වසර 58ක් තිස්සේ මිහින්තලය ඒකාලෝක කරන ලේක්හවුස් ආලෝක පූජාව | සිළුමිණ

වසර 58ක් තිස්සේ මිහින්තලය ඒකාලෝක කරන ලේක්හවුස් ආලෝක පූජාව

ප්‍රථම වරට පවත්වන රාජ්‍ය පොසොන් උත්සවයත්, ජාතික පරිසර දින සැමරුමත්,ආලෝක පූජාවත් මෙවර එකම දිනයේ මිහින්තලා පරිශ්‍රයේදී

ලේක්හවුස් ආයතනය මීට වසර 90කට පෙර මෙරට ප්‍රථම ඉරිදා සිංහල පුවත්පත ලෙස සිළුමිණ පුවත්පත ආරම්භ කළේය. එමෙන්ම ලේක්හවුස් ආයතනය මීට වසර 55කට පෙර මෙරට සතර පෝයටම පළවන බෞද්ධ පුවත්පත ලෙස ‘බුදුසරණ‘ පුවත්පත ආරම්භ කළේය. එමෙන්ම ලේක්හවුස් ආයතනය මෙරට මාධ්‍ය ආයතනයක් මඟින් සිද්ධස්ථානයක් කේන්ද්‍ර කරගත් ප්‍රථම හා එකම ආලෝක පූජාව ලෙස මීට වසර 58කට පෙර මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාව ආරම්භ කළේය. ඒ මෙරට මුද්‍රිත සන්නිවේදන ඉතිහාසයේ අසමසම වාර්තාවක් තබමින්ය.

ඒ අනුව මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මෙරට සන්නිවේදන ආයතන පවත්වන සියලු ආලෝක පූජාවලට පුරෝගාමී ආලෝක පූජාවයි. අද අපේ රටේ විවිධ සන්නිවේදන ආයතන, රටේ විවිධ ස්ථානවල සිද්ධස්ථානවල ආලෝක පූජාවලට නැඹුරු වූයේ ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවේ පුරෝගාමි අනන්‍යතාව අනුගමනය කිරීමෙන් බව විචාරකයන්ගේ අදහසයි.

එමෙන්ම කොළඹ සියලු වෙසක් කලාපවල ආරම්භය ද ඇති කළේ ලේක්හවුස් අමාදහර වෙසක් කලාපය බවද මෙහිදී මතක් කළ යුතුව ඇත. ඒ අනුව වෙසක් හා පොසොන් පසළොස්වක දින පිළිබඳව කතා කරන විට ලේක්හවුස් ආයතනය බෞද්ධ ආගමික කටයුතුවල පෙරමුණ ගත් ප්‍රමුඛතම මාධ්‍ය ආයතනය ලෙස නම් කළ හැකිය.

මෙවැනි ඓතිහාසිකත්වයක් හා පෞඪත්වයක් ඇති මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මෙවර ජුනි 4, 5, 6 දිනවලදී මිහින්තලයේ පවත්වන්නේ ආගමික හා පාරිසරික ලෙස ඉතා වැදගත් උත්සව හා සැමරුම් සිදුවෙන දිනවලදී වීමද සුවිශේෂත්වයකි.

ඒ අනුව මෙවර ලේක්හවුස් ආලෝක පූජාව පැවැත්වෙන දිනවලදී රාජ්‍ය පොසොන් උත්සවය ද මිහින්තලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ උත්සවය ‘ආරෝග්‍යා පරමා ලාභා‘ යන තේමාව යටතේ, ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ සහ මිහින්තලේ රජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන මාහිමිපාණන්ගේ පූර්ණ උපදෙස් හා අනුශාසනා පරිදි ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. මෙවර ප්‍රථම වරට රාජ්‍ය පෙ‌ාසොන් උත්සවය මිහින්තලාවේදී පැවැත්වෙන්නේ මිහින්තලා රජමහා විහාරාධිපති හා බාරකාර වලවාහැංගුණවැවේ ධම්මරතන මාහිමිපාණන් වහන්සේගේ බලවත් පරිශ්‍රමයක ප්‍රතිඵලයක් වශයෙන් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බලවත් උනන්දුවේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒ සමඟම මෙවර පොසොන් පසළොස්වක දිනයේම ජගත් පරිසර දිනය ද යෙදී ඇත. මෙවර එහි තේමාව “ජෛව විවිධත්වය - සොබාදහමට ඉඩක්“ යන්නයි.

