නැගෙනහිර රටටම ආදර්ශයක් කිරීම අපේ බලාපොරොත්තුවයි | සිළුමිණ

නැගෙනහිර රටටම ආදර්ශයක් කිරීම අපේ බලාපොරොත්තුවයි

කෝවිඩ් 19 වසංගතය අවසන්වීමත් සමඟ නැගෙනහිර පමණක් නොව සමස්ත ලංකාවම ගොඩනැගිය යුතුයි. නැවත ගොඩනැගෙමින් තිබු නැගෙනහිරට කෝවිඩ් 19 සමඟ ඇතිවු බලපෑම ඉතා දැඩියි. නමුත් නැගෙනහිර නැවත ගොඩනැගීමට හැකිවෙතැයි යන්න ම‌ගේ විශ්වාසයයි. ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත සුවිශේෂී වීමට කාරණා කිහිපයක් බලපානු ලබයි. නැගෙනහිර පිහිටීම අනුවද සුවිශේෂි වෙයි. ඒයට හේතුව ත්‍රිකුණාමල වරාය ඇතුළු ඉල්මනයිට් කොරල් පර ස්වභාවික වනාත්තරයි. එමෙන්ම අතිශයින් සුන්දර මුහුදු තිරය ස්වභාවික සම්පත් බහුල ප්‍රදේශයක් වීමයි. එමෙන්ම පසුගිය වසර තිහක් පුරා පැවැති ත්‍රස්තවාදයෙන් අනතුරුව නැවත ගොඩනැගිය යුතු ප්‍රදේශයක් ලෙස නැගෙනහිර හැඳින්විය හැකිය. නැගෙනහිර ජනගහනය අතින් සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනවර්ග ජීවත්වන අතර සිංහල ජනගහන ප්‍රතිශතය අඩුවීමත් මුස්ලිම් ප්‍රතිශතය වැඩිවීමත් විශේෂ කරුණකි.

මම මේ පළාතේ ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළත් මම සිංහල බෞද්ධ සංස්කෘතික වටපිටාවක සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය අනුගමනය කරන්නෙමි. නමුත් මා නැගෙනහිර ආණ්ඩුකාරවරිය ලෙස මේ මුළු පළාතටම දේශපාලන නායකත්වය දීමේ වගකීම මා සතුයි. සියලුම පරාස වල ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම් කන්දිය යුතුයි. ඒ හෙයින් මම ආණ්ඩුකාරවරියක ලෙස දේශපාලන පක්ෂයට සීමාවිය යුතු නැතැයි යන්න මගේ මතයයි.

මගේ දේශපාලන මතවාදය මෙන්ම මගේ පක්ෂයේ මතවාදය සහ පක්ෂය ආරක්ෂා කරගැනීමටත් එය අනුබලයක් සහ අනුග්‍රහයක් ලෙසයි මම සලකනු ලබමි. ජාතීන් වශයෙන් මා සියලු ජනකොටස් ඒකරාශි කරගත යුතුයි. ඒ අයගේ ප්‍රශ්නවලට ඇහුම් කන්දිය යුතුයි. මා විශ්වාස කරන කාරණාවක් වන්නේ එල්ටීටීඊ ග්‍රහණයේ සිටිය ගම්මානවල ජනතාවට රටේ සංවර්ධනයට එක් වීමට අවස්ථාවක් දිය යුතුයි. ඒකීය රටක් තුළ අපි ගෙනයන සංවර්ධන වැඩපිළිවෙලේ ඔවුන් කොටස්කරුවන් කරගතයුතුයි කියන මතය මගේ මතයයි.

පොදු ජනපෙරමුණ, එජාප සහ ටීඑන්ඒ සියලුම දෙනා එකට එකතු වී වැඩකිරිමේ අවස්ථාව සාර්ථක වීම මේ රට ලද ජයග්‍රහණයක පියවරක් ලෙසයි මගේ අදහසයි.කෝවිඩ් වසංගතය අවස්ථාවේදිත්, යම් ගැටලු සහගත අවස්ථාවලදිත් අවශ්‍ය ගම්මානවලට අවශ්‍ය දේ අප ලබා දුන් අතර එහිදි පක්ෂ ජාති භේද කිසිවකු සැලකුවේ නැත. සියලුම ජනතාවගේ ගැටලුවලට ඒ ඒ අවස්ථාවලදී ඇහුම්කන්දීම සහ ඒ සඳහා විසඳුම් ලබා දීම කළ යුතුයි.

