‘තණමල්විල කොල්ලෙක්’ ගෙන් යළි උපන් දම්මි | සිළුමිණ

‘තණමල්විල කොල්ලෙක්’ ගෙන් යළි උපන් දම්මි

කරුණාසේන ජයලත්ගේ ගොළු හදවත හි සුගත් - දම්මි ආදර අන්දරය එදා බොහෝ පෙම්වතුන් සසල කළේය. දම්මීට බනිමින් සුගත්ට ආදරය කළ ඒ පරම්පරාව මේ කතාවට කෙතෙක් ආදරය කළේද යත් එ් ජනප්‍රියත්වය නිසාම එය සිනමාවට හා පුංචි තිරයට ද නැඟිණි. මෙදා රූපවාහිනී තිරයට තරුණ පිරිස ආසක්ත කරගත් අපූරු ටෙලිකතාවක් ස්වාධීන රූපවාහිනියේ සතිඅන්තයේ විකාශය වන්නේය. තණමල්විල කොල්ලෙක් ගැන බොහෝ කතාබහ ඇතිවන බැවින්ම එදා දම්මි නොවන නූතන දම්මීට පණ පොවන කසුනි සමඟ අප කතාබහ කරන්නට සිතුවේ පෙර මතක සිතේ නලියද්දීය.

‘රාවණා’හී සටන් ශූරියක වන ‘මාලනි’දැන් අහිංසක ගැමි කෙල්ලකි. මුහුණේ සිනා පොදක් නැති බව සැබෑය. එහෙත් බොහෝ දෙනෙක් මේ ගැමි කෙල්ලට ආදරය කරති. ඇය යළිත් අපට හමුවන්නේ මේ දිනවල පුංචි තිරයේ අතිශය ජනප්‍රිය වූ ටෙලි නිර්මාණයක් වන තණමල්විල කොල්ලෙක් හි දම්මි ලෙසය. පුංචි තිරයේ කාගෙත් ආදර දිනා ගත් ඒ දම්මිව රූපණය කරන්නේ දැන් කවුරුත් හඳුනන කසුනි කාවින්දි ප්‍රනාන්දුයි.

ප්‍රේමකුමාර ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ‘මාද ඔබම විය‘ඇගේ ප්‍රථම ටෙලි නාට්‍යය රංගනය විය. ඒ නිර්මාණ කෘතිය සඳහා සම්බන්ධ වනවිට ඇය සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සිසුවියකි. රත්නපුර ෆර්ගිසන් උසස් බාලිකාවේ සිප්සතර හදරන සමයේ සිටම ඉංග්‍රීසි වේදිකා නාට්‍යවලට ද, ළමා නාට්‍ය නිළියක් ලෙස ද දස්කම් පෑ ඇය සමස්ත ලංකා ජයග්‍රහණ ගණනාවක් ලැබුවාය. මේ වනවිට කසුනි කාවින්දි යනු නාට්‍ය හා රංග කලාව පිළිබඳ ප්‍රාමාණික ශාස්ත්‍රීය අධ්‍යයනයක් සහිත විශේෂවේදී උපාධිධාරිණියක්.

ඇය නිළියක් වීම අහම්බයක් නොවේ. ඇය ඒ සිහිනයට ළං වූයේ පියරින් පියවර ගෙවා ආ ගමනක ප්‍රතිඵලයක් ලෙසිනි. රංගන සහජය ඇය ශාස්ත්‍රීය පදනමකින් ඔප් නන්වාගෙන තිබුණාය. ඇයගේ රංගන ජීවිතය සම්බන්ධව ඇය හා කෙරෙන සංවාදය රසවත්ය. විටෙක ඇය ඒ අතීතය මෙනෙහි කළාය. “ පුංචි කාලේ ඉඳලා මගේ පෙලඹීම තිබුණෙ කලා මාධ්‍ය වෙත. ඒක සහජයක් වෙන්න ඇති. ඒ ගමන අර්ථවත්ව යථාර්ථවාදීව යන්න අවශ්‍ය මූලික පදනම හැදුණේ මගේ පාසලේ සුමනසිංහ කේ. පතිරණ ගුරුපියාණන් නිසා. එතුමා රත්නපුරේ සිට කොළඹට අපිව එක්ක ආවා හොඳ නාට්‍ය බලන්න. පාසල් වේදිකාව මට හුරු පුරුදු තැනක්. පසුව නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්න අතර තුර ‘ලිෆ්ට් එක හිර වෙලා‘ කියන කෙටි නාට්‍යයක රඟපාන්න අවස්ථාව ලැබෙනවා.“

