සුව හමුව | සිළුමිණ

සුව හමුව

පිළිතුරු සැපයීම - කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක විසිනි.

 

1 ප්‍රශ්නය :-

මගේ දියණිය 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි. කුඩා වියේ පටන් ඇගේ අල්ලට අධිකව දහඩිය දැමීම සිදු වේ. කීපවරක් දියණිය කැටුව වෛද්‍යවරුන් හමුවීමට ගියෙමි. එක් වෛද්‍යවරයකු පැවසුවේ ඈ වැඩිවියට පැමිණි පසුව මෙම තත්ත්වය මග හැරී යන බවයි. තවත් වෛද්‍යවරයකු පැවසුවේ මෙය රෝගයක් නොවන බවයි. එබැවින් මම ආයුර්වේද වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබා දුන්නෙමි. එහිදී කසාය වර්ග, කොළ කැඳ වර්ග, තැඹිලි වැනි පාන වර්ග ලබා දුන් අතර දහඩිය දැමීම අඩු විය. නමුත් ටික කාලයකින් නැවත දහඩිය ඇරඹිණි. දැන් ඈ වැඩිවියට පැමිණ අවුරුදු 3ක් ගත වී තිබේ. එහෙත් දහඩිය දැමීමේ අඩුවක් නැත. දියණිය සටහන් ලියන විට පොතේ පිටු බොඳ වී යන අවස්ථා ඇත. ගැහැනු ළමයකු වුවද මැහුමක් ගෙතුමක් කිරීමට පවා නොහැකි වී තිබෙන්නේ අල්ලට දහඩිය දමන නිසාය. දියණියගේ අසීරු තත්ත්වයට සහනයක් පතමි.

උණවටුන - ප්‍රියානි ද සිල්වා

පිළිතුර :-

අල්ලට දහඩිය දැමීම දියණියගේ වයස සමඟ දක්නට ලැබෙන තත්ත්වයකි. සමහර විට යටි පතුල් වලට දහඩිය දැමීම පවා සිදුවිය හැකිය. මෙයට ප්‍රතිකාර ඇත. රජයේ රෝහලක චර්ම රෝග සායනයකට යොමු වීමෙන් සුදුසු ප්‍රතිකාර ලබා ගත හැකිය.

 

 

2: ප්‍රශ්නය :-

මම 61 හැවිරිදි පොත් තැබීම් අංශයේ රැකියාවක නිරත වන අයෙක්මි. මට ඇති ගැටලුව වන්නේ විනාඩි 10ක් පමණ එකම තැන සිටගෙන සිටින විට දණහිස් වල වේදනාවක් ඇතිවීමයි. මම කාර්යාලයේ රාජකාරියේ යෙදී සිටින විට ඉඳගෙන සිටින නිසා වේදනාවක් නොදැනේ. වේදනාව ඇති වන්නේ බසයක් එන තුරු සිටගෙන සිටින අවස්ථාවක පමණි. එහෙත් පයින් ඇවිදගෙන යෑමේදී දණහිස් කැක්කුමක් ඇති නොවේ. එක දිගට සැතපුමක් වුවද පයින් ගමන් කළ හැකිය. මේ සඳහා වෛද්‍ය උපදෙස් බලාපොරොත්තු වෙමි.

වරකාපොළ - පද්මසිරි වීරසිංහ

පිළිතුර :-

පිළිතුරු දීම සඳහා ප්‍රමාණවත් තොරතුරු නොමැති බව පළමුවෙන්ම සඳහන් කළ යුතුය. ඔබ පවසන තොරතුරු අනුව සන්ධියට අමතරව ඒ ආශ්‍රිත පේශි හා කෙණ්ඩා වලින් එන ආබාධයක් විය හැකි යැයි අනුමාන කළ හැකිය. ඔබේ උස සහ බර සඳහන් නොකිරීම ලොකු අඩුපාඩුවකි. ඇතැම් විට ස්ථුලතාව නිසාද සිටගෙන සිටීමේදී දණහිස් වලට දැනෙන අධික බර නිසා වේදනාවක් ඇතිවිය හැකිය. සමහර විට ආතරයිටිස් නොවන සන්ධි රෝග නිසා ද මෙවැනි තත්ත්වයන් ඇතිවිය හැකිය. කෙසේ වුවද කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හෝ රක්තවාතවේද විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු වීම ඉතා වැදගත් වේ. ඔබගේ ගැටලුවට පරික්ෂා කිරීමකින් තොරව පිළිතුරු දිය නොහැකිය.

