ශාස්ත්‍රවන්තභාවයේ සහ අදීනත්වයේ පරමාදර්ශය | සිළුමිණ

ශාස්ත්‍රවන්තභාවයේ සහ අදීනත්වයේ පරමාදර්ශය

හික්කකඩුවේ ශ්‍රී සුමංගල හිමියන් පිළිබඳ ලියූ ලිපියක ආරම්භයෙහි මාර්ටින් වික්‍රමසිංහ මහතා යගිරල පඤ්ඤානන්ද හිමි විසින් රචිත සුමංගල චරිතය නමැති කෘතියෙහි එන සංකේතාර්ථවත් ප්‍රකාශයක් උත්කර්ෂයෙන් සිහිපත් කරයි. “ඈත පිටිසර පෙදෙසක ජලය කොළඹට ගෙනවුත් මහා ජනතාවට දෙවා ඔවුන්ගේ පිපාසය සංසිඳුවන බාහිර පවිත්‍රතාව ඇති කිරීමට මූලිකස්ථානය ලෙස මාලිගාකන්ද තෝරාගත්තේ සර් විලියම් හැන්රි ග්‍රැගරි ආණ්ඩුකාරතුමාය. ස්වදේශීය විදේශීය ධර්මශාස්ත්‍රලාභීන්ගේ ධර්මශාස්ත්‍ර පිපාසය සිසිඳුවා බාහිර අභ්‍යන්තර පවිත්‍රතාව ඇති කිරීමට මූලස්ථානය ලෙස මාලිගාකන්ද තෝරා ගන්නා ලද්දේ ශ්‍රී සුමංගල හිමියන් විසිනි. ග්‍රැගරි ආණ්ඩුකාරතුමා එකල අඳුරු පුරයක්ව පැවති කොළඹ නගරය ගෑස් ආලෝකයෙන් එළිය කරන්නට පටන් ගත්තේය. ශ්‍රී සුමංගල නායක හිමියෝ ලංකාව ධර්මශාස්ත්‍රාලෝකයෙන් බබළවනු පිණිස විදුදය පිරිවෙන පටන් ගත්හ.”

හික්කඩුවේ සුමංගල හිමියන්ට ද ගුරු වූ මහ පඬි රුවනක් ගාලු දිස්ත්‍රික්කයේ බටුවන්තුඩාව ග්‍රාමවරයෙහි ජන්ම ලාභය කොට මෙරට ධර්මශාස්ත්‍ර පුනර්ජීවන ව්‍යාපාරයට අනල්ප මෙහෙයක් ඉටු කළේය. 1819 මැයි මස 02 දින උපන් දොන් අන්ද්‍රිස් ද සිල්වා ළදරුවා පස් හැවිරිදි වයසේදී මූලික අධ්‍යාපනය සඳහා බද්දේගම ක්‍රිස්තියානි ද්විභාෂා පාඨශාලාවට යොමු කෙරිණ. ඉගෙනීමට මහත් දස්කම් දක්වන්නට වූයෙන් එවක සිදු වෙමින් පැවති බෞද්ධ ධර්ම ශාස්ත්‍ර පුනර්ජීවනය කෙරෙහි ආසක්ත වූ අන්ද්‍රිස්ගේ දෙමව්පියෝ තම දරුවා සසුන්ගත කොට බෞද්ධ අධ්‍යාපනයක් ලබා දීමේ අටියෙන් 1932 වර්ෂයේදී නාඳුගල රේවත හිමියන් භාරයේ බටුවන්තුඩාවේ දේවරක්ෂිත නමින් සසුන්ගත කෙරිණ. 1935 වර්ෂයේදී කෝට්ටේ රජමහා විහාරයෙහි වැඩ විසූ බටුවන්තුඩාව පවුලේ ඥාතිවරයකු වූ කොළඹ නව කෝරලයෙහි ප්‍රධාන සංඝනායක මලිගස්පේ ධර්මකීර්ති ශ්‍රී මංගල නායක ස්ථවිරයන් වහන්සේ වෙත බාර කෙරිණ. උන්වහන්සේ වෙතින් ධර්ම ශාස්ත්‍ර හදාළ දේවරක්ෂිත සාමණේර නම වෙත තව දුරටත් ධර්ම ශාස්ත්‍ර ඥානය ලබා දී උපසම්පදාව ලබා දීමේ අටියෙන් මහනුවර මල්වතු විහාරයේ වැඩවිසූ ගල්හිරියාවේ ශ්‍රී සුමංගල නායක හිමියන් සහ බෝපේ අනුනායන හිමියන් වෙත යොමු කෙරිණ. මල්වතු විහාරානුබද්ධ සංඝ සභාවේ නොයෙක් බාධා මධ්‍යයේ සාමණේර නම 1940 වර්ෂයේදී මලිගස්පේ ධර්මකීර්ති මහා ස්ථවිරයන් ගුරු තන්හි තබා බටුවන්තුඩාවේ දේවරක්ෂිත නමින් උපසම්පදාවෙහි පිහිටවනු ලැබිණ. උපසම්පදාවෙන් පසු තවත් කලක් මහනුවර රැඳී සිටිමින් ධර්ම ශාස්ත්‍ර හදාළ බටුවන්තුඩාවේ දේවරක්ෂික හිමියෝ යළිත් වරක් කෝට්ටේ රජ මහා වහාරස්ථානයේ මලිගස්පේ ධර්මකීර්ති මංගල මහා ස්ථවිරයන් කරා වැඩම වූහ.

