සූර්වූවන්ට පොල්කටු මාල පළැඳවූ අමද්‍යප සටනේ කතන්දරේ | Page 2 | සිළුමිණ

සූර්වූවන්ට පොල්කටු මාල පළැඳවූ අමද්‍යප සටනේ කතන්දරේ

කොරෝනා කාලේවත් නවත්තා ගැනීමට නොහැකි වූ මත් පැන් වසංගතයේ අතීත කතාව වත්මන් පරපුරේ බොහෝ දෙනෙකු නොදනිති. ශ්‍රී ලාංකිකයන් මත්පැනට තදින් ඇබ්බැහි වීම ඇරඹුණේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදීය. ඕලන්ද පාලන සමයේදී මෙරට වෙරළබඩ පෙදෙස්වල පොල් අරක්කු නිපදවීම ඇරඹුණු අතර ඒ නිෂ්පාදන මදුරාසිය, සිංගප්පුරුව බොම්බාය සහ මලබාරය වැනි විදේශයන්ට අලෙවි කරන ලදී . බ්‍රිතාන්‍යයෝද කටයුත්ත වඩාත් හොඳින් කරගෙන ගියහ. ඒ ඔවුන් උඩරට රාජධානිය යටත් කරගැනීමට පෙරය.

අපේ පැරණි රජ දවස යමකුට ඉඳහිට හෝ 'අඩියක්' ගැසීමට අවශ්‍ය වුවොත් ඔහු කළේ කිතුල් ගසකට, පොල් ගසකට හෝ තල් ගසකට නැඟ රා මැදීමයි; නැතිනම් අන් අය ලවා එය කරවාගැනීමයි. එවකටද කිතුල් හකුරු, පොල් හකුරු සහ තල් හකුරු නිපදවීම එම ගස් බහුලව තිබූ පළාත්වල ගෘහ කර්මාන්තයක් ලෙස පැවති බැවින් එසේ මත්පැන් ලබා ගැනීමේ අපහසුවක් නොවීය.

එහෙත් අද මෙන් එදා ගමක් ගමක් පාසා, නගරයක් නගරයක් පාසා තැබෑරුම් හෝ මත් අලෙවි හල් හෝ දක්නට නොවීය. ඊට හේතු වුයේ අතීත රජවරු මත්පැන් පෙරීම සහ අලෙවිය රජයේ බදු ආදායම් මගක් කර නොගැනීමයි. එනිසා මෙරැටියන් මත්පැනට ඇබ්බැහිවීම අවම වූ අතර බේබදුකමද අද මෙන් පැතිරී තිබුණේ නැත. තද ඇබ්බැහිවීමක් නැති නිසා අධික ලෙස මත්පැන් පෙරීමක්ද නොවීය.

මේ තත්ත්වය කණපිට හැරුණේ බ්‍රිතාන්‍යයන්ට අප රට යටත් වී සියවසක් ගතවන්නටත් පෙරය. වසර 1912 දී යටත් විජිත රජය ආඥාවක් නිකුත් කරමින් හැම ගමකම, හැම නගරයකම තැබෑරුම් විවෘත කිරීමට ලයිසන් (අවසර) දුන්නේය. එහි අරමුණ වුයේ මත්පැන් අලවියෙන් තැබෑරුම් හිමියන් ලබන ආදායමෙන් රජයට බදු අය කරගනීමයි. කිසිවකුගෙන් නොවිමසා මේ මාරක රහසිගත තීරණය ගත්තේ එවකට මෙහි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාව සිටි හෙන්රි මැකලම් සහ මහලේකම් හියු ක්ලිෆඩ්ය.

පළමුවෙන්ම රජයේ මේ පියවරට තදින්ම විරුද්ධ වූයේ පත්කළ මන්ත්‍රී පොන්නම්බලම් රාමනාදන් මහතාය. එහෙත් ඔහුගේ විරුද්ධත්වය නොතකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යෝජනාව ඒකමතිකව සම්මත කළේය. පුදුමය නම් එකල පහත රට ප්‍රධාන සිංහල මන්ත්‍රීව සිටි ක්‍රිස්ටෝෆර් උභයසේකර මහලේකම් තැනගේ ඕනෑම යෝජනාවක් හිස මුදුනින් පිළිගැනීමේ පුරුද්දට ඇබ්බැහි වීම නිසා මේ යෝජනාවට පක්ෂ වීමය. ඒ සමඟම රට පුරා හතු පිපෙන්නා සේ තැබෑරුම් බිහි වන්නට පටන් ගති.