කොව්ඩ් වලට මුහුණ දීමට නම් රට ස්වංපෝෂිත කළ යුතුයි. නැගෙනහිර පළාතේ යල කන්නය ආරම්භයේදීම කෝවිඩ් වසංගතය ආරම්භ විය. ඇඳිරි නීතිය පවතින කාලයේදි ගොවිතැන් කිරීමට අවසර ලද සැණින් අපිට නොකඩවා වගා කටයුුතු කිරීමට සිදු විය. යල කන්නට මහ කන්නයට තරම් කුඹුරු නොකළත් යල කන්නය සඳහා වන සියලු කුඹුරු වැඩ ආරම්භ කිරීම මේ අවස්ථාවේදි සිදු විය. සම්පුර්ණ රට ස්වංපෝෂිත කිරීමට නැගෙනහිරට හැකිවෙතැයි මගේ විශ්වාසයයි. මේ වන විටත් රටේ වී නිෂ්පාදනයෙන් සියයට විසිපහක ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබනුයේ නැගෙනහිරිනි.

කෘෂිකර්ම විශේෂඥයන්ගේ උපදෙස් අනුව දැනටමත් අපි රසායනික පොහොර සහ රසායනික වල් නාශකවලින් තොරව කාබනික පොහොර, කෘමි සහ වල්නාශක සඳහා යොදාගැනීමට කටයුතු කිරීම ආරම්භ කර ඇත. අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලබන මාත්‍රාවලට වඩා ඇතැම් රසායනික පොහොර ‍යොදා ගැනීමද ගොවින් අනුගමනය කරන වැරදි ක්‍රියා මාර්ගයකි. රසායනික පොහොර ආනයනය සඳහා විශාල පිරිවැයක් වැයවෙයි. පරිසරයට මෙය ඉතා අහිතකරය. අනෙක් කාරණාව අපේ රටේ කුඩා දරුවන් ගේ සිට සියලු ජනතාව ලෙඩ රෝගවලට ගොදුරු ගොදුරු වීමට කාරණාවක් වන්නේද මේ රසායනික පොහොර භාවිතයයි. නැගෙනහිර පළාතේ සියලුම කෘෂිකර්මික කටයුතු සඳහා කාබනික පොහොර යොදා ගැනීම මගේ ප්‍රධාන අපේක්ෂාවකි. සෞභාග්‍ය ගෙවත්ත නමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හඳුන්වා දී ඇති ගෙවතු වගා සඳහා ද ජනතාව උනන්දු කිරීම සහ ඔවුන්ට සැම නිවසකටම බීජ ලබා දීමට අවශ්‍ය එළවළු නිෂ්පාදනය කිරීමට කාබනික පොහොර ගෙවතු වලට ලබාදීමට අපි කටයුතු කරමින් සිටින්නෙමු.

ධාන්‍ය බෝග වගාව ද මේ වන විට හඳුන්වා දී ඇත. ගොවිතැන සඳහා රජයේ ඉඩම් ලබා ගැනීමට අපි කටයුතු කරමින් සිටින්නෙමු. කෘෂිකාර්මික අංශයෙන් අපි නැගෙනහිර නැවත ගොඩනැගීමට ගත් ප්‍රථම පියවර ලෙස කෘෂිකර්මාන්තය හැඳින්විය හැකිය.