එවක මෙරට පැවති එකම ප්‍රසිද්ධ විද්‍යස්ථානය වූයේ රත්මලානේ පරමධම්මචේතිය ශාස්ත්‍ර ශාලාවේ අධිපති ධුරය හෙබවූවෝ වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහා ස්ථවිරයෝය. මලිගස්පේ හිමියෝ සිය ශාස්ත්‍රාන්තේවාසික බටුවන්තුඩාවේ හිමියන් වලානේ සිද්ධාර්ථ මහ ස්ථවිරයන්ට භාර කළහ. කෙටි කලකින් මනා ලෙස සියලු භාෂාශාස්ත්‍රයන්හි පාරප්‍රාප්ත වූ බටුවන්තුඩාව් දේවරක්ෂිත හිමියන් පරමධම්මචේතිය ශාස්ත්‍ර ශාලාවේ උපාචාර්ය පදවියට පත් කෙරිණ. මෙසමයෙහිය හික්කඩුවේ සුමංගල හිමි ප්‍රමුඛ දෙස් විදෙස් ශිෂ්‍ය ගණයා බටුවන්තුඩාවේ හිමියන්ගේ ශාස්ත්‍රාන්තේවාසිකත්වයට පත් වූ බවය පැවසෙන්නේ.

බටුවන්තුඩාවේ දේවරක්ෂිත හිමියන් කොළොන්නාව පුරාණ විහාරස්ථානයේ අධිපතිත්වය දරන කාලයේ කෝට්ටේ ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරක සමාගමේ පාලන කටයුතු භාරව 1844 දී හැස්ලම් දේවගැතිතුමා පැමිණි අතර දේවගැතිතුමා සහ බටුවන්තුඩාවේ දේවරක්ෂිත හිමියන් අතර ශාස්ත්‍ර ගෞරවය පෙරදැරිව මිත්‍රත්වයක් ගොඩනැගිණ. හැස්ලම් දේවගැතිතුමා බටුවන්තුඩාවේ හිමියන්ගෙන් හෙළ බස පිළිබඳ අවබෝධය පුළුල් කරගත් අතර සංස්කෘත භාෂාව දේවනාගර අක්ෂරවලින්ම උගෙන එහි පාරප්‍රාප්තව සිටි හැස්ලම් දේවගැතිතුමාගෙන් සංස්කෘත භාෂාව පිළිබඳ පරිචය බටුවන්තුඩාවේ හිමියන්ට ලැබිණ- මේ අවධියේ ලාංකික ගිහි පැවිදි උභය පාර්ශ්වයේ කිසිවකුට නිසි සංස්කෘත දැනුමක් නොවූයෙන් බටුවන්තුඩාව් හිමියන් ලද සංස්කෘත භාෂා ඥානය මුළු රටෙහිම ව්‍යාප්ත කිරීමට ලද දුලබ වරමක් බව කිව යුතුය.

මෙවන් මහාර්ඝ ශාස්ත්‍ර සේවයක නිරත වෙමින් සිටියදී වැලඳුණු රෝගාබාධයක් නිසා 1855 දී පන්තිස් වියේ දී උපැවිදි වීමට බටුවන්තුඩාවේ හිමියන්ට සිදු විය. උපැවිදි වුව ද පැවිදි නම අත් නොහළ එතුමා එතැන් පටන් ප්‍රකට වූයේ දොන් අන්ද්‍රිස් ද සිල්වා බටුවන්තුඩාවේ දේවරක්ෂිත නමිනි. පැවිදි නම අත් නොහළ පරිද්දෙන් ම පැවිදි දිවියේ දී ඇරඹූ ධර්ම ශාස්ත්‍ර පුනර්ජීවන මෙහෙය ද අසකිනුදු අත් නොහැර එපරිද්දෙන් ම පවත්වාගෙන යාම එතුමන්ගේ කැපි පෙනෙන විශේෂත්වයකි.