එහි ප්‍රතිඵලය වුයේ අනුන් මතට ඇබ්බැහි කර ඔවුන් කාලකන්නීන් සහ දුගියන් බවට පත්කරමින් ධනවත් වූ නව මධ්‍යම පන්තියක් බිහිවීමයි. මේ තත්ත්වය වඩාත් දක්නට ලැබුණේ පහත රට පෙදෙස්වලය. මේ පන්තිය හැඳින්වුනේ අරක්කු රේන්ද කරුවන් ලෙසය.

පොන්නම්බලම් අනුව යමින් දේශප්‍රේමින් රැසක්ද මේ ප්‍රවණතාවට ඉතා දැඩි ලෙස විරෝධය පළ කළහ. ඔවුන් අතර අනගාරික ධර්මපාල, එතුමන්ගේ සොහොයුරන් වූ වෛද්‍ය සී.ඒ. සහ එඩ්මන්ඩ් හේවාවිතාරණ, ඩී.බී.ජයතිලක, වලිසිංහ හරිස්චන්ද්‍ර, එෆ්. ආර්. සේනානායක. ආත වී. ඩයස්, ආතර් ද සිල්වා, අමදෝරිස් මෙන්ඩිස්, ඒ.පී.ගුණරත්න, ජෝන් දිසානායක, පියදාස සිරිසේන සහ මාටිනස් සී. පෙරේරා ද වුහ.

මේ වනවිට දකුණු පළාතේ කොග්ගල බණ්ඩාරවත්තේ පී ඒ. ද සිල්වාගේ මූලිකත්වයෙන් අමද්‍යප ව්‍යාපාරයක් ද බිහිවෙමින් පැවතිණි.

මතුවෙමින් පැවති මත්පැන් ව්‍යසනය ගැන ධර්මපාල තුමා ඉංග්‍රීසියෙන් මෙසේ ලිවීය (සංක්ෂිප්ත පරිවර්තනය):

“පිළිකුලෙන් හෙළා දැකිය යුතු අදායම් උපයා ගැනීමේ අරමුණින් බ්‍රිතාන්‍ය රජය පළමු වරට 1801 දී ලංකාවේ මත්පැන් අලෙවියට මඟ කැපීය. කිසිම සංවේදී බවක් නැතිව රජය නූගත් ගැමියන්ට මත්පැන් බෙදා හරියි. එනිසා අද බන්ධනාගාර සිරකරුවන්ගෙන් පිරී ඇත. තමන්ගේ ලාබ ප්‍රයෝජනය සඳහා අපව මානසිකව වට්ටා දැමීමට මෙරටට පැමිණ ඇති සුද්දා පසු පස අපි අන්ධ භක්තියෙන් යමු. ඔහුගේ විස්කි මිලට ගන්නා ලෙස අපට කියයි. ඔහුගේ ප්‍රෝඩාවලට අපි රැවටෙමු...."

මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ බලගතු අමද්‍යප ව්‍යාපාරයක් පටන් ගෙන තිබිණි. ඉන් උත්තේජනයක් ලැබූ ලංකාවේ අමද්‍යප ව්‍යාපාරිකයෝ යටත් විජිත පාලනයට විරුද්ධව තදබල උද්ගෝෂණයක් දියත් කළේය. ඇමෙරිකන් අමද්‍යප ක්‍රියාකාරිකයකු වූ විලියම් ඉව්ජින් ‘පුසිෆුට්’ ජොන්සන් මෙරටට පැමිණීම ඔවුන් තවත් දිරිමත් කළේය. හොර මත්පැන් අලෙවිහල් සහ සූදු පොලවල් වැටලීමට අති දක්ෂ නිලධාරියකුව සිටි ඔහුට ‘පුසිෆුට්’(පූස් අඩි) යන නම ලැබුණේ රබර් අඩි සහිත පාවහන් පැළඳ පූසකු මෙන් නිහඬව පය තබමින් ඇමෙරිකාවේ නීති විරෝධී කටයුතුවල යෙදුණවුන් එකවිටම සූක්ෂම ලෙස අල්ලා ගැනීමට තිබූ සහජ හැකියාව නිසාය.