අද අපේ රටේ පරිසර සංරක්ෂණය හා වනජීවි සංරක්ෂණය පිළිබඳව කවුරු කෙලෙස කතා කළත් අපේ රටේ ඒ කටයුතු මුලින්ම ආරම්භ කළේ පොසොන් පසළොස්වක දින මිහින්තලයට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේය. එදා උන්වහන්සේ ලොව ප්‍රථම අභය භූමිය ලෙස මිහින්තලේ අනුරපුර කැලෑ ප්‍රදේශය නම් කළේ මෙරට පමණක් නොව මුළු ලෝකයම වනජීවි සංරක්ෂණයේ සමාරම්භක හා ස්වර්ණමය අවස්ථාවක් සටහන් කරමිනි.

මුව දඩයමේ යමින් සිටි දේවානම්පියතිස්ස රජතුමාට එක්වරම ඇසුණේ තිස්ස... තිස්ස... තිස්ස ලෙස පවසමින් තමාට නම කියා කතා කරන හඬකි. මේ රටේ රජවූ තමන්ට නම කියා කථා කරන්නෙ කවුදැයි රජතුමා වටපිට බැලීය. රජ දුටුවේ අම්බස්තලයේ වැඩසිටි ප්‍රතාපවත් මහතෙරනමක් ඇතුළු සඟ පිරිසකි.

පසුව රජ ඇතුළු පිරිස දුනු හී ඉවතලා අනුබුදු මිහිඳු හිමිපාණන් ඇතුළු මහ සංඝරත්නය නමස්කාර කර සාදුකාර දුන්හ. ජම්බුද්වීපයේ සිට මෙරටට පැමිණ තම දූත ගමනේ අරමුණු පැහැදිලි කළ මිහිඳු මහරහතන් වහන්සේ රජ ඇතුළු පිරිසට දහම් දේශනා කළ සේක. “මහරජ... තොපට මෙන්ම සියලු සිවුපා සතුන්ටද... පක්ෂින්ටද සියලු ජීවින්ටද මේ දේශයේ ඕනෑම තැනක නිදහසේ සැරිසැරීමට අයිතියක් ඇත. මහරජ මේ භූමිය අයිති ඔබට නොව රටේ සතුන්ට... ශාකවලට හා මහජනතාවටය... ඔබ මෙහි අයිතිකරු නොවේ පාලකයා පමණි.“ යනුවෙන් මිහිඳු මහරහතන් වහන්සේ වදාළහ. පසුව මේ මිහින්තලය අනුරාධපුරය ඇතුළු වනාන්තර ප්‍රදේශය අභය භූමියක් ලෙස නම් කරන ලෙසට මිහිඳු මහරහතන් වහන්සේ රජුට උපදෙස් දුන්නේය.

ඒ අනුව මිහින්තලාව මහමෙවුනා උයන ඇතුළු ප්‍රදේශය ලොව ප්‍රථම අභය භූමිය ලෙස ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ පොසොන් පසළොස්වක දිනයේදී දෙවැනිපෑතිස් රජතුමා විසින් නම් කරන ලදී. පසුව ඒ ප්‍රදේශයේ සතුන් මරන අයට කැලේ කපන අයට දඬුවම්ද නියම කර ඇත. මේ දඬුවම් පිළිබඳව තොරතුරු මිහින්තලේ මැද මළුවේ ඇති ඉපැරැණි සෙල්ලිපිවල අන්තර්ගත වී තිබේ. ඒ අනුව මෙවර ආලෝක පූජාව පැවැත්වනුයේ මෙරට ප්‍රථම අභය භූමිය ලෙස නම් කළ දිනය මෙන්ම ජගත් පරිසර දිනයේදී වීම පරිසරලෝලීන්ට ද ඉතා වැදගත්ය.