නැගෙනහිර පළාතේ වැඩිපුර වී නිෂ්පාදනය කළද මහපරිමාණයේ වී මෝල් පහසුකම් නැත. ගොවීන්ගේ නිෂ්පාදන මහ පරිමාණ වී මොල් හිමියන් මේ ප්‍රදේශවලට පැමිණ මිලදී ගැනීමේ ක්‍රමවේදයක් බොහෝවිට ක්‍රියාත්මක කර ඇත. රජයේ මිලදී ගැනීම සියයට පහක් පමණ ‍වෙයි. වී වලට පාලන මිලක් දැමීම නිසා මධ්‍යම ප්‍රමාණෙය් වී මෝල් හිමියන් පාලන මිලට වඩා යම්කිසි වැඩි මුදලකට වී මිලදි ගැනීම සිදුකරන අවස්ථා ඇත. වී ගොවියාට අවශ්‍ය උපකරණ ලබා ගැනීමට වී මොල් හිමිකරුවන් විසින් ණයක් ලබා දී ඇති අවස්ථාද වෙයි. ඒ වැනි අවස්ථාවලදී අස්වැන්න නෙළු පසු ණය පියවීම සඳහා වී මෝල් හිමිකරුවන්ට තම වී විකිණීමට සිදුවන අවස්ථා ද වෙයි. රජය මැදිහත් වීමෙන් වීවලට පාලන මිලක් නියම කිරිම අවශ්‍යයයි. එම වීවලට මිලක් ලබාදී රජය මැදිහත් වූ විට එකවර වී මෝල් හිමියන්ට අඩු මිලකට වී මිලදි ගැනීමට නොහැකියි. නමුත් පහසුකම් අඩු ප්‍රදේශවල ගොවියන්ට තමන් නිෂ්පාදනය කරන ලද වී ටික අලෙවි කිරීමට ප්‍රවාහන සහ මාර්ග පහසුකම් නොතිබුණු අතර; එවැනි ගොවියන් ගමට එන මෝල් හිමියන්ට ඉතා අඩු මිලකට වී විකුණයි. අපි ඉතා ඉක්මණින් යටිතල සහ වෙනත් පහසුකම් ලබාදීමට බලාපොරොත්තු වෙමු. ඉන් අනතුරුව වී අස්වැන්න ලැබිමේදී රජය මැදිහත් වී එම ගොවියන්ගෙන් වී මිලදී ගැනීමට කටයුතු කිරීමට හැකි පරිසරයක් ඇති කිරීම කඩිනමින් සිදු වෙයි.

අපේ රටේ කිරි නිෂ්පාදනයෙන් සියයට දාහතක් පමණ නිෂ්පාදනය සිදුවන්නෙ නැගෙනහිර පළාත ආශ්‍රිතවයි. ඒ කිරි නිෂ්පාදනය වැඩි දියුණු කිරීමද මේවන විට සිදුවෙමින් පවති. ලංකාවේ ධීවර නිෂ්පාදන හරහා සියයට 25 මාළු නිෂ්පාදනය සිදුකෙරෙන්නේද නැගෙනහිර පළාත ආශ්‍රිතවයි.

කරදිය පමණක් නොව මිරිදිය ධිවර නිෂ්පාදනය ද මෙහිදි අදාළ වෙයි. නමුත් මේ ධීවර කර්මාන්තය පරිසරය ආරක්ෂා කරගනිමින් ස්වභාවික සම්පත් වන කොරල්පර ආරක්ෂා කරමින් කිරීමටයි අපගේ උත්සාහය. වැරදි ධීවර ආම්පන්න භාවිතය ඉවත් කිරීම අපගේ උත්සහයයි. පරිසර හිතකාමි ක්‍රමවේද හඳුන්වා දීම මෙහිදී සිදු කරයි.

විශේෂයෙන් ම පාසිකුඩා, කල්කුඩා සහ ආරුගම්බේ යන ප්‍රදේශ සංචාරකයන්ට ඉතාමත් ආකර්ෂණිය ප්‍රදේශයි. නැගෙනහිර පළාතට අයත් මුහුදු තීරය වර්ග කිලෝමිටර් හාරසිය තිහක් පවතී.

ඒ මුහුද තීරයේ එක් ප්‍රදේශයක ඉල්මනයිට් සහ කොරල්පර පවතියි. මේ මුහුදු තීරයෙ ඇති සුවිශේෂත්වය සම්බන්ධයෙන් අපි අපේ රටට පැමිණෙන සංචාරකයන් දැනුවත් කළයුතුයි. අපේ මුහුදු තීරය පරිසරය සමඟ යාබද මුහුදු තීරයකි; බොහෝ සුන්දර මුහුදු තීරයකි; විශේෂයෙන් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මුහුදු තීරයකි. විසිතුරු මාළු කොරල් නැරඹීමට සහ කිමිදුම් කිරීමට කැමැති සංචාරකයන්ගේ නවතැන් සඳහා ඉදිරියේදි හෝටල් කර්මාන්තය වැඩිදියුණු කිරීමටත් ආයෝජකයන් සොයා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමත් අපේ අපේක්ෂාවයි.