දිවයින පුරා අමද්‍යප රැස්වීම් සංවිධානය කළ ඔහු ඉන් එක් රැස්වීමක් පැවැත්වුයේ කොළඹ ආනන්ද විදුහලේය. එම රැස්වීමේ මුලසුනේ සිටියේ එෆ්. ආර්. සේනානායක මහතාය. ජොන්සන් මත්පැන් වලින් සිදුවන සමාජ ව්‍යසනය ගැන වේගවත් කතා කළ පසු රැස්වීමේ සිටි එක් අයෙක් නැගිට අමද්‍යප ව්‍යාපාරයෙන් කිසිදු පලක් නැති කියමින් එය සමචචලයට ලක් කළේය. ඔහු පසු කලෙක මෙරට නමගිය නීතිඥයකු වූ ආර්. එල්. පෙරේරාය. එහෙත් ඔහුගේ කතාව දිගටම කරගෙන යාමට රැස්වීමේ සිටි වැඩි දෙනා ඉඩ නුදුන්හ. ඔවුන්ගේ හූ හඬ මැද්දේ ඔහුට සිය කතාව අතර මග නතර කරන්නට සිදු විය.

තවත් විටෙක මීරිගම පැවැත්වූ රැස්වීමකදී රැස්වීමේ සිටි බේබද්දෙක් මුලසුනේ සිටි එෆ්. ආර්. සේනානායක මහතාට අභියෝගයක් එල්ල කළේය. "බීම එපා කියල යේසුස් වහන්සේ කිව්වත්, බුදු හාමුදුරුවෝ කිව්වත්, මහම්මත් තුමා කිව්වත්, ගණන් ගන්නේ නැති අපි තමුසේ කිව්වට අහනවද ඕයි?" කියමින් ඔහු කෑගැසීය.

ඔහුට පිළිතුරු ලැබුණේ මුලසුනින් නොව රැස්වීමේ සිටි අනෙක් අයගෙනි. ඔව්හු එකතු වී ඔහුට හොඳහැටි ගුටි බැට දුන්හ. ආවේගශීලී පුද්ගලයන් අමද්‍යප ව්‍යාපාරයට එක්වීම නිසා මෙවැනි පහරදීම් වැඩි වූ බව එවකට අමද්‍යප ක්‍රියාකාරිකයකු වූ පී.ඒ. සෝමපාල මහතා දැනට අඩ සියවසකටත් පෙර ‘ජනතා’ පුවත්පතට පැවසීය. තැබෑරුම් අසල සැඟවී සිටි මේ අය ඒවාට යන පුද්ගලයන් අල්ලා පහර දුන්හ. එසේ ගුටි කෑ අය අතර ගිහි බෞද්ධයන් සිටියොත් ඔවුන්ට සිදුවුයේ පන්සල් අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය වැලි ඇදීමටය. ඔවුන්ගෙන් තවත් සමහරකුට දුන් දඬුවම පොල්කටු මාල පැළඳවීමය.

වෛද්‍ය සී.ඒ. හේවාවිතාරණ, එෆ්. ආර්. සේනානායක සහ ආතර් ද සිල්වා වැනි දානපතියන්ගේ නොමසුරු මුදල් ආධාර නිසා අමද්‍යප ව්‍යාපාරය සීඝ්‍රයෙන් රට පුරා පැතුරුණි. ජනවාර්ගික භේදයෙන් තොරව සියලු ආගමික සහ ප්‍රජා නයකයන්ගේ සම්පූර්ණ සහයෝගය ඊට ලැබිණි. වාසනාවකට එකල හෙරොයින් කොකේන් සහ අයිස් වැනි මත්ද්‍රවය ගැන මෙරට වැසියෝ දැන නොසිටියහ. සුළු වශයෙන් ගංජා සහ අබිං භාවිත වුවද ඒවාට බහුල වශයෙන් ඇබ්බැහි වීමක් නොවීය.

සෝමපාල පැවසු අන්දමට එකල කොළඹ සුලබ දසුනක් වුයේ සංගීත භාණ්ඩයක් රැගෙන යන එක්තරා පාපැදි කරුවෙකි. (ඒ යුගයේ අශ්ව සහ ගොන් කරත්ත, රික්ෂෝ, දුම්රිය සහ ට්‍රෑම් රථවලට වලට අමතරව පාපැදි ද ජනප්‍රිය වාහනයක් වූ අතර මෝටරථ රටේ තුබුණේ ඉතාමත්ම සීමිත ගණනකි). පාපැදි කරුවා වුයේ එවකට ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ මාටිනස් සී. පෙරේරාය. ඔහුගේ සිරිත වුයේ නිතර ජනයා ගැවසෙන තැන් වල බයිසිකලය නවතා සිය සංගීත භාණ්ඩය වයමින් නටන අතරේ ගීයක්ද ගැයීමයි. මේ දැක, අසා එතැනට සෑහෙන පිරිසක් එක් රැස්වූ විට මත්පැන් බීමේ ආදීනව ගැන ඔහු ඔවුන්ට දේශනයක් පැවැත්වීය.