ආලෝක පූජාවට සමගාමීව ජගත් පරිසර දිනය සැමරීමේ ජාතික උත්සවය ද පොසොන් පසළොස්වක දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවන බවත් එහිදී ජනාධිපතිතුමා මිහින්තලයේ තල් පැළයක් රෝපණය කරන බවත් පරිසර වනජීවි හා ඉඩම් ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය. මිහිඳු මහරහතන් වහන්සේ ලොව ප්‍රථම අභය භූමිය ලෙස නම්කළ දැනට ඉතිරිව ඇති හෙක්ටයාර 999 විශාල මිහින්තලේ අභය භූමියත් හෙක්ටයාර 3500 විශාල මහමෙවුනා උයන අභය භූමියත් සුරැකීමට මෙදින කටයුතු අරඹන බවත් ඇමැතිවරයා පැවැසීය.

1960 ට පෙර අප රටේ බෞද්ධ ජනතාව පොසොන් පසළොස්වක දිනයේදී මිහින්තලයට පැමිණීම විශාල පුණ්‍ය කටයුත්තක් ලෙස සැලැකීය. නමුත් එකල තිබූ ගමනාගමන අපහසුව නිසා ඒ පිරිස මිහින්තලයට ළඟා වන විට මහ රාත්‍රිය උදාවී තිබිණි. ඔවුන් එදා මිහින්තලය කන්ද තරණය කළේ හුළු අතු පත්තු කරගෙනය. ඒ භයංකාර තත්ත්වය මත සමහර උවැසි උවැසියෝ සර්ප දෂ්ට කිරීම්වලට පවා ලක්වූ බවට වාර්තා විය.

මේ පිළිබඳව අවධානය යොමුකළ ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ලේක්හවුස් ආයතනය මඟින් මිහින්තලේට විදුලි බලය ලබා දී පොසොන් ආලෝක පූජාවක් පැවැත්විය යුතු යැයි තීරණය කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස එදා හුළු අතු රැගෙන මිහින්තලයේ ගිය ජනතාවට අද දවස් තුනක් ඇතුළත පමණක් නොව සතියක් පුරා වුවද මිහින්තලයේ දිවා රාත්‍රී සිල් සමාදන් වීමට ආගමික කටයුතුවල යෙදීමට අවස්ථාව උදාවී ඇත. 1963 දී මෙරට ප්‍රථම පොසොන් ආලෝක පූජාව ලෙස ඇරැඹි මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාව 58 වැනි වරටත් මෙවරත් මිහින්තලයේදී ජුනි 4, 5, 6 දිනවලදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. සෞඛ්‍ය නීති රීති අනුව, දුරස්ථ බව රැක ගනිමින් පවත්වන ආලෝක පූජාව මෙවරත් මිහින්තලේ රජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්ගේ අවවාද අනුශාසනා පරිදි පැවැත්වීමට ලේක්හවුස් සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය හා පාලනාධිකාරිය කටයුතු කිරීම එතෙර - මෙතෙර බෞද්ධ ජනතාවගේ නොමඳ සතුටට හේතු වන කරුණකි.

අපේ රටේ විවිධ ස්ථානවල ආලෝක පූජා ආරම්භ වූයේ මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ පරමාදර්ශය අනුවය. ලේක්හවුස් ආලෝක පූජාව මෙරට ආගමික ස්ථානයක් 3 - 7 අතර එක දිගට ආලෝකවත් කළ ප්‍රථම ආලෝක පූජාව ලෙස ඉතිහාසගත වී ඇත. මෙරට සියලු ආලෝක පූජාවලට පරමාදර්ශයක් වෙමින් ලේක්හවුස් ආලෝක පූජාව 1963 පොසොන් පසළොස්වක දින ආරම්භ වී ඇත. ඒ ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ අදහසක් අනුවය.