ඇය ‘ලිෆ්ට් එක හිරවෙලා‘ කෙටි නාට්‍යයේ රඟපාන්නේ වර්ෂ 2012 දීය. එහි දී ප්‍රකට කළ රංග ප්‍රභාව දිගින් දිගටම ප්‍රසිද්ධ වේදිකාවේ රඟ පාන්නට ඇයට අවකාශ සලසා දෙන්නේය. ඊට දෙවසරකට පසු ඇය රඟ පෑ ‘චෙරි උයන‘ වේදිකා නාට්‍යය වෙනුවෙන් ඇය 2014 යෞවන සම්මාන උලෙළේ හොඳම නිළිය ලෙස සම්මානනීය වන්නීය. කසුනිගේ රංගන ජීවිතයේ මුල්ම උත්කර්ෂය ඒ අවස්ථාවය. අනතුරුව වර්ෂ 2015 රාජ්‍ය නාට්‍ය උලෙළේ ද, 2017 දී ‘බිසෝ අම්බලම’නාට්‍යයේ රංගනය වෙනුවෙන්ද ඇය හොඳම නිළිය සම්මානයට නිර්දේශ වන්නීය. ඇය තණමල්විල කොල්ලෙක් ටෙලි සිතුවමේ දම්මිගේ චරිතය ස්පර්ශ කරන්නේ මෙවන් රංගන පසුබිමකින් ලත් පරිචය සමඟය. එම චරිතයේ ගැබ්වුණු ගැඹුරු භාව ප්‍රකාශ වන්නේ ඒ ශාස්ත්‍රීය පසුබිම තුළ ලබන ශික්ෂණයේ ඵලයක් ලෙසය. එමෙන්ම ජීවිතය පහසු කරන සමාජ උත්කර්ෂ අත්හැර ගලන ප්‍රවාහයට එදිරිව ගමන් කිරීම තෝරා ගැනීමට තරම් පෞරුෂයක් ඇය සතුව තිබිණි.“කථිකාචාර්යවරියක් වීමේ සිහිනයක් තිබුණා. නමුත් යම් හේතු මත ඒ හීනය අත්හැරියා. ඊට පස්සේ වෘත්තීය කලාකාරිනියක් වීමේ අභියෝගය මම බාරගත්තා.” ඇය අප සමඟ කීවාය.

තණමල්විල කොල්ලෙක් නාට්‍යයට ප්‍රථම ඇය සත්‍යා, කූඹියෝ, පැරිසියට යන පාර, ත්‍රෛලෝක, රාවණා වගේ නාට්‍යවලට රංගනයෙන් දායක වී තිබිණි. එමෙන්ම කෞෂල්‍ය මාධව පතිරණගේ ඉක්කා‘චිත්‍රපටයෙන් ඇය සිනමාවට ප්‍රවේෂ වූවාය. එම සිනමා කෘතියේ ප්‍රධාන චරිතය වූ අචලා ලෙස රංගනයේ යෙදුණේ කසුනිය.ලංකාවේ ප්‍රථම 3ඩී සිනමාපටය ගජමෑන්ය. එහි ප්‍රධාන කාන්තා චරිතයට චලන රංගනයෙන් දායක වන්නේ ද කසුනිය. චාමර ජනරාජ්ගේ පළමු සිනමා නිර්මාණය වන ‘උතුරු සුළඟ’ චිත්‍රපටය හා චත්‍ර විරමන්, ඉන්දික ෆර්නැන්ඩෝ යන අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට දෙකකට ද ශෂික හේරත්ගේ කුළුඳුල් සිනමා නිර්මාණයටද ඇය මේ වනවිට දායක වී සිටින්නීය.

“මේ වනවිට මම කළ වැඩ කොටස ගැන මට යම් තක්සේරුවක් තියෙනවා. ඒ සම්බන්ධව සියුම් තෘප්තියක් තියනවා. ජීවිතය අධ්‍යයනය කරන්න විඳින්න හොඳ ක්ෂේත්‍රයක් මම වෘත්තියම වශයෙන් තෝරගෙන තියනවා. මම රංගනය ගැන හැදෑරීම් කරපු කෙනෙක්. ඒ හැදැරීම නිසා කිසිම කරදරයක් නැතිව මේ ක්ෂේත්‍රය තුළ තවමත් හොඳින් රැඳී සිටිනවා.“ කසුනි කීවාය. තණමල්විල කොල්ලෙක් හි දම්මි අභියෝගාත්මක බරසාර රංගනයක් ඉදිරිපත් කළ යුතු සංකීර්ණ චරිතයකි. “මීට කලින් එතරම් සංකීර්ණ චරිතයක් මම කරලා තිබුණේ නැහැ. මගේ රංගන පරාසය තුළ දැනුම හා අධ්‍යක්ෂවරයාට ඒ චරිතයෙන් අවශ්‍ය දේ මම වටහා ගත්තා. තණමල්විල කොල්ලෙක් කියන්නේ රංගන පාසලක් වගේ.මා ඒ නිර්මාණයට සම්බන්ධ වෙන්නේ කෝරලගේ සමන් හරහා. රොෂාන් රවීන්ද්‍ර කියන්නෙ මා ඉතා ප්‍රිය කරන රංගන ශිල්පියෙක්. ඔහු ගැන ලොකු ගෞරවයක් මා තුළ තිබුණා. මේ නිර්මාණයේ හිටියේ කලක සිට මා ඇසුරු කළ පිරිසක්. එබැවින් මා ඒ නිර්මාණයට සම්බන්ධ වෙන්නෙම ඉතාම කැමැත්තෙන්.