තැබෑරුම් වැසීම සඳහා ගෙයින් ගෙට යමින් ඊට ජනසහය ලබාගැනීමට යාමේදී සෝමපාල වරක් වැරදීමකින් තැබෑරුම් හිමියකුගේ ගෙමිදුලටද ගියේය. එහිදී ඔහුගේ බිරිය භාජනයක පිරවූ ඉඳුල් වතුර සෝමපාලගේ ඇඟට වීසි කළාය.

මේ කාලයේ දිනෙක අනගාරික ධර්මපාල තුමා ඉන්දියාවට පැමිණ දුම්රියෙන් වර්නාසියේ සිට කල්කටාව (වත්මන් කොල්කොටාව) බලා ගමන් කරමින් සිටියේය. එවකට ඉන්දියාව පාලනය කල සුද්දෝ එරට ස්වදේශිකයන් සහ වෙනත් ආසියාතිකයන් පහත් කොට සැලකූ මාන්නාධික පිරිසක් වුහ. ධර්මපාල තුමා ගමන් කළේ දුම්රිය පළවැනි පන්තියේ මැදිරියකය. ඔහුට ඉදිරිපස අසුනේ මුහුණට මුහුණලා හිඳගෙන සිටි බ්‍රිතාන්‍ය- ඉන්දියා යටත් විජිත රජයේ ඉංග්‍රීසි සිවිල් සේවා (පරිපාලන) නිලධාරියෙක් සිගරැට්ටුවක් දල්වාගෙන දුම්පානය කරමින් සිටියේය. සිගරට් දුමෙන් අනෙක් මගියාට සිදුවන අපහසුව ගැන සුද්දාට කිසි තැකීමක් නොවීය. ඉන්පසු විස්කි බෝතලයක් සහ වීදුරුවක් එළියට ගත් සුද්දා ඉන් උගුරක් බී නැවතත් දුම්පානය කරන්නට විය. ධර්මපාල තුමා සිය කෝපය මැඬගෙන සිටියේ ඉතාමත් අපහසුවෙනි. දැන් ඉවසීමේ සීමාවට එතුමා පැමිණ ඇත. දුම්රිය මැදිරියේ ඔහු සහ සුද්දා හැර වෙන කිසිවෙකුත් නොවීය. හදිසියේම නැගී සිටි ධර්මපාල තුමා සුද්දාගෙන් විස්කි බෝතලය සහ වීදුරුව උදුරාගෙන ඒවා මැදිරියේ කවුළුවෙන් පිටතට වීසි කළේය. සුද්දා කෝපයෙන් වෙවුලන්නට විය. එහෙත් ධර්මපාල තුමා එය තුට්ටුවකටත් මායිම් නොකළේය. ඒ වෙනුවට එතුමා කළේ සුද්දා අමතා තමාට යළි කරදර කළොත් ඔහුව ද ගමන් කරන දුම්රියෙන් එළියට ඇද දමන බවට තර්ජනය කිරීමය.

දුම්රිය කල්කටාවේ හව්රා දුම්රිය පලට පැමිණි පසු ධර්මපාල දුම්රියෙන් බැසීමට පෙර අමුත්තන්ට දෙන සිය හැඳුනුම්පත (visiting card) සුද්දාට දුන්නේය.

එක් වකවානුවක ලංකාවේ අමද්‍යප ව්‍යාපාරය කෙතරම් සාර්ථක වීද යත් බේබදුකමට අදාළ නඩු ඉතා අල්ප විය. වතාවක් කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගත් නඩු අතර මත්පැනට ඇබ්බැහි වීම නිසා සිදුවූ අපරාධ කිසිවක් නොවීය. අපරාධ සහ මත්පැන් අතර කිට්ටු සම්බන්ධය ඉන් ඉතා පැහැදිලි විය. මෙයින් සතුටට පත් විනිසුරු වෝල්ටර් පෙරේරා ඒ ගැන අමද්‍යප ව්‍යාපාරයට සිය ප්‍රණාමය පුද කළේය.

