වසර 148 කට පසු දම් සිලුටු දෑතුඩුවා බූන්දල බිත්තර දමයි | සිළුමිණ

වසර 148 කට පසු දම් සිලුටු දෑතුඩුවා බූන්දල බිත්තර දමයි

ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතීඥ

ජගත් ගුණවර්ධන

අඩ සියවසක් පුරා මෙරටින් තුරන්ව ගිය ලෙස සලකන ලද සහ පසුකාලීනව සංක්‍රමණිකයකු ලෙස පමණක් යළිත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු දම් සිලුටු දෑතුඩුවා හෙවත් සිලුටු දෑතුඩුවා (Glossy Ibis) මෙරට යළිත් බෝවෙන බවට ස්ථීර වාර්තාවක් බුන්දල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු වන අජිත් ගුණතුංග මහතා ඇතුළු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් මැයි මස 21 සොයා ගැනීම හේතු කිහිපයක් නිසා සුවිශේෂී වෙයි. මෙරටින් තුරන්ව ගිය ජීවියකු යළි හමුවීමක් අපට ඉතා සතුටුදායක පුවතකි. එමෙන්ම අතීතයේදී ශ්‍රී ලංකාව තුළ බෝවී සිටි බවට වාර්තාවී තිබුණ මුත් මේ වනවිට ඒ තත්ත්වයේ නැති සතකු යළිත් බෝවෙන බවට හෝ මෙරටට සංක්‍රමණිකයකු ලෙස එන පක්ෂියකුගේ මෙරටේ බෝවීමේ සිද්ධීන් අප දකින්නේ ඉමහත් සතුටිනි.

සිලුටු දෑතුඩුවා 19 සියවස අවසන් භාගයේදී මෙරට තුළ යම් ප්‍රමාණයකට ව්‍යාප්තවී සිටි බවට පක්ෂී විද්‍යාඥ Vincent Legge විසින් රචිත History of the Birds of Ceylon ග්‍රන්ථයෙන් පෙනේ. එමෙන්ම ඔහු විසින් 1872 වසරේදී තිස්සමහාරාමයේ උඩුවිල වැව ආශ්‍රිතව මෙම පක්ෂියා බෝවී පැටවුන් සහිතව සිටි බවට සහ එම ස්ථානයේ කූඩු අටක් තිබූ බවටද වාර්තා කර තිබේ. නමුත් විසිවැනි සියවස ආරම්භ වන විට මෙම පක්ෂියා මෙරටින් තුරන්වී ගොස් තිබිණි. ඊට හේතු මෙනවාද යන්න අදටත් අපැහැදිලිය. මේ කාලයේදී මෙරටින් තුරන්ව ගිය කැබලිත්තියා නම් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් දඩයම් කර වනසා දමන ලද බවට තොරතුරු තිබුණත් සිලුටු දෑතුඩුවා එසේ දඩයමට ලක්වූවෙක් නොවීය.

විසිවන සියවසේ මුල් භාගයේදී එනම් අඩ සියවසක්ම වාර්තාගත නොවූ සිලුටු දෑතුඩුවන් යළි මෙරටින් වාර්තාවී තිබෙන්නේ 1952 වසරේදී කලමැටියෙනි. ඉන් පසුව බූන්දලින් පවා වාර්තා විය. මෙම ප්‍රදේශයෙන් (හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්) පිටත ප්‍රථම වාර්තාව 1973 වසරේදී දෙහිවල නැදිමාලේ තෙත්බිමෙන් වාර්තා කරන ලද්දේ නොයෙල් ද කොස්තා මහතා විසිනි. ඒ ප්‍රජනන වර්ණ රහිත තනි පක්ෂියෙකි. එවන් තනි පක්ෂියකු නැදිමාලෙ වසර කීපයක් වරින්වර වාර්තා විය. 1985 වසරේදී බොල්ගොඩ ජලාශයේ සිටි තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිරාන් කල්දේරා මහතා විසින් වාර්තා කර තිබුණි.

