් තිබෙන්නට ඕන. මම අභියෝග කරන්නෙ මේ අත්සන් දෙක සහිතව අලුත් මුදල් නෝට්ටුවක් පෙන්වන්න කියලයි.

සාකච්ඡා කළේ - ජයසූරිය උඩුකුඹුර

Comments