විදේශීය සහ ලාංකීය ආයෝජකයන්ට ඒ සඳහා දායකත්වය ලබාදී ලංකාවේ කොටස් කරුවෙක් වීමට අපි ඉදිරියේදි ආරාධනා කිරීමට බලාපොරොත්තු වෙමු. පරිසරයට ආදරය කරන විදේශීය ශ්‍රී ලාංකිකයන්ගේ අපෙක්ෂාව නැවත ලංකාවට පැමිණීමයි. අපේ රට ලෝකයේ ඇති රටවල්වලින් ජෛව විවිධත්වය අතින් විවිධත්වය වැඩිම රටකි. එයින් අපි උපරිම ඵල නෙළා ගත යුතුයි. නැගෙනහිර ඇති තවත් ස්විශේෂි කාරණවක් වන්නේ නැගෙනහිර ඇති පුරාවිද්‍යාත්මක ස්ථානයන්ය. මෙරට සහ විදේශීය සංචාරකයන් සඳහා එවැනි ඓතිහාසික සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයත් සමඟ සමගාමි වී පවතින ඒ සිහිවටන නැරඹීමට සහ අධ්‍යයනය කිරීමටද ඉදිරියේදි සැලසුම් සකස් කරමින් පවතී.

රටක් ලෙස ස්යංපෝෂිත විය යුතුයි කියන ස්ථාවරයේ අපි සියල්ලෝ සිටිය යුතු බව අපට කෝවිඩ් 19 සිහිපත් කර දුණි. සංවෘත ආර්ථිකයකට යාම කියන ආකාරයම මම මෙහිදි අදහස් නොකරමි. රටක ගැටලුවක් මතු වෙන අවස්ථාවක ආනයනය කරන භාණ්ඩ මත පමණක් යැපෙන්නේ නැතිව ක්‍රියා කළයුතුයි කියන යැපුම් මානසිකත්වයේ අපි බැහැර විය යුතුයි. අපි රජයේ ඉඩම් ගොවීන් වෙනුවෙන් ලබා දී රට ස්යංපෝෂිත කිරීම සඳහා නොයෙකුත් පියවර ගත යුතුයි. දැනටමත් රජයට අයත් සියලුම වගා කළ හැකි භූමි වගාකිරීමට අපි කටයුතු කරමින් සිටිමු.

තවදුරටත් ආහාර ස්යංපෝෂිත කිරිමේ කටයුතු අපි දිගින් දිගටම සිදු කරන අතර අපේ ධීවරකර්මාන්ත අමාත්‍යංශය අවශ්‍ය පහසුකම් ලබා දී ඇත. සත්ත්ව ගොවිපලවල් හරහා වැඩියෙන් කිරි ලැබෙන එළදෙනුන් බෝ කිරීමට අපි රජයක් ලෙස අවශ්‍ය පහසුකම් ලබා දෙන්නෙමු.

කාබනික පොහොර නිෂ්පාදනාගාර සහ ආහාර කල් තබා ගැනිමේ ක්‍රමවේදයන් වැඩි දියුණු කිරිම සඳහා වන ව්‍යාපෘති මේවනවිටත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. එමෙන් ම අපේ නැගෙනහිර පළාතේ පුනර්ජනනීය බලශක්තිය මගින් විදුලිය නිපදවා ගැනීමට වැඩපිළිවෙලක් සකස් කර ඇත.

විදුලි බලය සුර්යය බලශක්තිය යොදාගෙන නිෂ්පාදනය කිරිම මගින් පරිසරයට හානි නොවන ආකාරයට නිෂ්පාදනය කිරීම අපේක්ෂාවයි. කොරෝනාවෙන් පසුව නැගෙනහිර පමණක් නොවෙයි සමස්ත ශ්‍රීලංකාවම ගොඩනැඟීමට නැගෙනහිරින් රටට විශාල ශක්තියක් ගෙනදීම අපගේ අපේක්ෂාවයි.

Comments