එමෙන්ම මේ නිර්මණයේ මගේ චරිතය වන දම්මිට හැඩ ගැහෙන්න මට ලොකු කැප කිරීමක් කරන්න වුණා. මගේ පෙනුම නිසා බොහො විට මට ගැමි චරිත මඟහැරි තිබෙනවා. දම්මිට රඟපාන්නේ මම කියලා හඳුන ගන්නත් මුලදි බොහෝ දෙනෙක්ට බැරි වුණා. මාව මේ චරිතයට තෝරා ගැනීමට අධ්‍යක්ෂවරයා ගත් අභියෝගය හා ඔහු මා කෙරෙහි තැබූ විශ්වාසයට මම ගරු කරනවා. දම්මි කියන්නේ ලාංකේය යුවතියකගෙන් සමාජය බලාපොරොත්තු වුණ ගතිගුණවලින් පරිපූර්ණ වූ චරිතයක්. මම ඒ චරිතයට මානසිකව බොහෝ සූදානම් වුණා. රංගනයේ බොහෝ දෑ ප්‍රායෝගිකව ඉගැන්වූ චරිතයක් තමයි දම්මි කියන්නෙ... එම චරිතයට ලැබෙන ප්‍රතිචාර දෙස බලන විට අධ්‍යක්ෂවරයා මට දුන් අභියෝගයට මම උපරිමය කැප කළා යැයි සිතෙනවා.“ තණමල්විල කොල්ලෙක් නිර්මාණයේ රංගන භූමිකාව ගැන කසුනි කියන්නේ එවැනි කතාවකි

කසුනි කාවින්දි යනු දැන් සංවාදයට ලක්වන්නියකි. තණමල්විල කොල්ලෙක් සමඟ ඇය වටා ප්‍රබුද්ධ රසික පිරිසක් රොක් වී සිටිති. ඒ සමඟම සුවිශේෂ වූ සමාජ වගකීමක් පිළිබඳ අදහසක් ඇය තුළට ප්‍රේරණය වී ඇත. “මා ජනප්‍රියත්වය හඹා යන කෙනෙක් නෙමෙයි. මේ ක්ෂේත්‍රයට ඇවිත් වසර හතකට ආසන්න වුණත් තවම මං රඟපාලා තියෙන්නේ නිර්මාණ සීමිත ප්‍රමාණයකයි. ඒ මම චරිත තෝරා ගැනීමක් කරන නිසා. නිර්මාණ තෝරා ගන්නේ මගේ තෘප්තිය මතයි. මේ වනවිට මා වේදිකා රංගනයෙන් තරමක් දුරට ඈත් වෙලා ඉන්නේ. රංගනය කියන්නේ වෘත්තියක්. ඒ වෘත්තීය අවකාශයේ නිවැරදිව හැසිරෙන්න අවශ්‍ය පරිචය හා සංයමය සහිතව මං ඒ වෘත්තිය තෝරගෙන තියනවා. මේ ගත වෙන්නේ දුර්ග සමයක්. ඒ වකවානුව තුළ සියලුම කලා ක්ෂේත්‍රහි තාවකාලිකව ඉදිරි කටයුතු නැවතිලා. ජීවිත යථාර්ථය ගැන සුලු අවබෝධයක් තියනවා නම් මෙවැනි ස්වභාව තේරුම් අරන් උපේක්ෂාවෙන් ජීවිතය දෙස බලන්න පුලුවන්...

කසුනි කාවින්දි අප හා කළ සංවාදය නිමා කරන්නේ එසේය. කලාකරුවෙක් සතු විය යුතු සමාජ වගකීම පිළිබඳ යථාවාදී අවබෝධය සහිතව ක්ෂේත්‍රයට පිවිසෙන තරුණ තරුණියන් විරල යුගයක කසුනි විමසිය යුතු චරිතයකි. පෙණ බුබුළු සේ පිපී සුන් වී යන බෝනික්කන් වැනි සිඟිති චරිත පසුකර බර අඩි තබමින් පැමිණෙන මේ තරුණිය සිය නිර්මාණ දායකත්වය තුළ අපව අප වටා ඇති ෆැන්ටසිය කුඩු කර දමයි. අපව යළි සිහිනයෙන් අවදි කර යථාර්ථය මත පිහිටුවයි. කසුනිලාගේ මෙම ප්‍රවේශය නූතන නිර්මාණකරුවන් පිළිබඳ අප තුළ පහන් බලාපොරොත්තු උපදවයි.

Comments