ගිහි ජීවිතයට එළඹි පසු, ඩී. ජේ. ගොගර්ලි දේවගැතිතුමා අයත් වන සභාව මගින් පවත්වාගෙන යනු ලැබූ පාඨශාලාවේ ගුරු තනතුරකට බටුවන්තුඩාවේ පඬිතුමා පත් කෙරිණ. ඒ ශාස්ත්‍ර ශාලාවෙහි සිසුන්ට පෙරදිග භාෂා ශාස්ත්‍ර ඉගැන්වීම පඬිතුමාගේ කාර්යය විය. මෙසේ කටයුතු කරන අතරේ ගොගර්ලි දේවගැතිවරයා විසින් සකස් කරන ලද ක්‍රිස්තියානි ප්‍රඥප්තිය නමැති බෞද්ධ විරෝධි ප්‍රකාශනයේ ශුද්ධිපත්‍ර බලා දෙන ලෙස දේවගැතිවරයා ඉල්ලා සිටියේය. ඒ කාර්යය ඉටු නොකළ හොත් රැකියාවෙන් පහ කරන බව පැවසූයෙන් ඊට පෙර තමන්ම රැකියාවෙන් ඉල්ලා අස්වීමට තරම් අභීත පෞරුෂයක් බටුවන්තුඩාවේ පඬිතුමාට තිබිණ. දේවගැතිවරයා පසුව බැගෑපත් වී මලිගස්පේ හිමියන් ලවා ආයාචන කරවීමෙනි පඬිතුමා නැවත පාසලට කැඳවා ගත්තේ.

බටුවන්තුඩාවේ පඬිතුමා හික්කඩුවේ සුමංගල හිමියන් සමඟ එක්ව පාලි මහාවංසය සිංහල භාෂාවට පරිවර්තනය කිරීම විශිෂ්ට මෙහෙවරක් ලෙස ඉතිහාසගත වී තිබේ. ඒ හැරුණු කොට බාලාවතාරය, කච්චායන ධාතුමඤ්ජූසාව, අනුරුද්ධ ශතකය, සූර්යශතකය, වෘත්තමාලාඛ්‍යාව, අමරකොෂය, මාධවය, සිදත්සඟරා පෙළ, සිදත්සඟරා පුරාණ සන්නය, රුවන්මල, පියුම්මල, ගුත්තිල කාව්‍යය යන ග්‍රන්ථ ශුද්ධියට පත් කරමින් ව්‍යාඛ්‍යාන සම්පාදනය කිරීම තද්විෂයයෙහි පුරෝගාමී ප්‍රයත්න ලෙස හැඳින්විය යුතුය. සුමංගල හිමියන්ගේ ශිෂ්‍යයකු වන ඤාණිස්සර හිමියන් සමග එක්ව බටුවන්තුඩාවේ පඬිතුමා විසින් පාඨශෝධනය කොට සිංහල අකුරින් පළ කෙරුණු වංසත්ථප්පකාසිනිය මෙතුමාගෙන් ඉටු වූ තවත් අගනා ශාස්ත්‍ර සේවාවකි.

බටුවන්තුඩාවේ පඬිතුමාගේ පාණ්ඩිත්‍යය දේශාන්තරයෙහි පතළ වූවකි. 1872 වර්ෂයේ දී ඉන්දියානු රජය බුරුමයේ රැන්ගුන් විද්‍යායතනයේ පාලි භාෂාව පිළිබඳ මහාචාර්ය තනතුර මෙතුමන්හට ප්‍රදානය කළද ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන්නේ අන් දේශයකට මෙහෙ කිරීමට වඩා ස්වකීය දේශයට යුතුකම් ඉටු කිරීම සිය අභිලාෂය බව පවසමිනි. 1892 අප්‍රේල් 20 වැනි දින තෙසැත්තෑ වියේ දී හදිසි හෘදයාබාධයකින් මෙතුමන් පරලෝ සැපත් වූයේ ශාස්ත්‍ර ලෝකයේ අන් කිසිවකුටවත් පිරවිය නොහැකි හිඩැසක් ඉතිරි කරමිනි.

 

Comments