ලේක්හවුස් ආයතනයේ එවකට කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රංජිත් විජයවර්ධන මහතාගේත් අධ්‍යක්ෂවරයෙකු වූ ජී. බී. එස්. ගෝමස් මහතාගේත් මෙහෙයවීමෙන් එදා ආලෝක පූජාව ආරම්භ විය. 1963 සිට දිගටම පැවැති මෙම ආලෝක පූජාව නිසා මිහින්තලාවට පොසොන් පසළොස්වක දින හා ඒ ආශ්‍රිත දිනවල යන එන බැතිමතුන්ට මහත් සෙතක් සැලැසුණි. ඒ පූජාව ඇරැඹි දිනවල ඒ පිළිබඳව බෞද්ධ බැතිමත්තු ආලෝක පූජාව ඇරැඹු අයට පින් දෙමින් මිහින්තලාවම ඇළලි යන අයුරින් සාධු නාද පැවැත්වූ බව වාර්තා වී තිබිණි.

1978 දී මිහින්තලා පුද බිමට ස්ථිර විදුලි ආලෝකය ලැබිණි. පසුව ආලෝක පූජාවේ වියදම් සඳහා මිහින්තලා ආලෝක පූජා භාරය නමින් අරමුදලක් ද බිහි විය. මේ ආලෝක පූජාවට සමගාමීව මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පාසල් ගණනාවක සිසු සිසුවියන් සිල් සමාදන් කරවීමේ වැඩසටහන් ද පැවැත්විණි. ඒ අයට අවශ්‍ය සිල් රෙදි ලේක්හවුස් ආයතනයේ මෙහෙයවීමෙන් ලබාදුන් අතර මිහින්තලාව හා පොසොන් පසළොස්වක දිනය පිළිබඳව කථික හා රචනා තරග ද ‘බුදුසරණ‘ පුවත්පත අනුග්‍රහයෙන් ආරම්භ විය. එය තවමත් නොකඩවා පැවැත්වීම සතුටකි.

පසුගිය වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා රටේ අනාරක්ෂිත බවක් ඇතිව තිබුණත් ලේක්හවුස් ආයතනය මිහින්තලා ආලෝක පූජාව පැවැත්වීම නිසි අයුරින්ම සිදු කළේය. එමෙන්ම පසුගිය වසර 57 තිස්සේ මේ මිහින්තලා ආලෝක පූජාව ලේක්හවුස් ආයතනයේ මෙහෙයවීමෙන් සමහර වසරවල පැවැත්වුණේ උතුරේ හා දකුණේ දැඩි ත්‍රස්ත තර්ජන තිබෙන අවස්ථාවලදීය.

විශේෂයෙන් 1985, 1988, 1986 වසරවල කොටි ත්‍රස්තවාදී හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් කළ පහරදීම්, බියගැන්වීම් හමුවේ වුවද ආලෝක පූජාව නොකඩවා පැවැත්වීමට ඒ ඒ කාලවල ලේක්හවුස් පාලනාධිකාරිය හා ඒ ඒ කාලවල බුදුසරණ කර්තෘවරු හා ලේක්හවුස් පුවත්පත් කලාවේදීහු කටයුතු කළහ.1985 ආලෝක පූජාව පැවැත්වුණේ අනුරාධපුරයට කොටි ත්‍රස්තවාදීන් පහර දී දින 15 - 20ක් යාමටත් පෙර යුද්ධයේ දරුණුතම උණුසුම මැද බව මතක් කළ යුතුව ඇත. අනුරපුර කොටි ප්‍රහාරය නිසා ශ්‍රී මහා බෝධිය අසල සිටි උපාසක උපාසිකාවන් 140 දෙනෙකු මරා දැමූ අතර තවත් සිය ගණනකට තුවාල සිදුවී තිබුණි.

එකල කොටි ත්‍රස්තවාදීහු අනුරපුරය මිහින්තලේ අවට ගම්වලට ද ප්‍රහාර එල්ල කළහ. එවන් භයානක යුද වාතාවරණයක් යටතේ මගේ පියාණන් වන හිටපු බුදුසරණ කර්තෘ ප්‍රේමසිරි අබේසිංහ මහතාත් එවකට ලේක්හවුස් පිරිස් කළමනාකාර ලෙස කටයුතු කළ ටිරල් ප්‍රනාන්දු මහතාත් ප්‍රමුඛ සේවක පිරිසක් දිවි නොතකා මිහින්තලයේ පන්සලට ගොස් 1985 මිහින්තලේ ලේක්හවුස් ආලෝක පූජාව දින තුනක්ම සිදු කළේ බුදුදහම රටටම පැතිරු තැන පොසොන් පසළොස්වක දින අඳුරේ තැබීමට නොහැකි බැවිනි. එමෙන්ම එවකට වසර 22ක් නොකඩවා පවත්වාගෙන ආ ලේක්හවුස් ආලෝක පූජාව නොකඩවා පැවැත්වීම කළ යුතු නිසා ඒ නිලධාරින් සේවකයන් එදා තම ජීවිත පරදුවට තබා ලේක්හවුස් ආලෝක පූජාව පැවැත්වීමට පෙරමුණ ගත්හ. ඔවුන්ට එකල පාලකයන්ගෙන් ද නොමඳ සහායක් ලැබුණි.