අමද්‍යප සටනේ ධර්මපාල තුමාගේ ප්‍රධාන ප්‍රචාරක අවිය වුයේ 'සිංහල බෞද්ධයා' පුවත්පතයි. ඊට අමතරව එතුමා ජංගම නිවසක අයුරින් තැනු සිය මෝට රියේ නැගී ගමින් ගමට ප්‍රචාරක කටයුතු වල යෙදුණේය. බටහිර රටවල ජංගම නිවෙස් (mobile homes) එදත් අදත් භාවිත වන නුමුදු ලංකාවේ භාවිත වූ එවැනි එකම වාහනය ධර්මපාල තුමාගේ මෝටරියයි.

ධර්මපාල තුමා එංගලන්ත ජනතාවට මෙසේ හැඟුම්බර ආයාචනයක් ද කළේය:

“මිනිසත්කමේ සහ ප්‍රගතියේ නමින් අප බ්‍රිතාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මත්පැන් සහ අබිං රකුසාගෙන් සිංහල ජනයා බේරා දෙන ලෙසය‍ෙ

එහෙත් මත්පැනට ජනයා ඇබ්බැහි වීම වැළැක්වීම ලෙහෙසි කටයුත්තක් නොවින.

යටත් විජිත සමයේ මෙරට මුහුදුබඩ පෙදෙස්වල තැබෑරුම් ව්‍යාප්ත වීම ගැන හාස්‍යජනක කතාවක්ද ඇත.

වරක් නිල කටයුත්තක් සඳහා සිය මෝටරියෙන් කොළඹ සිට ගාලු පාර දිගේ දකුණු පළාතේ නගරයකට යමින් සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර වරයකුට මාර්ගය අසල වූ තැබෑරුමකින් පොල් රා රස බැලීමට ආසාවක් ඇතිවිය. රිය නැවැත්වූ ඔහු සිය සේවකයා ලවා රා වීදුරුවක් ගෙන්වාගෙන පානය කළේ ඉතා සතුටිනි. විස්කි, බ්‍රැන්ඩි, ජින් සහ බීර වැනි බටහිර මත්පැන් වලට පුරුදු වී ඔහු රා වලින් වෙනසක් අත්දුටුවේය. ඉන්පසු ගමනාන්තය දක්වා ගිය ආණ්ඩුකාරවරයා පසුදා නැවත කොළඹ බලා පිටත් විය. එසේ එන ගමනේදී තමා කලින් රා මිලදී ගත් තැබරුම පසු කරනවිට දුටු දෙයින් ඔහු තිගැස්සිණි.

එහි අලුතින් සවිකළ දැන්වීමක විශාල ඉංග්‍රීසි අකුරින් මෙසේ ලියා තිබුණි.

"ශ්‍රීමත් ආණ්ඩුකාරතුමාට රා සපයන්නෝ" (Suppliers of Toddy to His Excellency the Governor)

අමද්‍යප ව්‍යාපාරය පසුකලෙක මෙරට යටත්විජිත විරෝධී අරගලයට පදනම දැමීය. එහෙත් විවිධ බාධක නිසා ලංකාවේ මෙන්ම අමෙරිකාවේද අමද්‍යප ව්‍යාපාරයේ දිගු කාලීන අරමුණු සාර්ථක ගැනීමට නොහැකි විය. ඇමෙරිකන් අමද්‍යප ව්‍යාපාරයේ බලපෑම නිසා වසර 1920 සිට 1933 දක්වා එරට මත්පැන් අලෙවිය තහනම් වූ නමුත් ඉන් පලක් නොවුයේ ඒ වන විට එරට බොහෝ දෙනෙකු මත් පැන්වලට තදින් ඇබ්බැහි වී සිටීම නිසා හොර මත්පැන් ජාවාරම ජයටම කෙරීගෙන ගිය බැවිනි. ඉඳහිට මත්පැන් ස්වල්පයක් පානය කළද ඊට ඇබ්බැහි නොවී සිටීමට හැක්කේ ඉතා ටික දෙනෙකුට පමණි. වැඩි දෙනා ඊට කෙලින්ම ගොදුරු වන අතර ජීවිතාන්තය දක්වාම ඉන් ගැලවීමට ඔවුන්ට නොහැකිය.

Comments