 

3 ප්‍රශ්නය :-

මම ආතරයිටිස් රෝගයෙන් පිඩා විඳින 48 හැවිරිදි කාන්තාවක්මි. අවුරුදු 3ක සිට රෝගයට අඛණ්ඩව ප්‍රතිකාර ලබා ගනිමි. කොපමණ ප්‍රතිකාර කළත් ලැබෙන්නේ තාවකාලික සුවයක් පමණි. මම රාගම පුනරුත්ථාපන රෝහලේ නේවාසික ප්‍රතිකාර පවා ලැබුවෙමි. ව්‍යායාම හා එන්නත් ප්‍රතිකාර වශයෙන් දුන් නමුදු අත් පා වේදනාව, ඇඟිලි ඉදිමුම ඇති වේ. සමහර දිනවලදී ඇඟිලි ඇද වී යටි පතුල්වල පවා දරුණු වේදනාවක් ඇති වේ. මගේ මෙම රෝගය නිසා රැකියාවෙන්ද ඉවත් වූවෙමි. නිවසේ කටයුතු පවා කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. මෙම රෝගය නිට්ටාවට සුව කළ නොහැකිද? වෛද්‍ය උපදෙස් බලාපොරොත්තු වෙමි.

මාඑළිය - නදීකා හේමමාලි ගුණසේකර

පිළිතුර :-

සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුට ඔස්ටියෝ ආතරයිටිස් පැවතුණද ඔබට පවතින්නේ රුමොටොයිඩ් ආතරයිටිස් රෝගය බව සඳහන් කළ යුතුය. මෙම රෝගය සමහර කාලවල නිදන්ගතව තිබී, සමහර කාලවල උත්සන්න වෙයි. එය රුමොටොයිඩ් ආතරයිටිස් රෝගයේ ස්වාභාවයයි. රාගම පුනරුත්ථාපන රෝහල ඊට ප්‍රතිකාර කරන ලංකාවේ හොඳම රෝහලකි. ඔබ සඳහන් කරන විස්තර අනුව ඔබේ රෝගයට නිවැරදි ලැබී තිබේ; එය සතුටුදායක කරුණකි. නමුත් ඇඟිලි විකෘති වීම සිදු වන්නේ සන්ධිවලට හානි සිදු වූ පසුවය. මෙම විකෘතිතා නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි බව කනගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුය. දැනට ඔබ සිදු කළ යුත්තේ ඔබ ප්‍රතිකාර ලබන වෛද්‍යවරයා මුණගැසී වෛද්‍ය උපදෙස් ගැනීම පමණි. එහිදී ඔබ පවසන තොරතුරු අනුව ඖෂධ මාත්‍රා වෙනස් කිරීම හෝ යහපත් ජීවන තත්ත්වයක් පවත්වා ගෙන යෑමට වෛද්‍ය උපදෙස් ලැබෙනු ඇත.

 

4 : ප්‍රශ්නය :-

මම 36 හැවිරිදි පුද්ගලික බස් රථ රියදුරෙක්මි. මගේ රැකියාවේ ස්වභාවය අනුව ස්නානය කරන්නේ රාත්‍රී කාලයේදී ය. පාන්දර 4.00 නිවසින් පිටත්වන නිසා උදෑසන ස්නානය කළ නොහැකිය. දැන් වසර 4ක පමණ සිට හිසකෙස් ගැලවෙයි. මේ වන විට තට්ටයද පෑදී තිබේ. පීනස් ගතියක් හෝ සොටු දියර ගැලීමක් නැත. මට ඇති එකම ප්‍රශ්නය තට්ටය පෑදීමයි. බොහෝ දෙනෙකු පවසන්නේ රාත්‍රියේ ස්නානය කරන නිසා තට්ටය පෑදෙන බවය. එහි සත්‍යතාවක් තිබේද. මීට විසඳුමක් අපේක්ෂා කරමි

කැලණිය - චන්දන රුවන් කුමාර

පිළිතුර-

රාත්‍රී කාලයේ ස්නානය කළ විට තට්ටය පෑදෙන්නේ නැති බව ප්‍රථමයෙන්ම සඳහන් කළ යුතුය. ඔබේ හිසකෙස් ගැලවී යාමට හේතු වශයෙන් හිස්කබලේ ඇති චර්මයේ තත්ත්වයක් හෝ ජානමය හේතුවක් බලපෑ හැකිය. එබැවින් කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හෝ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. එහිදී වෛද්‍යවරයා විසින් තට්ටය පෑදීමට හේතුව සොයා බලනු ඇත. හිසකෙස් හැළීම නැවත්වීමට ප්‍රතිකාර තිබේ. එසේ නොමැති නම් හිසකෙස් රෝපණය කිරීමටද පුළුවන.

Comments