ඊට පසු 1987, 1988, 1989, 1990 වසරවල එල්ටීටීඊ හා ජවිපෙ ත්‍රස්තවාදී කටයුතු රටපුරා දරුණු ලෙස පැතිර ගියේය. ජවිපෙ කල්ලි විසින් ‘දිනමිණ‘ හා ‘බුදුසරණ‘ ඇතුළු ලේක්හවුස් පුවත්පත් අලෙවිය බෙදාහැරීම හා කියවීම මාරාන්තික වරදක් බව ප්‍රකාශ කර තිබුණි. එල්ටීටීඊයත් ලේක්හවුස් දෙමළ පුවත්පත්වලට විරෝධය දැක්වීය. මේ අයුරින් දෙපැත්තකින් මරණය පෙනි පෙනී වුවද 1985 - 1990 වකවානුවේ ලේක්හවුස් ආලෝක පූජාව එදා සිටි පාලනාධිකාරියේ උපදෙස් පරිදි නොකඩවා පැවැත්වීය.

එකල ලේක්හවුස් ආයතනයේ ලේකම් වූ චන්ද්‍රසේකර ලේක්හවුස් හිටපු සාමාන්‍යාධිකාරි හා ලේකම් බී. ඒ. ජිනදාස, හිටපු බුදුසරණ කර්තෘ ප්‍රේමසිරි අබේසිංහ, හිටපු පිරිස් කළමනාකාර ටිරල් ප්‍රනාන්දු හා ලේක්හවුස් ගොඩනැඟිලි අංශයේ පිරිසත් අනුරපුර ලේක්හවුස් කාර්යාලයේ පිරිසත් ඒ දැඩි භීෂණ සමයේ මේ ආලෝක පූජාව පැවැත්වීමට දිවි හිමියෙන් කටයුතු කළ බව අපි දනිමු.

දැනට වසර 10 - 15ක කාලයක් තුළ ලේක්හවුස් ආලෝක පූජාවේ කටයුතු සංවිධානය කරන ලේක්හවුස් සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහතාත් බුදුසරණ උපදේශක කර්තෘ සිසර් සුදුසිංහ මහතාත් කරන ශාසන හිතකාමී සේවය අපි අගය කළ යුතු වෙමු. මේ උතුම් කටයුත්ත මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාව ලෙස නම් කළද එය මිහින්තලේ ප්‍රදේශයේ විදුලි ආලෝකය දැල්වීමකට පමණක් සීමා නොවීය. පොදුවේ මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාව යනු මුළු මිහින්තලා ප්‍රදේශයටම යම් අයුරකින් ආධ්‍යාත්මික හා භෞතික සංවර්ධන ක්‍රියාදාමයකට ලක්කරන සුවිශේෂී සද්කාර්යයක්ම විය. ඒ අනුව 1989 මේ ආලෝක පූජාවට අනුබද්ධව මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍ර දේශයේ පාසල් සඳහා විද්‍යාගාරයක් ඉදිකළේය. ඊට පසු වසරවල දන්ත ශල්‍යාගාරයක්, පුස්තකාලයක් ලබා දෙන ලදී. මේ යටතේ මිහින්තලේ මහා විද්‍යාලයට ‘බුදුසරණ‘ පුස්තකාලය හා පරිගණක මධ්‍යස්ථානයක් පිරිනමා ඇත.