නමුත් තෙත් කලාපයෙන් මොවුන් රංචු ලෙස වාර්තා වීය. 1990 දී බෙල්ලන්විල අත්තිඩිය අභයභූමියෙන් වාර්තාවූ 08 දෙනාගේ රංචුව ඒ අතර විය. මෙම සංඛ්‍යාව වසරක් පුරා වැඩිවුණු අතර 1995 වනවිට 34 දෙනෙකුගෙන් සමන්විත විය. මේ ප්‍රදේශයේදී මවිසින් අඛණ්ඩව කළ අධ්‍යයනයන් මෙන්ම, කොට්ටේ අභයභූමියේ සහ අවට කළ අධ්‍යයනයන් මගින් පවා පෙනුණේ මේ පක්ෂීන් ප්‍රජනන වර්ණ දැරීම සහ එම වර්ණ දරන මාර්තු අප්‍රේල් මාසවල අවස්ථා කීපයකදී කෝටු සහ අතු රැගෙන යනු දුටුවත් කිසිම අවස්ථාවක අවම වශයෙන් කැදලි තැනීම හෝ නොකොට නික්ම යාම සිදු වූ බවයි.

විසිවන සියවස තුළ ශ්‍රී ලංකාවේදී එකම අවස්ථාවකදී වැඩිම සිලුටු දෑතුඩුවන් සංඛ්‍යාව 1995 වසරේදී ජා-ඇල ප්‍රදේශයේදී කසුන් අමරනායක මහතා විසින් වාර්තා කළ 83 දෙනෙකුගෙන් යුතු රංචුව වේ. මෙම වාර්තාව මෙරට වැඩිම සංඛ්‍යාව ලෙස මේ සියවසේත් පැවති නමුත් 2015 වසරේ මන්නාරමේදී ආචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා විසින් දුටු පක්ෂීන් 174 දෙනාගේ වාර්තාව මෙරටේ වාර්තාගත විශාලතම සංඛ්‍යාව වේ.එබැවින් සියලු අතීත වාර්තා සමාලෝචනයෙන් පෙනෙන්නේ මෙවර සිදුවූ බෝවීම වාර්තාගත කරුණු අනුව 1872 පසු සිලුටු දෑතුඩුවා මෙරටදී බෝවූ බවට ප්‍රකාශිත ප්‍රථම අවස්ථාව වන බවයි.සිලුටු දෑතුඩුවා ශ්‍රී ලංකාව තුළ බෝවීම සුවිශේෂී සිද්ධියකි. නමුත් එම නිසාම එම පක්ෂියා නැවත වරක් නේවාසික පක්ෂියකු ලෙස සැලකීම නොකළ යුතුය. එසේ කරන්නට නම් අනාගතයේදීද අනුයාත වසර කිහිපයක් ඔවුන් මෙරටේ බෝවීම සහ වසර පුරාම මෙරටේ රැඳී සිටින ගහනයක් තිබීම අත්‍යාවශ්‍යය.

මෙය සිලුටු දෑතුඩුවාගේ මෙරට නේවාසික ගහණයක් ඇතිවීම නව ප්‍රවණතාවක ප්‍රථම පියවර වේද නැතහොත් අහඹු සිද්ධියක් පමණක් වේද යන්න කීම අපහසුය. එය කිව හැකි වනුයේ තවත් වසර කිහිපයකට පසුව වේ. නමුත් මේ බෝවීමේ සිද්ධිය ඉතා වැදගත් කරුණක් ගෙනහැර දැක්වීමට සමත්ව තිබේ. එනම් වසරක් එකසිය පනහකට ආසන්න කලක් ගත්වීමෙන් පසු වුවත් සිලුටු දෑතුඩුවාගේ බෝවීමට අවශ්‍ය ප්‍රශස්ථ තත්ත්වය තවමත් මෙරට තිබෙන බවත් බූන්දල ජාතික වනෝද්‍යානය තුළ එම තත්ත්වය තවමත් රැකී තිබෙන බව තහවුරු වීමත්‍ වේ. රම්සා ප්‍රඥප්තිය යටතේ මෙරට තුළ නම්කළ ප්‍රථම ස්ථානය වූ බූන්දල ජාතික වනෝද්‍යානයේ වටිනාකම මෙම සිද්ධියත් සමඟින් තවදුරටත් ඉහළ යෑමක් සිදුවීමත් සතුටට කරුණක් වේ.

Comments