කම්මික්කුලම මහා විද්‍යාලයට විද්‍යාගාරයක් ආලෝක පූජාවට අනුබද්ධව ලබා දී ඇති අතර එම ගම්මානය 1990 දී විදුලි ආලෝකයෙන් ආලෝකවත් කිරීමට ද ලේක්හවුස් ආයතනය කටයුතු කළේය. කුරුන්දන්කුලම විදුහලට වඩු කාර්මික පුහුණු වැඩපොළක් ද, මිහින්තලා කනිටු විදුහලට දන්ත ශල්‍යාගාරයක්ද ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව ලබාදුන් බව යළි මතක් කර දිය යුතුව ඇත. ඊට අමතරව ලේක්හවුස් ආයතනයේ අනුග්‍රහයෙන් පසුගිය වසරවලදී මිහින්තලේ උඩ මළුවට අලංකාර බුදු මැදුරක් පොහොය ගෙයක් හා දොළොස්මහේ පහනක් ද ලබා දී තිබේ. 2002 දී පමණ මිහින්තලාවේ පැරැණි විදුලිබල පද්ධතිය ඉවත්කොට භූගත විදුලිබල පද්ධතියක් ඇති කිරීමට මේ ආලෝක පූජාවට සම අනුග්‍රහය දක්වන විදුලිබල මණ්ඩලය පියවර ගත්තේය.

මීට පෙර ලේක්හවුස් ආයතනයේ අනුග්‍රහයෙන් මිහින්තලේ පුදබිම වටාම ආලෝක පූජාව සිදු කළේ පොසොන් පසළොස්වක දින, ඊට පෙර දිනය හා ඊට පසු දින පමණි. නමුත් විදුලිබල මණ්ඩලයේ ඉහත පියවර නිසා මිහින්තලයේ පුදබිම දැන් රාත්‍රී 10 තෙක් විදුලි බලයෙන් ආලෝකවත්ව පවතී. එය එහි යන එන සැදැහැවතුන්ට මහඟු සෙතක් බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් නීතීඥ ආර්.එම්. වන්නිනායක මහතා පවසයි.

මේ අනුව වසර 58ක් පැරැණි ඒ මඟ යමින් කොරෝනා සෞඛ්‍ය ගැටලු මධ්‍යයේ වුවද සෞඛ්‍ය ආරක්ෂිත ලෙස මෙවරත් ලේක්හවුස් ආලෝක පූජාව පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳව ලේක්හවුස් සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා ප්‍රමුඛ ලේක්හවුස් අධ්‍යක්ෂ මණ්ඩලයටත් එයට කවදත් සම අනුග්‍රහය දක්වන විදුලිබල මණ්ඩලයටත් සියලු අනුග්‍රාහක ආයතනවලටත් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ පුණ්‍යානුමෝදනා හිමි වන බව කිව යුතුව ඇත. ඉහත කරුණු සියල්ල අනුව මෙවර මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාව ඓතිහාසික ආලෝක පූජාවක් බවට පත්වී ඇත. රාජ්‍ය පොසොන් උත්සවයට අනුබද්ධව එය පැවැත්වීම මෙන්ම ජගත් පරිසර දින රාජ්‍ය උත්සවයට සමගාමීව ආලෝක පූජාව පැවැත්වීම එයට ප්‍රධාන හේතු වී ඇත.

එමෙන්ම අපේ රටේ මහ සඟරුවන සුරකින, සඟරුවනගේ අවවාද අනුශාසනාවලට ගරු කරන බුදුදහමේ චිරස්ථිතියට ඇපකැපවූ මෙන්ම විශේෂයෙන් මිහින්තලයේ පූජා භූමියේ සංවර්ධනයට හා සංරක්ෂණයට පූර්ණ සහාය දුන් හා දෙන ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් ප්‍රධානත්වයෙන් මෙම ආලෝක පූජාව පැවැත්වීමට නියමිතව තිබීමත් බෞද්ධ ජනතාවගේ සතුටට හේතුවකි.

මිහින්තලා, ලේක්හවුස් ආලෝක පූජාව මේ අයුරින්ම චිරාත් කාලයක් පවත්වාගෙන යෑමට ලේක්හවුස් පාලනාධිකාරියට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනය කරමු.

Comments